New photo from Facebook October 24, 2016 at 12:00PM

බක්කුල ථෙරාපදානය -> http://ift.tt/1MTPbv3
386
’’හිමවතට නුදුරෙහි සොභිත නම් පර්‍වතයක් විය. මාහට මැනවින් කරණ ලද අසපුවක් විය. එම අසපුවෙහි ස්වකීය ශිෂ්‍යයන් විසින් කරණ ලද මණ්ඩපයෝද බොහෝ වූහ. පිපුණු සින්දුවාර (නික) වෘක්‍ෂයෝද (එසේම) පිපුණු ජීව ජීවක වෘක්‍ෂයෝද, (තවත්) එහි කපිත්‍ථ (ගීවුල්) වෘක්‍ෂයෝද බොහෝ වූහ.
387
388
’’නික ගස්ද, ඩෙබර හා නෙල්ලි ගස්ද, බොරළු දමනු (උගුරැස්ස) ගස්ද, ලබුද, පිපුණු සුදු නෙළුම්ද එහි බොහෝය.
389
’’ආලක නම් ගස්ද, බෙලි ගස්ද, කෙසෙල් ගස්ද, නාරන් ගස්ද, උක් ගස්ද, කුඹුක් ගස්ද, පුවඟු ගස්ද එහි බොහෝය.
390
’’කොසොඹය, සලලය, කොළොම්ය, නුගය, හිවුළුය යන මේ වෘක්‍ෂයෝද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳුය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.
391
’’සියල්ල තෙමේම අවබෝධ කරගත් ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (විවේකය) සොයන්නේ, මගේ අසපුවට එළඹි සේක.
392
’’මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් (එම) ලෝක නායක බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් නැගී ආවේය.
393
’’මම අරණෙහි හැසිරෙන්නේ ලෝක නායකයන් වහන්සේ දැක, මහත් යශස් ඇත්තාවූද, පසැස් ඇත්තාවූද, (එම) සම්බුදුරජුන් වෙත එළඹ, උන්වහන්සේගේ කම්පනයද දැක, එකල්හි ’’අහෝ! අපගේ සියල්ල තෙමේම (ස්වයම්භූඥානයෙන්) දත් බුදුරජුන්හට ව්‍යාධියක් හටගත්තේය’’ යි සැළකීමි.
394
395
’’(ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි, මම මගේ සිසුන් සමීපයෙහිදී බේතක් කරනු කැමැත්තේ, සිසුන් ඇමතීමි.
396
’’සියළු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක්තැන්ව රැස්වූහ. මාගේ ශාස්තෘ ගෞරවය හේතුකොට ගෙන,
397
’’මම මහා පර්‍වතයට නැග සියළු ඖෂධ (සකස්) කළෙමි. මම එම ඔසු බීමට සුදුසුකොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
398
’’සර්‍වඥවූ, ලෝක නායකවූ මහා වීරයන් වහන්සේ ඒ ඖෂධයන් පානය කළ කල්හි සුගතවූ ඒ මහර්ෂීන් වහන්සේගේ වාත රෝගය වහා සන්සිඳුනේය.
399
’’මහත් යශස් ඇති අනොමදස්සී බුදුරජතෙම සන්සිඳුනාවූ (කාය) දරථය (ක්ලාන්තය) දැක සිය අසුනෙහි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
400
’’යමෙක් මට බෙහෙත් දුන්නේද, මාගේ රෝගය සන්සිඳුවීද, හේ කවරෙක්දැයි මම පවසන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
401
’’මේ හේතුවෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. එම දෙව්ලොවෙහි තූර්‍ය්‍යයන් වාදනය කරණ කල්හි මෙතෙම හැම කල්හි සතුටු වන්නේය.
402
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, මිනිස් ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විති රජ වන්නේය.
403
’’පස් පණස්වන කපෙහි සිව් මහා දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ (සතුරු රජවරුන්) ජයගන්නාසුළුවූ, ජම්බුද්වීපයට (විශෙෂයෙන්) අධිපතිවූ, සත්රුවනින් යුත්, මහත් බල ඇති අනොම නම් සක්විති රජෙක්ව, තව්තිසාවද කළඹා ආධිපත්‍යය කරන්නේය.
404
405
’’දෙවි වූයේද, මිනිස් වූයේද, අල්පාබාධවූ (නීරෝගී) කෙනෙක් වන්නේය. (රෝග භයින්) අල්වා ගැනුමක් නොමැතිව, ලෝකයෙහි (ව්‍යාධි) සාගරය තරණය කරන්නේය.
406
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේය.
407
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ඖරස (බුද්ධ පුත්‍රවූ), ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, සියළු ආශ්‍රව යන් (පරිඥා ප්‍රහාණ වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
408
’’කෙළෙස් දවා, තෘෂ්ණාව නමැති සැඩ පහරද තරණය කරන්නේය. නම්න් බක්කුල නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක්ද වන්නේය.
409
’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ (මොහු) එතදග්‍ර ස්ථානයෙහි තබන්නේය.
410
’’සියල්ල තෙමේම අවබෝධ කලාවූ, ලෝක නායකවූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේක සුවය බලාපොරොත්තු වන්නේ, අසපුවට එළඹි සේක.
411
’’එළඹියාවූ මහාවීරවූ, ලෝකනායකවූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තේ, සියතින් සියළු ඖෂධයන්ගෙන් සන්තර්‍පණය කෙළෙමි.
412
’’ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇතිවූ) බීජ සම්පත්තිය (අස්වැන්න) මෙන් සරුය. අවසන් කරන්නට නොහැක්කෙමි.
413
’’ඒ මම ලෝක නායකයන් වහන්සේ දුටුයෙම්ද, (එය) මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමකි. එම කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අචල පදයවූ නිවනට පැමිණියේ වෙමි.
414
’’ශාක්‍ය කුල ශ්‍රෙෂ්ඨවූ ගෞතම බුදුරජතෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මා ඒතදග්‍ර ස්ථානයෙහි තැබූහ.
415
’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.
416
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
417
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
418
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf