New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qSjhHf
== ප්‍රයත්න භාග්‍යය ==

ආත්මාර්ථ පරාර්ථසාධනය පිළිබඳ වූ බලවත් වීර්යය ප්‍රයත්න භාග්‍යය ය. සිදු කරන අර්ථයෙහි විශාලත්වය අනුව ඒ ඒ දෙය සිදු කිරිමට මහත් විර්‍ය්‍යයක් වුවමනා ය. බුද්ධත්වය පමණ මහත් වූ උසස් වූ අන් තත්වයක් නැත. ඒ උසස් තත්ත්වවලට පැමිණිමට එයට සුදුසු මහත් වීර්‍ය්‍යපාරමිතා සංඛ්‍යාත වීර්‍ය්‍ය තුබු නිසා උන් වහන්සේට ලොවුතුරා බුදු බව ලැබිය හැකි විය. තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණි පන්සාළිස් වසක් මුළුල්ලෙහි බුඬකෘත්‍යය සිදු කළ සේක. ලෝකයෙහි ඇති කෘත්‍යයන් අතරින් සියල්ලටම මහත් වූ කෘත්‍යය බුද්ධකෘත්‍යය ය. දහස් ගණනක් ජනයා සේවයෙහි යොදවා ගෙන කරන කර්මාන්තයක් වේ නම් එය මහත් වූ කෘත්‍යයකි. එය සිදු කිරිමට එයට ප්‍රමාණ වන තරමට මහත් ප්‍රයන්තයක් ද තිබිය යුතුය. රටක් පාලනය කිරිමට එයට වඩා විශාල කෘත්‍යයකි. එය සිදු කළ හැකි වීමට ආයතනයක් පාලනය කිරිමේ ප්‍රයන්තයට වඩා මහත් ප්‍රයන්තයක් තිබිය යුතු ය. රටවල් ගණනක් පාලනය කරනවා නම් එය ඉතා මහත් කෘත්‍යයක් වන බැවින් එයට විශාල ප්‍රයන්තයක් තිබිය යුතු ය. නැතහොත් එය නො කළ හැකි ය. දිව්‍යබ්‍රහ්මලෝක සහිත සක්වළ දස දහසක් සත්ත්වයනට යහපත සිදු කිරිමට බුඬකෘත්‍යය ය. එබදු මහත් කෘත්‍යයක් රාජාදි අන් කිසිවකුට නැත. රටවල් ගණනක් පාලනය කරන රජකුගේ කෘත්‍යය බුඬකෘත්‍යය හා සසඳතහොත් ඉතා සුළු ය. දස දහසක් ලෝක ධාතුවල එද එදාට ධර්මය අවබෝධ කළ හැකි පමණට නුවණ මුහුකුරා ගියවුන් සොයා බලා ඔවුනට චතුස්සත්‍යය අවබෝධ කරවීම බුඬකෘත්‍යයෙකි. රත්නත්‍රය කෙරෙහි පහදවා තිසරණයෙහි පඤ්චශීලයෙහි පිහිටවිය හැකියවුන් බලා එසේ කිරිම බුඬකෘත්‍යයෙකි. දානාදි පින්කම්වල යෙදෙවිය හැකි පුද්ගලයන් බලා ඔවුන් ඒවායේ යෙදවීම බුඬකෘත්‍යයෙකි. පැවිද්දට සුදුස්සන් සොයා බලා දහම් දෙසා ඔවුන් පැවිද්දෙහි යෙදවීම බුඬකෘත්‍යයෙකි. සුදුසු කල් බලා පැවිද්දන්ට සිකපද පැනවීම බුඬකෘත්‍යයෙකි. පැවිදි වුවන්ට අර්හත්වයට පැමිනිය හැකි වීම පිණිස ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් කියා දීම බුඬකෘත්‍යයකි. කමටහන් ගෙන ආරණ්‍යෘදී විවේකස්ථානවල මහණදම් පුරන පැවිද්දන්ගේ තතු සොයා ඔවුන්ට සුදුසු උපදෙස් දීම බුඬකෘත්‍යයකි. භේද වුවන් සමගි කිරිම බුඬකෘත්‍යයකි. පැවිද්දන්ට පිණ්ඩපාතය සුලභ කිරීම බුඬකෘත්‍යයෙකි. ආයු ගෙවී ඇති එදිනෙදා මිය අපායට යන්නට සිටින්නවුන් වෙත ගොස් ඔවුන්ට සුගතියෙහි ඉපදීමට සැලැස්වීම බුඬකෘත්‍යයෙකි. මිත්‍යාධර්‍ම පතුරුවා ජනයා නොමග යවන ජනයන් අපාමගට පමුණුවන, ජනයාට සඟමොක් මඟ වසන මිත්‍යාදෘෂ්ටිකයන් මැඩලීම බුඬකෘත්‍යයෙකි. මිථ්‍යාධර්‍ම අසා මිසදිටු ගෙන සිටිනා ජනයා සම්‍යක්දෘෂ්ටියෙහි පිහිටවීම බුඬකෘත්‍යයෙකි. විපතට පත්වන්නට යන ජනයා ඉන් මුදාලීම බුඬකෘත්‍යයෙකි. තථාගතයන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහි අනසලව පසුබැස්මක් නැතිව මහත් උත්සහයෙන් ඒ බුඬකෘත්‍යයන් සිදු කරන සේක. බුඬකෘත්‍යයන් සඳහා යොදුන් ගණන් දුර මඟ ගෙවා පා ගමනින්ම ද වැඩ ම කරන සේක. රජුන්ගෙන් සිටුවරුන්ගෙන් මහධනපතීන්ගෙන් ලැබෙන ප්‍රණීත භෝජනයන් හැර දුගියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන නීරස බොජුන් වළදනා සේක. දෙව්විමනක් බදු මනරම් ගඳකෙළියක් තිබිය දී මැසි මදුරුවන් ගගන කැළැවල වැඩ වෙසෙන සේක. රුක්මුල්හි වැඩ වෙසෙන සේක. කිසිදු සෙවනක් නැති පිට්ටනි වලද රාත්‍රිය ගත කරන සේක. ගුහාවල මඩුවල රාත්‍රිය ගත කරන සේක. මාරාන්තික රෝගයකින් පෙළෙමින් අතිශයින් දුබලව විසූ පිරිනිවන් පානා දින රාත්‍රීයේ ද ඒ මහා වීරයන් වහන්සේ අවසන් මොහොත පැමිණෙන තෙක් ම වීර්ය්‍යය නො හැර බුඬකෘත්‍යය සිදු කළ සේක. පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට හා පැමිණ සිටි භික්ෂූන්ට දහම් දෙසූ සේක. දීර්ඝ සුත්‍ර දේශනයක් වන මහා සුදර්ශන සුත්‍රය ඒ රාත්‍රියේ දී ම දේශනය කළ සේක. සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසා ඔහුගේ සැක දුරු කරවා සස්නෙහි පැවිදි කරවු සේක. ලොව්තුරා බුදු බව ලබා දීමට සමත් වූ ද, සකල බුඬ කෘත්‍යයන් සිදු කිරිමට සමත් වූ ද, සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නය ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.