New at Little Bit


from Path to Nirvana https://ift.tt/2P6zhzJ
දෙවියන් විසින් නිමවූ ප්‍රතිමා වහන්සේ..
—————————————

අපගේ භාග්‍යවතුන් වහන්සේ මුලු තුන් ලෝකයේ ම වැදුම් පිදුම් ලැබීමට සුදුසු අය අතරින් අග්‍රතම සේක. බෝධිසත්ව අවධියේ සිට ම, සම්මා සම්බුද්ධත්වයෙන් පසු මේ දක්වාමත් බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට දක්වන ලද උපහාර පමණ කළ නොහැකියි.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින්‌ ශෝභමාන වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ප්‍රතිමාවකට නැගිය නොහැකි වුවත්, සිහි කොට වන්දනා මාන කිරීම උදෙසා ඈත අතීතයේ පටන් මේ දක්වාම බුදු රජාණන් වහන්ස‌ේව ප්‍රතිමාවලට නගනු ලැබුවා. එසේ නිර්මාණය වුන සොදුරු බුද්ධ ප්‍ර්‍රතිමා වහන්සේලා අතරින්, අපගේ බුදු රජාණන් වහන්සේගේ ජය භූමිය වූ ගයාවේ නේරංජරා නදිය අසබඩ වජ්‍රාසන භූමියේ විරාජමානව වැඩ සිටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ අතිශයින් සුවේශේෂීයි. දුටු දුටුවන්ගේ නෙත් සිත් සැදැහැයෙන් සනසාලන එම ප්‍රතිමා වහන්සේ තරම් පුද පුජාවන්ට ලක්වන තවත් ප්‍රතිමා වහන්සේ නමක් මනු ලොව නම් නැති තරම්. සෑම දිනකම නොයෙක් ආකාරයේ වටිනා චීවර දහස් ගණනින් මෙම උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේට පුජා කරනු ලබනවා. අනෙකුත් පූජා ද්‍රව්‍ය පමණ කරන්නටත් බැහැ.

මෙම ප්‍රතිමා වහන්සේ විශ්වකර්ම විද්‍යපුත්‍රයා විසින් සියතින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකෙනවා. දේශාටනයේ නිරත වූ හිංයසියෑං ස්වාමීන් වහන්සේගේ වාර්ථාවලට අනුව (ක්‍රිස්තු වර්ෂ 650 දී පමණ ) එම ප්‍රතිමාව මෛත්‍රි බෝධිසත්වයන් විසින් සියතින් කරවන ලද්දක්.

එම සටහනට අනුව මුලදී ධර්‌මාශෝක රජු විසින් ‌වජ්‍රාසන භූමියේ කුඩා ප්‍රතිමාගෙයක් කරවනු ලබනවා. පසුව එක්තරා බ්‍රාහ්මණයෙක් එය විශාල කරවනවා. මුලින් හින්දු භක්තිකයෙක් වූ ඔහු මහේශ්වර දෙවියන් හිමාලයේ වාසය කරන බව අසා තමන්‌ගේ ප්‍රාර්ථනා ඉටු කරගැනීමට බාල සොහොයුරකු සමග හිමවතට ගොස් එහි යාඥා කරමින් සිටිනවා. එවිට මහේෂ්වර දෙවියන් පෙනී සිටි ඔහුට පවසන්නේ, තමන්ගෙන් උපකාර ලබා ගන්නට නම්, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටි වජ්‍රාසන භූමියේ මහ පිළිම ගෙයක් කරවා වැවක් කණවා නොයෙක් පූජා පවත්වන ලෙසයි. එය ඇසූ බ්‍රාහ්මණයා ආපසු ගොස් විහාරයක් තනවා වැවක් ද ඉදිකොට මහත් පූජා පවත්නවා. නොබෝ කලකින් ම ඔවු‌න්ගේ අදහස් සඵල වෙනවා.

පිළිම ගෙය කරවා අවසානයේ බුදු රජාණන් වහන්සේ බුදු බව ලැබූ පසු වැඩ සිටි ආකාරයට ම ප්‍රතිමාවක් කරන ලෙස ශිල්පීන්ට ආරාධනා කළත් අවුරුදු ගණනාවක් යන තෙක් කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් පැමිණ විහාර වාසී භික්ෂූන් වහන්සේලාට, “මම මහා පුරුෂ ලකුණ සහිත පිළිරුවක් කරවන්නෙමියි” කියා පවසනවා. ඒ සදහා කුමක් අවශ්‍ය දැයි ඇසු විට ඔහු පවසන්නේ, පිළිමගෙය තුළ සුවද කැවූ මැටි ගොඩක් සහ දැල්වූ පහනක් තබා තමන් ඇතුළට ගිය පසු දොරවල් වසා මාස හයකින් විවෘත කරන ලසෙයි.

විහාර වාසී භික්ෂූන් වහන්සේලා ඔහුගේ ඉල්ලීම ඉටු කරනවා. මාස හතරක් ගත වූ පසු කුතුහලට පත් වු භික්ෂූන් වහන්සේලා සිදු වන්නේ කුමක්ද කියා බැලීමට ද්වාරය විවර කරන අතර, ප්‍රතිමා ගෙය තුළ ජීවමාන ආකාරයෙන් මහාපුරුෂ ලකුණු වලින් ශෝභමානව වැඩ සිටිනා ප්‍රතිමා වහන්සේ දක්නට ලැබෙනවා.

වර්තමානයේ අද දක්වාම අතිශයින් ශෝභමානව, දෙවි මිනිසුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වෙමින් උතුම් වජ්‍රාසන භූමියේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ ම වැඩ සිටින්නේ ඒ සොදුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ යි.

ප්‍රතිමා වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ නිසි ලෙස දර්ශනය වන්නට නම්, හිරු උදාවන වේලෙහි ලොකු කැඩපතකින් විහාර මන්දරය තුළට ආලෝකය පරාවර්ථනය කොට දැකිය යුතු බව හියුංසියං ස්වාමීන් වහන්සේගේ සටහන් වල දැක්වෙනවා. වර්තමානයේ එම අවස්ථාව ලබා ගත හොහැකි වුවත්, මෙම විශ්මිත ප්‍රතිමාවහන්සේ පුදුමාකාර සුන්දරත්වයකින් දර්ශනය කරගත හැකි වෙනවා.

බුද්ධගයාවේ වජ්‍රාසන භූමියේ විරාජමානව වැඩ සිටින අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ප්‍රතිමා වහන්සේට නමස්කාර වේවා!
සටහන – Agra Evanesceca
——————-
ශාක්‍ය ජනපදය, ජේතවන ඉසිපතන හා බුද්ධගයා වැනි ස්ථාන මීට අවුරුදු 1300කට පෙර පැවති විස්මිත තත්ත්වය නිවැරදිව විස්තර කරන චීන හියුංසාං හිමියන්ගේ දේශාටක වාර්තාව (පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ සිංහල පරිවර්තනය) මෙතැනින් කියවන්න.

https://ift.tt/2o9MY5r