New photo from Facebook April 28, 2016 at 12:00PM

අප දන්නවා කඳු මුදුනකින් හටගන්නා ගංඟාවක් ස්වභාවයෙන් නිරායාසයෙන් පහලට ගලනවා. ඒකට කවුරුවත් පෙළඹීමක් කරන්නේ නැහැ. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ස්වාභාවිකව පහළට ගලන ගංඟාවක ජල ධාරාව දකින නුවණැති සත්පුරුෂයෝ කල්පනා කරනවා මේ ගඟේ වතුර ගඟේ තිබෙනකම් හොඳයි. නමුත් මුහුදට ගියාට පස්සේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ නිරායාසයෙන් නිරපරාදේ මහ මුහුදට ගලන ජලය වැඩක් ගන්න බැරිද? කියලා. නුවණ මෙහෙයවලා මහ මුහුදට ගලාගෙන යන ගංඟාවෙන් ප්‍රයෝජන ගන්නවා. සැලසුම් හදලා ගංඟා ඇළදොළ හරස් කරලා බැමි බැඳලා උමන් මාර්ග ඇල මාර්ග හදලා වෙනත් වෙනත් ප්‍රදේශවලට මේ වතුර අරගෙන ගිහිල්ල ජල විදුලිය නිපදවල නොයෙක් ආකාරයෙන් මිනිස් ප්‍රයෝජනය සඳහා ගන්නවා. නිකරුනේ මුහුදට ගැලු ජලය මිනිසාගේ සැප පිණිස යොදා ගන්නවා. දැන් මුහුදට ගැලූ ගංඟාව වෙනත් දිසාවකට හරවලා සැප පිණිස යොදා ගන්න පුළුවන් වගේ,

උපතේ සිට මරණය දක්වා සතර අපාය දෙසට ගලන මේ චිත්ත දහරාවන් වෙනස් කර ගන්න පුළුවන්. ඒ වෙනස් කරන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ.

අපේ මිනිස් ජීවිතය උපතේ සිට මරණය දක්වා ගලන ස්වභාවයෙන් ගලා යනවා නම් එහි කිසිදු වටිනාකමක් නැහැ. අපේ ජීවිතවල වටිනාකමක් ගොඩ නැගුණොත් ඒ වටිනාකම ගොඩ නැගෙන්නේ ඒ ගලන ගඟ වෙනස් කරන්න යම් උත්සාහයක් කරයි ද ඒ මතයි. ඒ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ගලන ගඟේ ගමන් මඟ වෙනස් කරලා බැමි බැඳලා හරස් කරලා උමන් මාර්ග ඇල මාර්ග ඔස්සේ මිනිස් සැප, දෙව් සැප, බඹ සැප, ලොවුතුරු නිවන් සැප පිණිස මෙහෙය වන්න කියා දුන්නා. ගමන් මඟ ලෝකයට දේශනා කළා. ඒ නිසා වටිනා මිනිස් ආත්මභාවයක් දුර්ලභ ව ලැබුව. අප එහි වටිනාකම තව තවත් වැඩිකර ගන්නට නම් ඒ මිනිස් ජීවිතයේ වටිනාකම දියුණුකර ගන්න නම් උන්වහන්සේ මේ ගමන් මඟ වෙනස්කර ගැනීමට කුමක් දේශනා කළේ ද කියා විමසා බැලිය යුතුයි. එහෙම විමිසීමක් නොකොළත් මරණයත් සමගම නැවතත් අප මිනිස් ලෝකයට කල්ප ගණනකින් එන්නට නො හැකි වූ ලෝකවල උප්පත්ති ප්‍රතිසන්ධියක් ලබාවි. අපට වටිනා මිනිස් ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒක නිකම්ම නිකන් මිනිස් ආත්මයක් නොවේ. බුදු සසුනක් ඇති කාලෙක සද්ධර්මය පවතින යුගයක කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලබන්නට පුළුවන් ඉඩකඩ ඇති වටපිටාවකයි අප මේ මිනිස් ආත්මභාවය ලබා තියෙන්නේ. අප සංසාර් නොයෙක් ආත්මවල ඉපදෙන්නට ඇති. ඒ වගේම බුදුවරුන් ලොව පහල වෙන්නත් ඇති. හැබැයි අපට මේ වාසනාව මේ භාග්‍යය උදා වුනේ නැතිව ඇති.

සමහර ආත්මභාවල අප උපන්නා සතර අරූපි බඹ තලවල. ලොවුතුරා බුදුවරු ලොව පහල වුණා. ධර්මය නමැති දඬුවටේ පහන් දල්වලා ලෝකය ඒකාලෝක කළා. ඒත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න බුදු බණ පදයක් අහන්න ඇසක්, කණක්, නාසයක්, දිවක්, කයක් තිබුණේ නැහැ. ඒ පහල වූ බුදුරවරුන් පිරිනිවී යන්න ඇති. තවත් සමහර යුගවල බුදුවරු ලොව පහල වුණා. සද්ධර්ම වරුසාව වැස්සා. එය ලොව සිසිල් කරන්න ඇති. ඒ වන කොට අප තිරිසන් පේ‍්‍රත, අසුර, නිරය සතර අපායේ වෙන්න ඇති. එදත් අපට මේ ලාභය අහිමි වී යන්නට ඇති. තවත් සමහර කාලවල ලොව්තුරා බුදුවරු ලොව පහල වෙන්න ඇති. දහම් සිසිලෙන් ලොව සිසිල් කරන්න ඇති. ඒත් ඒ වෙනකොට අප අසංඥ තලයේ ඉපදිලා. කය පමණක් තිබෙනවා බුදුගුණ හිතන්න දහම් පද විමසන්න චිත්ත චෛතසික ධර්ම නැහැ. රූපයක් පමණක් ඇති අසංඥ තලයේ ඉපදිලා. ඒ කාලයෙත් බුදුවරු ඉපදිලා පිරිනිවී යන්න ඇති. ඒ නාමය අපට නොලැබී යන්න ඇති. ඒ වගේම තවත් කාලයක අප පිටසක්වල ඉපදිලා ඉන්න ඇති. තව වාරයක අප මිසදුටු ආත්මභාවවල ඉපදිලා තුනුරුවන් අගුණ කිය කියා අගුණ සොය සොයා ප්‍රමාද වෙන්න ඇති. ඒ වාරයෙත් ධර්මය දේශනා කරමින් බුදුවරු ලොව සනසන්නට ඇති. අප මිනිස් ලෝකයේ ඉපදිලා මන්දබුද්ධිකව ඉන්න ඇති. අපට සද්ධර්ම ලාභය එවිටත් අහිමි වෙන්න ඇති.

සමහර කාලයේදී අප මිනිස් ලොව දුර්ලභව ඉපදුනත් මේ සසර දුක දැනුනත් සසර දුකෙන් එතෙර වෙන්න කැමැතිව තිබුණත් සද්ධර්මය ලොව නො තිබෙන්නට ඇති. නමුත් දැන් අප ඉපදිලා ඉන්නේ සතර අරූපි බඹ තලයකත් නොවේ. සතර අපායෙත් නොවේ. අසංඥ තලයෙත් නොවේ. පිටසක්වලත් නොවේ. අංගවිකල හෝ මන්දබුද්ධිකවත් නොවේ. මිසදුටුවෙලත් නොවේ. දැන් දුර්ලභ කාරණා එකතු වෙලා තියෙනවා. ඒකයි අපේ ජීවිත හුඟක් වටින්නේ. හැබැයි මේ ඔක්කෝම එකතු වෙලා දුර්ලභව ලැබුණු එක්තැන් වීමක්. හඳුනාගෙන නිසි ලෙස ප්‍රයෝජනයට නො ගත්තොත් මේ ලබාගත්ත ජීවිතය ඉතාමත් අවාසනාවන්ත අභාග්‍යසම්පන්න වෙනවා. සතර අරූපි බඹ තලයක ඉපදිලා බුදුවරු හමුනොවීම සාධාරණයි. සතර අපායේ ඉපදිලා බුදුවරුන්ගේ දහම හමු නොවීම සාධාරණයි. පිටසක්වල අසංඥතලවල ඉපදිලා මන්දබුද්ධික වෙලා ඒ ඇසුර නො ලැබීමට සාධාරණ හේතු තිබෙනවා. හැබැයි දැන්නම් අපට කිසිම සාධාරණ හේතුවක් නැහැ. ඒක අත හරින්න මඟ හරින්න. දැනුත් ඒ අවස්ථාව අපෙන් බැහැර වෙනවානම් ඒ තරම් අවාසනාවක් මේ සසර ගමනේ අප අත්වින්ද කියලා කියන්න බැරි වෙනවා. ඒ නිසා ඔබෙත් මගෙත් ජීවිතය හරිම වටිනවා. මේ තරම් වටිනා දුර්ලභ අවස්ථාවක් ක්ෂණ සම්පත්තිය සහිතව මේ තරම් වාසනාවන්ත. මොහොතක් දිගු සසර ගමනේ කවදාවත් නො ලැබේවි. ඒ ලැබුණ අති දුර්ලභ අවස්ථාව මඟ හැරුණොත් මඟ හරවා ගත්තොත් අපට නැවත වතාවක් මේ සොඳුරුතම අවස්ථාව තව කල්ප කීයකින් ලැබේවිද කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අප කවුරු කවුරුත් මේ මිනිස් ජීවිතය ගැන හිතලා මෙහි ඇති දුර්ලභ බව ගැන හිතලා මේ මිනිස් ජීවිතයට එකතු වුන පරම දුර්ලභ අවස්ථාවන් ගැන හිතලා මේ ජීවිතය තුළින් අප කළයුතු කරගත යුතු දේ කුමක් ද කියලා ගැඹුරින් කල්පනා කළ යුතු අවධියයි උදාවෙලා තිබෙන්නේ.

ලොවුතුරා තථාගතයන් වහන්සේ ලොව පහල වෙලා පිරිනිවී ගියා. මිනිස් ලොව අපට උපදින්න ලැබේවිද කියලා කාටද කියන්න පුළුවන්. දෙව්ලොව උපන්නත් සතර අපායේ උපන්නත් මේ අවස්ථාව මේ ලාභය සමහර විට අහිමි වී යන්න පුළුවන්. ඒ නිසා අපට මේ ජීවිතය බොහෝම වටිනවා. මේ මොහොත බොහෝම වටිනවා.

ඒ නිසා අප මේ ජීවිතය තුළ වඩාත්ම කළයුතු කරුණු කාරණා මොනවාද කියලා මේ ලබාගත් දුර්ලභ අවස්ථාවෙන් මොනවද කළ යුත්තේ මොනවද උරාගත යුත්තේ කියලා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් වහ වහා සොයා බැලිය යුතු අවස්ථාව උදාවෙලා තියෙන්නේ. ජීවිතය කියන්නේ කොයි මොහොතේ මරණය කියන ධර්මතාවයට මුහුණ දෙන්න වේවිද කොයි වෙලාවේ ලෙඩ ඇඳට වැටේවි ද කියා කියන්න බැරි අවදානම් තැනක්. අද අප කොතරම් සවිමත්ව සිටියත් හෙට දවස වෙනකොට මොනවගේ අසරණ තත්ත්වයකට පත්වේවි ද කියන්න බැහැ. ඒ නිසා මට ලැබුණු බුදු උපතින් ලැබුණ සද්ධර්මය ලාභයෙන් ලැබුණ දුර්ලභ මිනිස් භාවයෙන් ප්‍රයෝජන ගන්න ප්‍රමාද කරන්න පුළුවන්කමක් නැහැ. දැන් ඒ අවස්ථාව ළඟ ඇවිල්ලා . ප්‍රමාද වෙන්න අත හරින්න වෙලාවක් නැහැ. හෙට ට කල් දාන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අද අද මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කළ යුතුයි.

තෙරුවන් සරණයි!

පිටිගල ගුණරතන හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! via Facebook Pages http://ift.tt/1GMS4Lf