New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yqOiZO
සෝභිත බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී මෙම කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ දෙපා ඇති සතුන්ට උතුම් වූ, අපමණ පිරිවර ඇති, තේජස් ඇති, අනෝමදස්සී, පදුම, නාරද නම් බුදුවරු තුන් නමක් පිළිවෙළින් පහළ වූහ. එහි අනූපම දර්‍ශන ඇති යටපත් කළ නො හැකි අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව චන්‍දවතී නුවර රජ කුලයෙහි යසවා ක්‍ෂත්‍රීය රජතුමාට දාව උස් වූ සොඳුරු පියොවුරු ඇති යසෝධරා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. පිළිසිඳ ගත් දා පටන් උන්වහන්සේගේ පුණ්‍යප්‍රභාවෙන් අසූ රියන් තැන් ආලෝකය පැතිර සිටියේ ය. සඳහිරු එළියෙන් ද මැඬලිය නො හැකි විය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දසමස් ඇවෑමෙන් ඕ තොමෝ සුනන්‍ද උයනේ දී අනෝමදස්සී බෝසතුන් වැදුවා ය. පෙළහර පෙර කී නියායෙනි. මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ. නම් තබන දින උපතින් අහසෙහි සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදවීමට හේතු වූ හෙයින් උන්වහන්සේට අනෝමදස්සී යැයි නම් තැබූහ.

ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සිරි, උපසිරි හා සිරිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ විසි තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සිරිමා දේවියට උපවාන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව තුන් කෙළක් පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහපුරිස්‍හු දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අනූපම බමුණුගම පිඬු සිඟා වැඩ අනූපම සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනෝම නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන අර්ජුන (කුඹුක්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී අටතිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා සමග පැවිදි වූ තුන් කෙළක් දෙනාගේ හේතු සම්පත් දැක සුභාවතී නුවර සුදසුන් උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ සියයකට ධර්‍මාභිසමය විය.

උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ, කාම – රූප – අරූප යන තුන් භවයන් නසා, දෙවි මිනිසුන්ට පැවැත්මට විරුද්ධ වූ මඟ දෙසූ සේක. උන්වහන්සේ සාගරය මෙන් නො කැලඹිය හැකි ය. අහස මෙන් කෙළවරක් නැත්තේ ය. මහාමේරු පර්‍වතය මෙන් නො ළංවිය හැකි ය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූවක් අනුව්‍යංජන ආදියෙන් මල් පිපුණු සල ගසක් මෙන් බබළයි. සත්වයෝ ඒ බුදුරදුන් දැකීමෙන් ද පිණාගියාහු දහම් දෙසන බුදුරදුන්ගේ වචන අසා නිවනට පැමිණෙන්නේ ය.

තිලොවග අනෝමදස්සී ලෝ නාහිමි හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, නොයෙක් කෝටි ගණන් යක්‍ෂයන් වසඟ කිරීමෙහි දක්‍ෂ යක්‍ෂ සෙනෙවියෙක් වී උතුම් බුදුරදුන් වෙත එළඹ සඟුන් සහිත ලෝනාහිමියන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළේ ය. අනෝමදස්සී බුදුහු ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.

මේ අනෝමදස්සී බුදුන් හමුවෙහි සැරියුත් මුගලන් යන දෙනම ද අග්‍රශ්‍රාවක භාවය සඳහා ප්‍රාර්‍ථනා කළහ. එමෙන්ම බක්කුල තෙරුන් නීරෝගීන් අතර අග්‍ර භාවය සඳහා ද ප්‍රාර්‍ථනා කළහ.

සැරියුත් මුගලන් දෙනම

අතිතයේ ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි සැරියුත් තෙරුන් බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි ඉපිද නමින් සරද මානවක නම් විය. මුගලන් තෙරුන් ගෘහපති මහාසාල කුලයෙහි ඉපිද නමින් සිරිවඩ්ඪ කෙළඹියා විය. ඒ දෙදෙනා ම වැලිකෙළියේ පටන් මිත්‍රයෝ වූහ. ඒ අතර සරද මානවක තෙම පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය පිළිගෙන වාසය කරනුයේ මෙසේ සිතී ය. “මරණය ඒකාන්තයෙන් සත්වයා කරා එළඹෙන්නේ ය. මා විසින් දුකින් මිදිය යුතුය” කියා ය. ඉක්බිති මිත්‍රයා වෙත ගොස් තමා පැවිදි වන බවත් තොපත් පැවිදි වනු රිසි නම් මා සමග පැවිදි වනු මැනවැයි දන්වා මිතුරා පැවිද්දට අකමැති බව දැන්වූ පසු තමා සතු සියලු ධනය දුගී මගී යාචකාදීන්ට දන්දී හිමවතට නුදුරු ලබ්භක නම් පර්වතය පාමුල අසපුවක් කොට ඍෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහු අනුව හැත්තෑ හතරදහසක් පමණ බ්‍රාහ්මණ පුත්‍රයෝ පැවිදි වූහ. සරද තාපස තෙමේ අෂ්ට සමාපත්ති පංච අභිඥා උපදවා පිරිසට ද ඉගැන්වී ය.

එ සමයෙහි අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ එක් දිනක් සරද තාපසයාට සංග්‍රහ කරනු කැමති ව පාසිවුරු දරා අහසින් ගොස් තාපසයා බලා සිටිය දී ම අහසින් බැස සිටි කල්හි සරද තාපසයා ද බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දැක සර්‍වඥ බුදුන් බව දැන පෙර ගමන් කොට ආසන පනවා වඩා හිඳ වූහ.

ඉක්බිති පලවැල වලින් බුදුන් සතප්පවා ශාස්තෲන් වහන්සේ වැඩහුන් කල්හි අතවැසියන් කැඳවා බුදුන් සමඟ පිළිසඳර කතාකරමින් හුන්නේ ය. එකෙණෙහි ලක්‍ෂයක් රහතුන් පිරිවැරූ අගසවුවෝ එතැනට වැඩම කළ සේක. ඉක්බිති අතවැසියන් ඇමතූ සරද තාපස තෙමේ “දරුවනි බුදුන් ප්‍රමුඛ ශ්‍රාවකයන් මල් පූජාවකින් පූජා කළ යුතුය. තොප ගොස් මල් රැගෙන එව”යි කීය. එකෙණෙහි ඍද්ධියෙන් මල් රැගෙනවුත් බුදුරදුන්ට යොදුනක් පමණ මල් ආසනයක් පැනවූහ. අග්‍රශ්‍රාවකයන්ට තුන් ගව්වක් පමණ ආසන ද ආදි ලෙස සියල්ලට ආසන පැනවූ කල්හි බුදුන් ප්‍රමුඛ සංඝයා එම ආසන වල වැඩහුන් සේක. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ කුසලය මහත්ඵල මහානිසංස වනු වස් නිරෝධ සමවතට සමවැදුණ සේක. ඒ දුටු භික්‍ෂූන් ද නිරෝධ සමවතට සමවැදුණ සේක. ඒ දුටු සරද තාපස තෙමේ සත් දිනක් නිරාහාර ව මහත් ප්‍රීතියෙන් බුදුන් වෙත මල් කුඩයක් දැරුවේ ය.

සත් දිනකින් සමවතින් නැගිටියා වූ ශාස්තෲන් වහන්සේ දකුණත්සව් වූ නිසභ මහ රහතන් වහන්සේ අමතා මල් ආසන පිදීමේ ආනිසංස දේශනාව පවත්වන මැනවැයි කළ ඇරයුමෙන් අනුමෝදනාව කළහ. දේශනාව අවසානයේ ශාස්තෲන් වහන්සේ වමත්සව් වූ අනෝම මහ රහතන් වහන්සේ අමතා මල් ආසන පිදීමේ ආනිසංස දේශනාවක් පවත්වන මැනවැයි කළ ඇරයුමෙන් තවත් අනුමෝදනාවක් කළහ. ධර්‍මදේශනා දෙකෙහි දීම කිසිවකුට ධර්‍මාභිසමය නො වී ය. ඉක්බිති බුදුරදහු දේශනාව පටන් ගත් සේක. අවසානයේ සරද තාපස හැර හැත්තෑ හතරදහසක් දෙනා අරහත්වයට පත් වූහ.

සරද තාපසයන් බුදුන් දහම් දෙසන සමයෙහි “අහෝ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ මහත් අසිරිමත් වන සේක. මම ද අනාගත බුදුවරයකුගේ අග්‍ර ශ්‍රාවක වන්නේ නම් මැනවැයි” පරිවිතර්ක කළහ. එබැවින් දහම් අවබෝධ නො වී ය. ඉක්බිති බුදුන් වැඳ එසේ ප්‍රාර්‍ථනා කළ සේක. බුදුන් වහන්සේ ද ඔහුගේ ප්‍රාර්‍ථනය ඉටු වන බව දැක “මොහු මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි ගෞතම බුදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර නම් වන්නේ ය” යැයි විවරණ දී පිරිස සමඟ ආපසු අහසින් වැඩි සේක.

සරද තාපස තෙම තම මිත්‍ර වූ සිරිවඩ්ඪ සමීපයට ගොස් “මිත්‍රය මා අනෝමදස්සී බුදුන් පාමුල සිට අනාගතයේ පහළ වන ගෞතම නම් බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්‍ථනා කළහ. ඔබ දෙවැනි තනතුර ප්‍රාර්‍ථනා කරව.” යි කීහ. එය ඇසූ සිරිවඩ්ඪ තෙම බුදුන් ප්‍රමුඛ සංඝයා වැඩමවා සත් දිනක් මහ දන් දී අවසානයේ දී එම තනතුර පැතූ සේක. බුදුරදුන් ද ඔහුගේ එම පැතුම ඉටු වන බව දැක විවරණ දුන් සේක.

විනායක ඒ අනෝමදස්සී දම්රද හට නිසභ හා අනෝම දෙනම අගසවුවෝ ය. උපස්ථායක වරුණ නම් භික්‍ෂුව විය. සුන්‍දරී හා සුමනා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. නන්‍දිවඩ්ඪ හා සිරිවඩ්ඪ යන දෙදෙන උපස්ථායකයෝ ය. උප්පලා හා පදුමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ එතෙක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෲන් වහන්සේ ධම්මාරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය විසිපස් යොදුනක් උසට බඳින ලදි.
සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

නගරය – චන්‍දවතී නුවර
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – යසවා ක්‍ෂත්‍රීය රජතුමා
මව – යසෝධරා දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සිරි 2. උපසිරි 3. සිරිවඩ්ඪන
අග්‍රමහේෂී – සිරිමා දේවිය
පුත්‍රයා – උපවාන කුමරු
අගාරවාස – අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය – සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – අනූපම බමුණුගම අනූපම සිටුදූ
කුස තණ – අනෝම ආජීවක
බෝධිය – අර්ජුන (කුඹුක්)
ශරීර රශ්මිය – දොලොස් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම – සුභාවතී නුවර සුදසුන් උයනෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – නිසභ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – අනෝම තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – සුන්දරී තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – සුමනා තෙරණිය
අග්‍ර උපස්ථායක – වරුණ භික්‍ෂුව
උපස්ථායකයෝ – නන්‍දිවඩ්ඪ, සිරිවඩ්ඪ
උපස්ථායිකාවෝ – උප්පලා, පදුමා
වැඩ විසූ විහාර – ධම්මාරාමයේ
ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය – ධම්මාරාමයෙහි
බෝසතාණෝ – යක්‍ෂ සේනාධිපතිව විවරණ ලැබීය