New photo from Facebook October 15, 2016 at 03:00PM

සදා පුජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි. අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස.මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුනත්, ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා “මමෙව බුද්ධො, මමෙව ධම්මො, මමෙව සංඝො” බුදුහාමුදුරුවෝ මගේමයි, ධර්මය මගේමයි, සංඝරත්නය මගේමයි. තුනුරුවන් හැරෙන්න මට වෙන පිහිටක් නැහැ කියන වචනය කටින් නොකිව්වත් ක්‍රියාව තුලින් කරමින් තුනුරුවන් සැඟවෙන තැන් කරගෙන, පිහිට තැන් කරගෙන, ආරක්ෂා තැන් කරගෙන මේ ස්ථානයට ආවේ මේ සසර දුක් ගිනි නිවෙන සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කලණ සිත් ඇතුවම.

පින්වතුනි බුදුරජානන්වහන්සේ එදා උපවත්තන නම් සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩ ඉන්න වෙලාවේදී දෙවියෝ, මනුස්සයෝ බොහෝ සෙයින් තථාගතයන් වහන්සේට මල්, සුවඳ දුම්, නොයෙක් ආදී දෙයින් පූජා කරනකොට, ඒ වගේම නොයෙක් තුර්‍ය වාදන පවත්මින් පූජා සත්කාර කරනකොට තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්වහන්සේ අමතා දේශනා කළා “ආනන්ද මේ ලෝකයා කරන පූජාවන් මේවා මට කරන පූජාවන් නෙමෙයි, ඒවා ඒ අයටම කරගන්නා පූජාවන්.” කුමක් නිසාද බුදුරජනවහන්සේ වෙනුවෙන් කියල හෝ යම්කිසි කෙනෙක් ආමිස පූජාවන් පැවැත්වුවොත් භාග්‍යවතුන් වහන්සේ පරිබෝජනය නොකලත් ඒ අයට පින් සිද්ධ වෙනවා. ඒ අයට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතිනවා. එතකොට ඒ කරන පූජාවන් ඒ අයටම කරගන්න පූජාවන් කියල.

යම්කසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් අන්න ඒ අයයි තථාගතයන් වහන්සේට පූජා කරන්නේ, ඒ අයයි තථාගතයන් වහන්සේට ගරු කරන්නේ, ඒ අයයි තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ කියල පෙන්නුවා. කුමක් නිසාද, පින්වතුනි එදා සතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුනා දීපංකර බුදුරජාණන්වහන්සේගේ කාලේදී අපේ බුදුරජාන්වහන්සේ සුමේධ තාපසව ඉපදුන වෙලාවේදී. නමුත් ඒ තරම් හේතු සම්පත් තිබුනත් පින්වතුනි, බණ අහන බණ කියන ඔබ මා වෙනුවෙන් ඒ නිවන ප්‍රතික්ෂේප කරලා ඒ දුක් ගිනි නිවා ගැනීම තමන් වහන්සේගේ සසර දුක් ගිනි නිවා ගැනීම ප්‍රතික්ෂේප කරලා මේ ඝෝර වූ භයංකාර සසරට අවතීර්ණ වුනේ අපිව සසරෙන් එතෙර කරන්න.

පින්වතුනි අපි හැමකෙනෙක්ම සසර ඉදිමින් අනන්ත අපරිමාණ දුක් විදිනවා. ඒ දුක් විඳින්නේ අපි අපේ තියෙන පෞද්ගලික කෙලෙස් වලට. අපි අපේ තියෙන පෞද්ගලික අඩුපාඩු වලට. නමුත් නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුන බෝසතන්වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් නිසා නෙමෙයි. අහිංසක ලෝකයා නිසයි. පින්වතුනි ඒ මේ කාලය තුල අනුන්ගේ සැප වෙනුවෙන් තමන්ගේ සැප අත්හල කෙනෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේලා හැරෙන්න වෙන කෙනෙක් නම් නෙමෙයි. අනුන්ගේ දුක් නිවීම සදහා තමන් දුක් වින්ද කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි ඒ බෝසතාණන් වහන්සේලා හැරෙන්න තව කෙනෙක් නම් නෙමෙයි.

පින්වතුනි බුදුරජාණන්වහන්සේට මේ ධර්මය නිකන්ම පහලවුනේ නැහැ, නිකන්ම අවබෝධ වුනේ නැහැ. ඒ සදහා අනන්ත අපරිමාණ කෘර වූ කටුක වූ දුක් වේදනා විඳිමින් පාරමී ධර්ම පුරන්න වුනා. පින්වතුනි අද වගේ දවසක බුදුරජාණන්වහන්සේගේ ගුණ සිහිපත් කරන අපි ඒ ටිකත් සිහිපත් කරන්න ඕනේ. සිහිපත් කලයුතුයි. පින්වතුනි එදා ශාන්තිවාදී තාපසව ඉපදුන වෙලාවේදී අතපය කෑලි කෑලි වලට කපද්දීත් ද්වේශ සිත් මාත්‍රයක්වත් කලාබු රජ්ජුරුවෝ ගැන හිතන්නේ නැතුව ක්‍ෂාන්ති පාරමිතාව පිරුවේ පින්වතුනි මුළු ලොවටම ක්ෂාන්තියක් ලබාදෙන්නයි.

ඒ වගේම හිමාල වනයේ මහා විශාල හස්ති රාජයෙක් සර්වාංගයම ධවල ඒ කියන්නේ සුදෝ සුදු මහා විශාල හස්ති රාජයෙක් වෙලා ඉපදුන වෙලාවේදී ඒ හස්ති රාජයාගේ දළ වලින් රැස් විහිදෙනවා. ඉතින් ඒ තරම් විශාල ඒ හස්ති රාජයාට පුළුවන්කම තියෙනවලු ඕනෑම දෙයක් එක ක්ෂණයකින් සුණුවිසුනු කරලා දාන්න. ඒ තරම් ජවසම්පන්නයි. එබදු වූ හස්ති රාජයෙක් වෙලා උපන්න වෙලාවේදී සෝණුත්තර කියන වැද්දා ඇවිල්ලා දළ කපාගන්න හදනකොට ඒ වැද්දාට තනියම කපා ගන්න බැරි වෙනකොට තමන්වහන්සේගේ දළ දෙක කපන්න තමන්ම කියතේ කොනක් ඇල්ලුවා කියනවා හොඩවැලෙන්. අල්ලලා කපල දුන්නු කෙනෙක්. අපේ අතක් කපන්න හදනකොට කියතේ කෙරවලක් අල්ලලා අත හෝ ශරීර අවයක් කපලා දෙනකන් ඉඳීද? කපලා ඒ ඇත් දළ දුන්නේ සර්වඥතා ඥාණය නමැති දළ ලබාගෙන මේ ලෝකෙම සසර දුකෙන් එතෙර කරවන්න.

දෙමව්පියෝ දන්නවා දරු සෙනෙහස කියන එක. පින්වතුනි වෙස්සන්තර රාජ කාලේදී තමන්ගේ දරුවෝ සියතින් අල්ලලා දුජක බමුණාට දන් දුන්නේ මුළු ලෝකෙම දරුවෝ ගැන හිතාගෙන. ඉතින් මේ වගේ මහා විශාල දුක් විඳලා පාරමී ධර්ම පුරලයි පින්වතුනි බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ පාරමී ධර්ම පුරන හැම වේලාවකම බෝසතාණන් වහන්සේගේ සිතේ අදහසක් තිබුනා. වචනයෙන් කියන වචනයක් තිබුනා. බෝධි සම්භාර ධර්ම පුරන හැම කාලයකම හැම ජීවිතයකම කියපු වචනයක් තිබුනා. මොකක්ද, “බුද්ධො අහං බෝධිස්සාමි” මම කවදාම හරි දවසක මේ ධර්මය අවබෝධ කරගන්නවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ධර්මය අවබෝධ කරගෙන ලෝකයාටත් මම ඒක අවබෝධ කරවනවා. “මුත්තො අහං මොචෙපරිං”. මම කොහොම හරි මේ සසර දුකෙන් මිදිලා අනික් අයවත් මේ සසර දුකෙන් මුදවනවා. “තින්නො අහං තාරිස්සාමි, සංසාඔඝා මහභයා” මේ භයංකාර සංසාර ඕඝයෙන් මමත් එතෙර වෙලා අනික් අයවත් එතෙර කරනවා කියන කලණ සිතින්මයි, කලණ අදහසින්මයි පෙරුම් පිරුවේ.

ඒ නිසයි බුදුරජාණන්වහන්සේ එදා පිරිනිවන් මංචකයේදී පෙන්නුවේ ආනන්ද යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරුනොත් හෙතෙම මා පුදනවා කියල. බුදුරජාණන්වහන්සේගේ බලාපොරොත්තුවක් අරමුණක් තිබුනා මේ අහිංසක දුක් විඳින ලෝකයා සංසාර දුකෙන් එතෙර කරවන්න ඕනේ කියන. පින්වතුනි අපි බුදුහාමුදුරුවන්ට ආදරෙයි නම් බුදුහාමුදුරුවෝ ගැන මොහොතකට හෝ සෙනෙහසයි නම් ඇත්තටම අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙයි. අපි කෙරෙහි මේ තරම් කැප කිරීමක් කල, අපි කෙරෙහි මේ තරම පරිත්‍යාගයක් කළ ඒ මගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ , මගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් මගේ හිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන මොහොතකට හරි මගේ පෞද්ගලික මතිමතාන්තර වලට ජීවත්වන මගේ ජීවිතය එක මොහොතකට, එක පැයකට, එක දවසකට නතර කරලා මගේ බුදුහාමුදුරුවන්ගේ ඒ අධිෂ්ඨානය ඉෂ්ඨ කරලා දෙන විදිහට ජීවත් වෙනවා කියන එක කරන්න පුළුවන් නම් , කරනවා නම් මෙන්න මෙයා බුදුහාමුදුරුවන්ට නියම සෙනෙහවන්ත කෙනා.

අද පින්වතුනි මෙබදු වූ බුද්ධ පූජාවකින් ජීවිතය පූජා කරන්න හොදම දවසක්. ඒ නිසා හැමදෙනාම ශ්‍රද්ධාවෙන් හිත පිහිටුවාගෙන තමන්ගේ ඒ අදහස මුදුන් පමුණවා ගන්න අවස්තාව ඉඩ ලැබෙන ආකාරයට ජීවිතය තුලින් බුද්ධ පූජාවක් කරන්න ලැබෙන ආකාරයට හැමදෙනාම කටයුතු කරන්න කියල මුලින්ම අද මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ මතක් කරනවා.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.05.21 වෙසක් පොහෝ දින ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී “කීංසුකොපම සුත්‍රය” ඇසුරෙන් සිදු කරන ලද දේශනාවක් ඇසුරෙන්. නිවන් දැකීමට අප විසින් කුමක් කටයුතුද කියා ඉතා පැහදිලිව මේ දේශනාවේදී ස්වාමින් වහන්සේ විස්තර කරනවා. මේ දේශනාව ශ්‍රවනය කරලා අප්‍රමාදී වෙන්න කියල මතක් කරනවා.

සම්පුර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2dr4dKU via Facebook Pages http://ift.tt/1GMS4Lf