New photo from Facebook September 25, 2016 at 12:00PM

== පහන් පූජාවේ අනුසස් ==

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

== පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ ==

කල්ප ලක්ෂ්‍යයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමය වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝ රුකට වැඳගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා. මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතුවාය. එකෙණෙහි බෝ රුක දිලිසිණ. සියලු බෝ රුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මිල විසුවාය. සත්වන දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් දහසක් දැල්වූවා ය. ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්විණ.

පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුනක් උස තිස් යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල්වෙන්නේ ය. ඇයට දක්නට කැමති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේ ය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේ ය. ඒ පිනෙන් ම ඕ අසූවරක දෙව්‍රදුන්ගේ බිසව වූවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑමතැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම ජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් අවුරුදු වියෙහිම ඕ උපසම්පදාව ද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතසහස්සිතො කප්පෙ යං දීපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියකට නො පැමිණියෙමි. මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තේරුම ය.
(අපදාන පාළියෙන්)

== සුවඳ පූජාවේ අනුසස් ==

දුමක් වශයෙන් ද, වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන් ද, සුවඳ පූජා කළ හැකි ය. සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යයන් ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවෙහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිය යුත්තේ උපනුපන් ජාතියේ අන්‍යනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳදුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ මිනිස් ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිව්පිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණි උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

“යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං,
සබ්බේසම්පි පියො හොමි ධූපදානස්සිදං ඵලං

චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵලං”

මේ ධුපදායක රහතන් වහන්සේ ගේ ප්‍රකාශයකි.

මම යම්යම් ජාතියක උපන්නෙම් ද දෙවි වූද මිනිස් වූ ද සෑම ජාතියේ ම සැමටම ප්‍රිය වූවෙමි. එය ධූපදානයේ ඵලය ය. මේ කපින් සිව් අනූවන කපෙහි යම් ධූපදානයක් කලෙම් ද එතැන් පටන් මේ වන තෙක් දුර්ගතියට නො ගියෙමි. මේ ධූපදානයේ ඵලය ය යනු එහි තේරුම ය. via Facebook Pages http://ift.tt/1GMS4Lf