New photo from Facebook July 26, 2016 at 09:00PM

මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය, කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව – වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරුබුහුමන් වැඳුම් පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසින් ය. සියලු කෙලෙසුන් නසා සිටින ආර්‍ය්‍යයන් වහන්සේලාට ඒ ලාමක අදහස් කොයින් ද?

දිනක් තථාගතයන් වහන්සේ අලුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්: එදින ම මැරී අපායෙහි උපදින්නට සිටින රොඩී මැහැල්ලක් දැක, ඇය ලවා තමන් වහන්සේට වන්දවා ඒ පිනෙන් ඇය ස්වර්ගයට පැමිණවීමේ අදහසින් බික්සඟන පිරිවරා රජගහනුවරට පිඬු සිඟා වැඩි සේක. සැඩොල් ගැහැණිය ද සැරයටියක ආධාරයෙන් පෙර මඟ එනවා තථාගතයන් වහන්සේට මුණගැසිණ. උන්වහන්සේ ඇය ඉදිරියේ නැවතුණු සේක. එහෙත් තමන් වහන්සේට වැඳ පින් සිදුකර ගනුව’යි නො වදාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ ගේ අදහස දැන, ඇය ලවා තථාගතයන් වහන්සේට වන්දවනු පිණිස :-

“චණ්ඩාලි වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො,
තවෙව අනුකම්පාය අට්ඨාසි ඉසිසුත්තමො,
අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනි.
ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතං” යි

වදාළ සේක. ඕ තථාගතයන් වහන්සේට වැඳ එදින ම කලුරිය කොට දෙව්ලොව උපන්නා ය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ගාථා කී නිසා කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ භෝජනය ද නො පිළිගත් සේක. සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ ආහාරය ද නො පිළිගත් සේක. තමන් වහන්සේටත් වැඳුම් පිදුම් කරන්නට නියම නො කරන තථාගතයන් වහන්සේ උන් වහන්සේ ගේ පිළිරුව තනා එයට වැඳුම් පිදුම් කරන්නය’යි කෙසේ නම් නියම කරන සේක් ද? නො කරන සේක් ම ය. බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරු බුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන නුමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූ ද, පිරිනිවියා වූ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නාහ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf