අසංඛත වූ නිවන නොතිබෙන්නට දුකින් නිදහස්වීමක් නැත සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝ…

අසංඛත වූ නිවන නොතිබෙන්නට දුකින් නිදහස්වීමක් නැත

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් ලෙස තුන්ලොවේ ගුණ රාව පැතිර ගියේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනයි. දවසක් ඒ බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් මෙසේ විමසා සිටියා.

මේ වේගයෙන් ගලාගෙන යන සංසාරය නවතින්නේ කොතැන ද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැන ද? නාමයත්, රූපයත් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතැන ද?

සසර ගමනින් නිදහස් නොවූ කෙනෙක් නම් මෙබඳු පැනයක් කෙසේ විසඳන්න ද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ ප්‍රඥා ඇති බුදු රජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කොට වදාළා.

යම් තැනෙක අපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් පිහිටන්නේ නැතිනම් අන්න එතැන තමයි වේගයෙන් ගලාබසින සංසාරය නවතින තැන. එතැන තමා ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතැන තමා නාමයත්,රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නේ.

මේ පිළිතුරේ දී උන්වහන්සේ දේශනා කළේ ඒ අමා මහ නිර්වාණය ගැනයි. නිවන නම් වූ ලොව ඇති පරම සුඛය ලෝ සතුනට පෙන්වා වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේ විසිනුයි. ඒ අසංඛත වූ අමා මහ නිවන ගැන උන්වහන්සේ මෙසේ පෙන්වා දී වදාළා.

පින්වත් මහණෙනි, අමා මහ නිවන නම් වූ තැනක් තිබෙන්නේ ම ය. යම් තැනෙක පඨවි ධාතුව නැද්ද? ආපෝ ධාතුව නැද්ද? තේජෝ ධාතුව නැද්ද? වායෝ ධාතුව නැද්ද? ආකාසානඤ්චායතනය නැත්ද? විඤ්ඤාණඤ්චායතනය නැත්ද? ආකිඤ්චඤ්ඤායතනය නැත්ද? නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැත්ද? මේ ලෝකය නැත්ද? පරලොවක් නැද්ද? හිරු සඳු නැත්ද? පින්වත් මහණෙනි, ඒ අමා මහ නිවන තුළ සත්වයාගේ පැමිණීමක් නැත්තේ ය. පිටවීයාමත් නැත්තේ ය. සිටීමක් නැත්තේ ය. චුතියක් නැත්තේ ය. උපතක් නැත්තේ ය. එය නොපිහිටා තිබෙන තැනකි. නො පවතින තැනකි. අරමුණු රහිත තැනකි. එය වනාහී දුකෙන් නිදහස් වූ තැන වේ.

සංසාර ගමන තුළ දුක උරුම කරගෙන ගමන් කරන ලෝ සතුන් හට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අමා නිවන නම් වූ දුක් බිය රහිත ක්ෂේම භූමිය පෙන්වා නො දුන්නා නම් කිසිවෙකුටත් ඒ දුක්ඛිත වූ සසරින් අත්මදිමක් නම් නැත.

අද අප ඉගෙන ගන්නේ සංසාරයේ දුක දැනුණ දිව්‍ය පුත්‍රයෙකුට දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ පිහිට වූ ආකාරය යි.

ඒ දිව්‍ය පුත්‍රයාගේ නම සුබ්‍රහ්ම. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා පරිවාර දිව්‍ය අප්සරාවන් දහසක් සමඟ තව්තිසාවේ දිව්‍ය විමානයක සැප සේ කල් ගත කරමින් සිටියා. ඒ තව්තිසාවේ නන්දන උයනේ තිබෙන පරසතු වෘක්ෂයේ මල් පිපෙන කාලය යි. දෙවිවරු සියලු දෙනා මල් පිපී ගිය පරසතු රුක් සෙවනේ සතුටුවීම පිණිස ඒ දිනවල නන්දන උයනට යනවා.

ඉතින් මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාත් තම පරිවාර අප්සරාවියන් දහසක් දෙනා පිරිවරාගෙන නන්දන උයනට පැමිනුණා. පරසතු රුකට පිට දී සුබ්‍රහ්ම දෙවියා ගසමුල වාඩිවුණා. මේ පරසතු කියන දිව්‍ය රුක්ෂයේ ස්වභාවය තමා යම් දෙවියෙක් මලක් නෙලා ගැනීමට කැමැති නම් ඒ රුක්ෂයේ අත්ත බිමට පහත් වෙනවා.

නමුත් සුබ්‍රහ්ම දෙවියාගේ පිරිවර අප්සරාවියෝ පන්සියයක් සෙල්ලමට වගේ පරසතු ගසට නැග්ගා. නැගලා අතු හොලවන්නට පටන් ගත්තා. එතකොට පරසතු මල් බිම වැටෙනවා. ඒ මල් බිම සිටින පන්සියයක් අප්සරාවියෝ එකතු කළා. ඇතැම් අප්සරාවියෝ පරසතු මල් මාලා ගෙතුවා. ඇතැම් අය මල් ඔටුණු හැදුවා. ඒ ඔක්කෝම සැරසිලිවලින් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා සරසමින් සිටියා.එක්වරම ගස් උඩ සිටි අප්සරාවියන්ගේ සිනා හඬ නො ඇසී ගියා. පරසතු මල් වැටෙන එකත් නැවතුනා. සුබ්‍රහ්ම දෙවියා කලබලයෙන් බැලුවා පරසතු ගස දෙස. ඒ අප්සරාවියෝ පන්සිය දෙනාම පෙනෙන්නට නැහැ. කෝ මේ නැගණිවරු? කියලා සුබ්‍රහ්ම දෙවියා නුවණින් විමසන්නට පටන් ගත්තා.

මීට සුළු මොහොතකට පෙර දිව්‍යාලංකාරයෙන් කුල්මත් වී සිටි ඒ පන්සියයක් අප්සරාවියෝ දෙවියන් අතරින් චුත වී නිරයේ ඉපදී සිටියා. නිරයේ ගිනිදැල් අතර වේදනාවෙන් දුක් විඳින ඒ අප්සරාවියන් දුටු සුබ්‍රහ්ම දෙවියාට විශාල සංවේගයක් ඇතිවුණා.මට තව කොපමණ කාලයක් මේ තව්තිසාවේ ඉන්ට පුළුවනිද? කියලා ඒ මොහොතේ ඔහු කල්පනා කළා. සුබ්‍රහ්ම දෙවියාට වැටහුණා අවශේෂ පන්සියයක් අප්සරාවියන් ද සමඟ තව සත් දිනකින් තමාටත් නිරයේ ඉපදීමට සිදුවන බව. ඔහුගේ සිත බියෙන්, තැතිගැනීමෙන්, ශෝකයෙන් දැවී ගියා. ඔහු විමසා බැලුවා මාගේ මේ ශෝකය නිවාදැමිය හැකි කෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද කියලා. ඇත්තෙන්ම සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා වාසනාවන්තයෙක්. අලාමක ප්‍රඥා ඇති තිලෝවේම ශාන්තිනායක වූ බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා.

ඉතින් ඒ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීම පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පසෙක සිට ගත්තා. එකත්පසෙක සිටි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසුවා.

නූපන් කරදර ගැනත්, ඇතිවෙලා තිබෙන කරදර ගැනත්, මේ සිත නිතර තැති ගන්නවා. මේ සිත නිතර බියට පත්වෙනවා. මම මේ අසන කරුණු කියාදෙනු මැනැවි. මේ සිතේ කිසි තැති ගැනීමක් නැත්නම් ඒක ඇතිවෙන්නේ කොහොමද?

සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විමසන්නේ නූපන් කරදර ගැන කිව්වේ ඔහුට තව දින හතකින් නිරයේ ඉපදීමට තිබීම නිසා දුකක් තිබෙනවා. ඇතිවෙලා තිබෙන කරදර ගැන කියා කිව්වේ ඔහුගේ පිරිවර පන්සියයක් දිව්‍ය අප්සරාවියෝ අහිමි වීමෙන් පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ඔහුට තිබෙනවා. ඒ දුකට විසඳුමයි ඔහු විමසා සිටියේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථාවකින් පිළිතුරු දේශනා කොට වදාළා.

නාඤ්ඤත්‍ර බොජ්ඣංගා තපසා
නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා
නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා
සොත්ථිං පස්සාමි පාණින’න්ති

බොජ්ඣංග ධර්මයන් වැඩීමෙන් තොරව, කෙලෙස් තවන ජීවිතයෙන් තොරව, තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් තොරව, ඒ සියලු දුකින් නිදහස් වූ අමා නිවන අවබෝධ කිරීමෙන් තොරව මේ සත්ත්වයන්ට වෙන සෙතක් මා නම් දකින්නේ නැහැ.

මේ සංසාර ගමනේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ශෝකය, වැළැපීම, දුක, දොම්නස, සුසුම් හෙළීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා එක්වීම ආදී අනේකප්‍රකාර වූ දුක උරුමකරගත් ලෝ සතුනට විශ්මිත සම්බුදු නුවණින් අමා නිවන නම් වූ අමෘතය දායාද කර නො දෙන්නට මෙලොවේ දුකින් නිදහස්වීමක් නම් නැත. ඒ බව මෙසේ පෙන්වාදුන් සේක.

පින්වත් මහණෙනි, නුපන්නා වූ හට නොගත්තා වූ නොකරන ලද්දා වූ අසංඛත වූ නිවන නම් වූ තැනක් තිබෙන්නේම ය.

පින්වත් මහණෙනි, ඒ අසංඛත වූ නිවන නො තිබෙන්නේ නම් උපන් හටගත් සංඛත වූ මේ සත්ත්වයන් හට දුකින් නිදහස්වීමක් නො පෙනෙන්නේම ය. පින්වත් මහණෙනි, මේ උපන් හටගත් සංකත වූ සත්ත්වයන් හට දුකින් නිදහස්වීමක් තිබෙන්නේ අසංඛත වූ අමා මහ නිවන තිබෙන නිසාවෙනි.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරද්දී සුබ්‍රහ්ම දෙවියා සෝවාන්ඵලයට පත්වුණා. සතර අපායෙන් සදහටම නිදහස් වුණා. ඒකාන්තයෙන් ම ඒ අමා නිවන අත්දකින ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

– නයනා නිල්මිණි