New photo from Facebook January 15, 2016 at 12:00PM

මහානාම ආගතඵල සූත්‍රය -> http://ift.tt/1SlIenr

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක උන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට, ’ස්වාමීනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කෙරේදැයි ඇසූයේය.
’’මහානාමයෙනි, පැමිණි මාර්‍ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් වේද, හෙතෙම මෙහි පහත පෙන්වන විසීමෙන් වැඩි වශයෙන් වාසය කරයි.
’’මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි.
’’මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම තථාගතයන් වහන්සේ සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ බුද්‍රුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.
’’මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ’චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්‍ධාවක් විද්‍යමාන වේ. මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්‍ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
’’මහානාමය, පැමිණි මාර්ගඵල ඇති දැනගත් බුද්‍ධ ශාසනය ඇති, යම් ඒ ආර්‍ය්‍ය හ්‍රාවකයෙක් වේද, හෙතෙම මේ විහරණයෙන් වැඩි වශයෙන් වාසය කරයි.’’ යයි වදාළ සේක.

මා භායි මහානාම සූත්‍රය -> http://ift.tt/203veV2

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
[2] “ස්වාමීනි, මේ කිඹුල්වත් නුවර ආහාරපානාදියෙන් සමෘද්ධය. හැම දෙයින් සම්පූර්ණය. බොහෝ මිනිසුන්ගෙන් යුක්තය. මිනිසුන්ගෙන් අතරක් නැත. කෙළවරක් නොදත හැකි වීථීන්ගෙන් යුක්තය. ස්වාමීනි, ඒ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හෝ සිත දියුණු කළ භික්ෂුවක් හෝ ආශ්‍රය කොට සවස් කාලයෙහි කිඹුල්වත් නුවරට ඇතුල්වන කල්හි කලබලවූ ඇතුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ අසුන් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ රිය ඉදිරියටද පැමිණෙමි. කලබලවූ ගැල් ඉදිරියටද පැමිණෙමි. කලබලවූ පුරුෂයකු ඉදිරියටද පැමිණෙමි. ස්වාමීනි, ඒ මට එකල්හි භාග්‍යවතුන් වහන්සේ අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ධර්මය අරබයා පවත්නා සිහිය නැතිවෙයි. සංඝයා අරබයා පවත්නා සිහිය නැතිවෙයි. ස්වාමීනි, ඒ මට ඉදින් එකල්හි කළුරිය කරන්නෙම් නම් ‘මාගේ ගතිය කුමක්ද, පරලොව කුමක්දැයි’ යන අදහස පහළවිය.
[3] “මහානාමය, බිය නොවව. මහානාමය, බිය නොවව තොපට ලාමක නොවන්නාවූ මරණයක්, ලාමක නොවන්නාවූ කාලක්‍රියාවක් වන්නේය. මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, සීලයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ශ්‍රැතයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ත්‍යාගයෙන් වඩනාලද සිතක් ඇත්තේද, ප්‍රඥාවෙන් වඩනාලද සිතක් ඇත්තේද, ඔහුගේ යම් මේ කයක් වේද එය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිත) යන්ගෙන් උපන්නේය. බත් කොමු පිඩුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම් පිරිමැදීම්, බිඳීම් විනාශවීම් ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත් නොයෙකුත් සත්තු හෝ කා දමත්. බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි
[4] “මහානාමය, යම්සේ බලවත් පුරුෂයෙක් වනාහි ගිතෙල් සැළියක් හෝ තෙල් සැළියක් හෝ ගැඹුරුවූ දියක ගිල්වා බිඳින්නේ වේද, (එවිට) එහි යම් කැට හෝ කැබිලිති හෝ වේද, ඒ යට යන්නේය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වේද, එය උඩට මතුවන්නේ, විශෙෂයට පැමිණෙන්නේ වේද, මහානාමය, එසේම යම් කිසිවෙකුගේ ශ්‍රද්ධාවෙන් වඩනාලද, සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද සිතක් වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
“ඔහුගේ මේ කය වනාහි රූපයන්ගෙන් යුක්තය. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මව්පිය (ශුක්‍ර ශ්‍රොණිතයන්) ගෙන් උපන්නේය. බත් කොමු පිඬුවලින් එක්වූවකි. අනිත්‍ය ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විනාශවීම්, ස්වභාවයෙන් යුක්තය. ඒ කය මෙහිදීම කපුටෝ හෝ කා දමත්. ගිජුළිහිණියෝ හෝ කා දමත්. උකුස්සෝ හෝ කා දමත්. සුනඛයෝ හෝ කා දමත්. හිවල්ලු හෝ කා දමත්. නොයෙකුත් සත්තු හෝ කාදමත් බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද සීලයෙන් වඩනාලද ශ්‍රැතයෙන් වඩනාලද ත්‍යාගයෙන් වඩනාලද ප්‍රඥාවෙන් වඩනාලද ඔහුගේ යම් සිතක්වේද එය උඩට යන්නාවූ විශෙෂයට පැමිණෙන්නාවූ සිතක් වෙයි.
[5] “මහානාමය, තොපගේ සිත බොහෝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාවෙන් වඩනා ලද්දේය. සීලයෙන් වඩනා ලද්දේය. ශ්‍රැතයෙන් වඩනා ලද්දේය. ත්‍යාගයෙන් වඩනා ලද්දේය. ප්‍රඥාවෙන් වඩනා ලද්දේය. මහානාමය, බය නොවව. මහානාමය, බය නොවව. තොපට උතුම්වූ මරණයත් උතුම්වූ කාලක්‍රියාවක් වන්නේයයි” වදාළේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf