New photo from Facebook September 18, 2016 at 12:00PM

චක්කවත්ති සීහනාද සූත්‍රය -> http://ift.tt/2cT2vB3
අත්තදීපසරණතා
80
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාසය දේශනා කළහ.
“මහණෙනි, තමන්ම ආරක්ෂාස්ථාන කොට තමන්ම පිහිට කොට වාසය කරව්, එයින් අනෙක් පිහිටක් නැත්තෝව වසවු. ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිට කොට වසව්, එයින් අනෙක් සරණක් නැත්තෝව වසව්.
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිට කොට අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, කෙළෙස් තවන විර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව, ස්කන්ධ ලෝකයෙහි ඇලීමත් මානසික දුකක් දුරලා වාසය කෙරේ.
වෙදනාවන්හි වෙදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව, ධර්මයන්හි ධර්ම අනුව බලන්නෙක්ව කෙළෙස් තවන වීර්යය ඇතිව යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ.
මහණෙනි, මහණ තෙමේ තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිටකොට, අන්‍ය පිහිටක් නැතිව ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිටකොට අන්පිහිටක් නැතිව මෙසේ වාසය කරන්නේය.
මහණෙනි, පියාගෙන් තමන්ට උරුමව පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නොලබන්නේය. මාර තෙමේ අරමුණක් නොලබන්නේය. මහණෙනි, මෙසේ කුශල ධර්මයන්ගේ සමාදානය හේතුකොට ගෙන පින් වැඩෙන්නේයයි වදාළේය.

…….

110
මහණෙනි, (බුදුරජාණන් වහන්සේ) නමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරෙව්, සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාහු ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය.
මහණෙනි, භික්ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි, වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඍද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ ආයුෂයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ වර්ණයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වූයේ ආචාර ගොචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍ර වරදෙහිද භය දක්නා සුලු වූයේ වාසය කරයි, ශික්ෂා පද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්ෂුවගේ වර්ණයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන යන ධ්‍යානවලට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සැපයට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ සම්පතට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක් එසේ උඩයට සරස සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපෙක්ඛා සහගත සිතින්ද එක් දිසාවක්, දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක්, උඩ යට සියලු තැන, සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සම්පතට කාරණයයි.
මහණෙනි, භික්ෂුවගේ බලයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ බලයට කාරණයයි.
මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඬේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළෝය. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූහ.

විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf