New photo from Facebook December 21, 2015 at 09:02AM

== ආහාර පිදීමේ අනුසස් ==

අතීත කර්ම බලයෙන් සත්ත්වයා උපදී. පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්ත්වයාගේ ජීවිතය පැවැත්වීමට කර්මය සමත් නොවේ. සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ. කොතරම් රූප ශෝභාව ඇතියෙකුට වුව ද ආහාර හිඟ වුව හොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීම, පිදීමක් වේ. නිරාහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්‍රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි. ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේ මස් වියළී ඉන්ද්‍රිය දුබල වුව හොත් ප්‍රඥාව නැති වේ. ප්‍රඥාව ඇති වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්‍රඥා දානයක් ප්‍රඥා පූජාවක් වේ. ආයුෂය – ශරීරවර්ණය – සැපය – ශරීර ශක්තිය – ප්‍රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.

“ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො,
සුඛස්ස දාතා මොධාවි සුඛං සො අධිගච්ඡති,
ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,
දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති.
(අංගුත්තර පංචක නිපාත)
“ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේ ය.

ආයුෂය ශරීර ශක්තිය රූප ශෝභාව සැපය ප්‍රඥාව යන මේවා දී යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේ ද පිරිවර ඇත්තේ ද වේ” ය යනු ගාථාවල තේරුමය.

== මල්ලිකා දේවි ==

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය. එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත් සේක. ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය. රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවා ය.
(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)

== කැඳ පිදීමේ අනුසස් ==

කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය වර්ණය සැපය බලය නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලොම් වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස් කැඳ වැළඳීමෙන් ලැබෙන අනුසස් ය.

“දස ඉමේ බ්‍රාහ්මණ! ආනිසංසා යාගුයා. යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභාණං දෙති, යාගු පීතා ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනොදෙති, වාතා අනුලොමෙති, වත්ථිං සොධෙති, අමාවසෙසං පාචෙති, ඉමෙ ඛො බ්‍රාහ්මණ දසානිසංසා යාගුයා.”
(මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක)
මෙසේ තථාගතයන් වහන්සේ විසින් ඉහත කී යාගුවෙහි අනුසස් දසය වදාරා ඇත්තේ ය. දසානිසංසයක් ඇති බැවින් ශරීරයට ඉතා යහපත් වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමෙකි.

== යාගුදායක තෙරුන් වහන්සේ ==

මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ. එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.

“යාගුං සංඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ,
පඤ්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට්ඨතා.
අඛ්‍යාධිතා රූපවත ඛිප්පං ධම්මනිසන්තිතා,
ලාභිතා අන්නපානස්ස ආයු පඤ්චමකං මම.
තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි යාගුදානස්සිදං ඵලං.”
(අපදාන පාළි)

තේරුම:
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය.
නිරෝග බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.
කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය. via Facebook Pages http://ift.tt/1GMS4Lf