New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qKKR91
== භින්න ධාතු ==

භින්න ධාතු යනු කුඩා කුඩා කොටස්වලට කැඩී, බිඳී වෙන් වී ගිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ අස්ථි ධාතුන් ය. බුදුරදුන් ගේ අදිටනට අනුව ලලාට ධාතුව ය, අකු ධාතු දෙනම ය, සතර දළදාවන් ය යන මේ මහා ධාතු සත කොටස්වලට නොකැඩී, නොබිඳී, නොවිසිරී එලෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ අනෙක් සියලු අස්ථි කුඩා කුඩා කැබලිවලට බෙදී වෙන් වී ගියේය.
විසිරුණු ධාතුන් ගේ ප්‍රමාණ හා වර්ණ ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කතාවේද සඳහන් ව ඇත. බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු රන්වන් පැහැයට හුරු ය. කඩසහල් තරමේ ධාතු මුතු පැහැති ය. අබ ඇට තරමේ ධාතු සමන් කැකුළු පැහැති ය.
තරමින් විශාල ප්‍රමාණයේ ධාතු නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ද ධාතු ද නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ධාතු නැළි සයකි. මුළු ධාතු ප්‍රමාණය මගධ නැළියෙන් නැළි දහසයකි. ද්‍රෝණ වශයෙන් ගත් කල්හි ද්‍රෝණ අටකි. ද්‍රෝණ බමුණා මේ ධාතු රටවල් අටකට සම සේ බෙදා දුන්නේය. ඒ අනුව එක රටකට ධාතු නැළි දෙකක් (ද්‍රෝණ එකක්) ලැබුණි. ධාතු ලැබූ රටවල් අටේ රජ දරුවෝ තම තමන් ගේ නුවරවලට ගොසින් ධාතු නිදන් කර මහා ස්තූප අටක් ඉදිකර මහා සත්කාර පැවැත්වූහ.
පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගතයේ දී අන්‍ය තීර්ථකයින් අතින් ධාතුන් වහන්සේලාට අනතුරු සිදු විය හැකි බව දැක අජාසත්ත මහ රජු වෙත එළැඹ” මහ රජතුමනි, මේ වන විට ශාස්තෲන් වහන්සේ ගේ ධාතු බොහොමයක් ස්ථාන කිහිපයක ම නිදන් ගත ව පවතී. එය ඒ තරම් සුදුසු නැත. අනාගතයේ දී තීර්ථකයින් ගෙන් ධාතු ස්තුපයන්ට හානි සිදුවිය හැකි යි. මහ රජතුමනි, ඒ නිසා සියලු ධාතු එක්තැන් කර එක් ධාතු නිධානයක් කළයුතු ය” යි කීහ.
මෙය ඇසූ අජාසත්ත මහ රජු සතුටු වී “ස්වාමීනි,, මම ධාතු නිදන් කර මහා ස්තූපයක් කරවන්නෙමි. ඒත් ස්වාමීනි, බෙදා දුන් ධාතු නැවත ලබා ගන්නේ කෙසේ දැ?”යි ඇසීය.”මහ රජතුමනි, ඔබ ඒ ගැන වෙහෙස නොවන්න. ධාතු ගෙන ඒම අපට භාර යි. ඔබතුමා සෑය බඳින්නැ” යි මහා කාශ්‍යප මහ තෙරණුවෝ කීහ. මෙසේ කී මහා කාශ්‍යප මහ තෙරණුවෝ” මේ රාම ග්‍රාමයේ ධාතු ස්තූපයේ ඇති ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අනතුරක් නොවෙයි. නාගයින් ආරක්ෂා කරන මේ ධාතු ද්‍රෝණය අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන මහා ස්තූපයේ පිහිටන්නේ ය.
එබැවින් අනෙක් ස්තූපයන්ගෙන් ධාතු ගත යුතු ය” යි සිතූහ. එසේ සිතා රාම ග්‍රාමයේ ධාතු ස්තූපය හැර රජගහ නුවර ය, විශාලා මහනුවර ය, කිඹුල්වත් නුවර ය, අල්ලකප්පරට ය, වේඨදීපක නුවර ය, පාවා නුවර ය, කුසිනාරා නුවර ය යන මේ මහා නුවරවල් සතෙහි වූ ධාතු ස්තූප විවෘත කරවා වන්දනා කිරීමට ධාතු ස්වල්පයක් තබා ඉතිරි සියලු ධාතු ගෙන්වා ගත්හ.
මෙසේ ධාතු ලබා ගත් මහා කාශ්‍යප මහ තෙරණුවෝ අජාසත්ත මහ රජු සමඟින් රජගහ නුවර එක්තරා ස්ථානයක් වෙත එළැඹ “ මහ රජතුමනි, මෙතැන ධාතු නිධානය කළයුතු ය”යි කියා ඒ ස්ථානයෙහි මහ රජු ලවා ඉතා රහසිගත ව ස්තූපයක් කොට ධාතු එහි නිදන් කළහ. ධාතු නිදන් කර මල්, පහන්, සුවඳ දුම් පුදා “ මේ ස්තූපය තුළ ඇති මල් පර නොවේවා ! පහන් නොනිවේවා ! සුවඳ නොවැනසේවා !” යි කියා අදිටන් කළ සේක.
එසේ කොට “අනාගතයේ දී “පියදස්සී” නම් රජ කුමාරයෙක් මේ මුළු ජම්බුද්වීපය ම එක්සේසත් කොට “ධර්මාශෝක” නමින් රජ බවට පත් වන්නේය. ඒ රජු මේ ස්තූපයේ ඇති සර්වඥයන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදුසසුන බබුළුවන්නේය. “ යන දැන්වීම රන්පතක ලියවා එහි තැන්පත් කළ සේක. මේ අතර සක්දෙවි රජු ගේ නියෝගයෙන් දෙව්ලොව නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ධාතු ස්තූපයේ ආරක්ෂාවට “වාළසංඝාටි “ නම් වූ යන්ත්‍රය මැව්වේය.
පසු කලෙක ජම්බුද්වීප චක්‍රවර්තී ධර්මාශෝක මහ රජතුමා එක් මහ තෙරුන් වහන්සේ නමක ගේ මඟ පෙන්වීමෙන් මේ මහා සෑය හඳුනා ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා වාළසංඝාටි යන්ත්‍රය බිඳුවා ස්තූපය විවෘත කර රන්පතේ සඳහන් කර තිබූ පාඨය දැක “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මා දැක ඇතැ” යි කියා සතුටු වී ධාතු ගෙන දඹදිව හා ඒ අවට ප්‍රදේශවල ධාතු නිදන් කරමින් අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය.
ලක්දිව ථූපාරාමය තැනීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන් ලවා ධර්මාශෝක රජු වෙතින් බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා ත් ගෙන්වා ගත් බව මහාවංශයේ දැක්වේ. ඒ ධාතු අශෝක රජු තමන්ට වන්දනා කිරීමට තබා ගත් ධාතුවලින් කොටසකි. දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක රජු ලබාදුන් ඒ ධාතුන් වහන්සේලා නිදන් කර ලක්දිව යොදුනෙන් යොදුන ස්තූප තැනුවේය.
රාම ග්‍රාම ස්තූපයේ සර්වඥ ධාතු ද්‍රෝණයක් තැන්පත් කර තිබුණි. මේ ස්තූපය තනා තිබුණේ ගං ඉවුරට ඉතා සමීපව ය. මේ නිසා වැඩි කල් යෑමට පෙර ගඟේ සැඩ පහරට හසු වූ ධාතු ස්තූපය ගං ඉවුරත් සමඟින්ම කඩා ගෙන ගඟට වැටුණි. ධාතු සහිත කරඬුව ගඟ දිගේ මහ මුහුදට ගසා ගෙන ගියේය. මාඤ්ජෙරික නාලොවේ නාගයෝ රැස් විහිදෙමින් තිබූ ධාතු කරඬුව දැක මාඤ්ඡෙරික නාග භවනට ගොස් මහා කෙළ නම් වූ නාරජුට මේ බව දැන්වූහ. මෙය ඇසූ නාරජු බොහෝ නාගයින් පිරිවරා ගෙන එතැනට ගොස් ධාතුන් වහන්සේලාට පුද සත්කාර කොට ධාතු කරඬුව හිස මත තබා ගෙන නාග භවනට ගොස් වටිනා රන් රිදී මුතු මැණික්වලින් ධාතු ගෙයක් තනවා ධාතු කරඬුව එහි තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා සැම කල්හි පුද සත්කාර කළේය.
දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිම කර වූ කල්හි මහ රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි සෝණුත්තර නම් වූ ෂඩ් අභිඥාලාභී සොළොස් හැවිරිදි සාමණේරයන් වහන්සේ නාලොවට වැඩම කර මහා කෙළ නාරජු සතුව පැවති සර්වඥයන් වහන්සේ ගේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන නාගයින් ගේ දැඩි විරෝධය තිබිය දී ම පෙරළා වැඩම කළහ. දුටුගැමුණු මහ රජතුමා සෝණූත්තර සාමණේරයන් වහන්සේ නාලොවින් ගෙනා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට සූදානම් විය.
එකල්හි බුදුරදුන් ගේ අදිටනකට අනුව කරඬුව විවෘත වී සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී බුදුරුව මවා යමා මහා පෙළහර දැක්වූහ. දුටුගැමුණු මහ රජතුමා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ තැන්පත් කළේය. එකල්හි මහත් වූ භූමිකම්පාවක් ඇති විය. තව බොහෝ අසිරිමත් දේවල් ද සිදුවිය.
මේ තරම් විශාල සර්වඥ ධාතු ප්‍රමාණයක් වැඩ සිටින ලෝකයේ එක ම ස්ථානය දුටුගැමුණු මහ රජතුමා ඉදිකළ ලක්දිවට අලංකාරයක් වූ රුවන්වැලි මහා සෑරදුන් ය. එබැවින් මේ ස්තූපයට “මහා ස්තූපය” යනුවෙන් කියනු ලැබේ. රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීමේ මහා පුණ්‍යෙීත්සවය සඳහා ඉන්දියාවෙන් පමණක් නොව පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, ඇලෙක්සැන්ඩ්‍රියාව යන බොහෝ දුර ඈත පිිහිටි රටවල්වලින් ද ලක්ෂ ගණන් මහ රහතුන් වැඩම කර ඇත. රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීමට නාලොවින් ධාතු ගෙනා අයුරු ත් මහා සෑය තැනූ අයුරුත් මහාවංශයේ මෙන් ම ථූපවංශයේ ද විස්තර වශයෙන් දැක්වේ.
අනුරාධපුර මිරිසවැටි මහා සෑය තුළ සර්වඥ ධාතු තැන්පත් කර ඇති දුටුගැමුණු මහ රජතුමාගේ ජයකොන්තය (කුන්තායුධය) නිදන් කර ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මිරිසවැටි මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර පන්සියයක් මහ රහතුන් සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
වළගම්බා මහ රජු කර වූ අභයගිරි මහා ස්තූපය තුළ ද සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. ජනප්‍රවාදයකට අනුව රනින් කරන ලද වෘෂභයෙකු ගේ උදරය තුළට සර්වඥ ධාතු පුරවා ධාතු සහිත ඒ වෘෂභ රූපය ස්තූපය තුළ නිදන් කර ඇත. අභයගිරි මහා ස්තූපය වන්දනා කිරීමට යොදා ගන්නා පාලි ගාථාවේ මේ බව දැක්වෙයි.
අනුරාධපුරයේ ජේතවනාරාමය, ලංකාරාමය, ඉසුරුමුනිය ආදී ස්තූප තුළ ද දකුණු පළාතේ කසාගල, මැණික් වෙහෙර, යටාල වෙහෙර, තිස්සමහාරාමය, සඳගිරිය, කතරගම කිරිවෙහෙර ආදී තවත් බොහෝ පුරාණ ස්තූපයන්හි බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්ස්ලා නිදන් කර ඇත.
සඳගිරිය දාගැබ සර්වඥ ධාතු නිදන් කර තැනූ රුහුණේ ඇති ඉතා පුරාණ දාගැබකි. ධර්මාශෝක මහ රජතුමා දේවානම්පියතිස්ස මහ රජු ගේ අභිෂේකය සඳහා මෙරටට එවූ දක්ෂිණාවර්ත සංඛය මේ දාගැබෙන් හමු වී තිබේ.
සංඛය තුළ ඉතා ආරක්ෂිත ලෙස සර්වඥ ධාතුන් වහන්සේලා සත් නමක් තැන්පත් කර තිබුණි. මේ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් සතර නමක් 1895 දී තිස්සමහාරාම මහා දාගැබේ දේවතා කොටුවේ නිදන් කර ඇත. සර්වඥ ධාතුªන් වහන්සේලා දෙනමක් හක්මන මුරුතමුරේ පුරාණ විහාරයට ලබාදී ඇත. අනෙක් සර්වඥ ධාතුන් වහන්සේත් දක්ෂිණාවර්ත සංඛයත් තිස්සමහාරාම මහා විහාරයේ තැන්පත් කර තිබේ. සඳගිරිය දාගැබ තිස්සමහාරාම මහා සෑය සමීපයේ පිහිටා ඇත. ගරා වැටී ඇති මේ මහා දාගැබේ සංරක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
රඹුක්කන දැළිවල කොටවෙහෙර ස්තූපය ඉතා පුරාණ ස්තූපයකි. මේ ස්තූපය දේවානම්පියතිස්ස රජු සමයේ කරවන්නට ඇතැ’යි සැලකේ. ජනප්‍රවාදයකට අනුව මේ ස්තූපයේ ධාතු නිදන් කිරීමේ උත්සවයට මිහිඳු මහා රහතන් වහන්සේ ද වැඩම කර ඇත. නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදී ඇත්තේ ද මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. මෙහි කරන ලද කැණීම්වලින් සර්වඥ ධාතු මෙන් ම රහත් ධාතුන් ද හමු වී ඇත. ගරා වැටී වල් බිහි වී ඇති මේ මහා ස්තූපයේ සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.
පොළොන්නරුව මැදිරිගිරිය වටදාගෙයි කුඩා දාගැබ තුළ ද සර්වඥ ධාතු තැන්පත් ව ඇත. ඒ බව පූජාවලියේ සඳහන් වෙයි. ලංකාවේ ඇති වටදාගෙවල්වලින් වඩාත් අලංකාර වටදාගෙය වන්නේ මැදිරිගිරිය වටදාගෙය යි. මේ අවට බොහෝ පුරාවස්තු දක්නට තිබේ.
බදුල්ල මුතියංගන මහා සෑය තුළ සර්වඥ කේශ ධාතු හැරුණු විට බුදුරදුන් ගේ මුතු බවට පත් වූ දහඩිය ධාතු තැන්පත් වී ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් ද සමඟින් දැන් මේ මුතියංගණ මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර එහි මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. එහි දී උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් හට ගත් දහඩිය බිඳු කිහිපයක් මුතු ඇට බවට පත් වී ඇත. මුතු ඇට බවට පත් වූ බුදුරදුන් ගේ ඒ දහඩිය ධාතු ද කේශ ධාතු ද සමඟින් නිදන් කර මුතියංගණ සෑය තනා ඇත.
මාදම්පේ සේනානායක රාම මහා විහාරයේ කළුගලින් කරන ලද ස්තූපයක් ඇත. මේ ස්තූපය තුළ බංග්ලා දේශයේ චිතගොන්හි විහාරයකින් ලැබුණු සර්වඥ කේශ ධාතු හැරුණු විට පකිස්තානයේ ස්වාත් නිම්නයේ පුරාණ ස්තූපයකින් ලැබුණු සර්වඥ ධාතු කිහිප නමක් ද පකිස්තානයේ තක්සලාවේ කාලවාන් ස්තූපයෙන් ලැබුණු සර්වඥ ධාතු කිහිප නමක් ද කණිෂ්ක රජු සමයට අයත් මීර්පූර්ඛාස් ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතු ස්වල්පයක් ද බුදුරදුන් ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ ස්ථානයෙන් ගත් ශුද්ධ අළුවලින් කොටසක් ද තුන් වැනි ධර්ම සංගායනාවට සහභාගී වූ මජ්ඣිම මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුන් වහන්සේ නමක් ද කන්තිපුත්‍ර මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුªන් වහන්සේ නමක් ද තැන්පත් කර ඇත. ධාතු නිදන් කර ඇත්තේ 1960 වසරේ දීය.
1851 දී ජනරාල් මෙයිසි සහ සර් ඇලෙක්සැන්ඩර් කනින්හැම් යන පුරාවිද්‍යාඥයින් දෙදෙනාට ඉන්දියාවේ භෝජ්පූර්හි පුරාණ ස්තූපයක් කැණීමේ දී එහි ගර්භය තුළ තිබී රතු මැටි විශේෂයකින් තැනූ බඳුනක් හමු වී ඇත. ඒ බඳුන තුළ කුඩා පළිඟු කරඬුවක් විය. පළිඟු කරඬුව තුළ බුදුරදුන් ගේ අස්ථි ධාතු කිහිප නමක් තැන්පත් ව තිබුණි. මේ ධාතුන් වහන්සේලා ගෙන් තුන් නමක් 1940 දී ලංකාවට ලැබුණි. ලංකාවට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කරන ලදී. මේ ධාතුන් වහන්සේලා තුන් නම ප්‍රමාණයෙන් කුඩා ය. සුදු පැහැති ය.
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ මහා ස්තූපය තුළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සතුව තිබූ සර්වඥ ධාතු විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. රුවන්වැලි මහා සෑය හැරුණු විට සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් නිදන් කර ඇති ස්තූපය විද්‍යෝදය පිරිවෙනේ මහා ධාතු ස්තූපය බව සැලකේ. මහනුවර ශ්‍රී දළදා මැදුරේ දළදා වහන්සේ වැඩ සිටින මහ රන් කරඬුව අසල තැන්පත් කර ඇති පෙරහැර කරඬුව තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තිස්දෙනමක් තැන්පත් කර ඇත.
බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් කරවන ලද බරණැස නව මූලගන්ධ කුටි විහාරයේ විශේෂ කුටියක් තුළ පකිස්තානයේ තක්සලාවේ ධර්මරාජික මහා ස්තූපයෙන් හා දකුණු ඉන්දියාවේ නාගාර්ජුනිකොණ්ඩය මහා ස්තූපයෙන් හමු වූ බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන් කොටසක් තැන්පත් කර ඇත. මේ සර්වඥ ධාතුන් වහන්සේලා සෑම වසරක ම නොවැම්බර් මාසයේ පුර පසළොස්වක පොහෝ දින මහජනයාට ප්‍රදර්ශනය කරනු ලැබේ. තක්සලාවේ ධර්මරාජික මහා ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේලා ගෙන් තව ධාතු කොටසක් කල්කටාවේ ධර්මරාජිත මහා විහාරයේ තැන්පත් කර තිබේ.
විශාලා මහනුවර පුරාණ ස්තූපයක නටබුන් දක්නට ලැබේ. මෙය ලිච්ඡවී රජ දරුවන් තමන්ට ලැබුණු සර්වඥ ධාතු කොටස නිදන් කර තැනූ ස්තූපය බව හඳුනා ගෙන තිබේ. මෙහි කරන ලද කැණීම්වලින් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ හමු වී තිබේ. ධාතුන් වහන්සේලා සහිත කරඬුව පැට්නා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. කපිලවස්තුවෙන් හමු වූ ධාතු ගැන විස්තර 4, 5 පිටුවල දැක්වේ.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී හස්තයේ ඇඟිල්ලක අස්ථි ධාතුන් වහන්සේ නමක් තැන්පත් කර ඇත. “අංගුලි ධාතුන් වහන්සේ “(ජ්ඪදඨඥප ඕධදඥ අඥතඪජ) යනුවෙන් ප්‍රකට මේ ධාතුන් වහන්සේ ලා කහ පැහැයට හුරු ය.
ඉන්දියාව, ශ්‍රී ලංකාව හැරුණු විට බුරුමය (මියෙන්මාරය), තායිලන්තය, කාම්භෝජය, ලාඕසය යන රටවල ද අතීතයේ බුදුදහම පැතිරී තිබූ ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, මධ්‍යාසියාව, බංග්ලාදේශය ආදී රටවලද ලොව පෙර අපරදිග තව බොහෝ රටවල් ද බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු නිදන් කර තැනූ ප්‍රකට මෙන් ම අප්‍රකට ලොකු කුඩා විවිධ හැඩයේ ස්තූප දක්නට ඇත. මේ ස්තූප බොහොමයක බුදුරදුන් ගේ එක් ධාතුන් වහන්සේ නමක් හෝ දෙනමක් හෝ තුන් නමක් හෝ එයට වැඩි ප්‍රමාණයක් හෝ තැන්පත් කර ඇත. ඇතැම් ස්තූපවල බුද්ධ ප්‍රතිමා වැනි පූජනීය වස්තු හෝ ධර්ම ග්‍රන්ථ තැන්පත් කර ඇත. ඇතැම් ස්තූපවල මහ රහතන් වහන්සේලා ගේ ශාරීරික ධාතු නිදන් කර ඇත.
.