New photo from Facebook March 25, 2016 at 09:19AM

මනාපදායී සූත්‍රය -> http://ift.tt/1VLPKJ9

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ, විසල් නුවර වැසිවූ උග්ග නම් සිටුහුගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිති විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ ට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.

’’ස්වාමීනි, සල් මල් මෙන් සාදන ලද කෑම මට මනාප වේ. මාගේ ඒ කෑම භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, මිහිරි ඩෙබර ඵල සහිතවූ, පස්ගෝරස සහිතවූ භෝජනය මට මනාප වේ. මාගේ එය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, තෙලින් බදිනා ලද නාළියසාක නම් පලා වර්‍ගය මට මනාප වේ. මාගේ ඒ භොජනය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.

’’ස්වාමීනි, අහුලා දමන ලද කළු ඇට ඇති, නොයෙක් මාළු ඇති, නොයෙක් ව්‍යඤ්ජන ඇති ඇල් සාලේ බත මට මනාප වේ. මාගේ ඒ බත භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, කසී රට උපන් වස්ත්‍ර මට මනාප වෙත්. ස්වාමීනි, මාගේ ඒ වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක. ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී.
’’ස්වාමීනි, කොඳු පලස් අතුරන ලද, සුදු එළු ලොම් ඇතිරි අතුරණ ලද, ඝන පූප් ඇතිරි අතුනණ ලද, කෙසෙල් මුවන්ගේ සමින් කළ උතුම් පසතුරුණු අතුරණ ලද, උඩු වියන් සහිතවූ, දෙපස තබන ලද රතු කොට්ටා ඇති පර්‍ය්‍යඞ්කය තෙම මට මනාප වේ. ස්වාමීනි, එතකුදුවුවත් මෙය භාග්‍යවතුන් වහන්සේට නොකැපයයි . අපිදු මෙය දනිමු.

’’ස්වාමීනි, මාගේ මේ සඳුන් පුවරුව දහසකට වැඩිය වෙයි. මාගේ එය භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා,’’ යි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් සිටුහට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කළ සේක.

(1) යමෙක් තෙම ඎජුවූවන් කෙරෙහි වස්ත්‍රය, ශයනාශනය, තවද. ආහාර පානයද, නොයෙක් ප්‍රකාර ප්‍රත්‍යයන්ද, කැමැත්තෙන් දේද, මනාපවූ දෙය දෙන්නාවූ හෙතෙම, මනාපවූ දෙය ලබයි.
(2) ’’ඒ සත්පුරුෂ තෙම ත්‍යාග කරණ ලද්දාවූද, මුදන ලද්දාවූද, අපේක්‍ෂාවෙන් නොගන්නා ලද්දාවූද, සිතින් ක්‍ෂෙත්‍ර බඳුවූ රහතන් දැන, දුෂ්කරවූ පරිත්‍යාගය කොට, මනාපවූ දෙය දෙන්නේ, මනාපවූ දෙය ලබාය’’ යි වදාළ සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් ගෘහපතියාට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම පසු කලෙක්හි කළුරිය කෙළේය. කළුරිය කළාවූ, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම, එක්තරා මනොමයවූ දෙවි කොටසක උපන්නේය.
’’එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ, අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි, උග්ග නම් දිව්‍ය පුත්‍ර තෙම, ප්‍රථම යාමය ඉක්මගිය රාත්‍රිය ඇති කල්හි, අහිරාම ඡවිවර්‍ණ ඇත්තේ, සියලු ජේතවනාරාමය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවූ, උග්ග නම් දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ’’උග්ග නම් දිව්‍ය පුත්‍රය, කිමෙක්ද, තොපගේ අදහස් පරිදි වූයේද?’’ ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එසේය, මාගේ අදහස පරිදි වූයේය’’ යි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උග්ග නම් දිව්‍ය පුත්‍රයාට ගාථාවලින් ධර්‍මය දේශනා කළ සේක.

(1) ’’මනාපවූ දෙය දෙන තැනැත්තේ, මනාපවූවක් ලබයි. අග්‍රවූ දෙය දෙන්නේ, නැවත අග්‍රවූවක් ලබයි. උතුම් දෙය දෙන්නේ, උතුම් දෙය ලබන්නෙක් වෙයි. ශ්‍රෙෂ්ටවූවක් දෙන්නේ, ශ්‍රෙෂ්ටවූ තැනට පැමිණෙයි.
(2) ’’යමෙක් අග්‍රවූ දෙය දෙන්නේ, උතුම් දෙය දෙන්නේ වේද, යම් මනුෂ්‍යයෙක් ශ්‍රෙෂ්ටවූ දෙය දෙන්නේ වේද, හෙතෙම යම් යම් තැනක උපදී නම්, ඒ ඒ තන්හි දීඝායුෂ ඇත්තෙක්, යශස් ඇත්තෙක් වේය’ යි වදාළ සේක. via Facebook Pages http://ift.tt/1GMS4Lf