පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක් බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උප…

පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක්

බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උපන් ජනසන්ථව කුමාරයා, දිසාපාමොක් ආචාරීන් වෙතින් අධ්‍යාපනය ලබා පැමිණ පියරජතුමාගේ ඇවෑමෙන් රජකමට පත්විය. දස රාජ ධර්මයන් නොඉක්මවා රාජ්‍යය විචාළ එතුමා දන්හල් කරවා දුගී – මගී යාචකාදීන්ට දන් දෙන්නට සැලැස්වීය. නිති පන්සිල්ද පොහොය අටසිල්ද සමාදන්ව සිල්වත් බවට පැමිණි හේ, රට වැසියා ද සිල්රකින පිරිසක් බවට පත්කළේය.

පොහෝ දිනවල වැසියා රජමැදුරට කැඳවා ඔවුන්ට ධර්මදේශනා කොට ඔවුන් තුළ ගුණ – නුවණ වර්ධනය කළේය. ඔවුන් සුචරිත ධර්මයට යොමුකළේය. මේ ක්‍රියාමාර්ගය නිසා හිරගෙවල් වැසී ගියේය. දන්ගෙඩිය දිරාපත් විය. එක් පොහෝදිනක රජතුමා පැවැත්වූ ධර්ම දේශනාවෙන් මරණ මොහොතේ මිනිසාට පසුතැවිලි වීමට හේතුවෙන කරුණු දහයක් ගෙනහැර දැක්වීය.

1. යම් කෙනකු තරුණකාලයේ උපයන මිල – මුදල්, ධන – ධාන්‍ය ආදියෙන් කොටසක් ඉතිරි නොකොට එදිනෙදා උපයන සියල්ල එදිනෙදාට වැය කළහොත් වයස නිසා හෝ රෝගාබාධ නිසා හෝ අබලදුබල වී යමක් ඉපයීමට නොහැකි අවස්ථාවට පැමිණිවිට යමක් ඉතිරිකර නොගැනීම ගැන සිතා පසුතැවීමට සිදුවේ. මේ පසුතැවීම වැඩිවන්නේ තරුණ කාලයේ ඉතිරිකරගත් දෙයින් දුබල අවස්ථාවේ අපහසුවක් නැතිව ජීවත්වන අය ගැන අසන – දකින විටය.

2. බාලකාලයේ සැලකිල්ලෙන් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු නොකළ තැනැත්තා සැලකිල්ලෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වී පහසුවෙන් ජීවත්වෙන අය දැකීමෙන් පසුතැවිලි වේ.

3. කේලාම් කියමින් අල්ලස් ගනිමින් ජීවත්වන පුද්ගලයා මහලු වයසට පත්වූ පසු මරණින් මත්තේ තමාට කවර විපාකයක් විඳින්න සිදුවේදැයි ඇතිවෙන බිය නිසා තමන් කළ ඒ වැරදි සිහිපත්ව පසුතැවිල්ලට පත්වේ.

4. සතුන් මැරීම, හොරකම ආදී අකුසල කර්ම කළ පුද්ගලයාද තමා කළ ඒ අකුසල කර්මවලට මරණින් මතු විඳින්නට සිදුවන අකුසල විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වේ.

5. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය යන අකුසල කර්මයේ නිරතවූවෝ තමන්ට මරණින් මතු ලැබෙන දරුණු විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වෙති.

6.සම්පත් තිබියදී දනක් – පිනක් නොකර ජීවත් වූ පුද්ගලයා එසේ හැකියාව තිබියදී පින් නොකිරීම ගැන සිතා මරණාසන්න අවස්ථාවේ පසුතැවිල්ලට පත්වේ.

7. තම මවු – පියන්ට උපස්ථාන නොකළ පුද්ගලයා ඒ යුතුකම තමාගෙන් ඉටු නොවීම ගැන සිතා මහලු වියේදී පසුතැවිලි වේ.

8. කන – බොන විදිය, අඳීන – පළඳින විදිය ආදී ජීවිතයට අවශ්‍ය කරුණු කියාදෙන හෙයින් පූර්වාචාරීන් වශයෙන්ද යහපත – අයහපත පෙන්නා දෙමින් කැමති ආහාරපානාදිය සම්පාදනය කර දෙන හෙයින් ඉටු දෙවියන් වශයෙන්ද හැඳින්වෙන මවුපියන්ට බැණවදින අපහාස (අක්‍රෝෂඣී පරිභව ) කරන පුද්ගලයා තමන් කළ ඒ අකුසල කර්මයත් ඊට ලැබිය හැකි නපුරු විපාකත් සිහිවීමෙන් මහලු වියේදී පසුතැවිලි වේ.

9. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් හැන්දක් නොදී ඒ අයට නින්දා – අපහාස කරන පුද්ගලයාද තමන් නොකළ සත්ක්‍රියාවන් ගැනත් කළ අසත් ක්‍රියාවන් ගැනත් සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවීමට පත් වේ.

10. කලින් කල සිල්වතුන් ගුණවතුන් වෙත ගොස් කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යනාදී කරුණු විමසා අවවාද අනුශාසනා ලබානොගත් පුද්ගලයාද සත් පුරුෂයන් ඇසුරුකිරීමට නොහැකිවීම ගැන මරණාසන්න මොහොතේ පසුතැවිල්ලට පත් වේ.

කැලිගම විජිතනන්ද හිමි
ලේක් හවුස් බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි