New photo from Facebook August 25, 2016 at 12:00PM

මහා කාශ්‍යප ස්ථවිර චරිතය
( මුළු කථා වස්තුවම pdf ලෙස කියවන්න -> http://ift.tt/2bjPUZe )

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළවී සංසවති නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසූකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.
දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවද මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැද පුදා එකත් පසෙක වාඩි විය.

එකෙණෙහි තථාගතයන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදානං යදිදං නිසභෝ” යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.
උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැද හිමියෙනි, සෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා” යි සැළ කළේය.

උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහු ද?” “උපාසකය, සැටඅටදහසක් ය”යි වදාළසේක. “ස්වාමීනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නො කොට සැමදෙනා වහන්සේ සමග මගේ භික්ෂාව පිළිගන්නා සේක්වා” යි උපාසක කීය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත්බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සගන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සගන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමීපයෙහි හුන්නේය.

ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඩු පිණිස හැසිරෙන්නාහු ඒ වීදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැද “ස්වාමීනි, පාත්‍රය දුනමැනව” යි කීය. තෙරුන් වහන්සේ පත්‍රය දුන්හ. “ස්වාමීනි, ශස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹවහන්සේ ද මේ ගෙට වඩිනු මැනව” යි කීය. “උපාසක, නොවටනේය”යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපයෙහි හිද “ස්වාමීනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති යි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමීනි, කෙමෙක්ද? ඒ තෙරුන් වහන්සේ නුඹවහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ”යි විචාළේ ය.

බුදුරුවන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, “එසේ ය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිදින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිදින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ අරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අභ්‍යවකාශයෙහි ම වෙසෙන්නේය” යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාළ සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී “මට අන් සැපතක් කුමට ද? මම ද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි” යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත්දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසගනට තුන්සිවුරු ද පුදා ශාස්තෲන් වහන්සේ ගේ පාමුල වැදහෙව “ස්වාමීනි, සත්දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදුකෙනකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වේවා” යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේ දෝ”යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, “උපාසක, ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛ්‍යයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය”යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ බුදුවරුන්ගේ ප්‍රකාශයනයන් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රීතියට පැමිණියේ ය. හෙතෙමේ ඉන් පසු ද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන.
අරහං ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජාසත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේකප්‍රකාර සැප සම්පත් ලබා, මෙයින් අනූඑක්වන කප විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්ධුමතී නගරය උපනිඃශ්‍රය කොට වැඩවෙසෙන කල්හි දෙව්ලොවින් ච්‍යුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේ ය.

එකල්හි විපස්සී බුදුන්වහන්සේ සත්වසරකට වර බැගින් ධර්මදේශනා පවත්වන සේක. දහම් දෙසන දිනය ළං වන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලෙහි පතළ කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසීමට යාම සදහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇති වෙයි. ඒ ආරංචිය බ්‍රාහ්මනයාට ද ඇසිණ. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැදීමට තිබුණේ එක් වස්ත්‍රයක් පමණෙකි. ඒ නිසා ඔහුට ඒකශාටක බ්‍රාහ්මණය යි ද කියති. ඔහුගේ බිරියට හැදීමට තුබුණේ ද එක ම වස්ත්‍රයෙකි. මේ දෙදෙනාට ම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබිණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටත යා නො හැකි විය. බමුණා පිටත යන කල්හි බැමිණිය ගෙයි රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙයි රැදෙයි.
ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කථා කොට “සොදුර, තී දහම් ඇසීමට යන්නේ රාත්‍රියෙහි ද නැතහොත් දවාලෙහි දැ” යි කී ය.” හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි ය” යි බමුණා ගෙදර නවතා ඕ තොමෝ ඒ වස්ත්‍රය පොරොවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියා ය. ඇය දහම් අසා පැමිණි කල්හි රාත්‍රි කාලයේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය.

එසමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩ හිද අතිමධුරවූ බ්‍රහ්මස්වරයෙන් අසනුවන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිද දහම් ඇසුවාවූ ඒකශාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමයේදීම ඉමහහ් ප්‍රීතියක් ඇති විය.

ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුළා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකෙණෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපණ. “අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන හොත් අපට ගෙයිම සිටිනට වෙති” යි ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේය. මධ්‍යම යාමයේදී ද ඔහුට ශරීරය පවා පිණායන බලවත් ප්‍රීතිය උපණ. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙර සේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිතා නොදෙන්නට සිතා ගත්තේය. පශ්චිම යාමයේදී ද ඔහුට මහත්වූ ප්‍රීතිය උපණ. “පසුව කුමක් වුවත් මේ අත්‍යුත්තම ධර්මයෙන් මා පිණවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි” යි වස්ත්‍රය හකුළා ශාස්තෲන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇති විය. ඒ ප්‍රීතියෙන් අත්පොළසන් දිණ “මා දිණුවා ! මා දිණුවා !!” යි ඔහුගේ මුවින් මහහඩින් ඉබේම කියවිණ.

බන්ධුම රජතුමා ද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඩ බිය සැක ඇති කරන්නෙක. එය ඔවුන්ට අප්‍රිය හඩකි. එබැවින් රජතුමා “ඔහු කුමක් කියන්නේදැ” යි විමසීමට පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ගොස් අසූ කල්හි, ඒකශාටක බ්‍රාහ්මණ කියනුයේ “අන්‍යයෝ කඩු දුනු ආදිය ගෙන යුද කොට පරසේනාවන් දිනාගන්නාහ, එය ආශ්චර්යක් නොවේ, මම වනාහි පස්සෙන් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරු සිත මැඩ, පොරවා සිටි සළුව දශබලධාරීන් වහන්සේට පිදුවෙමිය, මම ඒ මසුරුකම දිනිමි” යි කීය.
පුරුෂ තෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා “තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නො තේරුණේය, බමුණාට ඒ බව වැටහුණේය” යි සතුටු වී ඔහුට සළු යුවලක් යැවීය. බ්‍රාහ්මණ එය පිළිගෙන “මේ රජු කලින් තුෂ්ණීම්භූතව සිටි මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමටද? මේවාත් බුදුනටම පුදමි” යි ඒ වස්ත්‍ර ජෝඩුව ද බුදුරදුන්ගේ පාමුල තැබීය.

රජතුමා බ්‍රහ්මණයා කුමක් කළේ දැයි” විචාරා “ඒ වස්ත්‍ර ද ඔහු බුදු රජුන්ට ම පිරිනැමුවේය” යි අසා නැවතත් බමුණාට සළු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. ඒ බව අසා රජු නැවත ඔහුට සළු සතරක් ‍ යැවී ය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුනට පුදත් පුදත්ම රජු ද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යැවූ කල්හි බ්‍රාහ්මණ තෙමේ “මෙසේ වස්ත්‍ර පිදීම වැඩි වැඩි කොට ගැනීමක් වැනිය” යි තමාට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර ගෙන තිසක් බුදුනට පිදුවේය. එතැන් පටන් ඒකශාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය.

දිනක් ඒකශාටක බ්‍රාහ්මණ ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක, රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඔහුට දී “මෙතැන් පටන් මේ කම්බිලිය පොරවා ගෙන දහම් අසන්නය” යි කීය. බ්‍රාහ්මණ තෙමේ “මේ වටිනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදු රදුන්ටම පිදීම යහපතැ” යි සිතා ගදකිළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇදමත වියනක් කොට තබා ගියේය.
එක් දවසක් රජු විහාරයට ගොස් ගදකිළිය තුළ බුදුරදුන් සමීපයේ හිදගෙන සිටියේය. තථාගත ශරීරයෙන් නික්මෙන ෂට්වර්ණ රශ්මීන් වැදී ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිණ. රජු කම්බිලිය දැක හැදින “ස්වාමීනි, මේ අපගේ ය, අප විසින් මෙය ඒකාශාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේ ය”යි කීය.

“මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේය, බ්‍රාහ්මණයා විසින් එය අපට පුදන ලද්දේය” යි වදාළහ.

එකල්හි රජු “මේ බ්‍රාහ්මණයා යුතුකම් දන්නේය, අපි ඔහු මෙන් යුතුකම් නො දනිමුය “යි ඔහු කෙරෙහි පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජන සැම දෙයකින්ම අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුර ද දුන්නේ ය.
කලින් කිසිවකුගේ සැලකිල්ලට භාජනය නො වී සිටි ඒ දුප්පත් බමුණාහට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහං ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජාකිරීමේ කුශල බලයෙනි. එබදු ගුණ නැති අනිකකුට වස්ත්‍ර දහසක් දස දහසක් දුන ද එබදු විපාකයක් නො ලැබෙන්නේය.
මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිවුසැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම් ද කොට ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්නේ ය.

සසර සැරිසරන්නාවූ ඒකශාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමණ – කාශ්‍යප යන දෙබුන් වරයන් වහන්සේට අතර කාලයේ බරණැස් නුවර කුල ගෙයක උපන්නේය. ඔහු එක් දිනක් වනයෙහි ඇවිදිනා වේලෙහි ගංතෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදු කෙනකුන් නුවාවකට රෙදි මද වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, “ස්වාමීනි, සිවුර හකුළන්නේ කුමක් නිසාදැ”යි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන් වහන්සේට පුදා “මේ පිනෙන් උපනුපන් භවයෙහි මට කිසිවකින් අඩුවක් නො වේවා” යි පැතීය.
එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඩු සිගා වැඩි සේක. එකල්හි නැගණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා “මේ නපුරු ගැහැණියගෙන් යොදුන් සියයකින් දුරු වේවා” යි පැතීය.
ඔහුගේ බිරිය මිදුලේ සිටි නැගණියගේ ප්‍රාර්ථනාව අසා “මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළදන්නට නො දෙමි” යි සිතා පසේ – බුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන පිණ්ඩපාතය විසි කර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුනට දුන්නා ය. අනිත් තැනැත්තී, එය දැක “මෝඩිය, වුවමනා නම් මට බණින්න, ගසන්න, මෙ වැනි උත්තමයන් වහන්සේ කෙනකුගේ පාත්‍රයට, බත් විසි කොට මඩ දමා දීම යුතු නැතැ”යි කීවාය.

එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන මඩ ඉවත් කොට සෝදා පිරිසිදු කොට සුවද සුණු උලා සුවද කොට එහි චතුමධුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කොට “මේ පිණ්ඩපාතය සේ ම උපනුපන් තැන මගේ ශරීරය ද ආලෝකවත් වේවා”යි ප්‍රාර්ථනා කළා ය. ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු ද දිවි ඇති තාක් පින් කොට දෙව්ලොව උපන්නෝය.

උපාසක තෙමේ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරිය ද ඒ කාලයේ එවැනිම සිටුගෙයක උපන්නා ය. වැඩිවිය පැමිණි කල්හි ඕ ඒ සිටුපුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනෙන ලද්දී ය. ඇයට එතෙක් විපාක නුදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියකින් මෙන් දුගද නික්මෙන්නට විය. සිටු ගෙය, වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගද ගසන්නට විය. “මේ ගද කොයින් එන්නේදැ”යි ඇසූ සිටුපුත්‍රයා හට “මේ අලුත් මනාලිය ගේ ගදය” යි කී කල්හි ඔහු මනාලිය ආ යානයෙන් ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පාවා දෙන ලදුව සත් තැනකින් ඒ ගද නිසා ආපසු එවන ලද්දී ය. සිය නිවසේ ඉන්නා කල්හි ඇයගේ ඒ දුගද නැත.
පිනෙන් පව ගෙවීම
එසමයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේ පිරිනිවුණු සේක. උන්වහන්සේගේ ධාතූන් සදහා රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදූ “සත් තැනකින්ම ආපසු එවන ලද මගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් දැ” යි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවූවාය. ඒ රන්ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ ද විය. ඝන සතරගුලක් විය. ඕ ඒ රන්ගඩොලය හා හිරියල් මනෝසීල බදාම ද මානෙල් මල්මිටි අටක් ද ගෙන චෛත්‍යය කරන තැනට ගියා ය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැද අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වෙලාව විය. සිටුදුව එහි ගොස් “මේ ගඩොලය චෛත්‍යයෙහි තබා බදින්න” යයි චෛත්‍යය බදින්නාට කීවා ය. “මෑණියෙනි, ඔබ ආයේ හොද වෙලාවකය, අප සිටියේ මේ ගඩොල් පෙල සම්පූර්ණ කිරීමට ගඩොලක් නැතිවය, ඔබ අතින්ම ඔය ගඩොලය මෙහි තබන්නය” යි සෑය බදින්නා කීය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැද “මේ පිනෙන් උපනුපන් ජාතියේ මගේ කයින් සදුන් මල් සුවදත් මුවෙන් මානෙල් මල් සුවදත් විහිදේවා” යි පැතුවාය.

එකෙණෙහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයාහට ඇය සිහි විය. නගරයෙහි නැකැත් කෙළියක් ආරම්භ කරන ලද්දේ ය. සිටු පුත්‍රයා “එකල තමාට ගෙන ආ සිටුදූ කොහිදැ” යි සේවකයන්ගෙන් විචාළේය. “ඇගේ ගෙයිම ඇතය” යි සේවකයෝ කීහ. නැකැත් ක්‍රීඩාව සදහා ඇය නැවත ද ගෙන එව්” යයි සිටුපුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැද සිටි කල්හි “කුමට ආවහු දැ”යි ඕ විචාළා ය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. “දරුවනි, මගේ ආභරණ සියල්ල චෛත්‍යයට පූජා කළෙමි. දැන් මට පැළද යාමට ආභරණ නැතය” යි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටුපුත්‍රයාට දැන්වූහ. එකල්හි සිටුපුත්‍රයා “පළදනා ලැබිය හැකිය. ඇය ගෙන එන්නය” යි කීය. ඔවුහු කුමරිය කැදවා ගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගෙයිම සදුන් සුවද හා මානෙල් මල් සුවද පැතිරෙන්නට විය. සිටුපුත්‍රයා පුදුම වී “පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණුගද විහිදුනේය. දැන් තිගේ කයින් සදුන් සුවද නික්මෙන්නේ ය, මුවින් මානෙල් මල් සුවද විහිදෙන්නේ ය, මේ ආශ්චර්ය කිමෙක් දැ” යි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටුපුත්‍රයාට කීවාය.

සිටුපුත් මේ බුදු සස්න නෛර්ය්‍යාණිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍යය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේ ය. ඔවුහු ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්හ.
සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇමති පවුලක උපන්නේය. සිටු දූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දුවව උපන්නීය. ඔවුන් වැඩි විය පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකත් කෙළියක් ඇරඹිණ. හෙතෙමේ නැකැත් කෙළියට සැරසෙනු සදහා මවගෙන් සළුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසුදු කළ වස්ත්‍රයක් දුන්නාහ. “එය දළය” යි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මවු අනික් සළුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මවු “දරුව, මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නැත ය” යි කීවා ය. “මෑණියෙනි, එසේ නම් මම ලැබෙන තැනකට යෙමි” යි කුමරු කීය. “දරුව මම නුබට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි” යි මවු කීවා ය. “කීවාට මොහු කොහි යන්නෙ ද ? අතන මෙතැන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැ” යි මවු සිතුවා ය.
ඇමති පුත් අතීත කුශලයේ මෙහෙයීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මගුල් ගල් පුවරුවට වී හිස වසා පොරොවා නිදා ගත්තේ ය. එය බරණැස් රජු කළුරිය කළ සත්වන දිනය විය. අමාත්‍යයයෝ රජුගේ අවසාන කෘත්‍යය සිදු කොට රජ මිදුලෙහි රැස්ව “අප රජුට ඇත්තේ එක් දුවක් පමණය, පුත්‍රයකු නැත, රජකු නැතිව රාජ්‍යය පැවැත්වීම දුෂ්කරය, ඒ නිසා කෙනකු රජ කමට පත්විය යුතුය, රජ වන්නේ කවුරුන් දැ” යි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු “රජකමට කෙනකු තෙරීමට කල් නො යැවිය යුතු ය. එයට පිනැතියෙකු සොයනු පිණිස ඵුස්සරථය යවමු” යයි කීය. සෑම දෙන එයට එකග වූහ.
ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්චේතච්ඡත්‍රය සහිත පඤ්ව රාජ භාණ්ඩ තබවා, කුමුදුවන් අසුන් සිව්දෙනකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මගුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු “පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යතිය” කියා නවත්වන්නට කථා කළහ. පුරෝහිත බමුණු එයට ඉඩ නුදුන්නේ ය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියෙලව සිට ගත. පුරෝහිත තෙමේ කුමරුගේ පතුල් විවෘතකර බලා “මෙ තෙමේ දඹදිවට පමණක් නොව සතරමහාද්වීපයට වුවද රජකමට සුදුසුය” යි කියා නැවත නැවත ද තෙවරක් තූර්යවාදනය කරවී ය. කුමරු මුහුණ විවෘත කොට බලා මහ පිරිස දැක, “කුමට මෙහි අවු දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍යය පැමිණියේය” යි පුරෝහිත කීය. “රජතුමා කොහිදැ” යි කුමරු ඇසීය. “සිවිරජතුමා ස්වර්ගස්ථ වීය.” යි පුරෝහිත කීය. “කොපමණ කල් ගතවී දැ”යි කුමරු ඇසීය. “සත්දිනකැ” යි පුරෝහිත කීය. “රජුට දූ පුතුන් නැති දැ”යි විචාළේය. “දේවයන් වහන්ස, දුවක් පමණක් ඇත” ය යි කීය. “එසේ නම් රජය කරමි” යි කුමරු කීය.

පසේබුදුනට උතුරු සළුව පිදීමේ විපාකය මතුවීම

එකල්හි ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කෙළේ ය. අභිෂේකයෙන් පසු කුමරුට හැදීමට ලක්ෂයක් වටනා සළුවක් එළවූහ. එකල්හි කුමරු “මේ කුමක්දැ” යි ඇසීය. “දේවයන් වහන්ස, හැදීමට සළුවෙකැ” කීහ. “මේ සළුව දළසළුවක් නොවේ ද? මෙයට සියුම් සළුවක් නැත්තේ දැ”යි කුමරු ඇසී ය. “දේවයන් වහන්ස, මිනිස්ලොව නම් මෙයට වැඩි සියුම් සළු නැතැ” යි කීහ. “නුඹලාගේ රජ හැන්දේ මෙවැනි වස්ත්‍ර දැ”යි ඇසීය. “එසේය, දේවයනි” යි ඇමතියෝ කීහ. “නුඹලාගේ රජු පිනැතියකු නොවෙති යි සිතමි, රන් කෙණ්ඩියට පැන් ගෙනෙව්. වස්ත්‍ර ලබන්නෙමි” යි කුමරු කීය. එන් කෙණ්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන් ගෙන නැගෙනහිර දිගට ඉස්සේ ය. එකෙණෙහිම ඝන පොළොව බිද ගෙන කප්රුක් අටක් පැන නැංගේ ය. දකුණු බස්නාහිර උතුරුදිග්වලට ද පැන් ඉස්සේ ය. ඒ දිසාවල ද අට බැගින් කප්රුක් පැන නැංගේ ය. ඉක්බිති ඔහු එක් දිවසළුවක් හැද එකක් පොරවා මින් පසු “නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නො කටිත්වා”යි බෙර හසුරවව්” ය යි කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙටය පිවිස මහත් සම්පත්තියෙන් විසුවේ ය. ඒ පසේ බුදුනට උතුරු සළුව පිදීමේ විපාකය ය.

නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජඹෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළදමින්ම කල් යවන එතුමා ගැන කණගාටු වන ආකාරයක් දැක්වූවාය. “දේවියෙනි, මේ කිමෙක්දැ” යි රජු ඇසූ කල්හි දේවිය “දේවයන් වහන්ස, අතීතයෙහි පින් කළ නිසා දැන් ඔබගේ සම්පත්තිය ඉතා මහත් ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහුය” යි කීවාය. එකල්හි රජතුමා “දේවියනි, කාහට දන් දෙම් ද සිල්වත්හු නැතැ” යි කීය. “දේවයන් වහන්ස මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතුන් වහන්සේ සොයා දෙමි” යි දේවිය කීවා ය. පසු දින රජතුමා ප්‍රාචීනද්වාරයෙහි දන් පිළියෙල කරවී ය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිස ලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙන සේක් නම් සෙට මෙහි වැඩ වදාරා අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා” යි ආරාධනා කළා ය. එදිග රහතන් වහන්සේ නො වූහ. පිළියෙල කළ සත්කාරය දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසු දින දකුණු දොරටුවෙහි දන් පිළියෙල කොට එසේ කළාය. එදින රහත්හු නො පැමිණියහ. තෙවන දිනයෙහි බස්නාහිර දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළා ය. රහත්හු නොපැමිණියහ. සිවුවන දිනයෙහි උතුරු දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේ බුදුවරුන් අමතා “නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේ ය. ඔහුගේ ආරාධනාව ඉවසන්න” ය යි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසු දින අනෝතත් විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් “දේවයන් වහන්ස, පන්සියයක් පසේබුදුවරු වැඩම කළහ” යි රජුට කීහ.

රජතුමා දේවිය ද සමග එහි ගොස් වැද පසේබුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයෙහි තමන් ජීවත් වන තාක් එහිම වැඩ වෙසෙන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන් වහන්සේලා ආරාධනාව පිළිගත් කල්හි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවූහ.

රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝකාලයක් ගත වීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹීමක් ඇති විය. රජතුමාට එය සන්සිදවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේබුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේ ය.
පසේ බුදුවරුන් පිරිනිවීම

රජතුමා ගිය තැන් පටන් දේවිය පසේබුදුවරුන්ට සිත් පරිදි උපස්ථාන කළා ය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිදවා පෙරළා පැමිණීමට කලින් පසේබුදුවරුන්ගේ ආයු ගෙවිණ. මහාපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලෙහි ධ්‍යානසුඛයෙන් කල්යවා අරුණෝද්ගමනයේදී සක්මන් කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තු වී සිට ගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරු ද එදින ඒ වෙලාවෙහි පිරිනිවියාහු ය.
දේවිය පසුදින පසේබුදුවරුන් වළදන තැන ගොම ගාවා මල් විසුරුවා සුවද දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා ය. පසේ බුදුහු නොපැමිණියහ. බොහෝ වේලා බලා සිට ද පසේබුදුවරුන් නො පැමිණෙන කල්හි “ආර්යයන් වහන්සේලාට යම්කිසි අපහසුවක් වී ඇති දැ යි බලා ගෙන එව” යි කියා පුරුෂයකු යැවී ය. ඔහු ගොස් මහාපදුම පසේබුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නො දැක සක්මනෙහි බැලූ කල්හි හේත්තු වී සිටිනු දැක සමීපයට ගොස් “ස්වාමීනි, රජගෙදරට වැඩමවීමට කාලය” යි කීයේ ය. පසේබුදුන් වහන්සේගෙන් පිළිතුරක් නො ලත් කල්හි නිදා සිටිති යි සිතා උන්වහන්සේගේ පටිපතුල අත ගෑවේ ය. පිටිපතුල් සිසිල්ව තදව තිබුණෙන් පිරිනිවි බව දැන දෙවන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ද පිරිනිවී ඇති බව දැන තුන්වන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වී ය. දේවිය හඩමින් නුවරුන් හා එහි ගොස් පසේබුදුවරුන්ගේ සිරුරු ආදාහන කරවා ධාතූන් ගෙන චෛත්‍යයක් කරවී ය.

දීර්ඝ බැවින් ඉතිරිය මෙහි පලකළ නොහැක
කථා වස්තුවේ ඉතිරි කොටස කියවන්න -> http://ift.tt/2bjPUZe via Facebook Pages http://ift.tt/1GMS4Lf