New photo from Facebook April 19 2016 at 09:15AM

“කිසෙයින් මහණ මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම් සේ නම් ප්‍රිය වු මනවඩන්නා වු එක් පුද්ගලයෙකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන්ම සියලු සත්වයන් මෛත්‍රියෙන් ස්පර්ශ කෙරෙයි. එහි ‘මෛත්‍රි’ කවර යත්: සත්වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රි සහගත විමුක්තියෙක් වේද, මේ ‘මෛත්‍රි’ යි කියනු ලැබේ”

අභිධර්මපිටකය – විභංග ප්‍රකරණ, 13 වන අප්‍රාමණ්‍ය විභංගය

ද්වේශ සහගත සිත් ඇතිවීම පාලනය කිරීමට සෑම විටම මෙත් සිත පුරුදු කරන්න.

සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නය අමතා මෙසේ දේශනා කළ සේක. මහණෙනි! පින් කිරීමට බියවෙන්න එපා. පින් කියන්නේ පි‍්‍රය වූ මනාප වූ සැපයට නමක් මහණෙනි, මා විසින් බොහෝ කාලයක් සම්පූර්ණ කරන ලද පින්වල විපාක මම දන්නවා. සත් අවුරුද්දක් මෛත්‍රී සිත වැඩීමෙන් මහාකල්ප හතක් කාම ලෝකයට මම පැමිණියේ නැහැ. එනම් බ්‍රහ්ම ලෝකයේමයි වාසය කළේ.

කල්පයක් විනාශ වෙනකොට ආභස්සර බ්‍රහ්ම ලෝකයට එනවා. කල්පය හටගන්න අවස්ථාවේ හිස වූ බ්‍රහ්ම විමානයක උපදිනවා. ඒ බඹ ලොව කිසිම කෙනෙකුට විනාශ කරන්න බැහැ. අභිඤ්ඤා ඥානයෙන් යුතු මහා බ්‍රහ්මයෙක් වෙලා හිටියා. සත් අවුරුද්දයි මෛත්‍රී භාවනාව පුරුදු කළේ. බොහෝම ආනිසංස මම ලැබුවා. ලැබූ සැප සම්පත් අතර තිස්හතර වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදුනා. නොයෙක් වතාවත්වල දැහැමින් රාජ්‍ය කරන සත්වරුනින් යුක්ත වූ සක්විති රජෙකු වශයෙන් කීප වාරයක් උපන්නා. ප්‍රදේශ රාජ්‍ය ලැබූ වාර ගණන අප්‍රමාණයි. මහණෙනි! මට මෙවැනි සිතක් ඇතිවුණා. මට මේ තරම් සෘද්ධිමත් මහත් වූ සැප සම්පත් විඳින්නට මොන විදිහේ කුසලයක් ද කරලා තිබෙන්නේ කියලා. වෙන කිසිවක් කිරීමෙන් නොව, දන්දීම, ඉන්ද්‍රිය දමනය කිරීම මේ කුසල කර්මයන්ගේ විපාක තමයි මට ලැබුණේ.

ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් පංච ඉන්ද්‍රියන්ට පංච අරමුණු ලබාදීමෙහිලා බොහෝ මම ප්‍රවේශම් වුණා. ඇසට පෙනෙන දේ එයම ලෙස මම භාරගත්තේ නැහැ. කනට ඇසුණු ශබ්දය ශබ්දයක් ලෙස මම භාරගත්තේ නැහැ. ඒ අයුරින් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු සියල්ල කෙරෙහිම සිහියෙන් යුක්තව ඉවසීම කළා. අවුරුදු හතක් මෛත්‍රී භාවනා කළා. අවුරුදු හතක්ම කළේ මෙත් වඩපු එක ‘’මෙත්තස්ස භවඞ මෛත්‍රී’’ මිතුරු බව වැඩීම තමයි මෛත්‍රිය කියන්නේ.

මෛත්‍රීය වැඩීමේදී මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මම වෛර නො කරමි. ක්‍රෝධය නොකරමි. ද්වේශ නොකරමි. තරහා නොවෙමි. මෙනෙහි කරමින් බුදුරදුන් ප්‍රායෝගිකව ඒවාට ප්‍රවිශ්ට වෙමින් සිත, කය, වචනය තිදොරින් මෛත්‍රිය ක්‍රියාත්මක කළා. මෛත්‍රිය කරන අයුරු ප්‍රාර්ථනා කරමින් සිටියට වැඩක් නැහැ. මනා ඉන්ද්‍රිය දමනයකින් සියල්ල පාලනය කරගෙන ශරීරය පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන යථාර්ථයෙන් බොහෝමයක් උපේක්ෂා සෞම්‍ය, සිතිවිලි ඇතිව ජීවිතය ගත කරන්න. බෝධිසත්වයෝ සත්මසක් මෛත්‍රිය වැඩීම නිසා මහා කල්ප හතක් සැපයෙන් ජීවත්වෙන්න ලැබුණා.

මේ ගතවෙන්නේ මහා භද්‍රකල්පයක්. සම්බුදු රජාණන් වහන්සේලා පස් නමක් පහළවන කාලයක්. මේ වනවිට බුදුවරු සිව්නමක් පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, බුදුවරුන්, මතු පහළවන්නේ මෛත්‍රිය බුදුරදුන්ය. බුදුවරු ලෝකයට පහළ වන කාලයේ මෛත්‍රීය පැතිරවීමේ ගුණ මහත් ආනිසංස ගෙනෙනවා. මෛත්‍රීය වඩන්න. හෘදයාංගමව මෛත්‍රීය ආශිර්වාදාත්මකව පතන්න. සිත, කය, වචනය තිදොරින්ම මෛත්‍රිය වඩන්න.

ගේ, දොර, වත්තපිටිය, වටපිටාව, පාරතොට මේ සැම තැනක්ම පිරිසුදු කරන්න. පන්සල, වෙහෙර මළුව සියල්ල පිවිතුරු කරගන්න. ශරීර කෘත්‍යයන් සඳහා පරිහරණය කරන ස්ථානය, කනබොන තැන මේ හැමතැනම පිරිසුදු කරන්න. අරයා, මෙයා කරන කල් බලානොසිට ඔබ විසින්ම ඒ ස්ථාන අලංකාර කරන්න. මෛත්‍රී සිතින් පරිසරයට හිතකාමී ලෙස සිදුකරන මේ කටයුතු තුළින් පුද්ගලයා තුළ මෛත්‍රීය වැඩෙනවා. පුද්ගල වශයෙන්, සංවිධාන වශයෙන් මානුෂීය ගුණ ඉස්මතු කරගෙන රෝහල්, පන්සල්, පොදු ස්ථාන පවිත්‍ර කිරීමෙන්, අලංකාර කිරීමෙන් මෛත්‍රී සහගත කාය කර්ම නිසැකයෙන් සිදුවෙනවා. එසේ පිරිසුදු කරන කෙනාට මෛත්‍රීයේ ආනිසංස ලැබෙනවා.

දඹදිවෙන් ලංකාදීපයට පැමිණි විශාඛ තෙරුණුවෝ සිංහල දීපයේ සිතුල්පව්වේ වැඩසිටිමින් මහරහතන් වහන්සේලා හමුවේ කමටහන් ලබා ක්ලේශ ප්‍රහීණ කොට සැනසීම ලබමින් කාලයක් ගතකොට ගමරට බලා පිටත්වන්නට පටන්ගත් අවස්ථාවේ දෙවි දේවතාවන් අඬන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේ ගම, රට නොගොස් පිරිනිවන් පාන තෙක් මෙරටේ වැඩසිටියා. උන්වහන්සේ හැමවිටම මෛත්‍රී සිතිවිලි, මෛත්‍රී වචන, මෛත්‍රී‍්‍ර ක්‍රියා සිදුකරමින් තිදොරින් සංවරව වැඩසිටි නිසා දෙවියන් පවා විශාඛ හිමියන්ට පි‍්‍රයතාවයක් දැක්වූවා. මෛත්‍රී බලයේ ආනිසංස බොහොමයි. දරුවට, බිරිඳට, සැමියට, හදා වඩාපු මව්පියන්ට ශිල්ප දුන් ගුරු මෑණි පියවරුන්ට අත හිත දෙන හිතමිතුරන්ට සත්පුරුෂ උත්තම සමාජයට මේ හැම කෙනෙකු කෙරෙහිම මෛත්‍රිය වඩන්න. ඔවුන් සුවපත් වේවා! යැයි සිතමින් ක්‍රියා කරන්න. පරිත්‍යාගශීලිත්ව පුරුදු කරගන්න. වටිනා ධර්මතා මනුෂ්‍ය ජීවිතය තුළට එකින් එක සම්බන්ධ කරගන්න. මුතු පොටකට මුතු අමුණනවා වගේ මෛත්‍රී සිතිවිලි පැතිරීම තුළින් තම තමන්ගේ යුතුකම් කොටස් සමාජයට ඉටුවෙනවා. පරිසරය සුරැකුවා වෙනවා. සමාජ ජීවිත සැපවත් කරගන්න පිහිට වූවා වෙනවා. වර්තමානයේ පුද්ගලයා බොහෝ ව්‍යසනවලට පත්වන්නේ තමා විසින්ම ඇතිකර ගන්නා කරදර නිසයි. පිරිසුදුකමට, අලංකාරකමට අවධානය යොමු නොකොට පැහැරහැරීම අප විසින්ම දුකට පත්වීමක්. තව කෙනෙකු කරනකල් ඉන්න එපා පිරිසුදුව වැඩකරමින් තමාගෙන් මිත්‍රත්වය ඇතිකරගන්න ආරම්භ කරන්න. ඔබට ඔබ මිතුරුනම් කාලය කා දමන්නෙ නැහැ. වැඩකටයුතු අතපසු කර නොගෙන පමා නොවී ක්‍රියා කරන්න. සියලු අඩුපාඩුකම්, අමතක කොට බැරිවීම් වැරැදීම් පසුගිය කාලයේ සිදුවුන දේ අමතක කොට ඉන් අත්දැකීම් ලබාගෙන ඉදිරිය නිවැරැදි කර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. මෛත්‍රී සිතිවිලි ඇතිව පහරදීම් පළිගැනීම් වලින් බැහැරව කටයුතු කරන්න. යම් ඉලක්කයකට එනවිට බාධාකළ පුද්ගලයන් කෙරෙහි වෛර සිතිවිලි ඇතිකර ගන්න එපා. වෙනත් අයෙකු තමන් පත් වූ අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගන්න එපා. via Facebook Pages http://ift.tt/1GMS4Lf