New at Little Bit


from Path to Nirvana http://ift.tt/2ICwBYj
පින්වතුනේ අද ඔබට කියලා දෙන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ තමයි අපේ බෞද්ධ පින්වතුන් දන් දෙනවනෙ. එහි ආනිසංස පැත්තක් දන්නවා.හැබයි ඒ ආනිසංස ඒ වෙලාවට ම දකින්න නැති නිසා වැඩිය හිතට යන්නේ නැහැ. ඉතින් බුදු රජාණන් වහන්සේ ඒ ගැන දේශනා කොට වදාළ දහම් කරුණු ටිකක් තමයි කියලා දෙන්නේ. හොඳින් කියවලා හිතට ගන්න හරි වටිනවා.

ඔන්න දවසක් දා බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර කූටාගාර ශාලාවෙහි වැඩ ඉන්නවා. එතැනට ආවා සීහ සේනාපති කියන පුද්ගලයා එයා ඒ නුවර ප්‍රසිද්ධ වැදගත් කෙනෙක්. මෙයා බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එහෙම ප්‍රශ්නයක් ඇහුවා මෙන්න මෙහෙම.

සක්කා නු ඛෝ භන්තේ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපේතුංතී.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ජීවිතයේදීම තමන්ට දැන ගන්නට ලැබෙන (සන්දිට්ඨික) දානයෙහි ආනිශංස තිබෙනවාද?

ඉතින් ඒ වෙලාවේ දී බුදු රජාණන් වහන්සේ හරි ලස්සන දහම් කරුණු ටිකක් කියලා දෙනවා.

සීහය” එවැනි ආනිශංස පෙන්වා දෙන්න පුළුවන්.

1. දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙනවා. ඒක තමයි පළවෙනි එක. පින්වතුනේ මෙහිදි බුදු රජාණන් වහන්සේ” දානපති” කියලා වචනයක් දේශනා කරනවා. අපි මුලින්ම ඒක ගැන තේරුම් ගන්න ඕන. එය අටුවාවන් වල විස්තර වෙන්නේ මෙහෙමයි.

දාන දාස
දාන සහය
දානපති,

කියලා තුන් ආකාරයකින්. දාන දාස කියන්නේ තමන් බොහොම වටිනා දේවල් පරිභෝජනය කරමින් පරිහරණය කරනවා නමුත් බාල නොවටිනා දේවල් තමයි පූජා කරන්නේ. අන්න එයාට කියනවා දාන දාස කියලා.

ඊළඟ කෙනා තමයි දාන සහය. එයා තමන් පාවිච්චි කරන දේවල් වගේම දේවල් දන් දෙනවා. දැන් අපි හිතමුකො තමන්ට සරමක් ගන්නවා කියලා. ගෙදර වැඩ කරන කෙනාටත් ඒ ජාතියෙන් ම එකක් ගෙනවා. අන්න ඒ වගේ.

අනිත් කෙනා තමයි දානපති. එයා තමන් පාවිච්චි කරන පරිහරණය කරන දේවල් වලට වඩා උතුම් වටිනා දේවල් තමයි පූජා කරන්නේ.දන්දෙන්නේ . දැන් කව්ද ඔතනින් හොඳම. තුන්වැනි කෙනා තමයි ගොඩක් හොඳ.

එතකොට බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ප්‍රතිපල හොඳින් ම දකින්න ලැබෙන්නේ මේ දානපති කියන කෙනාට. ඔන්න දැන් බුදු රජාණන් වහන්සේ විස්තර කරනවා
මුල්ම කරුණ දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙනවා. ඒ කියන්නේ මොකක්ද. ප්‍රිය මනාප.කියල කියන්නේ කැමති යි කියන එකනේ එතකොට දානපති දායකයා ඇසුරු කරන්න. එයාට ඇහුන්කන් දෙන්න.එයාව අනුකරණය කරන්න. එයාව තමුන්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ කර ගන්ට. එයාව මිතුරෙක් කරගන්න එයාව පව්ලට සම්බන්ධ කර ගන්ට හැමෝම කැමතියි. බලන්න එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද. හැබැයි එහෙම වෙන්න නිකන් බැහැ. ප්‍රාර්ථනා කළ පමණිනුත් බැහැ . ඒකට එයා දානපතියෙක් වෙන්න ඕන.

2. දෙවැනි කාරණය දානපති දායකයා ට සාන්ත සත්පුරුෂයන් ගේ ඇසුර ලැබෙනවා. මේක තමයි මේ ජීවිතයේදීම තමන්ට දක්නට ලැබෙන දෙවැනි දානානිසංසය. දැන් මෙතැනදී බුදු රජාණන් වහන්සේ” සන්තෝ සප්පුරිසා” කියලා වචන භාවිතා කරනවා. අපි මුලින්ම එවා පැහැදිලි ව විස්තර වශයෙන් දැන ගන්න ඕන. සන්තෝ කියන්නේ සාන්ත නිවුණු කියන එකයි. පින්වතුනේ අපිට නිවුණු උතුමන් ගැන දැන ගන්න පහසුයි දැන් කාලේ ගිනිගත් උදවිය දිහා බලනකොට. ඒ ගින්න කොහෙද තියෙන්නේ. හිතේ තියෙන්නේ ගින්න හිතයි ගිනිගන්නේ. මොකෙන්ද ගිනි ගන්නේ. රාගයෙන් ගිනි ගනි ද්වේශයෙන් ගිනි ගනි මෝහයෙන් ගිනි ගනි. ඒ ගිනි ගන්න හිත් වලින් තමයි මෙච්චර මේ ලෝකේ පව් කරන්නේ අපරාධ කරන්නේ. එහෙනම් ගින්න නිවුණා නම් ඔක්කොම හරිනේ. එහෙනම් පින්වතුනි ආන්න ඒ ගින්න නිවා ගත් උතුමන් ට තමයි සාන්ත කියන්නේ. ඒ අය ලඟ සත්පුරුෂ ගුණ. ඒ කියන්නේ උතුම් මිනිස් කම්. උතුම් මිනිස්කම​ කියන්නේ මොකක්ද. ඒ අය තමන්ගේ ජීවිතය දෙවෙනි කොට බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිපදිනව. ඒ අයට කියනවා සාන්ත සත්පුරුෂයන් කියලා. කා ගැන ද එතකොට මේ කියන්නේ මාර්ග ඵල ලාභී උතුමන් ගැන. එතකොට දානපති දායකයා ට ඒ උතුමන්ලා ආශ්‍රය කරන්න ලැබෙනවා. හරියට අනාථ පිණ්ඩික සිටු තුමාට වගේ. පින්වතුනේ මුලු නිවන් මග ම රැඳිලා තියෙන්නේ මේ සත්පුරුෂ ඇසුර මත. ඉතින් වාසිදායක නැද්ද. හැබැයි ලැබෙන්නේ දානපති දායකයාට.

3. දානපති දායකයාගේ කල්‍යාණ කීර්ති රාවය උස්ව නැගෙනවා. ඒ කියන්නේ යහපත් උසස් උතුම් වැදගත් කෙනෙක් කියලා ඉහළින්ම ප්‍රසිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අනාථපිණ්ඩික සිටුතුමා ගැන විශාකාව ගැන මුලු දඹදිවම දැනගෙන හිටියා මුලු රටම ගරු කළා.

4. ඊළඟ කාරණය දානපති දායකයා කොයි ආකාරයේ පිරිසක් අතරට ගියත් ඒ කියන්නේ
ක්ෂත්‍රිය පිරිස
බ්‍රාහ්මණ පිරිස
ගෘහපති පිරිස
ශ්‍රමණ පිරිස ඒ කොයි යම් පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ. විශාරද කියන්නේ මොකක්ද. විශාරද කියන්නේ බය නෑ කියන එක. දැන් බලන්න සංගීත විශාරද ල ඉන්නවා නේද. ඒ අය සංගීතය පිළිබඳව ගොඩක් දැනුම තියෙනවානේ. ඉතින් එයාල සංගීතය පිළිබඳ වැඩක් නම් බය නැතුවනේ යන්නේ. අන්න ඒ වගේ මේ දානපති දායකයා කොතැනක කොයි යම් පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ හැකිලෙන්නේ නැහැ.

5. ඊළඟ කාරණය දානපති දායකයා මරණින් මතු සුගතියේ උපදිනවා. ඒ කියන්නේ එයා දෙව්ලොව තමයි යන්නේ. හැබැයි බුදු රජාණන් වහන්සේ වදාළා මේක නම් ලැබෙන්නේ මරණින් පස්සේ ඒ කියන්නේ සාම්පරායික.

ඉතින් පින්වත්නි බුදු රජාණන් වහන්සේ මේ ආකාරයෙන් දහම් කරුණු පහක් වදාළා.සීහ සේනාපති හොඳට අහගෙන හිටියා. ඉඳලා ඊළඟ ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ ඔය වදාළ කරුණු වලින් සන්දිට්ඨික කරුණු හතර ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා කියලා විස්වාස කරනවාම නොවෙයි. ස්වාමීනි එය මට දැනෙනවා මම ඒ අත්දැකීම ලබමින් ඉන්න කෙනෙක්. ස්වාමීනි මම දානපති දායකයෙක්.බොහෝ දෙනෙකුට මම ප්‍රිය මනාපයි. මම දානපති දායකයෙක් සාන්ත සත්පුරුෂයන් ගේ ඇසුර මට ලැබෙනවා. මම දානපති දායකයෙක්. මගේ කීර්ති රාවය පැතිරිලා තියෙනවා. මම දානපති දායකයෙක්.මම කොයි ආකාරයේ පිරිසක් අතරට ගියත් විශාරදව තමයි යන්නේ.ඉතින් ස්වාමීනි ඒ සන්දිට්ඨික කරුණු හතර මටම දැනෙනවා. දැන් පින්වතුනි මෙතැනදී සීහ සේනාපති කියනවා ඒ කරුණු හතර බුදු රජාණන් වහන්සේ දේශනා කළාටම නෙවෙයි ඒක මටම දැනෙනවා කියලා.ආන්න ඒකට​තමයි කියන්නේ සන්දිට්ඨික යි කියලා. ඊළඟ කියනවා ස්වාමිනි ඔබ වහන්සේ වදාළ පස්වෙනි කරුණ නම් මට දැන් පේන්නේ නැහැ. ඔබ වහන්සේ වදාළ නිසා මම දන්නවා කියලා. මොකක්ද පින්වතුනි ඒ කියන්නේ. ඒ කියන්නේ දෙව්ලොව යන එක දැන් බලන්න බෑනේ අන්න ඒකයි. ඉතින් පින්වත් ඔබ මේ සූත්‍රයේ අඩංගු කරුණු තමන්ගේ ජීවිතයෙන් අත්දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ දානපතියෙක් තුල ඇති ගුණ ඇති කර ගන්ට ඕනැ. ඔබට තෙරුවන් සරණයි.