New photo from Facebook November 12, 2016 at 03:00PM

කෙනෙක් සතර මහා ධාතුවේ අම්මා, තාත්තා නොදකිනවා නම් තමන් හෝ තමන්ගේ ආත්මය නොදකිනවා නම් සතර මහා ධාතුවේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු මුට්ටු නොදකිනවා නම් ඒක රැවටෙන එක වෙන්න පුළුවන් නමුත් මේක හැදුන හැටිවත් දන්නේ නැති නම් හැදෙන හැටි දන්නෙත් නැත්නම් දිට්ඨි සම්පන්නයෙක් නම් නෙමෙයි. සතර මහා ධාතුවේ රූප ලෝකයට අම්මා වුනේ රැවටෙන්න පුළුවන් හැදිච්ච හැටි දන්නවා දිට්ඨි සම්පන්නයා. ආශ්‍රව වැඩි නිසා මේක දැනගෙන හිටියත් අම්මා අම්මා කියල රැවටෙන්න පුළුවන් නමුත් සිහිකලොත් මේ රූපය අම්මා වුනේ කොහොමද කියල මනසේ තියෙන ගති ටික නිසා හදාගත්ත සතර මහා ධාතු රූපය ඒ රූපය දකිනකොට මනසේ ආපහු මේ ගති ටික යෙදෙනවා නේද කියල සතර මහා ධාතුවේ අනාත්මය හොඳට දකිනවා.

දිට්ඨි සම්පන්නයා කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. හොඳට මතක තියාගන්න සෝතාපන්න පුද්ගලයාගේ ලක්ෂණය. ස්පර්ශ ආයතන හයේ ආත්ම වූ කිසිවක් දකින්නේ නැහැ. අනාත්මමයි. දිට්ඨි සම්පන්නයා කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. එයා දකින්නේ නැහැ කවදාවත්ම අම්මා කෙනෙක් ඉන්නවා, ඉන්න අම්මා හම්බවෙනවා, හම්බවෙච්ච අම්මා ඉන්නවා කියන එක දකින්නේ නැහැ කවදාවත්. මෙය ඇති කල්හි මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේ. අම්මා හම්බවෙන හැටිත් දන්නවා අම්මා හම්බ නොවෙන හැටිත් දන්නවා.

පුටුව හැදෙන හැටිත් දන්නවා. පුටුව නොහැදෙන හැටිත් දන්නවා. කෙනෙක් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් මනසේ තියෙන පුටුව වූ රූපයේ හැඩයට සතර මහා ධාතුව රාශි කළා. සතර මහා ධාතු රූපය දකිනකොට ආපහු මේ ගති ටික මනසේ යෙදෙනවා කියල දන්නවා නම් එයා පුටු හදන්නේ නැහැ. අවකාශ ධාතුව තුල මේ හැඩයට සතර මහා ධාතුව රාශි කරයි. සතර මහා ධාතුවයි රාශි වෙන්නේ කියන නුවණකින්. එදාට මේ සතර මහා ධාතුව කැඩුනාට පුටුව කැඩුනා කියල දුක් විඳින්නේ නැහැ එයා. නුවණ නිසා.

අවිද්‍යා, කර්ම තණ්හා ,ආහාර නිසා සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙනවා. රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට අම්මා කියන ගතිය මනසේ යෙදෙනවා කියල දන්න නිසා එයා මේ සතර මහා ධාතු රූපය අම්මා ඉන්නවා කියල ප්‍රපංච කරන්නේ නැහැ. ආශ්‍රව නිසා රැවටිලා බලන්න පුළුවන්. නමුත් සිහි කලොත් අම්මා හැදිච්ච හැටි නොදන්නවා නොවේ. මේ නුවණ තියේ නම් බය නැතුව කියන්න මම දිට්ඨි සම්පන්නයි කියල. චුට්ටක්වත් බය වෙන්නත් එපා. ඕගොල්ලොන්ට ඕක තේරුනේ නැත්තම් මේ හිස්බව දැක්කා කියල මේ ශාසනයේ මාර්ග ඵල ලැබෙන්නේ නැහැ. මේක ප්‍රඥාවෙන් අවබෝධ කටයුක්තක්.

සතර මහා ධාතුවේ අම්මා, තාත්තා, දුව, පුතා දකින්නේ නැතුව අනාත්මයි කියල කෙනෙක්ට දකින්න පුළුවන් නම් ශුන්‍යත විමොක්ෂය කියල කියනවා ඒකට. සතර මහා ධාතුවේ අම්මා, තාත්තා, පුටු, මේස කියන කිසිම නිමිත්තක් නැත්නම් අනිමිත්තයි. සතර මහා ධාතුව අම්මා කියල සතර මහා ධාතුව ප්‍රර්ථනා කරන් නැත්තම් පුටුවක් ලැබේවා කියල රත්තරන් ලැබේවා, රිදී ලැබේවා කියල කැමැත්තෙන් සතර මහා ධාතුව එකතු කරන් නැත්තම් අප්පණීහිතයි. මේ දර්ශනය නිසයි එයා සතර මහා ධාතුවේ නොඇලෙන්නේ. නොඇලෙන නිසා මිදෙනවා.

සතර මහා ධාතුව එක්ක ගණුදෙනුව තියෙන්නේ රාග, ද්වේශ, මෝහ තියෙන මනසටයි. රාගය අශුන්‍යකරයි , ද්වේශය අශුන්‍යකරයි, මෝහය අශුන්‍යකරයි. රාගය නිමිත්තක්, ද්වේශය නිමිත්තක්. මෝහය නිමිත්තක්. රාගය ප්‍රර්ථනා කරන ධර්මයක්, ද්වේශය ප්‍රර්ථනා කරන ධර්මයක්, මෝහය ප්‍රර්ථනා කරනධර්මයක්. රාගය තියෙන තැන අශුන්‍යයි, ද්වේශය තියෙන තැන අශුන්‍යයි, මෝහය තියෙන තැන අශුන්‍යයි. රාග, ද්වේශ, මෝහ තියෙයි නම් සතර මහා ධාතුවේ නිමිති තියෙයි. සතර මහා ධාතුවේ සත්වයෝ, පුද්ගලයෝ, ද්‍රව්‍ය කාරණා තියෙයි. රාග, ද්වේශ, මෝහ තියේ නම් සතර මහා ධාතුව තුල ප්‍රර්ථනා කටයුතු බොහෝ වස්තු තියෙයි.

අනිමිත්ත, ශුන්‍යත, අප්පණීහිත කියන්නේ පටිච්ච සමුප්පාදය දන්නා වූ දක්නා වූ මනස නිසා, ස්කන්ධයන්ගේ උදය වැය දන්නා වූ දක්නා වූ මනස නිසා නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදය වැය දන්නාකම නිසා සතර මහා ධාතුවේ කිසිම නිමිත්තක් දකින්නේ නැහැ. අනිමිත්තයි. සතර මහා ධාතුවේ සත්ව පුද්ගල ආත්මීය වූ ධර්මයක් දකින්නේ නැහැ ශුන්‍ය යි. සතර මහා ධාතුවේ සතුටු වියයුතු ප්‍රර්ථනා කටයුතු කිසිවක් දකින්නේ නැහැ අප්පණීහිතයි. ඔය විමොක්ෂය කුමකටද? ඔය නොඇලීම කුමකටද නිවනට. ඔන්න ඔය මට්ටමට පත්වෙච්ච මනසට නිරායාසයෙන්ම හටගත්ත සියලුම දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා.

කණ්නාඩිය ඉස්සරහට යනකොට දැකපු ඡායාව පැත්තකට ගියහම ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා කියල ඕගොල්ලොන්ට පේනවා නේද? ඒ විදිහට මේ සතර මහා ධාතුව පිරිසිඳ දකින මට්ටම ආවා කියල කියන්නේ රහත් වුනා. එයා ජීවත් වෙන්නේ මේ තුන් විමොක්ෂයන්ගෙන් එක් විමොක්ෂයක් එක්ක ගණුදෙනු කරමින් සතර මහා ධාතුවේ. සතර මහා ධාතුවෙන් මිදිලා පවතින්නේ ඒ මනස. පෙනෙන දේ තුල තමන් නැහැ. තමන් එක්ක පෙනෙන දේ නැහැ. ඒ හින්දා එයා මෙලොවට අයිති කෙනෙකුත් නොවෙයි. එයා පරලොවට අයිති කෙනෙකුත් නොවෙයි. එයා මෙලොව පරලොව දෙඅතරට අයිති කෙනෙකුත් නොවේ. එයා මෙලොව දුක් විඳින කෙනෙකුත් නොවේ. පරලොව දුකට හිමිකාරයෙක් නොවේ. එයා මෙලොව පරලොව දෙඅතර උභයාර්තයේ දුක් විඳින කෙනෙකුත් නොවේ. ඒ විදිහේ මනසකින් ඉන්නේ. ඒ හින්දා අරමුණෙන් අහකට යනකොට දැකපු දේ නිරුද්ධයි කියල කන්නාඩියෙන් අයින් වෙනකොටම ඡායාව ඉතුරු නැතිවම නිරුද්ධයි වගේ අතීත ඇහැ නිරුද්ධයි, රූපය නිරුද්ධයි, චක්ඛු විඤ්ඤාණය නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. නිරෝධ සංඥාව එළඹ සිටිනවා.

ලෝකය ඇසුරු කරනකොට ශුන්‍යතාවයෙන් ඇසුරු කරනවා. අනික් වෙලාවට නිරෝධ සංඥාවෙන් වැඩ ඉන්නවා. මෙන්න මේ තැනට යන ආරම්භයට ස්කන්ධයන්ගේ උදය වැය දන්නවා නම් එයාට කියනවා “අමතං ද්වාරං ආහච්ච” නිවන් දොරේ හැපිලා හිටින කෙනෙක් කියල කියනවා එයාට. “සේඛෙන ඥාණෙන සමන්නාගතෝ ඉතිපි” එයාට සේඛ ඥාණයකින් යුක්තයි මම, සේඛ ධර්මතාවයකින් යුක්තයි මම තමන්ට බය නැතුව කියන්න පුළුවන්. කුමක් නිසාද තමන් සතර මහා ධාතුවත්, සතර මහා ධාතුවේ ඇතිවීමත්, නැතිවීමත් දන්නා නිසා. එබදු කෙනෙකුට පුළුවන් ඇස් ඉදිරිපිටට එනකොටම නගරහිමියාට වූ පරිදි වචනය පවරා දෙන්න.

සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියල පවරලා දෙන්න එපා. චිත්ත සන්තානයේ තියෙන රූප අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තට තණ්හා උපාදාන වුන නිසා මේ සිතේ තියෙන චිත්ත චෛතසික ටිකේ හැඩයටයි මේ රූපය හැදෙන්නේ. ඒ රූපය දකිනකොටම ඒ ගති ටික ආපහු මනසේ යෙදිලා. එහෙමයි සතර මහා ධාතුවේ තමන්ව දකින්නේ. හිතේ තියෙනවා මෙන්න මේ හැඩ වලටයි ස්ත්‍රීන් කියන්නේ මේ හැඩ වලටයි පුරුෂයෝ කියන්නේ මේ හැඩ වලටයි මනුස්සයෝ කියන්නේ කියල නිමිති ටිකක්. ඒ නිමිති ටිකට මගේ ප්‍රසාද ටික සවිඤ්ඤාණක වෙනවා. සවිඤ්ඤාණක ප්‍රසාද වලට රූප ගැටෙනකොටම ඇස් ඉදිරිපිටට රූප හම්බවෙනකොට අර මනසේ තියෙන සත්වයෝ, පුද්ගලයෝ, ස්ත්‍රී, පුරුෂයෝ කියන ගති ටික නැගිටලා ඇවිල්ලා. ඔහොමයි මට තව සත්වයෝ පුද්ගලයෝ පෙනිලා තියෙන්නේ සතර මහා ධාතුවේ.

අන්තිමට ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා, ප්‍රත්‍ය නිසා හටගත්ත ස්කන්ධයෝ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික මැද තියාගෙන ඒ කියන්නේ අනාත්ම වූ ස්කන්ධ ටික කෙලෙස් ටිකකින් උපද්දවලා උපන් ආනාත්ම වූ ස්කන්ධයෝ ටික අරඹයා ආපහු කෙලෙස් ටික මනසේ යෙදුනහම අනාත්මය වැහිලා ආත්මීයවයි අපි ජීවත් වෙන්නේ. පටිච්ච සමුප්පාදයෙන් කරන්නේ මේ මැද ඇත්ත පෙන්නලා දෙපැත්ත පිරිසිඳු කරන එක. “උභෝ අන්තේ විජිත්වාන මජ්ජේ මන්තා නලිප්පති” අන්ත දෙක දැකල මැද තැවරෙන්නේ නැතුව ඉන්න. මනසේ තියෙන පුටුව කියන ගති ටිකටයි සතර මහා ධාතුව රාශි වුනේ රාශි වෙච්ච සතර මහා ධාතුව දැකපු නිසා පුටුව කියන ගති ටික මනසේ යෙදුනේ කියල දන්නා නිසා සතර මහා ධාතුවේ ඇලෙන් නැතුව ඉන්නවා.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2016.06.12 රත්නපුරයේ දී කරන ලද ඉතා වටිනා දේශනාව ඇසුරෙන්.

දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2eqLEZG via Facebook Pages http://ift.tt/1GMS4Lf