New photo from Facebook January 15, 2017 at 03:00PM

මේ ධර්මය ලිහිල් කරලා සරල කරලා ඕගොල්ලොන්ට තේරුම් ගන්න තමයි අභිධර්මය තියෙන්නේ. හැබැයි වර්තමානයේ බොරු උගන්වන ක්‍රමයට නම් නෙමෙයි. චිත්ත වීථි ඉගෙනගත්තා කියල එහෙම නැතිනම් චිත්ත ඛාණ්ඩ ඉගෙනගත්ත කියල ඔගොල්ලොන්ගේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට මොකද වෙන්නේ, තව දැනුමක් එකතු වෙයි. ඉගෙනගත්ත පුද්ගලයෙක් බිහිවෙයි එච්චරයි. නමුත් ධම්මසංගනීය ඉගෙන ගන්න කියල මම මතක් කරනවා කොහොමද? ඇහැ කියන්නේ මොකක්ද, රූපය කියන්නේ මොකක්ද, කන කියන්නේ මොකක්ද, ශබ්දය කියන්නේ මොකක්ද,….. බුදුරජාණන්වහන්සේ පෙන්වලා තියෙයි. ධම්මසංගනීය ඉගෙන ගත්ත පමණකින් චුල්ල සෝතාපන්නයි කියල කියනවා. මෙන්න මේ ටික ඉගෙනගත්තොත් මේ ලෝකයේ අනාත්ම ස්වභාවය හොඳට විවර කරලා දෙනවා. ඔබ දැක්කත් නොදැක්කත් ඇස් ඉදිරිපිටට එන රූපේ සැබෑම ඇත්ත මොකක්ද කියන එක පෙන්වන්නේ අභිධර්මයෙන්. ඇහේ සැබෑම ඇත්ත පෙන්වන්නේ අභිධර්මයෙන්.

ඒ ටික තේරුම් ගත්ත නිසා තමයි මටත් තේරුනේ ඇත්තටම ටීවී ඒකෙ පෙනෙන රූප වගේ රූප නේද පෙන්වන්නේ මේ ඔක්කොම. අභිධර්මයට හිත තැබුවහම තමයි පෙන්වන්නේ ටීවී එකේ පෙනෙන රූපේ කෙනෙක් නෙමෙයි කියන එක අපිටවත් හිතුනේ නෑනේ ඔච්චර බලලා. එතකොට මේ සැබෑවටම පෙනෙන එකේ ඇත්ත කොහේ පෙනෙන්නද? . ඒ ධම්මසංගනිය කරනකොට තමයි තේරුනේ ටීවී එකේ තියෙන රූප වල මට්ටම නේද රූප වල ඇත්ත කියල පෙන්වන්නේ, අනාත්මයි කියල පෙන්වන්නේ. මේ හැම රූපයක්ම එහෙනම් ඒ මට්ටම නේද කියල රූපය අනාත්මයි කියල දකිනකොට තමයි ශක්තියක්, ධෛරයක් එයාට එන්නේ ආත්ම සංඥාව මනස පිලිබදව වුවක්මයි කියන එකට ලොකු හයියක් එන්නේ. ඒ තාක් අපිට පෙන්නේ මෙහෙ (බාහිර) ආත්මයි වගේ. බාහිර රූපය ආත්මයි වගේමයි. රූපේ අනාත්මයි කියල හොඳට පැහැදිලි වුනහම තේරෙනවා ආත්ම සංඥාව මනස පිළිබද වුවක්. එහෙනම් මනස පිළිබද වුවක් වූ කෙලේසේ රූපය මත පතිත වෙලයි මේ දුක නිර්මාණය කරලා තියෙන්නේ කියන උත්තර ටික එනවා.

ඒ නිසා මම මේ කතා කරන දේශනාවේ සම්පූර්ණ හරය අන්තර්ගතය අභිධර්මය. ඕගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරුවන්ගේ කාලේ ධර්ම විනය කියල දෙකක් විතරයි තිබුනේ. අභිධර්මය කියල එකක් තිබුනෙත් නැහැ ඒ නිසා ඕනෙත් නැහැ කියනවා. ගොඩක් දෙනෙක් අභිධර්මය පිළිනොගන්නේ එදා අභිධර්මය තිබුනේ නැහැ කියලනේ. ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුගේ මනසට පෙනෙන මට්ටමටයි අභිධර්මය කියන්නේ. එහෙම අවබෝධ වෙච්ච මනසකින් කතා කරන කෙනා දේශනා කරන දේශනා තුල අන්තර්ගතය අභිධර්මය. මගෙන් බණ අහන ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති ඕගොල්ලෝ මේ ඉගෙන ගන්නේ ධම්මසංගනිය කියල. ඕගොල්ලෝ අභිධර්මය ඉගෙන ගන්නේ කියල. ඕගොල්ලොන්ට හම්බවෙන්නේ ධර්ම විනය විතරයි. නමුත් ඕගොල්ලෝ සාමාන්‍ය ලෝකේ ජීවත්වෙන මට්ටමට ඔබ්බට ගන්නට මට තියෙන එකම හයිය අභිධර්මය.

මේ ටික දන්නේ නැති කෙනෙක් තමයි අභිධර්මය නිවන් දකින්න ඕනේ නැහැ කියන්නේ. කරන දේශනාවකට අභිධර්මයේ පෙන්වන අර්ථය ඝටිත කරලා පෙන්වන්න නොදන්නා තාක් එයාට ඔගොල්ලොන්ගේ මනසේ වෙනසක් කරන්න බැහැ. ඕගොල්ලෝ මේ ලෝකෙන් එලියට ගන්න එයා සමත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් යම් දේශනාවක් කරනකොට ඒ දේශනාවට අභිධර්මයේ තියෙන ඒ සැබෑම අර්ථ ටික එකතු කලොත් විතරයි ඕගොල්ලොන්ව අවිද්‍යාව ඇතුලෙන් එලියට ගන්න පාර පෙන්වන්න පුළුවන් වෙන්නේ. මම මේ ටික මතක් කලේ ගොඩ දෙනෙක් කියනවා අභිධර්මය කියන එක බුද්ධ භාෂිතයක් නෙමෙයි. අභිධර්මය ඕනේ නැහැ කියල. අභිධර්මය ඕනේ නැහැ කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ කියනවා වගේ. අභිධර්මය කියන්නේ මාර්ග ඵල ලාභී ශාසනයට හැබැයි අද මේ කරන බොරුවට නම් නෙමෙයි. අද මේ කරන ක්‍රමයට අහිධර්මය ඉගෙන ගෙන කවදාවත් ආශ්‍රවක්ෂය කරගන්න ලැබෙන්නේ නැහැ ආශ්‍රව වැඩි වෙයි.

ඔගොල්ලොන්ම බලන්න මොනවද ඔය කරන ක්‍රම වලින් ඕගොල්ලොන්ට ලැබෙන්නේ කියල. එක දෙයක් මතක් කරනවා. අභිධර්මය ඉගෙන ගන්න අභිධර්මයේ තියෙන විදිහට. බය නැතුව ධම්මසංගනිය ඉගෙන ගන්න. ඒකෙ තියෙන රූප ඛාණ්ඩය ඉගෙන ගන්න. විභංගප්‍රකරණය ඉගෙන ගන්න. ඒකේ තියෙන නාම ධර්ම ටික වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ටික ඉගෙන ගන්න. පංචඋපාදානස්කන්ධය පිලිබදව මැනවින් ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය අභිධර්මය. සුත්‍ර ක්‍රමයට මම මාතෘකා කලොත් “සංඛිත්තෙන පංචඋපාදන්ස්කන්ධා දුක්ඛා” කියල පංචඋපාදානස්කන්ධය දුකයි. මොකක්ද පංචඋපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියල මාතෘකා කලොත් ඔබට දුක එන රූප උපාදානස්කන්ධය කියන එක මොකක්ද කියල මම පැහැදිලි කරන්නේ කොහොමද කියන එක මට පෙන්වන්න අභිධර්මය අයින් කලොත්.

රූප උපාදානස්කන්ධය කියන්නේ ඇහැ- රූප, කන – ශබ්ද, නාසය – ගන්ධය, දිව – රස, කය- පොට්ඨබ්බ කියල ඒවා ප්‍රබේධ සහගතව ඔබට උගන්වන්න තියෙන එකම පරියාය තමයි අභිධර්මය. මේ ධර්මයෙන් කළ මාතෘකාව විශේෂයෙන් විස්තර විසින් පෙන්විය හැකි දේටයි අභිධර්මය කියල කියන්නේ. ඒ නිසා අභිධර්මය කියල කියන්නේ නිවන් දකින කෙනා අවශ්‍යයෙන්ම දතයුතු, ඉගෙනගත යුතුයි අභිධර්මය කියන එක මතක් කරනවා. හැබැයි අභිධර්මය ඉගෙන ගත්ත තැනකින් බණ අහන කෙනා අභිධර්මය ඉගෙන ගන්න ඕනේ නැහැ වෙනම. ඒ කියන්නේ දැන් තියෙන්නේ ධර්මය විතරයි. ඕගොල්ලෝ මේ ඇහැව්වේ මේ මම කියල දුන්නේ අභිධර්මයේ කරුණු. ඒකයි ඕගොල්ලොන්ට තේරෙන්නෙත් නැත්තේ. ඇහේ අනාත්ම ස්වභාවය, රූපයේ අනාත්ම ස්වභාවය කියල දෙන්නේ අභිධර්මයෙන්. ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි කියල ඔප්පු කරගන්න තියෙන සාක්ෂිය අභිධර්මය. අභිධර්මය කියන්නේ ධර්මයට විශේෂණයක්. අභිධර්මය අවබෝධ වෙච්ච මනසකින් දේශනා කරනකොට අභිධර්මය කියල වෙනමම ඉගෙන ගන්න ඕනේ නැහැ ධර්ම විනයම තමයි. හැබැයි ඒ ධර්ම විනය තුලින් පෙන්වන අර්ථය අතහැරිලා යම් කාලෙක ආපහු ප්‍රතිපත්තිය උපදවා ගන්න තියෙන ක්‍රමය අභිධර්මය.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2017.01. 08 දින කිරුලපන ඇලන්මැතිනිආරාමයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිදු කරන ලද දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීමට හා ලබා ගැනීමට
http://ift.tt/2jSmo0N via Facebook Pages http://ift.tt/1GMS4Lf