New at Little Bit


from Path to Nirvana http://ift.tt/2FSEydi
බුදුරජාණන් වහන්සේ.
—————

බුදුරජාණන් වහන්සේ නම් : බෞද්ධයන්ගේ ශාස්තෘෘන් වහන්සේ ය – හෙවත් – උන්වහන්සේ අදහන පිරිසගේ අනුශාසකයන් වහන්සේ ය.

උන් වහන්සේ තමන් තමන් වහන්සේට ඇහුම්කම් දෙන පිරිසට මෙලොවැ සදාචාරයෙන් හා යහපත් දියුණුවෙන් ද – පරලොවැ සුගතියෙන් ද – කෙළවර සියලු ම සසරදුක් ගෙවා සියලු ලොකයන් ඉක්මවා ලැබිය යුතු පරම මොක්ෂ ( = ඉතා ම උසස් නිදහස ) නම් වූ පරමශාන්තිසඞ්ඛ්‍යාත නිවන් සැපතින් ද අනුශාසනා කරන දේශකයන් වහන්සේ වන සේක.

වෙන සමයන්හි ඉෂ්ට දෙවතාවන් මෙන් ලොවත් ලොවැස්සනුත් මවන වවන වනසන දුකින් හෝ ගලවන දුකෙහි හෝ අලවන දඬුවම් හෝ සත්ප්‍රසාද දෙන පළි හෝ බිලිපුද ගන්නා ශාප හෝ කෝප කරන තමන් කෙරෙහි භක්තිමාත්‍රය ම උසස් යැ යි දක්වන සර්වබලධාරී අදෘශ්‍යමාන වූ පරිකල්පිත වූ ( = සමහරුන් විසින් සැකයෙන් ‘ ඇතැ’ යි වරදවා සිතා ගන්නා ලද ) අප්‍රත්‍යක්ෂ වූ ( = කිසිවෙකුටතෟ ඇස්හමු නොවූ ) එ⁣හෙයින් ම කවදාවත් කවුරුන් විසින් වත් නුදුටුවිරූ වූ ආකාස්මික වූ හෙවත් කාරණයක් හේතුවක් නැති වැ ස්වභාවයෙන් ම ( = ඉබේ ම ) ඇති වූ අක්‍රමසිද්ධ වූ – හෙවත් – ක්‍රමයෙන් උසස් බවට පැමිණි පිළිවෙළක් නැති වැ අක් මුල් නැති හැම කල්හි එකසේ උසස් වැ සිටියා වූ හැම තැන ම ඇතැයි සිතතත් කිසි තැනක දී ත් නොපෙනුණු ” දෙවි කෙනෙක්” නො වෙති. දෙවත්වය ද ඉක් මැ ගිය ආශ්චර්යය මනුෂ්‍යොත්තමයාණ කෙනෙකි.

උන් වහන්සේ නො ගිණියැ හැකි තරම් දික් කලකට පෙරැ අප වැනි ගුණ නුවණ ඇති මිනිස් කෙනෙක් වෑ සසරැ දුක් විඳුනා සතුන් කෙරෙහි දයායෙන් ඔවුන් එයින් මුදවන්නට පොහොසත් වනු පිණිස දානාදි ගුණ දහම් පුරමින් පව්කම් අත් හරිමින් ජාතියක් පාසා ක්‍රමයෙන් ගුණයෙන් හා නුවණින් දියුණු වෙමින් අවුත් කෙළවරදී හැම නුගුණයෙන් මිදුණු හැම සුගුණයෙන් පිරුණු හුදු පින්පිණ්ඩයක් වූ ආශ්චයර්‍යමනුෂ්‍යයකු බවට පැමිණ මධ්‍යමප්‍රතිපදායෙන් වීයර්‍ය වඩා නුවණ ඉතා ම දියුණු කැරැ ගෙන ඒ ස්වකීය ඥානයෙන් සත්වයාගේ භවයෙන් භවයට පෙරෙළෙමින් දුක් විඳිමින් පැවැත්ම ත් එසේ වන්නට හෙතු ත් ඒ දෙකින් තොර වූ සැනසීම ත් එය ලැබීමට ස්වකීය සන්තානයෙහි පුහුණු කට යුතු වූ මධ්‍යම ප්‍රතිපදා නම් වූ ‘උතුම් මඟත්’ අනුන්ගේ උවදෙසක් නැති වැ ප්‍රත්‍යක්ෂ කොට දැන වදාළ සේක. මෙසේ සත්වයා පිළිබඳ සැබෑ තතු සතර නම් වූ චතුරායර්‍යසත්‍යය ස්වයම්භූඥානයෙන් අවබෝධ කොට හැම පව් හැම කෙළෙස් නසා හැම උතුම් ගුණනුවණින් සම්පූර්ණ වැ වෙන සත්නට ත් මේ සත්‍යය අවබෝධ කරවන්නට සමර්ථ වූ හෙයින්
” සම්‍යක්සම්බුද්ධ ” නම් වූ සේක.

ඒ සම්මාසම්බුදුන් වහන්සේ සකල සත්ත්වයන් වෙතැ කරුණායෙන් පැරුම් පිරීමට පටන් ගෙනැ ක්‍රමයෙන් තියුණු වූ ප්‍රඥායෙන් කෙළවරදී සියලු සැබෑතතු අවබෝධ කැරැ ගත්තාක් මෙන් ම බුදු වූ පසු ත් හැම සත්නට කරුණායෙන් තුන් ලොව සැරි සරා අපමණ දුක් ගෙන ප්‍රඥායෙන් එ් ඒ සත්ත්වයන්ගේ ආශයානුශයචරිතාදියට සරි ලන සැටි බලා ධර්මදේශනා කොටැ “උද්ඝාටිතඥාදී” බොහෝ සත්නට (සූවිසි අසඞ්ඛ්‍යයක් පමණ සත්ත්වයන්හට ) චතුස්සත්‍යාවබොධය කැරැවූ සේක. “පදපරම” වූ අනන්ත සත්වයන්ට ත් අනාගතයෙහි චතුස්සත්‍යාවබොධයට මඟ යෙදූ සේක. නොයෙක් සත්නට මෙලොවැ මැ ලෞකික සම්පත් හා පර ලොවැ සුගතිසම්පතු ත් ලබන මඟ හුසු කුළුණින් නොමිළයේ කියා දුන් සේක.

මෙසේ මහකුලුණැති මහනුවණැති ඒ තුන්ලෝහිමියාණන් වහන්සේ පරමකොටිප්‍රාප්ත වූ ශිලයෙන් ද සමාධියෙන් ද සෘධිවිධාදි අභිඥායෙන් ද – සියලු දෑ සිතූ කෙණෙහි බැලියැ හැකි ආවර්ජනප්‍රතිබද්ධ වූ නුවණැසින් ද – සිතා නො නිමියැ හැකි කියා නොනිමියැ හඅකි – උපමායෙනු දු නො මිනියැ හැකි – රූපවිලා⁣ස වචනවිලාසාදි අනන්තඝුණයෙන් ද යුක්ත වූ සේක.

උන් වහන්සේ ලොවැ පහළ වැ යටෑ කී නොකී අනන්ත ගුණයෙන් යුක්ත වැ මුළු තුන්ලොවට ලොවී ලොවුතුරා වැඩ සාදමින් පන්සාළිස් වසක් මුළුල්ලේ මහඟු මෙහෙයක් කළ බවට වර්තමාන පුරාණවස්තුවිද්‍යාඥයන් සොයා හෙළි කළ දෑ ද තත්කාලීන වූ ත් තදාසන්නකාලයෙහි වූ ත් පඬුවන් පොත්පත්හි සගලියූ දෑ ද ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයෝ වෙති. උන් වහන්සේ පිරිනිවියත් වදාළ දහම් එක එක කොටස එක එක බුදුවරයෙකැ යි සලකන්නට නියම කළ හෙයින් දැනුදු වැඩැ සිටින්නාක් වැන්නහ. දිවමන් කල්හි දු උන් වහන්සේ අප නොගළවන සේක. දුකින් මුදා සෙත්සිරි නො දෙන සේක. එහෙත් ඒ හැම අප විසින් ම ලබා ගන්නට මඟ වදාළ සේක. එ හෙයින් අපගේ ‘ශාස්තෘ’ නම් වන සේක. ” තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා ” ( = නුඹලා විසින් ම වීයර්‍ය වැඩියැ යුතු ය. බුදුවරයෝ හුදෙක් මඟ කියා දෙන්නෝ යැ ) යි ද, ” යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො ච පඤ්ඤත්තො යො වො මම’ච්චයෙන සත්ථා ” ( = ආනන්දය ! ම විසින් නුඹලාට යම් ධර්මයක් විනයයක් දෙසන ලද නම් පනවන ලද නම් ඒ ධර්මවිනයය ම මගෙ ඇවෑමෙන් නුඹලාගේ ශාස්තෘවරයා යැ ) යි ද වදාළ බුද්ධවචන ම ඊට සාධක වෙති.

උන් වහන්සේ ඉටු දෙවියෙක් වත් – හෙවත් දෙලොව ම හැම හොඳ නොහොඳ සලසන සර්වබලධාරී දෙවියෙකැ යි සිතා ගන්නා ලද මෙලොවදී නොපෙනී පරලොවදී ම පෙනෙන අමනුෂ්‍යයෙක් වත් හැම කල්හි ලොකාධිපත්‍යය උසුළමින් ලොව මුරකරන කවදාවත් නොමැරෙන “පාළකයාණ” කෙනෙක් වත් නො වෙති. එක කල්හි බුදුවරුන් දෙදෙනකුන් නො ඉපදිතත් බුදුබව එක් කෙනෙකු හට ම හිමි කොවූ “පොදු පදවියක්” වන බැවින් වුව මනා හැම පැරුම් පුරා නිම ගවූ කාහට වුවත් යම් කලෙකැ බුදු වියැ හැකි යැ. පිරිනිවියෙන් පසු බුදු නුබුදු කහට ත් නිර්වාණධාතුව එක සමාන වන බැවින් එහි උස් මිටි කම් නැත. ” එකා නිට්ඨා පුථු නිට්ඨා ” ( = සංසාර විමුක්තියෙන් වන නිෂ්ඨාව – හෙවත් – නිවන බුදු පසේබුදු මහරහත් කහටත් එකබඳු ම ය. ඔවුනොවුනට වෙනස් වෙන වෙන නිෂ්ඨාවෝ නැත්තාහ ) යි වදාළේ එහෙයිනි.

ඒ බුදුවරයෝ කිසි කලෙකත් තමන් නො ත් නුදුටුදැයක් අනුමානයෙන් පරිකල්ප වශයෙන් හෝ, අනුන්ගෙන් අසා ගත් (ආරංචි) පමණෙකින් අනුශ්‍රවවශයෙන් හෝ – නො වදාරා සියැසින් ම දුටු ( = අත්දුටු) දෙය ම වදාළ බැවින් ” ප්‍රත්‍යක්ෂවාදීහු ” නම් වෙති. සියල්ල ම නිකම් අහෙතුක හාස්කම්වලින් නෙි වැ සහෙතුක වැ ම වන බව වදාළ හෙයින් ” හෙතුවාදීහු ” නම් වෙති. එහි දු එක් ඵලයක් සේ පෙනෙන ධර්මකලාපයකට එක ම හෙතුවක් නො වැ නොයෙක් හේතූන් ඇති බව දැක්වූ හෙයින් ” නානාහෙතුවාදී ” නුමු දු වෙති. පරස්පරවිරොධී වූ – හෙවත් – පළමු කීවකට පසු වැ කීවක් විරුද්ධ වනසුලු වූ එකිනෙක නෙිසැසැඳෙන එක බසකු ත් නොවදාළ බැවින්
” අද්වයවාදී ” නමුදු වෙති. සියලු නාමරූපධර්මයන් නොයෙක් ලෙසින් බෙදා වදාළ හෙයින් ද සියල්ලෙහි ගතැ යුතු කොටස ත් හැළැ යුතු කොටස ත් වෙන් කොටැ බෙදා වදාළ හෙයින් ද ” විභජ්‍යවාදී ” නමු දු වෙති. මුළු ලොවැ නොයෙක් කල්හි පහළ වූ තාක් හැම වාදීන් පරදවා සත්‍ය වූ ත් ගැඹුරු වූ ත් න්‍යායානුකුල වූ ත් උසස් ධර්මයක් චතුර්විධ වෛශාරද්‍යයෙහි සිටැ වදාළ බැවින් ” වාදීවර ” නමු දු වෙති. හැම සත්වග අතුරෙන් ඉතා ම උසස් සත්ත්ව වූ මිනිස්වගෙහි ඉතා උසස් ත්‍රිහෙතුක ප්‍රතිසන්ධියෙන් ඉපිදැ ඒ ලත් මිනිස්බව ගුණයෙන් හා නුවණින් දියුණු කොටැ ස්වොත්සහයෙන් පරමකොටියට – හෙවත් – එය ගෙනැ යතැ හැකි අන්තිම ඉහළ තොනට පමුණුවා ගැනී මෙන් ආශ්චයර්‍යමුනෂ්‍ය වැ මිනිස් නොමිනිස් හැම සත්වගට අනුත්තර වූ ( = තමනට වැඩි අනෙකක්හු නැත්තා වූ ) සර්වලොකොත්තම පදය ලත් හෙයින් ” ලොවුතුරා බුදුහු ” නමු දු වෙති. උපතින් දෙවි නො වෙතත් විශුද්ධි දෙවත්වයෙන් ” දෙවාතිදෙව ” නුමු දු වෙති. ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ නිවන් දකිනා තෙක් ම මාගෙ ශාස්තෘහු – හෙවත් – අනුශාසකයන් වහන්සේ වෙත්වා !
Ven Bandarawela Ñāṇaruchi
බම්බලපිටිය සිරි වජිරාරාමය