New at Little Bit


from Path to Nirvana https://ift.tt/2vbMYFd
ලෝවැසි සැමට පින් බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා !
සියලු සිත් නිවි සැනසී පහන් වේවා !

සිත නිවන බණ කතා
( සද්ධර්මාලංකාරය ඇසුරෙනි )

01.ගින්නෙන් සිහිලසක්

බුදු හාමුදුරුවන් වහන්සේ කොසඹෑ නුවර සුංසුමාරගිරි පර්වතයේ වැඩ සිටින කාලෙක කොසඹෑ රජුගේ අගබිසොව වෙස්සමිත්තා රජුත් සමග බුදු හාමුදුරුවන් දැකගන්නට විහාරයට ගියාය. සිත් පහදවන රූපයෙන් යුතුව මිහිරි හඬින් වදාළ බණ අසා පැහැදී සරණ සීලයේ පිහිටා බුදු හාමුදුරුවන් කෙරෙහි මහත් සැදැහෙන් සිටියා .

මේ අතරෙ කොසඹෑ නුවර රාජ්‍යය අල්ලා ගැනීමට සතුරු රජෙක් සේනාව පිරිවරාගෙන පැමිණියේය. ‘ මම මේ මාගේ රාජ කිසිම කෙනෙකුට අයිති කර ගන්න දෙන්නේ නැහැ’ මෙසේ සිතූ කොසඹෑ රජු සටන සැරසුණේය. අග බිසොවට කතාකර

” සොදුර , මම සටනට යන්නයි සූදානම් වෙන්නෙ.දිනුම පැරදුම කාට ලැබේද දන්නේ නැහැ.මට පැරදුමක් වුණොත් මම කහපාට කොඩියක් ඔසවන්නම්.එවිට ඔබ වහාම මේ කදවුරින් පිට වෙලා කොසඹෑ නුවරට පලා යන්න. ” යැයි කීවේය .

කොසඹෑ රජු සටන් කරමින් ඉදිරියට ගියේය .පරාද වන බව පෙනුණු විට රජු කහ පාට කොඩියක් ඔසවා තවත් ඉදිරියට ගියේය. සතුරන් අතින් රජු මැරුම් කෑවේය. කහ කොඩිය දුටු බිසව ඉක්මනින් කොසඹෑ නුවරට පලා ගියාය.සතුරු රජුගේ පුරුෂයෝ බිසව හඳුනා ගෙන ඇය තමන්ගේ රජ්ජුරුවන් ඉදිරියට ගෙන ගියහ .

සතුරු රජු කොසඹෑ රජුගේ අගබිසොව දැක ඇය පිළිබඳව සිතක් ඇතිකර ගෙන ,ඇය තමන්ගේ අගබිසව ලෙස ඔටුනු පලඳවන්නට මගුල් සූදානම් කරන්නට ඇමතිවරුන්ට කීවේය .

ඇමතිවරු තම රජුගේ අදහස කොසඹෑ අග බිසොවට දැන්වූහ බිසව මෙසේ කීවාය.

“මාගේ සැමියාණන් වූ කොසඹෑ රජු ඔටුණු පළඳවා මා අග බිසෝ තනතුරට පත් කළා. එදා සිට අපි දෙන්නා ඉතාමත් සතුටින් හිටියා. ඒ මාගේ සැමියාණන් මතක් වෙනකොට මගේ හදවත දැවෙනවා. මේ රජ්ජුරුවන්ගේ අග බිසව උනොත් ආයෙමත් මට මේ වගේ වේදනාවක් විඳින්නට සිදුවෙයි. මම කැමති කැමැති නැහැ ඒ වගේ වේදනා නැවතත් විදින්නට .”

සතුරු රජුට බිසොවගේ මේ කතාව ඇසුවාම බොහො කේන්තියක් ඇති විය.

” තී මගේ අගබිසොව හැටියට ඔටුනු පැළදීමට අකමැතිනම් දර සෑයකට දමා ගිනි අවුළුවා තී මරා දමන්නට මම නියම කරනවා .”

බිසෝව සතුරු රජුට බැගෑපත්වෙමින් මෙසේ කීවාය .” දේවයන් වහන්ස, නිරපරාධ අය ගින්නට දමා මැරීම මහා අකුසලයක්. එයින් මෙලොවදීත් පරලොවදීත් විපාක විඳින්නට සිදු වෙනවා. පැරණි කාලේදී නම් මහණ බමුණන්, දෙමාපියන්,බාල දරුවන්, රෝගීන් ,කාන්තාවන් මරන්නට, ඔවුන්ට දඩුවම් කරන්නට රාජ නීතියෙනුත් අවසර ලැබුණේ නැහැ.”

මේ කථාවලින් සතුරු රජුගේ කෝපය අඩුනොවීය.” මේ ස්ත්‍රීයගේ දෑත,දෙපය බැදලා ගිනිමැලයට දමා පියව” යැයි රාජ පුරුෂයන්ට නියම කළේය .

රාජ පුරුෂයෝ රජුගේ නියෝගය අනූව මල් දමක් වාගේ සියුමැලි බිසොවගේ දෑත් ,දෙපය බැද ගිනිමැලයට දැම්මෝය.

මෙසේ ගින්නට දමන වේලාවේ ඒ බිසව මෙසේ සිතුවාය. මට මෙතන කිසිම පිළිසරණක් නැහැ .මට මේ වෙලාවෙ තිබෙන්නේ බුදු සරණ ,දහම් සරණ, සඟ සරණ
විතරයි.මම ඒ තුන්සරණ යනවා.

බිසෝවට ගින්නෙන් කිසිම හානියක් නොවීය.රතු නෙලුම් මල් අතරේ සිටින රන්වන් හංසයෙකු මෙන් ,රතු පලසක් පොරවා ගත් කෙනෙක් මෙන් බිසව ගිනිදැල් අතරේ නොදැවී
සිටියාය .රජු මේ පුදුමය දැක, ‘ අනේ මම මේ මොකක්ද කළේ’ යැයි සිතා භයෙන් වෙව්ල වෙව්ලා දුවගෙන ගොස් බිසොව දෑතින් ඔසවාගෙන ගිහින් ආසනයක වාඩිකොට බිසොවගෙන් ” ඔබ මේ ගිනිදැල්වලින් නොදැවුණේ ඇයි ද ? ” කියා ඇසුවේය.ඒ වෙලාවේ බිසොව ” මේ වෙලාව දෙමාපියනට , සොහොයුරන්ට, නෑදෑයින්ට , මාව බේරගන්නට පුලුවන් කමක් නැහැ .තුනුරුවන්ගේ ආනුභාවයෙන් තමයි මම බේරුණේ.” යි කීවාය.

බිසොව තුණුරුවන්ගේ ගුණ කියමින් දහම් දෙසුවාය.ඉතාමත් පැහැදීමට පත් සතුරු රජතුමා ” අද පටන් ඔබ මාගේ මෑණියන් වහන්සේ ” යයි කියමින් එතැන් පටන් බිසොවට ගරු සත්කාර කළේය.රජතුමාත් සරණ ශීලයෙහි පිහිටියේය.

🙏🙏🙏🙏🙏🙏🙏

( වෙස්සාමිත්තා වස්තුව ) නිමි.

සිත නිවන බණ කතා
( සද්ධර්මාලංකාරය ඇසුරෙනි )
සැකසුම, නදීකා දමයන්ති .