New photo from Facebook July 24, 2016 at 12:00PM

මේ ඉතා වැදගත් පොත්පෙළ පිලිබඳ හැඳින්වීමක් පහතින් දැක්වේ.
භාගත කිරීම (Download 3.3 GB) -> http://ift.tt/2ajG2NV

==බුදු වදන සුරැකුමට උර දුන් හේවාවිතාරණ පරපුර==

අන්ධකාර සමයක වැළලී යා නොදී, බොහෝ කල් පවත්නා පිණිස ත්‍රිපිටක – අටුවා – ටීකා ග්‍රන්ථ මුද්‍රණයට කැප වී, ඉමහත් මෙහෙවරක් ඉටු කළ හේවාවිතාරණ පරපුර පිළිබඳ සැමරුමකි.

බුදු රජාණන් වහන්සේගේ මුල් බුද්ධ දේශනාව ඇත්තේ පාලි භාෂාවෙනි. පණ්ඩිත ප්‍රතිරූපකයන් මොනවා කීව ද බුදුන් වහන්සේ දම් දෙසුවේ පාලි භාෂාවෙනි. එය එසේ නො වේ යැ යි ඔප්පු කරගැනීමට තරම් සාධක කිසිවක් ඒ කිසිවකුට මේ වන තුරු ඉදිරිපත් කිරීමට හැකි වී නැත. මනෝමූලික ව කැරෙන පුහු තර්ක මගින් පාලි භාෂාවෙන් ඉදිරිපත් ව ඇති බුද්ධ දේශනා ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. එබැවින් එම පාලි බුද්ධ දේශනාව ද එහි අර්ථ ප්‍රකාශ කැරෙන පාලි අටුවාව ද රැකගැනීම බුදු සසුන රැකගැනීම වේ. කලක් තිස්සේ පුස්කොළ පොත් අතර පැවතී භාවිතයෙන් ඈත් වීමට සූදානම් ව තිබූ අප ශාස්තෘ තථාගත වචනය රැකගැනීමට මෑත ඉතිහාසයේ දී මුල් වූයේ හේවාවිතාරණ පවුල යි. “බුද්ධ වචනය ඇත්තේ පාලි භාෂාවෙනි, ධර්මයේ පිරිසිදු අර්ථ මතු කරගත හැක්කේ පාලි භාෂාවෙන් ම එම බුද්ධ වචනය අටුවා සහිත ව හැදෑරීමෙනි. එය රැකගැනීම අපගේ වගකීම යි, එයට සිංහල හෝ ඉංගී‍්‍රසි භාෂාවන්ගේ පිහිට පැතිය යුතු නැත” යන ස්ථාවරය හේවාවිතාරණ මුද්‍රණ භාරය සතු විය.

වත්මන් ශ්‍රී ලංකාවේ සියලු පාලි හා බෞද්ධ අධ්‍යයන විද්වතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ අපේ ම ධර්ම ග්‍රන්ථ සේවයක් ඇති නම් එය වනාහි හේවාවිතාරණ ධර්ම ග්‍රන්ථ මුද්‍රණ සේවය යි. එය දෙවැනි වුව හොත් දෙවැනි වන්නේ බුද්ධ ජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට පමණි. බුද්ධ ජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ දී ත්‍රිපිටක ග්‍රන්ථ පමණක් ඉදිරිපත් කැරේ. එහෙත් මෙම හේවාවිතාරණ භාරය මගින් ත්‍රිපිටක, අටුවා, ටීකා, ශබ්දකෝෂ හා වෙනත් ධර්ම ග්‍රන්ථ ද සම්පාදිත ව ඇත. දැනට මා දන්නා තරමින් ඉතා ම අඩු මිලකට (මුද්‍රණ වියදම වත් නොතකන තරමින්) ලබාගත හැකි එක ම ධර්ම ග්‍රන්ථ පන්තිය වශයෙන් මෙය දුප්පත්-පොහොසත්, ආධුනික- ප්‍රවීණ විද්වතුන්ගේ නොමඳ පැසසුමට ලක් වේ. මෙකී කරුණු මත හේවාවිතාරණ පොත් පෙළට හිමි ව ඇත්තේ අද්විතීය ස්ථානයකි. අනගාරික ධර්මපාල යුගයේ පටන් මේ දක්වා නොසිඳ පවත්නා මෙම දහම් ගඟුල අදට ද මරදාන මාළිගාකන්ද මහාබෝධි පුදබිමේ සිට ලොව පුරා දම් අමා දිය බෙදා හරිමින් ගලා බසී.

මෙම ධර්ම ග්‍රන්ථ සේවය ආරම්භ කළේ හේවාවිතාරණ පවුල විසිනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා මෙහි අධ්‍යක්ෂ වශයෙන් නොපටු මෙහෙවරක් ඉටු කළේ ය. දොන් කරෝලිස් හේවාවිතාරණ මුඳලිඳුට ඩේවිඩ් (පසු ව අනගාරික ධර්මපාල), එඩ්මන්ඩ්, සයිමන්, චාර්ල්ස් යනුවෙන් පුත්‍රයෝ සිව් දෙනෙක් වූ හ. මොවුන්ගෙන් තුන්වැන්නා වූ සයිමන් හේවාවිතාරණ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ඉංගී‍්‍රසි, ලතින් ආදි භාෂාවන්හි ද, ගණිත, මිණිත, වාණිජ ආදි ශාස්ත්‍රයන්හි ද මනා දැනුමක් ලබා තිබුණු ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ද විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් අභිධර්මයෙහි චිත්ත චෛතසික ධර්ම පිළිබඳ හොඳ දැනීමක් ලබා සිටි හෙතෙම බුද්ධ ධර්මය පිළිබඳ ව මනා අවබෝධයකින් ක්‍රියා කළ අයෙකි. වසර තිස්හතක් තරම් කෙටි කලක් ජීවත් වූ එතුමා අවසන් කාලසීමාවේ දී බෙහෙවින් රෝගාතුර විය. සසුනට කළ යුතු නියම සේවය කිරීමට අදිටන් කරගත් ඔහු ඒ වෙනුවෙන් සිය අන්තිම කැමැති පත්‍රය ලියා තැබුවේ ය. එය වගන්ති හයකින් සමන්විත වූවකි. ඒ අනුව:

01. දැනට තමන් ආරම්භ කොට ඇති පරිදි සූත්‍ර ධර්ම දේශනා සම්පූර්ණයෙන් සිංහල අකුරෙන් මුද්‍රණය කොට ප්‍රකාශනයට පත් කිරීම

02. ත්‍රිපිටක පොත් පඞ්ක්තිය ඉතා හොඳ කඩදාසිවල මුද්‍රණය කිරීම

03. විද්‍යොදය පිරිවෙනේ මහා ධර්ම ශාලාව සැදීම වෙනුවෙන් එකතු කරන්නට යන අරමුදල ඇරඹීමට රු.1500ක් දීම.

04. මාළිගාකන්දේ ආවාස ගෙයක් තැනීම

05. බුද්ධාගමේ හෝ වෙනත් ආගමක හෝ කරන කුමන හෝ පුණ්‍ය ක්‍රියාවකට අවුරුදු පතා රු.600 බැගින් දීම.

06. අභිධර්මය ඉගැනීමට සමර්ථයා වශයෙන් අවුරුදු පතා තෝරාගනු ලබන අයට මසකට රු.20 බැගින් ගෙවන ශිෂ්‍යත්වයක් පිහිටුවීම යන කොන්දේසි එහි ඇතුළත් විය.

මෙතුමාගේ අභාවයෙන් පසු ව ධර්මපාලතුමා 1913 ජනවාරි 23 වනදා ‘සිංහල බෞද්ධයා’ පුවත්පතෙහි සිය සොහොයුරා පිළිබඳ ව ලිපියක් පළ කළේ ය. ඉන් කොටසක් මෙසේ ය:

“අමෙරිකන් පණ්ඩිත ලැන්මැන් මහතා සමඟ අන්තිම දක්වා ලියුම් ගනුදෙනු කරගත්තේ ය. ලැන්මැන් උන්නැහේගේ ඕනෑකම පිට පාලි අට්ඨකථා සිංහල අකුරෙන් මුද්‍රණය කරන්නට වැඩ ආරම්භ කෙළේය.” (තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ‘සෝමාවතී හේවාවිතාරණ මැතිනිය’ කෘතිය, 32 පිටුව).

මුලින් ම ත්‍රිපිටක පොත් මුද්‍රණය කිරීමට සූදානම් වූ සයිමන් හේවාවිතාරණ මහතාට ලැන්මැන් පඬිතුමා උපදෙස් දුන්නේ “ත්‍රිපිටක පාළිය දැන් දුර්ලභ නැත, සියම් බුරුම සිංහල ඉංගී‍්‍රසි අකුරුවලින් මුද්‍රණය කොට සුලභ වෙයි, එහි අටුවා වනාහි සියලු ආකාරයෙන් මුද්‍රණය කොට නැති බැවින් සුලභ නො වේ, එබැවින් ඔබ විසින් පළමුවෙන් අටුවා මුද්‍රණය කළ යුතු ය” යනුවෙනි. එතුමාගේ එම ඉල්ලීමට අනුව පළමුවෙන් අටුවා සකස් කිරීම ආරම්භ විය. සංයුත්තනිකාය අටුවාව මුලින් මුද්‍රණය කිරීමට සූදානම් වුව ද එහි වැඩ කරගෙන යන අතරතුර සංශෝධක හිමි නම අපවත් විය. සයිමන් හේවාවිතාරණ මහතාගේ ද අභාවයෙන් පසු එතුමන්ගේ දෙටු සොහොයුරු එඩ්මන්ඩ් මහතා ත්‍රිපිටක මුද්‍රණ සභාව ආරම්භ කළේ ය. අටුවා ග්‍රන්ථ මාලාවේ පළමු කෘතිය වශයෙන් පේතවත්ථු අටුවාව 1917 දී මුද්‍රණය කැරිණි. එතැන් පටන් මේ දක්වා අටුවා පොත් 51ක් ද, ත්‍රිපිටක පොත් 54ක් ද, දීඝනිකාය ටීකාව හා වෙනත් ග්‍රන්ථ රැසක් ද මුද්‍රණය කොට තිබේ.

මෙම කටයුතු සඳහා සයිමන් හේවාවිතාරණ මහතාගේ පවුලේ අය හා එතුමන්ගේ බිරිඳ නොමඳ සහාය සැපයුවෝ ය. එදා සිට අද දක්වා සිංහල අකුරින් කියැවිය හැකි පාලි අටුවා පොත් පෙළක් වේ නම් ඒ එක ම පොත් පෙළ හේවාවිතාරණ අටුවා පොත් පෙළ ය. මෙම ග්‍රන්ථ මාලාවට ආදර ගෞරවය දක්වන විදේශීය උගත්තු සිංහල අකුරුවල ශබ්දවලට අදාළ ඉංගී‍්‍රසි අකුරු ඒ ඉදිරියේ ලියාගනිමින් පාලි වචන හඳුනාගනිමින් මෙම පොත් පරිහරණය කරති.

මෙම ග්‍රන්ථ සංස්කරණයේ දී විදුරුපොළ පියතිස්ස, වැලිවිටියේ සෝරත, වැලිවිටියේ පේමරතන, සූරියගොඩ සුමංගල, බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල යනාදි මහ තෙරවරු දිවා රාත්‍රී නොබලා කැප වීමෙන් ක්‍රියා කළහ. මේ සියල්ලට අමතර ව සයිමන් හේවාවිතාරණ මහතාගේ බිරිඳ වූ සෝමාවතී හේවාවිතාරණ මැතිනිය ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියන් විසින් සම්පාදිත විසුද්ධිමග්ග ජර්මන් පරිවර්තනය මුද්‍රණය කරවූවා ය. එමගින් ජර්මන් ජාතිකයන්ට ද විසුද්ධිමාර්ගය කියැවීමේ භාග්‍යය උදා විය.

මෙලෙස හේවාවිතාරණ පවුලේ සාමාජිකයෝ නිර්මල පර්යාප්ති සසුන ප්‍රචලිත කිරීමෙහි ලා තමන් සතු ලක්ෂ ගණන් මුදල් නැවත ලබාගැනීමේ පරමාර්ථයකින් තොර ව ම වියදම් කළහ. මුද්‍රණය කළ කෘති ඉතා ම අඩු මිලකට දුන් බැවින් හා ඒවායින් සෑහෙන ප්‍රමාණයක් කෘති නොමිලේ පරිත්‍යාග කළ බැවින් ඔවුන් එයින් ඉපැයූ එක ම ලාභය පුණ්‍ය ලාභය හා ධර්මාවබෝධ ලාභය යි. බුදු සසුනේ ජීවය වන්නේ පර්යාප්ති ශාසනය ආරක්ෂා වීම ය. ගසක් යට හෝ නිර්මල පර්යාප්තිය රැකගත්තකු සිටී නම් එතැන සසුන රැකී ඇත.

බොහෝ විට නිස්සාර දෑ වෙනුවෙන් මුදල් වියදම් කොට තම නම රැකගැනීමට වැර දරන සමාජයට හේවාවිතාරණ පවුල හොඳ ආදර්ශයකි. නිර්මල බුදු සසුන රැකගැනීමට හේවාවිතාරණ පවුල ගත් උත්සාහයට සමස්ත බෞද්ධ සමාජය ම ණය ගැති ය.

(හේවාවිතාරණ මුද්‍රණයට අයත් දීඝනිකායටීකා සඞ්ඛාරකනිවෙදනං, FOREWORD, පත්‍ථාවනා, පෙතවත්‍ථු අට්ඨකථා (සඤ්ඤාපනං), ගුණපාල මලලසේකරයන්ගේ ‘ලංකා පාලි සාහිත්‍යය’ ඩබ්ලිව්. ඩී. තිසේරා පරිවර්තනය හා තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ‘සෝමාවතී හේවාවිතාරණ මැතිනිය’ යන කෘති ඇසුරු කැරිණි)
හසන්ත වාසනා සමරසිංහ – හැකිතාක් share කරන්න
http://ift.tt/2a6ZNoq via Facebook Pages http://ift.tt/1GMS4Lf