New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NsbPRk
වෙස් වලාගත් කොටි

කඳුකරයේ ගෝත්‍රික මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට කිසිවෙක් නගරබදට ගොස් නැත. ඔවුහු භික්ෂූන් වහන්සේලා දැක නැත. මෙම කඳුකරයේ ගමෙන් හැතැක්ම 1-2 දුරින් පිහිටි වනාන්තරයේ ආචාර්ය මන් සහ භික්ෂු පිරිස වාසය කරති. ගස් යට කුඩා මැසිවල ලැගුම් ගනිති. අළුයම පිඬු පිණිස ගමට ගිය විට “ඇයි ආවේ?” යැයි අසති. දානය පිණිස පැමිණි බව ආචාර්ය මන් සැළකළහ. ඔවුන් පුදුමයෙන් බලා සිටියහ. එවිට පින්ඩපාතය යනු කුමක්දැයි ආචාර්ය මන් කියා දුන්හ. “ඔබට ඕනෑ උයපු ආහාරද? වියලි ආහාරදැයි ඇසූහ.” “උයාපු ආහාර” යැයි කී විට ඉතා ස්වල්ප ප්‍රමාණයක් පාත්‍රවලට දැමූහ. එම භික්ෂූන් දෙනම කුටියට පැමිණ එම බත් වැළඳූහ. ව්‍යංජන කිසිවක් නැත.

මුල සිටම ගෝත්‍රික මිනිස්සු ශ්‍රද්ධා බුද්ධියක් නැති බැවින් දාන මානාදිය නොදනිති. භික්ෂූන් පිළිබද සැක පහළ කරති. එදින සවස ගම්මුලාදෑනියා බම්බු ටකය නාද කර මුළු ගම එක් රැස් කළහ. ආචාර්ය මන් සහ අනිත් භික්ෂුව ගැන කථා කරමින් “යම් කිසි කොටි වර්ගයක් වෙස් වලාගෙන ඇවිත් කැලෑවේ සිටිති. කුමන ගෝත්‍රය දැයි නොදනිති. එහෙත් විශ්වාස කල නොහැකියැ’යි කීහ.”
“එම කැලයට දර පිණිස හෝ හැහැණු සහ ළමයි නො යා යුතුයි.
එම කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කල හැකිය.”
යනාදී වශයෙනි

මෙම කථාව කරන වේලාවේ ආචාර්ය මන් සමාධියට පත් වී සිටියහ. එබැවින් සියල්ල දනිති. ඇසෙති. දකිති. නමුත් ඒ පිළිබද කෝපයට පත් නොවුණි. අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, අනුකම්පාවක් මේ මිනිසුන් කෙරේ හට ගති. උන්වහන්සේ දුක් වූයේ මේ පිරිස මෙවැනි බොරු භයක්, සැකයක් නිසා බොහෝ අකුසල් රැස්කර සසර දුක් විදීම ගැනය. මැරී ගොස් කොටි යෝනියේ උපදී. පසුදා උදෑසන තම ශිෂ්‍යයාට මේ සියල්ල දැන්වූහ.

“ඊයේ හවස ගම්මුලාදෑනියා මුළු ගමම කැඳවා අපි කොටි වර්ගයක්, භික්ෂූන් මෙන් වෙස්වලාගෙන සිටිති. ඒ අය අපගේ අඩවිය අයත් කර ගනිති. අප විනාශ කරති. ” ආදී වශයෙන් කීවා. අප මේ ගම හැර ගියොත් මේ මිනිස්සු ඇත්තෙන්ම භයානක පවු සිදුකර ගනිති. ශ්‍රද්ධාව නැති බැවින් අප කෙරෙහි පව්කාර අදහස් ඇතිකරගෙන අකුසල කර්ම සිදු කරති. මේ අයට අනුකම්පාවෙන් අපි මෙහේම රැඳී සිටිමු. මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. මේ අයගේ වැරදි දෘෂ්ටිය බිඳෙනතුරු මෙහි සිටිය යුතුයි.

ගම්මු උන්වහන්සේලා සැක කලා පමණක් නොව දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් නොයෙක් අවි ආයුධ රැගෙන මුර කරති. සමහරවිට උන්වහන්සේලා සක්මන් කරනවා ඈතින් බලා සිටිති. ආචාර්ය මන් සමීපයට සමහර විට පැමිණෙති. සක්මන් කොන් ළඟ හෝ මැද්දේ බලා සිටිති. විනාදි 10-15 සක්මන් මැද සිට වටපිට බලමින් පරීක්ෂා කරති. මෙම මුර කිරීම, දැඩි පරීක්ෂාව දිනපතා සති ගණනක් කරති.

මෙම භික්ෂූන් වහන්සේලාගේ සැපදුක් ගැන ගම්මු කිසි හැඟීමක් නැත. කෑම බීම ලැබෙනවාදැයි කිසි සැළකිල්ලක් නැත. ජීවත් වෙන්නේ කෙසේදැයි නොසිතති. මෙසේ ජීවත්වීම ඉතාම දුෂ්කර විය. තම්බපු බත් පමණක් ලැබේ. ඒ වුවද සමහර විට නොලැබේ. ලැබුනු ප්‍රමාණය නොසෑහේ. වැඩිපුර ජලය බී සැනසේ.

ගල්ගුහා හෝ ගිරි හෙල් ආදී කිසි ආවරනයක් නැති බැවින් ගස් යට රෑ දවල් ගත කිරීමට සිදුවිය. වැසි කාලය ඉතා දුෂ්කරය. මුළු දවස ධාරානිපාත වැසි කඩා හැලේ. වැස්ස නැවතී ටිකක් වියලී ගිය විට වහලයකට සුදුසු තණකොළ වියලි කොළ සොයමින් ගොස් යාන්තම් නොතෙමී සිටින්නට පියස්සක් තනා ගත්හ. අවම වශයෙන් දවස ගතකිරීමට පමණක් එය සෑහේ. තද වර්ශාව මැඩපැවැත්වීමට රෙදි වලින් මැසූ වට ආවරණයක් ඇත. එහි තුල එක්කෙනෙකුට පමණක් හිඳිය හැක. එය කූඩාරමක් වැනි කූඩයට සවිකර තිබේ. මෙයින් යම්කිසි ආවරනයක් ලැබේ. නිතරම කඳු මුදුන් වලින් එන සුළඟ චන්ඩ මාරුතයකි. කූඩාරම කැඩී ඉගිලී යයි. සිවුරු පිරිකර තෙත බරිත වේ. දවල් කාලයේ නම් යම් පිළියමක් සෙවිය හැකිය. එහෙත් රාත්‍රී කාලය නම් කිය නොහැකි තරම් විනාශයකි. පුදුම අසහනයකි.

ශීත සැඩ සුළං ගස් අතු ඉති ගෙන යති. භයංකර ශබ්දය සිත කම්පා කරයි. කොයි මොහොතේ මරණයට පත්වේදැයි නොදනී. වැස්ස, සුළඟ, ශීතල, රාත්‍රිය, ඝන අඳුර ඇත. කැඩී බිදී යන සුන්බුක් කැබලි ඒ මේ අත හමායයි. කුසගින්න, පිපාසයද බලවත්ය. උෂ්න කාලයද එතරම් දුෂ්කරය. මේ සියල්ල ඉවසුවේ ගමේ මිනිස්සුන්ගේ සැක බිය දුරු කිරීමටය. බොන වතුර කේතලය පුරවා ගැනීම බොහෝ ඈත කඳු පාමුලට යා යුතුය. මේ සියලු දුක් මධ්‍යයේ ගමේ මිනිස්සු කිසි සැලකිල්ලක් නොදක්වති.

ආචාර්ය මන්ගේ භාවනා බලය හා අවබෝධය නිසා කිසිම සැලීමක් හෝ කළකිරීමක් නැත. වන මෘගයන්ගේ කෑ ගැසීම උන්වහන්සේට සතුට එලවයි. කුල්මත් කරයි. රෑ කාලයේ ගස් යට භාවනා කරන විට ළඟ පාත කොටි ගොරවන ශබ්දය ඇසේ. මේ විශාල සත්තු පුදුමයකට මෙන් ආචාර්ය මන් සමීපයට නොපැමිනෙත්. කලාතුරකින් කොටියෙක් අවුත් කූඩාරම තුළට හොම්බ දමා ඉව කර ගොදුරු සොයති. උන්වහන්සේ යන්තම් සෙලවුනු විගස ඌ කඩාපැන දුවයි. නැවත පැමිණෙන්නේ නැත.

සෑමදාම මිනිස්සු තුන් දෙනෙක් අවුත් විපරම් කරති. උන්වහන්සේ දෙස බලා පහත් හඩින් යම් යම් දේ කියති. ආචාර්ය මන් කිසි වගක් නැත. ඔවුන්ගේ සිත් දකී. ඒ බව ඔවුන් නොදනිත්. ඔවුන් කථා කරන දේ ඇසේ. දිබ්බ චක්ඛු, දිබ්බ සෝතයෙනි. යමෙක් ඒ අයගේ කථා බහ දනී යන්න නොදන්නා හෙයින් කිසි අවහිරයක් නැතිව කථා කරත්. ඒ අය යම්කිසි වැරැද්දක් සොයති. ආචාර්ය මන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ට අසීමිත කරුණාවකිනි. ගමේ වැඩි සංඛ්‍යාවක් ටික දෙනෙකුගේ දූෂිත පාලනයට ලක්වී ඇති බව උන් වහන්සේ දැන ගත්හ. මෙම අඩවියේ ආචාර්ය මන් මාස කීපයක් විසූහ. තවමත් මෙම මිනිස්සු උන්වහන්සේගේ සුළු ප්‍රමාද දෝශයක් හෝ සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ගත් වැරදි නිගමනය කෙසේ හෝ හරි නිගමනයක් ලෙස ඔප්පු කිරීමටය. එහෙත් උන්වහන්සේ පළවා හැරීමට තැත් නොකළහ. වරින් වර ඔත්තු සෙවීමේ යෙදෙති. මාස ගණනාවක් ඔවුන් වෙහෙසට පත් වුවද එකම වැරැද්දක් නොදකිති.

එක් සන්ද්‍යාවක උන්වහන්සේ සමාධි සුවයෙන් සිටින විට ගම්මු එක් රැස් වී තමන් වහන්සේ ගැන සාකච්ඡා පවත්වන බව දැනුණි. ගම්මුලාදෑනියා අනෙකුත් අයගෙන් තමන්ගේ ඔත්තු පරීක්ෂණවල ප්‍රතිඵල ඇසූහ. මේ භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කිසිම දෝෂයක් සොයා ගැනීමට නොහැකි බව ඔවුන් එක හෙලා දැන්වූහ. ඔවුන්ගේ සැකය නිසා බොහෝ නරක විපාක ඇතැයි කීවාහ.

“ඔබ එසේ කියන්නේ ඇයි”

“ඇයි යන හැමවිටම දකින්නට ලැබෙන්නේ උන්වහන්සේලා ඇස් පියාගෙන ඉඳගෙන ඉන්නවා නොසෙල්වී ගස් ගල් වගේ නැත්නම් ඇවිදිනවා ඉදිරියට-ආපසු උඩ බිම වටපිට බලන්නේ නෑ. මේ අය කොටි වර්ගයක් නම් වටපිට බලමින් කුරුමානම් අල්ලති. එවැන්නක් නැත. මෙතෙක් කල් ඒ අයගේ හැසිරීම් වරදට හසුකල නොහැකිය. එසේ වරදක් වූයේ නම් අපට අසුවෙති. අපි මෙවැනි අපරාධ හොද අයට කිරීමෙන් මහා විපත්තියකට පත්විය හැක. දැන් කරන්නට ඇත්තේ මේ අය සමඟ කථා කර අරමුණ පැහැදිලි කර ගැනීමයි.

හොඳ භික්ෂූන් වහන්සේලා සොයා ගන්න බැහැ. හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාට අපි ගෞරව දැක්විය යුතුයි. මේ භික්ෂූන් ව්‍යාජ, වංක, ද්‍රෝහී පුද්ගලයන් ලෙස චෝදනා කලයුතු නැත. මෙය විසඳීමට අප ගිහින් ප්‍රශ්න කරමු. ඇයි ඔබ ඇස්පියාගෙන ඉන්නේ? ඇයි ඔබ ඉස්සරහට ඇවිදින්නේ? ආපසු හැරී ඇවිදින්නේ? මොනවද හොයන්නේ?

මේ රැස්වීමේදී ඔවුහු යම් නියෝජිතයෙක් යවා ප්‍රශ්න කිරීමට තීරණය ගති. පසුදා උදෑසන ආචාර්ය මන් අනිත් භික්ෂුව අමතා “ගමේ මිනිස්සුන්ගේ ලොකු පරිවර්තනයක් වී ඇත. ඊයේ රාත්‍රියේ රැස්වීමක් පැවැත්වූවා අපදෙදෙනා පිළිබඳ. අද උදේ යම් නියෝජිතයෙක් එනවා අපගෙන් විමසීමට ඒ අයගේ සැක බිය දුරුකිරීම පිණිස”

ඒ අනුව එදින සවස ගමේ නියෝජිතයා පැමිණියේය. “ඔබ මොනවාද ඇස් පියාගෙන හොයන්නේ? ඒ මේ අත ඇවිදිමින්?”

ආචාර්ය මන් පිළිතුරු දෙමින් “මගේ බුද්ධො නැතිවෙලා මම බුද්ධො සොයමින් රෑ දවල් ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් සොයනවා”

“බුද්ධො යනු කුමක්ද? එය සොයාගැනීමට අපට හැකිවේද?”

බුද්ධො යනු තුන් ලෝකයේ ඉතාම වටිනා මැණික. ඒ මැණික තුළින් මුළු තුන් ලෝකයම දකිනවා. ඔබට පුළුවන්නම් එය සොයා දෙන්ට බොහොම හොඳයි. එවිට අපි සියලු දෙනාට ඉක්මණින් පහසුවෙන් බුද්ධො සොයාගත හැකියි.

“ඔබේ බුද්ධො නැතිවෙලා බොහෝ කල්ද?”

නෑ එතරම් කාලයක් නෑ ඔබ උදව් කරනවා නම් අපට ඉක්මණින් සොයාගත හැකියි.

බුද්ධො ලොකු දෙයක්ද?

ලොකුත් නැහැ පොඩිත් නැහැ. නියම ප්‍රමාණය අපට සෑහෙන. බුද්ධො සොයාගත් කෙනෙක් උතුම් පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඕනෑම දෙයක් පේනවා.

දේව ලෝකයයි අපායයි දකින්න පුළුවන්ද?

ඇත්තෙන්ම පුළුවනි නැත්නම් උතුම් පුද්ගලයෙක් වෙනවාද?

අපේ මළගිය දරුවන් දකින්නට පුළුවන්ද? අපේ මළගිය බිරිඳ දකින්නට පුළුවන්ද?

ඔබට ඕනෑ දෙයක් දකින්නට පුළුවන් බුද්ධො ලබාගත්තොත්.

එය බොහෝ ආලෝකමත්ද?

ඉරු සියක් දාහකටත් වඩා ආලෝකමත්. ඉරට බැහැ දේවලෝක අපාය ලෝක වලට ආලෝකය දෙන්ට. නමුත් උද්ධොට පුළුවන් හැම තැනම ආලෝකය යවන්ට.

අපේ ගැහැණු අයට හා දරුවන්ට පුළුවන්ද මෙය සොයන්ට?

හැමෝටම පුළුවනි. ගැහැණු මිනිස්සු බාල මහලු සැමට පුළුවනි මෙය සොයන්ට උදව් දෙන්ට.

මේ උතුම් බුද්ධොට පුළුවන්ද අප අවතාර හොල්මන් වලින් ආරක්ෂා කරන්ට?

බුද්ධො ට පුළුවන් දේ අනන්තයි. තුන් ලෝකයටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ තුන් ලෝකයේ සත්ත්වයෝ බුද්ධො වඳිනවා.පුදනවා. ගෞරව කරනවා. වෙන කිසිම කෙනෙක් බුද්ධො තරම් උසස් නැහැ. හොල්මන් අවතාර නොහෝම භයයි. බුද්ධො ට නැමිලා දිගාවෙලා වඳිනවා. හොල්මන් අවතාර භයයි බුද්ධො ව සොයන අයට පවා. සොයා ගන්ට බැරි වුණත්, සොයන අයට පවා බයයි.

මේ බුද්ධ රත්ණය මොන පාටද?

එය නොයෙක් පාටින් දිස්නෙ ගහනවා. බුද්ධො යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තියක්. දිලිසෙන ප්‍රඥා ස්කන්ධයක් එය ද්‍රව්‍යමය දෙයක් නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට පරිත්‍යාග කළ වටිනා මැණිකක් දැන් බොහෝ කාලයක් ගතවුනා නැතිවෙලා ඉතින් අප සොයනවා. කොහේ සිට වුනත් සොයන්නට පුළුවනි. අවශ්‍ය වන්නේ හිඳිමින් හෝ ඇවිඳිමින් සිතන්න. “බුද්ධො, බුද්ධො, බුද්ධො” තම සිතින් සිතන්න. තම ශරීරය දෙස සිතින් බලමින් වෙන මොන දෙයක්වත් සිතන්නේ නැතිව බුද්ධො බුද්ධො බුද්ධො සිතන්න. මේ වචන ගැන පමණක් සිතන්න. ඔබට මෙය කරන්නට පුළුවනි නම් මට ඉස්සෙල්ලා වුවත් සොයන්නට හැකිවේවි.

කෙතරම් කාලයක් හිඳිමින් ඇවිඳිමින් හොයන්නට ඕනෑද?

පටන් ගන්න විට විනාඩි 10-15 පමණ වරකට ඇති. බුද්ධො බොහෝ වේලා සොයන්ට කියන්නේ නැහැ. මුලින් පටන් ගන්න විට ඔබ වෙහෙසට පත් වී සෙවීම අත හරින නිසා. උද්‍යෝගය නැති වුනොත් සෙවීම අතපසු කරනවා. එවිට කවරදාවත් සොයන්නට බැහැ. මේ කාලය ඇති, මුල් අවස්ථාවේදී තව කීවොත් ඔබට තේරුම් ගන්ට බැහැ. එවිට “බුද්ධො” හමුවන්නේ නැහැ.

මේ සියල්ල අසා සිතේ දරාගෙන ගැමියා යන්ට ගියේය. ආචාර්ය මන් කෙරෙහි කිසි ගෞරවයක් දැක්වූයේ නැත. ඒ ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. දැන් යන්ට හොද කාලය යැයි සිතුන විට නැහිට යයි. අවසර ගැනීමක් නැත. සමුගැනීමක් නැත. ඔහු ගමට ගිය විගස බොහෝ ගැමි ජනයා දුව ඇවිත් විස්තර ඇසූහ. “ආචාර්ය මන් නිශ්චලව සිටිමින් ඇස් පියාගෙන ඉන්නේ, එහේ මෙහේ සක්මන් කරන්නේ බුද්ධො නම් වටිනා මැණික සොයා ගැනීමට. උන්වහන්සේ අපි සිතූ අන්දමට වෙස්වලාගත් කොටියෙක් නොවේ.” ඔහු උන්වහන්සේ කල සියලු විස්තර කියාදුන්හ. ගැමියෝ, මුලාදෑනියාගේ සිට කුඩා දරුවන් පවා “බුද්ධො” සොයන්නට පටන් ගත්හ. එනම් ඇසිපියාගෙන “බුද්ධො, බුද්ධො” යන වචනය භාවනා කිරීමයි.

දින කීපයකට පසු මහත් ආශ්චර්‍යමත් සිද්ධියක් විය. එක් ගැමියෙකුගේ මනසේ ධර්මය අවබෝධ විය. ආචාර්ය මන් කී පරිදි ඔහු රෑ දවල් නිරන්තරයෙන් “බුද්ධො” භාවනා කළහ. එවිට ඔහුගේ සිත සමාධිගත විය. ඔහුගේ සතුට, ප්‍රීතිය, සුඛ ඒකඟතාවය නිම් හිම් නැත. ඉන් ටික දිනකට ප්‍රථම ඔහු සිහිනයක් දුටුවේය. ආචාර්ය මන් ඔහුගේ හිස් මුදුනේ දැල්වෙන විශාල ඉටිපන්දමක් තැබුවේය. එය නිසා තම ගත, සිත ආලෝකමත් විය. අවට පරිසරය ආලෝකමත් විය.

ඔහු ආචාර්ය මන් වෙත ගොස් තමා දුටු අත්භූත සිහිනය ගැන තම සිතේ ඇති ප්‍රීති සුඛ එකඟතාවය පිළිබඳ කීහ. ආචාර්ය මන් ඔහුට ධ්‍යාන කිරීමට තව තවත් උපදෙස් දුනි. ඔහුගේ දියුණුව ඉතා ඉක්මණින් වැඩී ගියේය. ඔහුට පරචිත්ත විජානනය පහළ විය. ඔහු එය තම ගැමි භාෂාවෙන් කියා සිටියහ. තමා ලැබූ තත්වය ගැන පැහැදිළි නැත.

ටික දිනකට පසු ඔහු ආචාර්ය මන් ගේ සිත දුටුවේය. විහිළුවට මෙන් ආචාර්ය මන් “ඔබ එහි අකුසල් දැක්කාද?” යි ඇසීය. “ඔබවහන්සේගේ සිත කිසි අරමුණක් නොගනී. එහි ඇත්තේ දීප්තිමත් ආලෝකයක් පමණි. ඔබ වහන්සේ වැනි කෙනෙක් මෙලොව ඇත්තේ නැත. ඔබ වහන්සේ මෙහි අවුරුද්දක් පමන රැඳී සිටියහ. ඇයි මට මේ ස්වභාවය කලින් නොකීවේ? මම කෙසේ කියම්ද? ඔබ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. උන් වහන්සේ පිළිතුරු දුණි.

ඔබ වහන්සේ අග්‍රගණ්‍යයේ ආචාර්යවරයෙක් බව මම දැන නොසිටියෙමි. දැන් අප සියලු දෙනාම දන්නවා ඔබ වහන්සේ ඉතාම දක්ෂයෙක් බව. අප ඔබවහන්සේගෙන් ඇසූ විට ඇයි මෙසේ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි මෙසේ සක්මන් කරන්නේ ? ඔබවහන්සේ කීවා වටිනා මැණිකක් නැතිවෙලා එය සොයනවා. ඒ “බුද්ධො” නම් මැණික සොයා ගන්න උදව් කරන්න කියා. එය ඉතාමත් දීප්තිමත් විහිදී අයන ආලෝකයක් කීවා. ඇත්තෙන්ම එය තමයි ඔබවහන්සේගේ සිතේ ඇත්තේ. “බුද්ධො” නැතිවුනා කීවෙ අපව ප්‍රයෝගයෙන් භාවනා කිරීමට යොමු කිරීමට. එවිට අපේ සිතෙත් එම ආලෝකය විහිදුවන්න. ඔබ වහන්සේ මහා වීරයෙක්. නුවණැත්තෙක්. ඔබවහන්සේගේ එකම අරමුණ අපට ධර්මය බෙදා දීම. අපේ සිතේ “බුද්ධො” පහළ කිරීම.

මෙම මිනිසාගේ සිත තුළ ධර්මය පහළවීම පිළිබඳ පුවත ඉක්මණින් මුලු ගම පුරා පැතිරී ගියේය. සියලු දෙනාම “බුද්ධො” භාවනාව කලහ. කුඩා දරු දැරියන් පවා කලහ. ආචාර්ය මන් කෙරෙහි ශ්‍රද්ධාව ඉමහත් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගෞරව කලහ. කිසිවෙක් වෙස්වලාගත් කොටි ගැන නැවත කථා නොකලහ. මින් පසු එම මිනිසා ආචාර්ය මන්ගේ පාත්‍රය පිණ්ඩාපාතයෙන් පසු දිනපතා එම ආරණ්‍ය සේනාසනයට රැගෙන ගියේය. දානයෙන් පසු ඔහු භාවනා කමටහන් ගත්තේය. යම් දිනෙක ඔහුට වැඩ ඇත්නම් තමන්ට එන්ට බැරිබව කියා පණිවිඩයක් එවයි. එම ගෝත්‍රික මිනිසුන් අතරෙන් සෑහෙන දෙනෙක් භාවනාවට හුරු වුනි. එහෙත් ඒ ප්‍රථම පුද්ගලයා මෙන් සාර්ථක නොවීය.

මිනිසා තෘප්තිමත් වූ විට සියලු දෙයක්ම නිසි ආකාරයෙන් සිදුවේ. විශාල පරිවර්තනයක් වේ. උදාහරණලෙස මුල් කාලයේ මේ මිනිස්සු ආචාර්ය මන් හට කිසි සැළකිල්ලක් නොදැක්වූහ. උන්වහන්සේ කෑවාද? නිදාගත්තාද? හුන්නාද? මළාදැයි වගක් නැත. දැන් ශ්‍රද්ධාව ඇතිවී මුලදී ඉතා දුර්ලභ සියලු දේ දැන් වැඩි වැඩියෙන් ගලා එයි. කිසිවක් නොඅසාම උදව් උපකාර කරත්. ගමේ මිනිස්සු එකතු වී සක්මන් මළුවක් තැනූහ. පැලක් ඉඳිකලහ. ආහාර වැළඳීමට මැස්සක් සෑදූහ. උදව් කිරීමට ආ අය වාද කලහ. අවමන් කළහ. ප්‍රශ්න කලහ. කථා බහ කළහ.

“අර සක්මන් මළුව බලන්න. තණකොළ වල් පැළෑටි වලින් වැසී ඇත. එම කැලෑවේ ඇවිදින්නේ වල් ඌරෙක් විය යුතුයි ඔබ එනමුත් එහිම ඇවිදියි. ඔය මළුව කුමකටදැයි ඇසූ විට නැති වූ “බුද්ධො” සෙවීමට යැයි පවසති. ඔබ ඇස් පියාගෙන ඉන්නේ ඇයිදැයි ඇසූ විට – නැති වූ “බුද්ධො” සොයමියි කියයි. ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙකි. එහෙත් ඒ බව නොකියන්නේ ඇයි?. ඔබ අමුතු පුද්ගලයෙක්. ඒ වුනත් ඒ ගතිගුණ අපි අගේ කරනවා. ඔබ වහන්සේ නිදාගන්නේ පුස්කාපු වියළි කොළරොඩු වලින් සෑදූ මැස්සක. ඔබවහන්සේ මෙහි මාස දහයක් පමන මෙසේ දුක් විඳින්නේ ඇයි? මෙය ඌරුකොටුවක් වගේ. මෙය දකින විට අපට ඉතා දුක් ඇතිවී අඬන්න හිතෙනවා. අපි මහා මෝඩ රැලක්. අපි සියලු දෙනාම මෝඩ වුනා. ඔබ වහන්සේ මේ තරම් වටිනා පුද්ගලයෙක් බව අපි දන්නේ නෑ. සමහරු චෝදනා කලා නොයෙක් මත අනුව. සියලු දෙනාම ඒ නිසා පොළඹවා ගත්තා. අපි සැක කලා. අප්‍රිය කලා. නමුත් දැන් අපිට හොදට විශ්වාසයි. අපි ගරු කරනවා. මේ කඳුකර ගෝත්‍රික මිනිස්සු යමෙක් විශ්වාස කරන විට එය උපරිම වශයෙන් සිදුකරයි. හදවතින්ම භක්තිය පුද කරයි. ඒ අයගේ හිතවත්කම් අසීමිතය. තම ජීවිතය පරදුවට තබා පරිත්‍යාග කරත්. තමන් හදවතේ දරාගත් දේ වෙනස් නොකරත්. ටිකින් ටික ආචාර්ය මන් ඔවුන්ගේ භාවනාව දියුණු කිරීමට උපදෙස් දුණි.

උන්වහන්සේ මෙහි වර්ශයකට අධික කාළයක් විසූහ. පෙබරවාරියේ සිට ඊලඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා, ඉන්පසු වෙනත් තැනකට වැඩියහ. ඔවුන් හට තිබූ බලවත් කරුණාව නිසා ඔවුන් හැර යාම දුෂ්කර විය. ඔව්හු උන්වහන්සේගේ යාම පිළිබඳ විරෝධය පළ කළහ. උන්වහන්සේ මරණය තෙක් සිටිනවානම් මුළු ගමම එකතු වී අවමංගල උත්සවය සිදුකරන බව කීහ. ඒ අයට අවබෝධයෙන් ම ප්‍රතිඵල ගැන විශ්වාස ඇත. ඒ නිසා හටගත් ශ්‍රද්ධාව භක්තිය වැරදි ලෙස දුටහ. උන් වහන්සේගේ ගුණ හඳුනාගත් පසු ඇත්තෙන්ම පසුතැවිළි වී සමාව අයැද සිටියහ. උන්වහන්සේ ඔවුන්ට සමාව දුනි. මේ බව පසු කාලයකදී තම ශිෂ්‍යයන්ට උන්වහන්සේ සැළකළහ. ඒ නිසා ඔවුන් ණයගැති නොවේ. තමන් වහන්සේලා දෙනමට දැන් නිකම් යා හැකිය.

නමුත් ඔවුන්ගෙන් වෙන් වී යාම ලෙහෙසි වූයේ නැත. ඔවුන් කන්නලව්, ලතෝනි දෙමින් හඬා වැලපීම බලා සිටින්නට බැරි තරම් විය. උන් වහන්සේගේ ගමන් වැළැක්වීමට මුළු ගමම අවුත් මහ හඬින් විලාප දුනි. එය කැලෑව දෙදරා ගියේය. මැරුණා හා සමානව හැඬූහ. තමන් වහන්සේගේ අරමුණ පැහැදිළි කරමින් ඔවුන් අස්වැස්සූ නමුත් ඉන් ඵලක් වූයේ නැත. තම හැඟීම් හෙලි කිරීම වැරදි බව ධර්මයට අනුව පෙන්වා දුනි. මඟ අවුරා සිටියහ.

තරමක් සන්සුන් වූ විට උන්වහන්සේ පිටත් වීමට සූදානම් විය. එවිට පුදුම එලවන දෙයක් සිදුවුණි. මුළු ගමේ මිනිස්සු ගෑණු දරු දැරියෝ උන්වහන්සේ පසුපස දිව ආහ. වටකරගෙන් එකෙක් උන්වහන්සේගේ පිරිකර උදුරාගති. එකෙක් පාත්‍රය ගති. එකෙක් කූඩය, වතුර කේතලය, ආදී වශයෙනි. අනිත් අය සිවුරේ එල්ලී ඇදගෙන සිටියහ. අතින්ද ඇද්දහ. කකුළෙන්ද අල්ලා ගති. හඬමින් වැලපෙමින් කුඩා දරුවන් මෙන් හැසිරුණහ. යන්නට දෙන්නේ නැතැයි කීහ.

කීප විටක් ආචාර්ය මන් ඉවසීමෙන් කරුණු පැහැදිලි කලහ. එවිට ඔවුහු මඳක් සන්සුන් වූහ. උන්වහන්සේ යන්නට නික්මුණ විට නැවතත් ඒ ආකාරයෙන්ම දුව ඇවිත් අල්ලා ගත්හ. මෙසේ පැය ගණනක් ගතවිය. මුළු කැලයේම ශබ්දය දෝංකාර දුනි. මානසික ආබාධිතයන් මෙන්ද කෝල සන්නියක් මෙන්ද ඔවුන්ගේ වැළපීම බලා සිටින්නට මහත් දුකකි. වෙස් වලාගත් කොටි ගැන මතකයක්වත් නැත. ඇත්තේ හද පත්ලෙන් පැන නගින ආදර භක්තියකි. අති උත්තම පුරුෂයෙකුට කරණ පූජා උපහාරයකි. මහ මිනිස්සු පවා හඬා වැළපුනහ. ක්‍රමයෙන් හඬ වැඩී ගොස් මහා ශබ්දයෙන් සියල්ල එකවිට කෑ ගසා “යන්ට එපා” යයි කීහ. “අපේ පපුව පැළී මැරේවි” “ඉවසන්ට බෑ” අන්තිමේ දී එහෙනම් ඉක්මණින් ගිහින් එන්න යැයි කීහ.

මෙසේ ආචාර්ය මන් කරුණු පැහැදිළි කර දුන්හ. නොහෝ සැක බිය ඇතිව සිටි අය දැන් ආදර භක්තියෙන් හඬා වැලපෙති. උන් වහන්සේ මහත් විපර්යාසයක් සිදුකර ඇත. එය බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවච ගුණය වේ. සාමීචි ගුණය වේ. බුද්ධ ශ්‍රාවකයෝ පළිගැනීම් නොකරති. අනුන්ට නො ගරහති. යමෙක් තමන් කෙරෙහි අප්‍රසන්න තාවය ඇතොත් ඔහුට කරුණාව, මෛත්‍රිය උපදවති. අනුන්ගේ වැරදි, නොමනා හැසිරීම් නිසා උරණ නොවෙති. එකට එක කිරීමක් නැත. තම හදවතේ ඇති කරුණා, මෛත්‍රී ගුණය නිසා අනුන්ගේ කෙළෙස් ගිනි නිවී ශ්‍රද්ධාව හට ගනී. ආර්ය සංඝ රත්නය මිනිසාගේ සරණ වෙති. මෙවැනි උසස් චින්තනයක් මෙලොව කොහේවත් නැත.

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

සම්පූර්ණ pdf පොත අවශ්‍ය නම් කමෙන්ට් එකක් මගින් හෝ මැසේජයක් මගින් දැනුම් දෙන්න.

තෙරුවන් සරණයි!!!