New photo from Facebook April 25, 2016 at 08:48AM

උපතින් ම ඔහු මහා දුප්පතෙක් නොවෙයි. මහා පොහොසතෙක් නො වුණ ද උපන්දා සිට වේලක් වැරදුනා මතක නැත. හිසට වහලක් සහිතව සෙනෙහෙබර දෙමාපිය සෙවණේ දයාබර සහෝදර සහෝදරියන් සමඟ සතුටින් සෙනෙහසින් ගෙවූ කාලයක් තිබුණි. සහෝදරයන් සේ ඇසුරු කළ හොඳ මිතුරු පිරිසක් ද ලැබුණි. නෑදැ හිත මිතුරන් ද සිටියහ. වැදගත් යැයි සම්මත උගත් දෙමාපියන්ගේ නොමඳ ආරක්ෂාව යටතේ ගෙවූ ළමාවිය සුන්දර ය. වැලිබත් උයා තමාට ද අනා කැවූ සහෝදරියන් දැක්වූ සෙනෙහස යළි මතකයට එද්දී හිත හිරිවැටී යයි. කොළ ගුලිවලට රබර්පටි ඔතා, පැන්සල් පෙට්ටියෙන් ගසා, කී‍්‍රඩා කර ලකුණකට රණ්ඩු වී, දබර කර ආයෙ යාළුවෙන මිතුරන් ද සොයුරන් ද සමඟ ගෙවූ ළමා විය.. සැබැවින් ම බොහෝ සුන්දර ය. නමුදු.. සුන්දරයි කියා සිතා සිටි එ් අතීතයන් දැන් බොඳවූ සිහිනයක් මෙන් අමතක වූ මතකයකි. සියල්ල අතීතයට එක්වී හමාර ය. ගෙවී ගියේ ජීවිතය ය… හැම දෙය ම වෙනස් වී යන්නට ගතවූයේ සුළු කලකි. දියේ ඇන්ද ඉරක් වගේ ය… රැයෙහි ගැසූ අකුණක් වගේ ය.. ජීවිතේ අවසාන භාගයට පැමිණ සිටියි. එ් තිබුණු රූපය වෙනස්වී ඇති බව් හැෙඟන්නේ ඉදුණු රැවුල් කොටවලිනි. ගැලවී ගිය දත්වලිනි. සුදුවී ගිය කෙස්වලිනි. නමුදු තවමත් සිතන්නට බැරි ය. හිතේ තරුණ බව තවමත් තිබෙන්නාක් මෙනි. වයසට ගියපු ජීවිතයක් දැන්ම උදා වෙයි ද?

කුඩා වියෙහි දී මෑණියන්ට අවශ්‍ය වූයේ තම පුතණුවන් ‘ඉංජිනියර්’ කෙනෙක් කරන්නට ය. පියාට ඕන වුණේ සල්ලිකාරයෙක් කරන්නට ය. අක්කට ඕන වුණේ මල්ලිව ‘බ‍්‍රයිටෙක්’ වීම ය. හැමෝම පැතුවේ ඔහුගේ දියුණුව ය. සැබෑ දියුණුව යයි ඔවුන් සිතා සිටි දියුණුව ය. සැම දෙනාගේ ම පැතුම් සඵල විය. ඔහු දියුණු කෙනෙක් විය. ඔහු BSc සමත් ය. MSc සමත් ය. PhD සමත් ය. ගෙවී ගියේ ජීවිතය යි. ඉවර වුණේ ආයුෂය යි. කරකාර ආවේ ද එවැනි ම යුවතියකි. සිතුවේ සම අදහස් ඇත්තියක් කියා ය. BSc සමත් ය. MSc සමත් ය. PhD කරන්නී ය. උගත් ය. බුද්ධිමත් ය. තරුණ ජීවිතය ගෙව්වේ සාද ප‍්‍රියසම්භාෂණ මැද ය. Night Club” Dinner Dance මැද ය. කොක් හඬලා සිනාසීම් මැද ය. ‘‘ජීවිතය enjoy කරනවා.” කියා ය කිව්වේ. ගෙවී ගියේ ජීවිතය ය. දින දින අහිමි වුණේ ආයුෂය ය. හරි ය කියා කළ වැරදි දේවල්… අහෝ සිටි මුළාව… හැමදාමත් හෙව්වේ සතුට ය. සතුට හොයා කළ දේවල්… අරටු සොයා කෙසෙල් වනයට වැදුනා සේ ය. වනය ම කැපුවත් ලැබුණු අරටුවක් නම් නැත. අද සතුට සොයා එ්ක කළේ ය. ඊයේ සතුට සොයා මේක කළේ ය. හෙට සතුට සොයා අරක කරමි. ‘සතුට’ සොයා නො කළ දෙයක් නැත. මිරිඟුවට රැුවටුණු මුව පැටවුන් මෙනි. අවසානයේ උරුම වූයේ දුක ම ය.

දරුවන් හැදුනේ ද බටහිර පන්නයට ය. ‘තාත්තේ’ කිව් දවසක් මතක නැත. බුලත් අතක් දී වැන්දා මතක නැත. එ්වා හණමිටි අදහස් ය. පරණ කාලෙ මිනිසුන්ගේ ගොන් වැඩ ය. දුවලා කිව්වේ එලෙස ය. හරි ද? වැරදි ද? කල්පනා නො කළ එක වරදකි. වුණ වැරදි හදන්නට දැන් පමා වැඩි ය. ජීවිතය මැදි වියට යද්දී, පිටරටකට ගියේ මෙරට ලැබෙන වැටුප උගත්කමට වඩා මදි වූ නිසාවෙනි. හිතා සිටියේ වෙන දෙයකි. සිදු වූයේ තව දෙයකි. ජීවිතය අපට අවනත නොවන හැටි… දරුවන් ද පිටරට තරුණයන් සමඟ හාද වී ඔවුන්ගේ ජීවිත හදා ගත්තෝ ය. ප‍්‍රිය බිරිඳ ද වෙනතක ගියා ය. සල්ලාල ජීවිතයකට කරුණු කාරණා ගෙතිනි. ඉන්පසු සිදු වූයේ ම සිදු නො කළ යුතු දේවල් ය… බිඳෙන් බිඳ ගෙවී ගියේ ජීවිතය ය.

වයසට යන ජීවිතය දැක ‘අනේ.. මම වයසට යන කෙනෙක්නේ.” යැයි සිතන්නට කාලයක් නො වුණි. ලෙඩ වෙන ජීවිතය දැක ‘අනේ.. මම ලෙඩ වෙන කෙනෙක්නේ.’ යැයි සිතන්නට මොහොතක් නො තිබුණි. ප‍්‍රිය දේට ඇලී, ගැලී බැඳී සිටිද්දී ‘අනේ මට මේවායෙන් වෙන් වෙන්න වෙනවනේ.’ යැයි කියා හීනෙකින්වත් නො සිතුණි. මැරුණු මිනිසුන් අනන්ත දකිද්දීත් ‘අනේ මමත් මැරෙනවනේ.’ කියා සිතන්ට බැරි වුණි. හැමදාම ජීවත් වන කෙනෙකු ලෙස ගෙවා දැමූ කාලය… ගෙවී ගියේ ජීවිතය යි.

ළිඳක් කපන්නට කාලය පැමිණි කල ළිඳ කැපීම කල් යවා, හිඳ මැරෙන්න තරමට තිබහ හැදුණු කල, ළිඳ කපන්නට උත්සාහ ගැනීමෙන් සිදුවන යහපත කිම? යන්නට ඇති ගමනාන්තය ගැන හරිහැටි අවබෝධයෙන් සිටියා නම් මඟ දී ගැනීමට ප‍්‍රයෝජන පිණිස කලින් ම ළිඳ කපා ගත යුතුව සිටි අප, ගමන ගොස් වෙහෙස වී මැරෙන්න වැටුනු විට ළිං කැපීමක් කෙසේ කරන්න ද?

කුඩා කල පටන් ම මේ මොහොත දක්වා ආ ගමන ගැන සිහි කරද්දී, යන්න ගිය ගමන ගැන ලැජ්ජා හිතේ. එක වසරෙන් දෙක වසරට, ප‍්‍රාථමිකයෙන් මහ විදුහලට, සාමාන්‍ය පෙළින් උසස් පෙළට, එතනින් සරසවියට ගිය අපට රස්සාවල්, පරස්තාවල් ගැන හොයද්දි අමතකව ගිය ගමනාන්තය ගෙවල් හදද්දි, ළමයි හදද්දී, ළමයි ඉස්කෝලෙ යවද්දි, වාහන ගනිද්දි, ලීසිං දාද්දිවත්, ඉන්ෂුවරන්ස් ගෙවද්දිවත් සිහි නො වුණ හැටි… හැමදාමත් හෙව්වේ සැප සතුට ය. කවදාවත් නො ලැබුණේ ද එය ම ය…

බලූ කුක්කා මස්කටු කනවා මෙනි. මස් සුවඳ චුට්ටකි. නමුත් හපන්නට කටු ගොඩකි. මුළු ජීවිතය ම ‘කටු කෑමක්’ පමණි. මස් කොටයයි, පොරවයි මෙනි. කොටේ උඩ මස් තබා කපා අවසානයේ කැපූ දෙයක් කොටේටත් නැත. පොරවටත් නැත. මෙලෙස ගෙවී යන ජීවිතය අවසන් වන්නේ කුමකින් ද? දැන්වත් ජීවිතයට හරයක් එක්කළ යුතු ය. නොමැරෙනා එවුන් ලෙස ජීවත්වීම අත්හැර දැමිය යුතු ය. වයසට යන ජීවිතය ගැන සත්‍ය කල්පනා කිරීමට කාලය හරි ය. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා කියන්නේ එක ම දෙයකි. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යය එය ය. එ් හිතේ උපන් කරුණාවන්තකම ගැන දැන්වත් හිතමු ද අපි? උතුම් සම්බුදු වදන් සරල බසින් කියා දෙන්නේ අපිට ඇති සෙනෙහස නිසාවෙන් ම ය. සැඟවෙන්නට ගිය උතුම්ම මැණික ඔප නංවා දී හමාර ය. මැණිකේ අගය නිර්ණය කිරීම තම තම නැණ පමණට අයත් දෙයකි. හැමදාමත් උදේ හවස දෙසවන් පුරා අසන්නට බණපද ඇතිතරම් ය. නෙතුපුරා කියවන්නට උතුම් බුදු වදන් ඇති තරම් ය. අසන්නන් ද බොහෝ ය. කියවන්නන් ද බොහෝ ය. අහෝ… එය කරන්නට කෙනෙක් නැති හැටි…

ගෙවා ආ සසර ගමන ගැන පුන පුනා අසා ඇත්තෙමු. අස අසා කියා ඇත්තෙමු. අහෝ සසර භය දැණුන හිතක් හැදුණෙ නැති හැටි… ගස්වල ගෙඩි වැටෙනවා වගේ මිනිසුන් මිය යති. කුඩා දරුවෝ ද මිය යති. මිය ගිය දරුවා බදාගෙන වැළපෙන අම්මලා ගැන ‘අනේ උපනූපන් ආත්මෙකට මෙහෙම වෙන්නෙපා…’ යැයි පතන අම්මලා ද මිය යති. ‘අනේ අපිටත් එහෙම නින්ද ගියා වගේ මැරෙන්න පුළුවන් වෙනවා නම්, අයියෝ හෙණ වැදිල නම් මැරෙන්න එපා’ කියා පතන අය ද මිය යති. මිතුරන් සමඟ විනෝද ගමන් ගිය, කා බී නටා රැයෙහි නිදාගෙන උදේ නොනැගිට අවසන් ගමන් ගොස් සිටින තරුණ පුතාගෙ වියෝව දරාගත නො හැකිව හඬන තාත්තලා ද මිය යති. මරණයෙන් මිදුනු කෙනෙක් සිටියි ද? කවුරු නමුත්, කොතනක දී නමුත්, කෙලෙසක හෝ මිය යති. ජාති භේද, ආගම් භේද, කළු සුදු ආදිය මරණයට අදාළ නැත. අපි කවුරුත් කවදා හෝ මරණයට මුහුණ දිය යුතු ය.

සල්ලි තිබුණා කියා වයසට නො යා ඉන්නේ නැත. වස්තුව තිබුණා කියා නො මැරී ඉන්නේ නැත. තනතුරු තිබුණා කියා ලෙඩ නොවන කෙනෙක් නැත. ඉපදීම නිසා උරුම වූ යම් දුකක් වෙයි නම් එ් සියලූ දුක් ඉපදුණු අපිට උරුමව ඇත. ධර්මයේ දූපතට පිහිනීම තමා සතු ය. තමාට තමා පිහිට සලසා ගැනීම ද තමුන් සතු ය. කාර්යබහුල බව, අවිවේකී බව ආදි කාරණා යම රජුට අදාළ නැත. තම තමාගෙ පිරිසිදු බව – අපිරිසිදු බව තම තමා අත ය. මරණින් මතු ඉපදීම සිදුවන තැන ජීවත් වී සිටිද්දී ම නිශ්චය කර ගත යුතු ය. ධර්මයෙන් පිට රැුකවරණයක් නැති බව සියල්ලන්ට ම වැටහෙයි නම්.. අනේ මේ ලොව කොයි තරම් සොඳුරු වෙයි ද…?

මේ පිටුව කියවා ඊළඟ පිටුව හරවද්දී, අපි මිය යන්ට ඕන තරම් කරුණු කාරණා සකස් වී තිබෙනවා ඇත. කොහේ කොහොම උන්නත් මරණය නිසැක ය. එසේ මිය යද්දී, රැගෙන යන්නට තමා සන්තකයේ රැස් කරගෙන සිටිනුයේ BSc ද?, MSc ද?, PhD ද?, නැත්නම් වෙනත් උපාධියක් ද? වෙනත් තනතුරු තානාන්තරයක් ද? සම්මානයක් ද? දේපළ වස්තුවක් ද? කියා සිතා බලන්නට දැන් කාලය එළඹ ඇත… අපේ කථාව කඳුළු කථාවක් නො වන්නේ එවිට පමණක් ම ය.

සටහන
නදීක විපුලගුණ via Facebook Pages http://ift.tt/1GMS4Lf