New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Lr3cVV
ධර්මය සෙවීමේ වටිනාකම

පින්වතුනි, මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කලේ වටිනා ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මේ ලෝකයා තමන්ගේ අඟපසඟ රැක ගන්න ධනය අතහරිනවා.” මේ ශරිරයේ කොටසක් නැති වෙන්න ගියොත් ඒක බේර ගන්න ගෙවල් දොරවල් වුනත් මිල මුදල් උනත් අපි අත හරින්නේ නැද්ද? අතහරිනවා. වකුගඩුවක් නරක් වෙලා ඒක දාන්න කිව්වොත් තියෙන දේවල් විකුණලා හරි කරනවා. ඒ වගේම “ශරිර අඟපසඟ රැක ගන්න ධනය අත හරිනවා. ඒ වගේම සමහරු ශරිරයේ කොටස් අත හරිනවා ජීවිතය රැක ගන්න”. මේ දේ අත හැරියේ නැත්නම් ජීවිතය නැති වෙනවා කිව්වොත් ඒ කොටස අත හරිනවා ජීවිතය රැක ගන්න. ඊට පස්සේ තවදුරටත් දේශනා කරනවා “ධර්මය සිහි කරන ධර්මයට ගරු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා ධර්මය අබියස දී ජීවිතයයි, ධනයයි, අංගයි කියන මේ තුන ම අත හරිනවා”.

ඒකට හොඳ කථාවක් තියෙනවා. මේ ලංකාවේ බොහෝම ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු දෙමාපියන්ට හිටියා බොහොම පින්වත් පුත්තු දෙන්නෙක්. ඉතින් මේ දරු දෙන්නා ටිකක් ලොකු වෙන විට ඒ දරුවන්ට තමන් සතු සියලු ම ධනය සමානව බෙදලා දුන්නා. මේ දෙමව්පියෝ දීලා නොබෝ කලකින් ඒ දෙමව්පියෝ දෙන්නා කලුරිය කලා.

ඉතින් මේ අයියයි මල්ලියි දෙන්නා දැන් මේ සිටු දෙමාපියන් සතු ධනය පරිහරණය කරමින් ජිවත් වෙනවා. අයියගේ නම තිස්ස. තිස්ස ටිකක් හරි අමුතු විදියට හිතනවා ජීවිතය ගැන. ඉතින් මනුෂ්‍යයෝ විහාරස්ථාන වලට ගිහිල්ලා හවසට මල් පහන් අර ගෙන යන විට මෙයා කල්පනා කරනවා ‘ඇයි මේ මනුෂ්‍යයෝ මල් පහන් අර ගෙන යන්නේ මොකක් හරි මේකේ තේරුමක් ඇති’ කියලා. මෙයත් ඒ පස්සෙන් දුවනවා. ඉතින් ගිහිල්ලා බණ ඇහුවා. අහන විට ජීවිතයේ හරි අමුත්තක් තේරුණා. ඉතින් කාලයක් මෙහෙම බණ අහන්න පුරුදු වුනා. බණ අහන විට තිස්සට තේරුණා ‘යම් තරුණ කමක් මහළු කමෙන් අවසන් වෙනවා නම් මේ තරුණ කමෙන් තේරුමක් නෑ නේද? නින්දා වේවා. යම් ජීවිතයක් මරණයෙන් අවසන් වෙනවා නම් මේ ජීවිතයෙන් තේරුමක් නෑ නේද? මේ ජීවිතයට නින්දා වේවා. යම් එක් වීමක් වෙන් වීමකින් අවසන් වෙනවා නම් ඒ එක් වීමෙන් තේරුමක් නැහැ නේද?’ කියලා. මේ වගේ ජීවිතය ගැන ලෝකයා හිතන විදියට වඩා ටිකක් වෙනස්ව හිතන්න හුරු වුනා. අනන්ත ජාති සංසාරයේ ජරා මරණ දුක තමන්ගේ පිටුපසින් වධකයෙක් වගේ හඹා ගෙන ආවා කියන එක මෙයාට ටික ටික තේරෙන්න පටන් ගත්තා.

පසුව විහාරස්ථානයට ගිහිල්ලා කිව්වා
ස්වාමීනි මා මහණ කරන්න
ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා
තිස්ස ඔයා ආවේ අවසර අර ගෙන ද? ගෙදර අවසර ගන්න කවුරු හරි ඉන්නවා ද?
ස්වාමීනි මට එක ම එක මල්ලි කෙනෙක් ඉන්නවා.
ඒ මල්ලිගෙන් අවසර ගත්ත ද?
නැහැ ස්වාමීනි.
එහෙනම් තිස්ස යන්න ගිහින් මල්ලිගෙන් අවසර ගෙන එන්න

මේ තිස්ස ගෙදර ගිහිල්ලා මල්ලිට කියනවා, “මල්ලි මේ ජීවිතය හරි ම නිසරුයි ජරා මරණෙන් අවසන් වෙනවා නම් ඒ අපේ ජීවිතයේ තේරුමක් නැහැ. ඒ හින්දා මල්ලි මට මහණ වෙන්න අවශ්‍යයි” කියලා. ඒ පාර ඒ මල්ලි අඬන්න පටන් ගත්තා “අයියයි මායි විතරයි හිටියේ අම්මා තාත්තත් නැහැ. මට අයියා, අයියා විතරක් නොවෙයි, මට අම්මත්, මට තාත්තත්, අනිකුත් ඥාතීන් ඔක්කොමත් ඔයයි. ඒ හින්දා අනේ අයියේ මහණ වෙන්න නම් එපා. මගේ ධනයත් ඕනෑ නම් ගන්න” කියලා. මල්ලි විවාහ වෙලා හිටියේ. අයියා ගොඩක් කරුණු කියලා අන්තිමට කිව්වා “මල්ලි මා සතු සියලුම ධනය ඔයා ගන්න මට එක ම එක දෙයක් දෙන්න. ඒ මට මහණ වෙන්න අවසර විතරක් දෙන්න” කිව්වා.

මෙහෙම නැවත නැවත කරදර කරන විට මල්ලි අඬ අඬා අයියගේ කැමැත්තක් එහෙනම් කරන්න. මහණ වෙන්න අවසර දුන්නා.

ඒ අයියගේ සියලුම ධනයත් මල්ලිට පවරලා දීලා අයියා විහාරස්ථානයට ගිහින් මහණ වුනා. මහන වෙලා තමන්ගේ වැඩිහිටි ගුරුවරුන්ගෙන් බණ දහම් කමටහන් ඉල්ල ගෙන පාංශුකූල චීවරයක් පොරව ගත්තා. පාත්තරයක් අතට ගත්තා. ඉතාමත් ඈත කැලේ ඇතුළේ ගල් ලෙනකට ගියා.
උදෑසන ගමට ගිහිල්ලා පිඬුසිඟා වඩිනවා. හම්බ වෙන පිණ්ඩපාතය රස දෙයක් ද, නීරස ද කියලා බලන්නේ නැහැ. සිහිල් වෙච්ච දෙයක් ද, රස්නේ දෙයක් ද කියලා බලන්නේ නැහැ. හුදෙක් දිවි පැවැත්ම පිණිස ම පිණ්ඩපාතය ඇසුරු කලා. අප්‍රමාදීව මේ වන අරණෙ ගල් ලෙනට වෙලා භාවනා කරනවා.

ඔහොම ඉන්න අතර මල්ලිගේ බිරිඳට එක්තරා විදියේ කල්පනාවක් ඇති වුනා. “අයියගේ තියෙන සියලුම ධනය අපට පවරලා දීලා මහණ වූවේ, මහා විශාල ධනයක් තියෙනවා. බැරි වෙලාවත් පැවිදි ජීවිතය ගැන කලකිරිලා ආයෙත් ගෙදර ආවොත් මේ ධනය එයාට දෙන්න වෙනවා. මේ ධනය ගන්න එන්න ඉස්සෙල්ලා කොහොම හරි උපායකින් ඔහුව මරන්න ඕනෑ” කියලා මල්ලිගේ බිරිඳ අදහස් කර ගත්තා. මල්ලිට හොරෙන් හොරු කණ්ඩායමක් කැඳවලා හොරුන්ට විශාල අල්ලසක් දීලා කියනවා, “අසවල් කැලේ අසවල් ලෙනේ ඉන්නවා තිස්ස කියලා හාමුදුරු නමක් මෙන්න මේ හාමුදුරුවන් ව මරන්න ඕනෑ. මැරුවාට පස්සේ මම මීට වඩා තව වැඩිපුර මුදලක් දෙනවා” කියලා.

ඉතින් මේ ලෝකයේ මුදල ලැබෙන විට මුදල සඳහා ඕනෑම දෙයක් කරන්න සුදානම් පිරිසකුත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටි මේ අය භාර ගත්තා. භාර ගෙන කැලේ ගල්ලෙනට ගියා තිස්ස හාමුදුරුවෝ මරන්න. එවිට තිස්ස හාමුදුරුවෝ බොහොම වීර්යයෙන් භාවනා කරනවා. තිස්ස හාමුදුරුවන්ව මේ හොරු වට කර ගත්තා. තිස්ස හාමුදුරුවෝ අහනවා
උපාසකවරුනි, කුමක් නිසා මෙහාට ආවා ද?
අපි ආවේ ඔබ වහන්සේව මරන්න.
මා මරන්නේ ඇයි? මා මැරීමෙන් ඔබට එන ලාභය මොකක් ද?
ඔබ වහන්සේ මැරුවාම අපට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා මරන්න ආවේ.
මැරුවට කමක් නැහැ, ඒත් මට එක දවසක් දෙන්න. තව එක දවසකින් පස්සේ මා මරන්න.
ඊට පස්සේ මේ හොරු කියනවා “නෑ නෑ ඔය එක දවසක් අපෙන් ඉල්ලන්නේ අපේ ඇස් වහලා පැනලා යන්න. එක දවසක් වත් දෙන්න බැහැ. දැන් අපි ආපු කාරණය කරනවා” කියලා කඩුව ඇදලා ගත්තා.
ඊට පස්සේ කියනවා තිස්ස හාමුදුරුවෝ
ඇවැත්නි, උපාසකයිනි, එක දවසක් මට දෙන්න. ඒ වෙනුවට මං ඔබට ඇපයක් දෙන්නම්.
මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්නේ?

ඉඳ ගෙන ඉන්න ආසනයට එහා පැත්තේ තිබුණා මහා විශාල කළු ගලක්. අපහසුවෙන් මේ කළු ගල ඔසවලා අර ගෙන තමන්ගේ කකුලේ කලවා ඇට දෙකට වේගයෙන් ගහලා ඇට දෙක බිඳ ගත්තා. “ඇවැත්නි, මේ ඇපය ඇති ද?” කියලා ඇහුවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන හරිම සංවේගයක් ඇතිවෙච්ච හොරු හරිම සංවේගයෙන් “ඇති ස්වාමීනි” කියලා යන්න ගියා.

දැන් ඉතින් සක්මන් කරන්නත් බැහැ. මේ තිස්ස හාමුදුරුවෝ ඒ කකුලේ කකුල කැඩීම නිසා ඇති වෙච්ච වේදනාව අරමුණු කරලා සියලු කෙලෙස් නසලා එතැන ම රහත් බවට පත් වුනා. ඒ කකුලේ කලවා ඇට බිඳ ගන්න ඉස්සර වෙලා එයා නුවණින් කල්පනා කරනවා, “කෙලෙස් සහගතව ජීවත් වෙනවාට වඩා දැහැමි මරණය වටිනවා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලා. ඒ නිසා කෙලෙස් සහගත ව කලුරිය කිරීමත් නින්දා සහගතයි. අනන්ත සසරේ ඉන්න විට මෙහෙම එක වරක් පමණක් නොවෙයි කකුල් කැඩෙන්න ඇත්තේ. ඕනෑ තරම් මේ කකුල් කැඩෙන්න ඇති. ඒ ධර්මය වෙනුවෙන් මං මේ කකුල කඩා ගත්තට කමක් නැහැ” කියලා. එහෙම තීරණය කරල යි කකුල කඩා ගත්තේ.

පින්වතුනි, අපට තියෙනවා ජීවිතය ගැන හිතන්න ගොඩක් දේ මේ තුලින්. ඒ හාමුදුරුවෝ සද්ධර්මයට ජීවිතය පූජා කරලා ඒ වගේ ක්‍රියාවකට පැමිණුණේ පින්වතුනි මේ අනවරාග්‍ර වූ සංසාරය ගැන යම් පමණක් හෝ දැනුමක් අවබෝධයක් තිබුණු නිසායි. ඒත් ඒ දැනුම අවබෝධය අපට නැති නිසායි, අපි බයක් සැකයක් නැතිව මේ ජීවිතය ජීවත් කරන්න ගෙවන්නේ.

ඉතින් මේ සද්ධර්මය අපට හරියට තේරුනොත්, අපි වුනත් අපේ ජීවිතය සද්ධර්මයට පූජා කරන්න මැලි වෙන්නේ නැහැ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “අනමතග්‌ගොයං, භික්‌ඛවෙ, සංසාරො. පුබ්‌බා කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං සන්‌ධාවතං සංසරතං… – මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරයේ පූර්ව කෙළවරක් හොයන්න බැහැ. ඒ දීර්ඝ සංසාරයේ එන කොට, තමන්ට ඇඟ ලේ කිරි කරලා පොවපු මව්වරුන් මළ දුකට හඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම්, සතර මහා සාගර ජලයට වැඩියි” කියලා පෙන්නුවා. ඒ වගේ ම දහදිය මහන්සියෙන් හම්බ කරලා තමන් ව පෝෂණය කල පියා, තමන් තුරුලේ තියා ගෙන බොහෝ ම සෙනෙහසින් හදපු දුව පුතා, වැලි කෙළියේ පටන් තමන්ගේ ළඟින් හිටපු සහෝදරයා සහෝදරිය, අනෙක් ඥාති හිතෛෂීන් ආදීන් ද මළ විට ඒ දුකට පපුවේ අත් ගසමින් අඬන විට ඒ ගැලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

ඒ විතරක් නොවෙයි, මේ දීර්ඝ සංසාරයෙ අප හැම කෙනෙක් ම මනුෂ්‍ය ආත්ම වලට වඩා ලබලා තියෙන්නේ තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලබපු ආත්මවල දී බෙලි කැපුම් කන විට ගලා ගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගර ජලයට වැඩි යි කියලා පෙන්නුවා. පෙන්නලා බුදු හාමුදුරුවෝ නැවතත් මෙහෙමත් දේශනා කලා “මේ පටිච්ච සමුප්පාදය නැමති ධර්මතාවය දන්නා වූ මේ සද්ධර්මය ඇසූ පිරූ ඇති කෙනෙක් හැර මගේ මේ වචන විශ්වාස කරන්නේ නැහැ” කියලා. අනෙක් අයට හිතෙන්නේ මේක අතිශයෝක්තියක්, මවා පෑමක්, මවා පෙන්වීමක් කියලා. ඇයි මහා සාගරයට වඩා වැඩියි අඬපු කඳුළු කියන විට.
නමුත් පින්වතුනි, බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ අපව යහපත් මාර්ගයට ගන්නවාත්, බොරු කියන කෙනෙක් නොවෙයි. බොරුවෙන් උපමා කරන කෙනෙක් නොවෙයි. ඒ තරම් සසර දුකක් අපි හැම කෙනෙක් ම විඳලා තියෙනවා. ඒත් භවයෙන් වැහිලා නිසා අපට පෙනෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මේ සංසාරයේ එන කොට, ඇස් දෙක අන්ධ වෙලා, ගල් මුල් වල පය හැපි හැපී ජීවිතය අවසන් වූ වාරත් ඕනෑ තරම් ඇති. අතපය හතර නැති වෙලා, කොටයක් වගේ වෙලා කිසි කෙනෙකුගේ පිහිටක් නැතිව ජීවිතය අවසන් වෙච්ච වාරත් අපේ ඕනෑ තරම් ඇති. ඒ වගේම ජීවත්ව සිටින විටම පණුවෝ ගහලා, හොරි කුෂ්ට හැදිලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙලා මැරුණු අවස්ථා ඕනෑ තරම් ඇති.

අද සිහි කරලා බලන්න මේ ලෝකේ මොන තරම් අනතුරු තියෙනවා ද? මොන තරම් ලෙඩ රෝග වල ප්‍රභේද තියෙනවා ද? ඒ සියල්ල මේ සසරේ, අපි ඉන්නෙත් මේ සසරේ. ඒ හැම දෙයකට ම නෑකම් කියන්න පුළුවන් බව අපේ නැති වෙලා නැහැ. ඒත් භවයෙන් වැහිලා නිසා, අවිද්‍යාවෙන් වැහිලා නිසා, අපට මේ සසරේ ඇති භයානක කම තේරෙන්නේ නැහැ.

පින්වතුනි අපේ ජීවිතය ගැන අපි මීට වඩා නම් ටිකක් හිතන්න ඕනෑ. එකම එක දෙයක් හොඳට සිහි කරලා බලන්න. ඇයි අප ජිවත් වෙන්නේ කියලා. අපි ජිවත් වෙන්නේ කුමක් සඳහා ද කියලා.

අපි උදේ ම නැගිටලා ගෙවල් දොරවල් අස්පස් කරලා ආහාර පාන සකස් කරනවා. කෑම කනවා. මේ ටික ඇයි අපි කරන්නේ? මෙහෙම කර කර ඇයි අප ජිවත් වෙන්නේ? අපි මේ කරන ක්‍රියා ඉතා සියුම් විදියට නිරීක්ෂණය කරලා ගවේෂණය කරලා බැලුවොත්, අපට තේරෙයි අපි හැම කෙනෙක් ම උත්සාහවත් වෙන්නේ දුක නැති කරන්න, සැනසීම ලබා ගන්න. ඒත් අපි හැමෝටම ලැබෙන්නේ නැති කරුණත්, ලැබිලා නැති කරුණත්, දුක නැති කර ගන්න එක, සැනසිල්ල ලබාගන්න එක. ඒ සඳහා මාවතක් ද අපි හොයන්නේ නැහැ. ඒකට හේතුව අපට එහෙම අවශ්‍යතාවක් දැනිලා නැහැ. අපට අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. අපේ වටපිටාවේ හිස් බවක් නො දැනෙන නිසා, අපට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මුනුබුරෝ ඉන්නවා, ආහාර පාන තියෙනවා, ඉන්න හිටින්න වටපිටාව තියෙනවා. මේ ටික තියෙන නිසා අපට පේන්නේ නැහැ. ඒක අපට සිහි කර ගන්න නුවණ ශක්තිය මදි වෙලා. අපි වටා තියෙන්නේ මෙහි ධර්මයන්ගේ ආදීනව ටික.

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දහම් ඇස පොතෙන් උපුටා ගන්නා ලදී. එක්වන්න http://sudassana.org/ සමග