New photo from Facebook July 30, 2016 at 09:18AM

බෞද්ධ “සක්වළ” යනු රොටියක් වැනි ද්විමාන තැටියක් නොවේ. වෙනත් අයුරකින් පැහැදිළි කළහොත් එය සෞර ග්‍රහ මණ්ඩලය වැනි දළ ඉලිප්සාකාර ව්‍යුහයක් හෝ ක්‍ෂිරපථ මන්දාකිණිය වැනි ද්විත්ව සර්පිලාකාර ව්‍යුහයක් හෝ නොවේ. අපේ සාහිත්‍යයේ හමුවන සක්වළ සැකැස්ම ඉහල සහ පහළ දිශා වලටත් විහිදේ.

===මහමෙර, සුර ලොව හා අසුර ලෝකය===

සත්කුළු පව් වළලු මතින් ලිපියේදී අප විස්තර කළ පරිදි ඉහලින් බැලූ කල සක්වළ මධ්‍යයේ පිහිටා ඇත්තේ මහාමේරු පර්වතයයි. මහාමේරුව පිරිවරා සප්ත කුඨ පර්වතය සහ සප්තමහා සාගරය වෙයි. ඒ වටා සිව් දිසාවේ සතර මහාද්විපයෝ වෙති. අවසාන සක්වළ ගල වෙයි. පැත්තෙන් බැලූ කළ මෙහි තවත් දේ පවතී.

මහමෙර වටා පිහිටි යුගන්ධර පර්වතය තරම් උසින් මහාමේරුව සිට සක්වළගල දක්වා තලයක පිහිටියේ චාතුර්මහාරාජිකයයි. මහාමේරු පර්වත මස්තකය තරම් උසින් සක්වළගල දක්වා විහිදී පැතිරී පවතින්නේ තව්තිසා දෙව් ලොවයි – හෙවත් තිදස පුරයයි. ඊට ඉහලින් අභ්‍යවකාශයේ පිළිවෙලින් යාමය, තුසිතය, නිම්මානරති සහ පරනිම්මිත වසවර්ති යන දෙව් ලෝ පවතී. සදෙව් ලොවට ඉහළින් පිහිටන්නේ බ්‍රහ්ම ලෝක වේ.

මහමෙර පාමුල (මහමෙර යනු සාගරයේ අඩක් ගිලුණු දණ්ඩක් – වඩාත් නිවැරදිව කිවහොත් මධ්‍යය සිහින් අග කෙළවර මහත් වන බෙරයක් – වැනි වස්තුවක් බව මතක ඇතැයි සිතමි.) සාගර පතුලේ තව්තිසා දෙව් ලොව වැනිම දෙව් ලොවකි. එය අසුර ලෝකයයි. අසුර ලෝකය ඇති වීම පිලිබඳ කතාව ද රසවත් එකකි. ‘මඝ මානවක කතා’ ලිපියේ විස්තර කළ පරිදි කුලාවක ජාතකය තුල මේ විස්තරය අඩංගු වේ. නපුරු ගති ඇති සුරයන් සමග බෙදා හදාගෙන විඳින ශක්‍ර සැප කුමටදැයි සිතූ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සුරාව පොවා මත් කළ දෙවියන් දෙකකුලින් අල්ලා මුහුදට විසි කළ බවත් මුහුදට වැටුණු දෙවියන්ගේ පිං හේතුවෙන් මහාමේරු පර්වතයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ තව්තිසා දෙව්ලොවට සමාන දෙව් ලොවක් මැවී ගිය බවත් එහි සඳහන් ය. සුරයන් කෙරෙන් පළවා හරින ලද හෙයින් උහු අසුර නම් වී. ශක්‍රයා විසින් සුරාවෙන් මත් කර තමන් රවටන ලද බව දැන ගත් මේ අසුරයන් දිව්යාශ්ත්‍ර ගෙන තව්තිසා වැසි දෙවියන් හා යුධ වන් අයුරු කුලාවක ජාතකය වැඩිදුරටත් අපට කියා දෙයි. සුරාසුර යුද්ධය නම් එයයි. ධජග්ග සූත්‍රයට වස්තු බීජය සපයන්නේ මීට බොහෝ කාලයකට පෙර සිදු වූ මේ සුරාසුර යුද්ධයයි.

චාතුර්මහාරාජිකය, තාවතිංසය යන දෙදෙව් ලොවම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අධිපතිත්වය යටතේ පවතී. සතර වරම් රජ වරු ඒ චාතුර්මහාරාජික දෙව් ලොව සතර දිශාවට අධිපතීත්වය දරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා යටතේය. අසුර ලෝකය තව්තිසා භවනට සැපයෙන් හා මහේශාක්‍ය බවින් සමාන වන මුත් මහමෙර පත්ලේ පිහිටි බැවින්දෝ නොහොත් නපුරු අදහස් හා නපුරු ක්‍රියා ඇති ‘පින්වතුන්’ උපදනා තැන බැවින්දෝ සුගති ගනයේ ලා නොසැළකෙයි. එසේ වුවත් රාහු අසුරෙන්ද්‍රයා, වේපචිත්ති අසුරේන්ද්‍ර ආදී අසුරයින් ගැන සාහිත්‍යයේ සඳහන් වේ. පහාරාද අසුරයා බුදුන් සරණ ගිය උපාසකයෙකි. එහෙත් අසුර නිකාය සැළකෙන්නේ සතර අපායෙන් එකක් ලෙසයි. සතර අපාය යනු නරකය, ප්‍රේත නිකාය, තිරිසන් යෝනිය හා අසුර නිකාය වේ. මින් නරකය පොළොව යට පිහිටයි. අසුර ලෝකය මහමෙර පත්ලේ පිහිටයි. තිරිසන් ලෝකය සහ ප්‍රේත ලෝකය මිනිස් ලොව ඇසුරේ වෙයි.

අසුරයින් විසින් රණකාමීව සුරයන් මථනය පිණිස මහමෙර නගින්නට වන් කළ පළමු බලසෙන් හමුව චාතුර්මහාරාජික දෙවියන් සමග වේ. එනයින් ගත් කළ ධ්‍රැතරාෂ්ඨ, විරූඪ, විරුපාක්ෂ සහ වෛශ්‍රවන යන සතර වරම් දෙවිවරු ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආරක්ෂක සෙන්පති වරු වේ. ධ්‍රැතරාෂ්ඨ වරම් රජු පෙරදිග දිශාව ආරක්‍ෂා කරන්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් ගාන්ධර්ව සේනාව පිරිවරාගෙනය. ගාන්ධර්වයින් යනු සංගීත සහ නෘත්‍ය ශාස්ත්‍රයේද කෙළ පැමිණියෝ ය. දෙව් ලොව මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා ස්වකීය රූප විලාසයෙන් සහ නර්තන ලීලාවෙන් මත් කළ සූරියවච්චසා නම් දිව්‍යාංගනාවක් ගැන අපේ සාහිත්‍යයේ හමු වේ. ඈ තිම්බරූ නම් ගාන්ධර්ව දිව්‍යරාජයාගේ දියණියයි. දකුණු දිග ආරක්ෂා කරන්නේ විරූඪ නම් දෙවි රජ වේ. හෙතෙම නොයෙක් ලක්‍ෂ ගණන් තමාගේ කුම්භාණ්ඩ සේනාව පිරිවරා සිටී. විරුපාක්ෂ දෙවි රජ අපරදිග දිශාව රකින්නේ තමන්ගේ ලක්‍ෂ ගණන් නාග සේනාව පිරිවරාගෙනය. අනන්ත නම් නාග රාජයා, මුචලින්ද නම් නාග රාජයා, ඒරකපත්ත හා ඔහුගේ දියණිය වන අරුන්දතිය පමණක් නොව චූලෝදර-මහෝදර, මණිඅක්ඛිත ආදී නාගයින් පවා අයත් වන්නේ මෙකී විරුපාක්‍ෂ රජු යටතටය. උතුරු දිග ආරක්‍ෂා කරන වෛශ්‍රවන හෙවත් වෙසමුණි රජු මේ සියල්ලන් අතර වඩාත් ප්‍රසිද්ධ දෙවියන් වේ. හෙතෙම තමන්ගේ යක්‍ෂ පිරිවර සහිතව සිටී. සාතාගිර-හේමවත, ආලවක ආදීහු, එසේම කාලි නම් යක්ඛිනිය මේ වරම් රජුගේ පිරිවරට අයත් වේ. දැහැමි සිරිසඟබෝ රජ සමයේ ලක්දිව වසංගතයක් ඇති කළ රත්තකරාක්ෂයා පවා මේ ගණයට අයත් වේ. එපමණක් නොව සෝවාන් වී සිටී ඉතාම භක්තිමත් උපාසකයෙකු වූ බිම්බිසාර රජතුමා උපන්නේද වෙසමුණි රජුගේ යටතේ ජනවසභ නම් යක්‍ෂ සේනාධිපතියෙකු ලෙස බව දීඝ නිකායේ එනම ඇති සූත්‍රයෙන් හෙළි වේ.

=== කාම ලෝක, රූප ලෝක හා අරූප ලෝක===

ඉහත විස්තර කළ සදෙව් ලොව සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ ඒවා කාම සුගති වේ. සතර අපායද කාම ලෝකයටම අයත් වුවත් ඒවා දුගති ලෙස හඳුනා ගැනේ. සතර අපාය සැළකූ කළ නරකය විශේෂ තැනක් ගන්නේ මෙහි දුකම මිස කිසි සැපයක් නැති බැවිණි. මහා නරක අටකි. ඒවා සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය ලෙස නම් කෙරේ. මේවා එකිනෙකට පහළින් සමාන දුරින් පිහිටයි. දේවදත්ත තෙර, සුප්පබුද්ධ රජ ආදීහු කල්පයක් කල් පැසෙන්නේ මේ අවීචි මහා නරකාදියේ ය. මේ එක එක මහා නරකයක් පිරිවරා ඔසුපත් නරක ද සොළොස බැගින් වෙයි.

=කාම සුගති=

මනුෂ්‍ය ලෝකය සහ පහත දැක්වෙන දිව්‍ය ලෝක කාම සුගති නම් වේ.
1. චාතුර්මහාරාජිකය
2. තාවතිංසය
3. යාමය
4. තුසිතය
5. නිම්මානරති
6. පරනිම්මිත වසවර්ති
මෙයින් යාම නම් දෙව්ලොව පටන් අවසන් දෙව් ලෝ සතර මහාමේරු පර්වතයට ඉහලින් අභ්‍යවකාශයේ පිහිටයි.

= රූප ලෝක =

රූප ලෝක සහ අරූප ලෝක යනු බ්‍රහ්ම ලෝක වේ. මේවා සදිව්‍ය ලෝක වලට ඉහළින වඩාත් ඈතින් අභ්‍යවකාශයේ පිහිටා ඇත. රූප ලෝක සොළොසකි.
1. බ්‍රහ්ම පාරිසජ්ජය
2. බ්‍රහ්ම පුරෝහිතය
3. මහාබ්‍රහ්මය – වශයෙන් ප්‍රථම ධ්‍යාන භුමි තුනකි.
1. පරිත්තාභය
2. අප්පමාණභය
3. ආභස්සරය – වශයෙන් ද්ව්තිය ධ්‍යාන භුමි තුනකි.
1. පරිත්තසුභ
2. අප්පමාණසුභ
3. සුභකිණ්ණය – වශයෙන් තෘතිය ධ්‍යාන භුමි තුනකි.
1. වෙහප්ඵලය
2. අසඤ්ඤතලය – වශයෙන් චතුර්ථ ධ්‍යාන භුමි දෙකකි.
අවිහ
අතප්ප
සුදස්ස
සුදස්සී
අකනිට්ඨ – යනු පංච ශුද්ධාවාස වේ.
ප්‍රථම, ද්විතීය, තෘතිය හා චතුර්ථ ධ්‍යාන වැඩූ ඒ ධ්‍යානයෙන් නොපිරිහී මිය ගිය යෝගීන් මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබත්. අනාගාමි ඵලයට පත් වී මරණප්‍රාප්ත වූ සත්ත්වයෝ ශුද්ධාවාස වල උත්පත්තිය ලබා එහිදී රහත් බැව් ලබා පිරිනිවෙත්. බුදුබව (හෝ පසේ බුදුබව) පතන බෝධිසත්ත්වයෙක් කිසි විටෙක පංච ශුද්ධාවාසයේ නූපදිත්.

= අරූප ලෝක =
සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම පිහිටන්නේ අරූප ලෝක වේ. සංඛ්‍යා වශයෙන් සඳහන් නොකළත් ඉතාම අධික ආයුෂක් සහිත මේ බ්‍රහ්ම ලෝකයන්හි ඉපදුණා වූ සත්ත්වයෝ අරූප ලෝක හෙයින් බොහෝ බුදුවරු ඉපදී දහම් දෙසා කෙළ ගණන් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පිරීනිවී ගියත් දහම් ශ්‍රවනයක් නොලබති. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ තවුස් වෙස් ගෙන දුෂ්කර ක්‍රියා කරන සමයේ ගුරු වූ ආලාර කාලාම හා උද්දකරාමපුත්ත යන දෙදෙනා වහන්සේ ධ්‍යාන උපදවා මේ ලෝක වල උපන් බැවින් උන්ට මේ බුදු සසුන තුල නිර්වානාවබෝධයක් හිමි නොවිණි.
ආකාසානඤ්චායතනය
විඤ්ඤාණඤ්චායතන
ආකිඤ්චඤ්ඤායතන
නේවසඤ්ඤානාසඤ්ඤයතන යන සතර අරූප ලෝක වේ.
මෙසේ අරූප බ්‍රහ්ම ලෝක (4), රූප බ්‍රහ්ම ලෝක (16), සදිව්‍ය ලෝකය (6), සතර අපාය (4) සහ මනුෂ්‍ය ලෝකය ගත් කළ සත්ත්වයන් උපදනා භූමි හෙවත් තල එක්තිසක් (31) සළකන ලද එක සක්වළක් තුල පවතී. වෙනත් අයුරකින් පැහැදිළි කළොත්, බෞද්ධ සූත්‍ර ධර්ම ඇසුරේ අප ඉගෙන ගන්නා සක්වළ යනු ඉහත විස්තර කළ එක් තිස් ලෝක වල එකතුවයි. මේ සක්වළ අප බටහිර විද්‍යාවෙන් ඉගෙන ගන්නා පෘතුවි ගෝලය ලෙස හඳුන්වන ග්‍රහලෝකය සමගවත්, සූර්යයා මධ්‍ය කොට ගත් සෞරග්‍රහ මණ්ඩලය සමගවත්, ක්‍ෂිරපථ නම් මන්දාකිණිය සමගවත් සමපාත නොවේ – තුල්‍ය නොවේ.
http://ift.tt/2aBGdEk via Facebook Pages http://ift.tt/1GMS4Lf