New photo from Facebook October 20, 2016 at 12:00PM

පාංශුකූල චීවරයේ සත්‍ය කතාව
.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් දෙව්දත් තෙරණුවන් ඉල්ලා සිටි වර පහෙන් එකක්‌ වූයේ භික්‍ෂුන් වහන්සේලා දිවි ඇති තෙක්‌ පාංශුකූල සිව්රු දැරිය යුතුය යන්නයි. එය ඉතා හොඳයෑයි දේශනා කළ බුදු පියාණෝ එය නීතියක්‌ ලෙසට පිළිගන්නට නොහැකියෑයි දෙව්දත් තෙරණුවන්ට දන්වා සිටියහ. එම ඉල්ලීම බැහැර හැරීම ඉතා සුදුසු යෑයි වැටහෙන්නේ එදාට වඩා අද සමාජයටය. අද වෙළෙඳ පොළෙහි විවිධ වටිනාකම් ඇති දේශීය හා විදේශීය වශයෙන් නිෂ්පාදිත සිවුරු වර්ග කොපමණ ඇතත් පාංශුකූල සිවුරක්‌ නම් සොයාගත නොහැක. එමෙන්ම පන්සලකද නැත. සමරහවිට ආරණ්‍ය දෙක තුනක ඇත. පාංශුකූල රෙද්දක්‌ සොයා ගැනීමද උගහටය. අද පාංශුකූලයක්‌ පන්සලකට ලැබෙන්නේද නැත. ලැබෙන්නේ මතක වස්‌ත්‍ර පූජාවන්ය. මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකන බොහෝ බෞද්ධයන්ගෙන් අප රට පිරී ඉතිරී පවතී. නමුත් පාංශුකූලය යනු මතක වස්‌ත්‍රය නොවන බව වටහා ගත යුතුය. මතක වස්‌ත්‍රය පුදන්නේ කෙනෙකු මියගිය පසු හෝ ජීවත් වන විට සිදු කරන පූජාවක්‌ ලෙස එම පුද්ගලයාගේ අවසාන කටයුතු කරන සොහොන් පළේදී හෝ නිවසේ දීය. කෙනෙකු ජීවත්ව සිටින විට සිදු කරන මතක වස්‌ත්‍ර පූජාව ඔහුට කැමති තැනකදී සඟරුවනට පිදිය හැක. ඒ සියල්ල මතක වස්‌ත්‍ර මිස පාංශුකූල නොවනු ඇත. එයට හොඳ නිදසුනකි මතක බණ හා මතක දන. මේ සියල්ල පටලවා ගත් බෞද්ධ පිරිස්‌ මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකත්. මතක වස්‌ත්‍රය පූජාකරන ගාථාවෙන්ද පවසනුයේ “ඉමං මතක වත්තං” යනුවෙනි. මතක වස්‌ත්‍රය හා පාංශුකූලය අතර කිසිම සබඳතාවක්‌ නොමැත.

පාංශු යන්නෙහි සිංහල තේරුම වන්නේ පාංශු යනු පස්‌ යන්නයි. කුල යනු පිළිකුල් යන්නයි. එබැවින් පස්‌වලට දිරායන පිළිකුල් වූ රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස සලකන අතර සමහර තැනකදී මෙහි වෙනත් අර්ථයක්‌ද ලබාදී ඇත. පාංශු පස්‌ – කුල – මුදුන සොහොන් බිම් ආදී තැන්වල මළමිනී ඔතා දමා මුඳුන් වී තිබෙන රෙදි කැබැල්ල යන අරුත ගෙනදෙයි. කෙසේ වෙතත් පිළිකුල්වී පසට දිරායන රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස හැඳින්වීම අර්ථාන්විතය. එමෙන්ම නිවැරදිය. මෙලෙස පිළිකුල් කොට අහකට දමා දිරායන පාංශුකූල වස්‌ත්‍ර 23 ක්‌ චීවර හෙවත් සිවුරු මැසීමට සුදුසු බව විශුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුත් මෙම පාංශුකූල වස්‌ත්‍ර 23 න් එකකින්වත් මැසූ සිවුරු ලොවෙහි සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් අඳිනවාද යන්න අපි නොදනිමු. බුද්ධ දේශනාවට අනුව, බුදු දහමට අනුව විනයට අනුව සුදුසුම චීවර පූජාවට කැප එම පාංශුකූලික වස්‌ත්‍ර මොනවාදැයි අප විශුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරෙන් දැන ගනිමු. එම පාංශුකූලික වස්‌ත්‍ර 23 මෙසේය.

1. සොහොනෙහි දැමූ වස්‌ත්‍රය(- මළමිනී ඔතා දැමීමට යොදාගත් හෝ මළමිනියට පෙරවූ රෙද්ද.

2. වෙළෙඳ සල් කඩපිල් ආදියෙහි දැමූ රෙද්ද(- බඩු බාහිරාදිය වැසීමට හෝ ඒවා වෙළෙ¹ම් කිරීමට බිම අතුරා දමන ලද රෙද්ද.

3. නගර වීදිවල විසිකරන ලද රෙද්ද(- සමහරවිට අමතකව දමාගිය හෝ අපවිත්‍ර බවට පත්වූ නිසා නගරයේ විසිකර දමා ඇති රෙද්ද.

4. කුණු ගොඩෙහි දමන ලද රෙද්ද(- ප්‍රයෝජනයට නොගෙන යම් යම් අඩුපාඩු නිසා ඉවත දමා ඇති වස්‌ත්‍රය.

5. වැදූ ස්‌ත්‍රීන්ගේ ගැබ්මල පිස දැමූ වස්‌ත්‍රය(- දරුවන් ප්‍රසූත කිරීමේදී රුධිරය ආදී අපවිත්‍ර දෑ ගෑවුණු හෙයින් අහකට දමා ඇති වස්‌ත්‍රය.

6. යකදුරන් විසින් ඉවතට දමන ලද වස්‌ත්‍රය(- යකදුරන් තොවිල් ආදිය සිදු කිරීමෙන් පසු ආතුරයන් නහවා පිස දමා විසික්‌කරන ලද රෙදිකඩ.

7. ස්‌නානය කරන විට ඇඳ සිට ඉවත දැමූ වස්‌ත්‍රය(- යමෙකු ස්‌නානය සඳහා යොදාගෙන ඉවත දමන ලද රෙදිකඩ.

8. සොහොනට ගිය අයවලුන් විසින් ඉවත දමන ලද වස්‌ත්‍රය(- සොහොනට ගිය අය කිළි කුණු යැම සඳහා ස්‌නානය කොට ඇඟපත පිසදමා ඉවත දැමූ රෙදිකඩ.

9. ගින්නෙන් දැවුන රෙදිකඩ(- යම්කිසි හේතුවක්‌ නිසා ගින්නකට හසුවී දැවී පිළිස්‌සීම නිසා ඉවත දමා ඇති රෙදිකඩ.

10. ගව – මුව ආදීන් විසින් කා දමන ලද රෙදිකඩ(- ගවයන්, මුවන් ආදී සතුන්ට හසුව උන් විසින් හපා දැමූ නිසා ඉවත දැමූ වස්‌ත්‍රය.

11. වේයන් කෑ රෙදිකඩ(- වේයන් විසින් කා දමා ඉවතට විසිකරන ලද වස්‌ත්‍රය.

12. පලුදු වූ වස්‌ත්‍රය(- රෙද්දේ කොන් ආදිය පලුදුවී කැඩී යැමෙන් ඉවතට දමන ලද රෙදිකඩ.

13. මීයන් කෑ වස්‌ත්‍රය(- මීයන් විසින් සපා කෑ නිසා අසුභ ලෙස සලකා ඉවත දැමූ රෙදිකඩ.

14. දහවල් කාලයේ කැඩී ඉරී ගිය වස්‌ත්‍රය(- යම් කටයුත්තකට ගෙන දහවල් කාලයේදී එම වස්‌ත්‍රය ඉරීගොස්‌ අහකට දැමූ රෙදිකඩ.

15. නැව් ආදී ජලයාත්‍ර වලින් හැර ගිය ධජ වැනි රෙදි(- නැව් ආදී යාත්‍රා වලින් විවිධ දේශයනට ගොස්‌ වෙළහෙළ¹ම් කරන අය විසින් නැව්තොට වල ධජ කොඩි ආදිය ලෙස එල්ලා තබා අහක දමා යන වස්‌ත්‍ර.

16. තුඹස්‌ වටකොට එල්ලා තැබූ රෙදි(- විවිධ උත්සව ආදී අවස්‌ථාවලදී එම ස්‌ථානවල තිබෙන තුඹස්‌ ආදිය කඩා බිඳ නොදමා ඒවා නොපෙනෙන්නට රෙදි වලින් ආවරණය කළ පසු අප්‍රයෝජනවත්ව අහක දැමූ වස්‌ත්‍ර.

17. පැවිද්දන් දුන් වස්‌ත්‍ර(- තවුස්‌, පැවිදි ආදී පිරිස්‌ තමාට ලැබී වෙනත් අයට පිරිනමන ලද රෙදි.

18. රජුන් අභිෂේක කළ තැන දැමූ රෙදි(- රජකෙනෙකු ඔටුනු පළඳවා අභිෂේක කළ තැන එම කටයුතු කර අවසානයේ ඉවත දැමූ රෙදි.

19. ඒහි භික්‌ඛු පැවිද්දෙන් ලබන චීවරය(- බුදුරජාණන් වහන්සේ නමක්‌ විසින් ඒහි භික්‍ෂු පැවිද්දෙන් ලබාදෙන චීවරය.

20. මාර්ගයෙහි වැටී තිබෙන වස්‌ත්‍රය(- මහ මාර්ග අතුරු මාර්ග ආදියෙහි වැටී තිබෙන්නාවූ රෙදි.

21. සුළඟේ ගසාගෙන ආ වස්‌ත්‍රය(- කොයි තැනක හෝ තිබී සුළඟට ගසාගෙන අවුත් අහුලාගත් වස්‌ත්‍රය.

22. දෙවියන් දෙන ලද වස්‌ත්‍රය(- දෙවියන් විසින් යමෙකුට පිරිනමන ලද රෙදිකඩ.

23. මුහුදෙන් ගොඩ දැමූ වස්‌ත්‍රය(- නැව් ආදියෙන් වැටීමෙන් එහි සිටින අය විසිකර දමා මුහුදේ ගසාගෙන අවුත් වෙරළට ගොඩ ගසාගෙන අවුත් ඇති රෙදි කඩ.

මේ ආදී වස්‌ත්‍ර භික්‍ෂුන් වහන්සේලා සිවුරු මසා ගැනීමට සුදුසු පාංශුකූලික වස්‌ත්‍රය එහි භික්‍ෂු භාවයෙන් සහ දෙවියන් ගෙන් ලැබුණ වස්‌ත්‍ර දෙක හැර අනෙක්‌ වස්‌ත්‍ර සොයා ගැනීම අපහසු නැත. එවැනි රෙදිවල කොටස්‌

රැගෙන සකසා ගන්නා සිවුරු පාංශුකූලික සිවුරු ලෙස බුදුරජාණන් වහන්සේ මහා සංඝයාගෙන් ප්‍රයෝජනය සඳහා සුදුසු බව වදාළ සේක.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට සිවුරු පරිහරණය කිරීමට පෙන්වා දුන්නේ තම තමන්ගේ වටිනාකම තත්ත්වය, බලය, ධනය පෙන්වීම සඳහා නොවන අතර උන්වහන්සේලාට සීත, ඌෂ්ණය, මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වීම, වාතය, සර්ප කොටස්‌ වලින් සිදුවෙන අතුරු ආන්තරාවලින් මිදී අඟපසඟ නිසි සේ වසාගෙන සියලු කල්හි ලැඡ්ජාබිය සහිතව සුවසේ ප්‍රිය මනාපම හැසිරෙන්නටය. මේ පිළිබඳවද විසුද්ධි මාර්ගයේ මනාව පැහැදිලි කර ඇත.
.
අහුන්ගල්ලේ
දේ.සූ.ද සොයිසා
උපුටා ගැනීම මුදුන පිටුවෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf