New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OIQVtL
අනුරුද්ධ තෙරණුවෝ
පස්වෙනි සූත්‍රයෙහි,, ‘දිබ්බචක්‍ඛුකානං යදිදං අනුරුද්දධො’ යනු දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අනුරුද්ධ තෙරුන්වහන්සේ අග්‍රයයි කියයි. ඔහුගේ පුරුදු කරනලද දක්‍ෂතාවේ අග්‍රභාවය දතයුතුයි. තෙරුන්වහන්සේ වනාහි බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි කාලය ආලෝකය වඩා දිවැසින් සත්වයන් බලමින්ම වාසය කරති. මෙසේ දිවාරාත්‍රියෙහි පුරුදුකරනලද දක්‍ෂතාව හේතුකොටගෙන උන්වහන්සේ දිවැස් අත්තවුන් අතුරෙන් අග්‍රතමවූහ. තවද කල්පල්‍ෂයක් අත්‍ථ‍ර්‍‍නා කරලද බැවින්ද උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්. එහි උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්. එහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මේ කුලපුත්‍රයාද පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි පසුබත්කල්හි දහම් ඇසීම සඳා වෙහෙරට යන මහජනයා සමඟ විහාරයට ගියේය. එකල්හි මෙතෙමේ එක්තරා අප්‍රසිද්ධ නම් ඇති ධනවත් කෙළෙඹියෙක් වූයේය. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ වැඳ පිරිස් කෙළවරෙහි සිටියේ දහම් අසයි. ශාස්තෘන්වහන්සේ දේශනාව අනුසන්‍ධි ගන්වා එක් දිවැස් ඇති භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඉක්බිති කෙළෙඹියාට මෙසේ සිත්විය. ශාස්තෘන්වහන්සේ යමෙකු මෙසේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රභාවයෙහි තැබූසේකද ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂඨයෙකි. ‘අහෝ! මමද අනාගතයෙහි පහළවන බුදුවරයකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙහි අග්‍රවන්නෙමි නම් යෙහෙකැ’යි සිත් උපදවා පිරිස අතුරෙන් ගොස් හෙට දිනය සඳහා භික්‍ෂු සංඝයා සමඟ භාග්‍යවතුන්වහන්සේට ඇරයුම් කොට ‍දෙවැනි දිනයෙහි බුදුපාමොක් බික් සඟනට මහදන්දී මාවිසින් මහත්වූ තනතුරක් පතනලදැයි ඒ ක්‍රමයෙන්ම අද සඳහා හෙට සඳහායි ආරාධනා කොට දින සතක් මහදන් පවත්වා පිරිවර සහිත භාග්‍යවතුන්වහන්සේ‍ට උතුම් වස්ත්‍රදී, ‘භාග්‍යවතුන්වහන්ස, මේ සත්කාරය මම දිවසැපත් සඳහා මිනිස් සැපත් සඳහා නොකරමි. නුඹවහන්සේ මෙයින් දින සතකට මත්තෙහි යම් භික්‍ෂුවක දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක්ද මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ඒ භික්‍ෂුව මෙන් අග්‍ර වෙම්වායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට වැද හොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවන බව දැන මෙසේ වදාළසේක. ‘පින්වත් පුරුෂය, ආනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුරජාණන්වන්සේ උපදිනසේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූ අනුරුද්ධ නම් වන්නෙහිය.’ මෙසේද පවසා භූත්තානුමෝදනාවකොට විහාරයටම වැඩිසේක.
කෙළෙඹි තෙමේද බුදුරජාණනන්වහන්සේ වෙසෙන තෙක් අත් නොහැම යහපත් කටයුතු කොට ශාස්තෘන්වහන්සේ පිරිනිවන පෑ කල්හි සත් යොදුන්වූ ස්වර්‍ණ චෛත්‍යය තනා නිමවූ කල භික්‍ෂුසංඝයා වෙත එළඹ, ස්වාමීනි දිවැසට උපකාරක දේ කුමක්දැයි විමසීය. ‘උවසුව, පහන්දානය දීම නම් වටනේය’යි කීය. ‘මැනව, ස්වාමීනි කරන්නෙමි’යි දහසක් පත් ඇති පහන්ගස් දහසක් කරවූයේය. ඉන් අනතුරුව ඊටතරමක් අඩු, තරමක් අඩු නොයෙක් දහස් ගණන් පහන්ගස් කරවීය. ඉතිරි පහන් වනාහි අප්‍රමාණ විය. මෙසේ දිවි ඇති තෙක් පින්කම්කොට දෙවියන් අතුරෙහිද මිනිසුන් අතුරෙහිද සැරිසරන්නේ කල්පලක්‍ෂයක් ඉක්මවා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක ඉපිද ශාස්තෘන් පිරිනිවන් පෑකල යොදනක්වූ චෛත්‍යය නිමවූ කල්හි බොහෝ රන් පාත්‍ර කරවා ඉතා පිරිසුදු ගිතෙල් පුරවා මැද එකෙනක උක්සකුරු පිඬක් තබා මුවවිටිනි් මුවවිට ගටවමින් ‍චෙත්‍යය වටකොට තමාට සියල්ලෙන් මහත්වූ රන් බඳුනක් රකවා පිරිසුදු ගිතෙල් පුරවා එහි මුවවිටෙහි හාත්පසින් වැටිදහසක් දල්වා මැද කොත රෙදිවලින් වෙලා ඒ බදුන හිසෙහි තබා සියලුරැය යොදුනක්වූ සෑය වටේ ගියේය. මෙසේ ඒ අත්බැවින්ද දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්ලොව උපන්නේ යළි බුදුකෙනෙකුන් නොපහළවූකල්හි එනුවරම දිළිඳු කුලයක ගෙහි පිළිසිඳ ගෙන සුමන නම් සිටුවරයකු ඇසුරුකොට විසීය. ඔහුට අන්නභාරයයි නමක් විය. ඒ සුවන සිටුතෙමේ දුගීමගී යාචකයන්ට ගෙදොරෙහි මහදන් දෙයි. ඉක්බිති එක්දිනක් උපරිට්ඨ නම් වූ පසේබුදුන්වහන්සේ ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියට සමවන්සේක් එයින් නැගිට අද කවරකුට අනුග්‍රහ කිරීමට වටනේදැයි විමසූසේක. පසේබුදුවරු නම් දිළින්දන්ට අනුකම්පා කරන්නාහු වෙති. උන්වහන්සේ අද මා විසින් අන්නභාරට අනුග්‍රහ කිරීමට වටනේයයි සිතා දැන් අන්නභාරතෙමේ වනයෙන් තමන්ගේ ගෙට එ‍න්නේයයි දැන පාසිවුරු ගෙන ගන්‍ධමාදන පව්වෙන් අහසට නැගී ගම්දොරෙහිදීම අන්නභාරගේ ගෙමිදුලෙහි බටසේක. අන්නභාර තෙමේ හිස් පාත්‍රය අතැති පසේබුදුන්වහන්සේ දැක දැක පසේබුදුන් වැඳ, ස්වාමීනි හික්‍ෂාව ලබන්නහුදැයි විමසීය. ‘මහ පිනැත්ත, ලබනනෙමුය’යි පැවසූසේක. ‘ස්වාමීනි, මඳක් මෙහිම වැඩසිටුනා මැනවැ’යි පවසා වේගයෙන් ගොස් තමන්ගේ ගෙහි මාගමගෙන්, සොදුර මට තැබු බත්පංගුව ඇද්ද නැද්දැයි ඇසීය. ‘ඇත, ස්වාමීනි’, කීවාය. හෙතෙම එයින්ම ගොස් පසේබුදුන්වහන්සේගේ පාත්‍රය ගෙන අවුත් ‘සොදුර, අපි පෙර පින් නොකළ බැවින් බොජුන් සොයමින් හැසිරෙමු. අපට දෙනු කැමැත්ත ඇති කල්හි දානවස්තුවක් නොවෙයි. දානවස්තුව ඇතිකල්හි පිළිගන්නෙකු නොලබමු. අද උපරිට්ඨ පසේ බුදුන්වහන්සේ දක්නාලද සේක බත්පංගුවද ඇත. මගේ පංගුව මේ පාත්‍රයෙහි හෙලන්නැයි කීවේය. වියත් ස්ත්‍රිය. ‘යම් හෙයකින් මගේ සැමියා බත්පංගුව දෙයිද මා විසිනුදු මේ දානයෙහි කොටස්කාරියක විය යුතුය’යි තමාගේ බත් කොටසද උපරිට්ඨ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටුවා දුන්නීය. අන්නභාරතෙමේ පාත්‍රය ගෙන පසේබුදුන් වහන්සේ අතෙහි තබා ‘ස්වාමීනි, බෙමඳුවූ දුක් ජීවිතයෙන් මිදෙමු’යි කීවේය. ‘මහපිනැත්ත, එසේ වේවා’යි වදාළසේක. හෙතෙම තමන්ගේ උතුරු සළුව පොළොවෙහි එක් තැනක එළා ‘ස්වාමීනි, මෙ‍හි හිඳ වළඳනසේක්වා’යි පැවසීය. පසේ බුදුන්වහන්සේ හිඳ නව අාකාර පිළිකුල් බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් වැළඳූකල්හි අන්නභාරතෙමේ පා දෙවුනා දිය දුන්නේය. පසේබුදුන්වහන්සේ නිමවූ බත් කිස ඇතිසේක්,
‘ඔබේ ඉටු පැතූ සියල්ලම ඉටුවේවා! පසළොස්වක් සඳමෙන් සියලු සංකල්පයෝ සපිරෙත්වා’යි!
අනුමෙවෙහි කොට මගට පිළිපන්සේක. සුවන සිටුවරයාගේ ඡත්‍රයට අධිගෘහිතවූ දේවතාවා, ආශ්චර්‍ය්‍යයකි, දානයක්, උත්තමදානයක් උපරිට්ඨ පසේ බුදුන් කෙරෙහි පිහිටුවනලද’යි තෙවරක් කියා සාධුකාර දුන්නේය. සුමනසිටු තෙමේ, කිම, ඔබ මෙපමණ කලක් දන් දෙන්නාවූ මා නොදක්නෙහිඳ’යි ඇසීය. ‘මම ඔබේ දානයෙහ් සාධුකාර නොදෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේබුදුන් වහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පැහැදී සාධුකාර දෙමි’යි කීවේය. සුමන සිටුතෙමේ සිතීය: ‘මෙය පුදුමයකි, මම මෙතෙක් කල් දන් දෙන්නේ දෙවියන් ලවා සාධුකාර දෙවීමට නොහැකි වූයෙමි. මේ අන්නභාර තෙමේ මා නිසා වසන්නේ මනාවූ ප්‍රතිග්‍රාහක පුද්ගලයකු ලදබැවින් එක් පිණ්ඩපාත දැනයකින්ම සාධුකාර දෙවීය. මොහුට සුදුසු දෙයක් කොට මේ පිණ්ඩපාතය මා සතු. කර ගැනීමට වටීය’යි අන්නභාර කැඳවා අද ඔබවිසින් කිසිවකුට කිසියම් දානයක් දෙනලදදැයි විමසීය. ‘ආර්‍ය්‍යයෙහි, එසේය. උපරිට්ඨ පසේබුද්න් වහන්සේට මා මාවිසින් තමන්ගේ බත් පංගුව දෙන ලද’යි කීවේය. එම්බා පින්වත, කහවණු ගෙන ඒ පින්ඩපාතය මට දෙව’යි කීය. ස්වාමීනි නොදෙමි’යි කීය. හෙතෙම දහස දක්වා (කහවණු ගණන) නැංවීය. අන්තභාර තෙමේ දහසකිනුදු නොමෙි’යි කීවේය. පින්වත එසේ වේවා, ඉදින් ඔබ පිණ්ඩපාතය නෙදෙහි නම් දහසක් ගෙන පින මට දෙව’යි කීවේය. ‘එයද දීමට සුදුසුද නොසුදුසුදැයි නොදනිමි. ආර්‍ය්‍යවූ උපරිට්ඨ පසේබුදුන්වහන්සේ විමසා ඉදින් දීමට සුදුසුවන්නේ නම් දෙන්නෙමැ’යි ගොස් පසේබුදුන්වහන්සේ‍ වෙත පැමිණ, ස්වාමීනි, සුමන සිටුතුමා මට දහසක් දී නුඹවහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පින් ඉල්වයි දෙම්දැයි නොද‍ම්දැයි ඇසීය. ‘පණ්ඩිතය, ඔබට උපමාවක් (ඉදිරිපත්) කරමි. යම්සේ කුලසියයක් ඇති ගමක එකම ගෙයක පහනක් දල්වන්නේද? සෙස්සෝ තමන්ගේ තෙලින් වැටී තෙමා දල්වා ගන්නාහුද පළමු පහනෙහි ආලෝකය ඇතැයි කිවයුතුද නැතැයි කිවයුතුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, වැඩිවූ ආලෝකයක් වේයයි පැවසීය. පණ්ඩිතය එසේම හැන්දකන කැඳ වේවා! හැන්දක හික්‍ෂාව වේවා! තමන්ගේ පින්ඩපාතයෙහි අනුන්ට පින් දෙන්නහුට සියයකට හෝ දහසකට හෝ දේවා! යම් පමණක් දෙයිද එපමණට වැඩෙයි. ඔබ දෙන්නේ එකම පිණ්ඩපාතයක් දුන්නෙහිය. සුමන සිටුව දුන් පිනෙන් පිණ්ඩපාත දෙකක් වෙයි. එකක් නුඹටය, එකක් ඔහුටය යනුවෙනියි වදාළ සේක. හෙතෙම පසේබුදුන්ට වැද සුමන සිටුහුගේ සමීපයට ගොස්, ස්වාමීනි, පිණ්ඩපාතයෙහි පින ගනුමැනවැයි කීවේය. ‘එසේනම්, කහවණු දහසක් ගනුවයි සිටුතෙමේ කීවේය. ‘මම පිණ්ඩපාතය නොවිකුණමි. සැදැහැයෙන් නුඹවහන්සේට පින දෙමි’යි කීවේය. “දරුව නුඹ මට සැදැහැයෙන් පින දෙව‍හි, මම වනාහි නුඹගේ ගුණය පුදමින් දහසක් දෙමි. ගන්න දරුව’යි කීවේය. එසේ වේවායි දහස ගත්තේය. ‘දරුව නුඹට දහස ලැබුණු කාලයෙහි සිට සියතින් වැඩ කීරීමක් නැත. වීථියෙහි ගෙයක් තනවා වසන්න. යමකින් ඔබට වැඩක් ඇත්නම් එය මට පමුණුවා ගනුවයි කීවේය. නි‍රෝධ සමාපත්තියෙන් නැඟී සිටි පසේබුදුන්වහන්සේට දුන් පිණ්ඩපාතය නම් එදවසෙහිම විපාක දෙයි. එබැවින් සුමන සිටු තෙමේ අන් දිනෙක අන්නභාර රැගෙන රජගෙට නොයන්නේ වුවද එදවස (ඔහු) ගෙන ගියේය. අන්නභාරයග් පිනෙහි විපාකයෙන් රජ තෙමේ සිටුවරයා නොබලා අන්භාරවම බැලීය. දේවයන්වහන්සේ කුමක් නිසා මේ මිනිසා දෙස බෙහෙවින් බලන්නේදැ’යි (සුමන සිටු රජු විමසීය) ‘අන් දිනෙක නොදුටුවිරූ හෙයින් බලමි’යි කීවේය. ‘දේවයන් වහන්ස, මෙතෙම බැලිය යුත්තෙකි’ ‘බැලියයුතු බවට මොහුගේ කවර ගුණයක්ද?’ ‘අද තමාගේ බත්කොටස තෙමේ අනුභව නොකොට උපරිට්ට පසේබුදුන්ට දුන්හෙයින් මගේ අතින් දහසක් ලැබීය, දේවයිනි.’ ‘මෙතෙමේ කිනම් වේද?’ ‘දේවයිනි, අන්නභාර නම්වෙයි’ ඔබගේ අතින් ලද හෙයින් මගේ අතින්ද ලැබීමට සුදුසු වෙයි. මමද ඔහුට පූජා කරන්නෙමැ’යි පවසා දහසක් දුන්නේය. ‘දරුවනි, මොහුට විසීමට ගෙයක් දනුව’යි (සේවකයිනට පැවසීය)’ මැනවි දේවයිනැයි එක් ගෙයකට තැනක් පිරිසුදු කරන්නාහු උදැල්ලෙන් ගැසූ ගැසූ තන්හිද නිදන් කළ ගෙලෙන් ගෙල එකට ගැටී සිටිනු දැක රජුට සැළ කළාහුය. රජතෙමේ ‘එසේ නම් ගොස් සාරවු’යි කීවේය. සාරන සාරන විට (නිදන්කළ) යටට යයි. එබැවින් යළිගොස් රජුට දැනවූහ. රජතෙමේ ‘අන්නභාරගේ වචනයෙන් සාරවු’යයි කීවේය. ඔවුහු ගොස් අන්නභාරගේම වචනයයි (කියා) සෑරූහ. උදැල්ලෙන් ගැසූ ගැසූ තන්හි හතු පොහො‍ට්ටු මෙන් කළ මතුවිය. ඒ ධනය ගෙනවුත් රජු සමීපයෙහි ගොඩ ගැසූහ. රජතෙමේ ඇමතියන් කැඳවා මේ නගරයෙහි අන් කවරකුට මෙපමණ ධනයක් ඇත්දැයි විමසීය. දේවයන්වහන්ස, කිසිවකුට නැතැයි (ඇමතිවරු) කීහ. එසේ නම් මේ අන්නභාර තෙමේ මෙනුවර ධනසෙට්ඨ නම් වේවා!’යි පැවසීය. ඒ දිනයෙහිම සිටුසතද ලැබීය. හෙතෙම එතැන් පටන් දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්ලොව උපන්නේය. දිගුකලක් දෙවිමිනුසුන් අතුරෙන් හැසිර අපගේ ශාස්තෘන්වහන්සේ පහළ වන කල්හි කිඹුල්වත් නුවරෙහි අමිතෝදන ශාක්‍යයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. නම්ගන්වන දිනයෙහි ඔහුට අනුරුද්ධ’යයි නමක් කළාහුය. මහානාම ශාකය්‍යාගේ කනිටු සොයුරුවූද ශාස්තෘන්වහන්සේගේ සුළුපියාගේ පුතුවූද මෙතෙම අතිශයින් සියුමැළිවූයේ මහපිනැත්තෙක් විය. සෘතු තුනට සුදුසුවූ තුන් පහයක සරසනලද නළුවන් පිරිවරනලද දෙවියකු මෙන් සැපත් වින්දේය. අපගේ බෝසතුන්වහන්සේ‍ද එසමයෙහි තුසීපුරෙන් සැව සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන අනුකුමයෙන් වැඩිවියට පැමිණියාහු එකුන්තිස් වසක් ගිහිගෙහි වැස මහබිනික්මන් නික්ම පිළිවෙළින් අවබෝධ කරනලද සර්‍වඥතා ඥාන ඇතිසේක් බො‍්මැඩ සත්සතියක් ගෙවා ඉසිපතනෙහි දම්සක් පවත්වා ලෝකානුග්‍රහය කරනසේක් රජගහනුවරට පැමිණ මගේ පුතා රජගහනුවරට පැමිණියේයි අසා ‘යව්” මගේ පුතු රැගෙන එව්’යයි පියා විසින් යවනලද දහසක් පිරිවර ඇති දස ඇමතියන් ඒහභික්‍ෂුපැවිද්දෙන් පැවිදිකරවා කාළුදායී තෙරුන් විසින් චාරිකා ගමන අයදනා ලදසේක්:
රජගහ නුවරින් විසිදහසක් භික්‍ෂූන් පිරිවරනලද්දාහු කිඹුල්වතට ගොස් ඥාතිසමාගමෙහි නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් ප්‍රාතිහාර්‍ය්‍ය සහිතවූ විසිතුරු දම්දෙසුම්කොට මහජනයාට අමාපැන් පොවා දෙවැනි දවස්හි පාසිවුරු රැගෙන නුවර දොරටුවෙහි සිට කුල නගරයට පැමිණියාවූ බුදුන්වහ‍න්සේලාගේ කවර පුරුද්දක්දැයි සලකා බලමින් ගෙපිළිවෙළින් පිඬුහැසිරීම පුරුද්දකැයි දැන ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනසේක්, ‘ඔබගේ පුතා පිඬු හැසිරෙති’යි අසා පැමිණියාවූ රජුට ධර්‍මකථා කියා ඔහු විසින් සිය නිවෙස්නට පමුණුවා කරනලද සත්කාර සම්මාන ඇතිසේක් එහිදී කළයුතු ඥාති ජනයාට අනුග්‍රහයකොට රහල් කුමරුවා පැවිදි කරවා නොබෝ දිනකින්ම කිඹුල්වත් පුරෙන් මල්ල රටෙහි සැරිසරන සේක් අනුපිය අඹවනයට වැඩිසේක. එකල්හි සුද්ධෝදන මහරජතෙමේ ශාක්‍ය සමූහයා රැස් කරවා, ‘ඉදින් මගේ පුත්‍රයා ගිහිගෙහි විසුවේ නම් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වන්නේය. මගේ මුණුබුරුවූ රාහුල කුමරුවාද ක්‍ෂත්‍රිය සමූහයා සමඟ ඔහු පිරිවරා හැසිරෙන්නේය. නුඹලාද මෙකරුණ දන්නාහුය. දැන් වනාහි මාගේ පුත්‍රයා බුදුවූයේය. උන්වහන්සේ‍ට යම්තාක් පිරිවර වේද එපරිද්දෙන් නුඹලා එක් එක් කුලයෙන් එක් එක් දරුවා බැගින් දෙව්’යයි පැවසීය. මෙසේකී කල්හි එකපහරින්ම දහසක් ක්‍ෂත්‍රිය කුමාරවරු පැවිදිවූහ. එකල්හි මහානාම තෙමේ ගෘහප්‍රධාන වෙයි. හෙතෙම අනුරුද්ධ ශාක්‍යයා කැඳවා, දරුව අනුරුද්ධ, දැන් ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරු පැවිදිවූ භාග්‍යවතුන් අනුව පැවිදිවෙති. අපගේ කුලයෙහි ගිහිගෙන් නික්ම අනගාර්ය පැවිද්දට පත් කිසිවෙක් නැත. එහෙයින් ඔබ හෝ පැවිදිවෙව. මම හෝ පැවිදි වන්නෙමි’යි කීවේය. හෙතෙම ඔහුගේ වචනය අසා ගිහිගෙහි රුචි නොකොට තමා සත්වැනි කොට ඇත්තේ ගිහිගෙහි නික්ම අනගාර්යයෙහි පැවිදිවිය. ඔහුගේ පැවිද්දෙහි අනුපිළිවෙළ සංඝභේද ක්‍ඛන්‍ධකයෙහි පැමිණියේමය. මෙසේ අනුපිය අඹවනයට ගොස් එසේ පැවිදිවූවන් අතුරෙන් භද්දිය ස්ථවිරයන්වහන්සේ ඒ ඇතුළ් වසෙහිදීම රහත්බවට පැමිණියේය. අනුරුද්ධ තෙරුන්වහන්සේ දිබ්බචක්‍ඛුඤාණය ඉපදෙවේව්ය. දෙව්දත් තෙමේ අටසමවත් ඉපදෙව්වේය. අනඳ තෙරුන්වහන්සේ සෝවාන් පෙලෙහි පිහිටියහ. භගු තෙරද කිම්බිල තෙරද පසුව රහත්බවට පැමිණියාහුය. ඒ සියලු තෙරවරුන්ගේම තම තමන්ට එළඹුනාවූ තන්හි පෙර ප්‍රත්‍ථ‍ර්‍‍නාභිනීහාරය ප්‍රකට වෙයි. මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ වනාහි දම් සෙනෙවි සැරියුත් තෙරුන් සමීපයෙහි කමටහන් ගෙන චෙතිය රටෙහි පාචීනවංසමිගදායට ගොස් මහණදම් කරන්නේ සප්ත මහා පුරුෂවිතර්‍කයන් විතර්‍කනය කළහ. අට වැන්නෙහි වෙහෙසට පත් වෙත්. ශාස්තෘන්වහන්සේ අනුරුද්ධ තෙමේ අටවැන්නෙහි වෙහෙසට පත් වේයයි දැන ඔහුගේ අදහස සපුරන්නෙමියි එහි ගොස් පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්සේක් අටවැනි මහාපුරුෂ විතර්‍කය සම්පූර්‍ණ කරවා සිවුපසෙහි සතුටුවීම භාවනාවෙහි ඇලීම යන මේවායින් සමන්විතවූ මහා ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව වදාරා අහසට පැන නැඟී හේසකලා වනයටම වැඩිසේක. තෙරුන්වහන්සේ තථාගතයන් වැඩි කෙණෙහිම ත්‍රිවිද්‍යාප්‍රාප්ත මහා ක්‍ෂීණාශ්‍රවයෙක් වී ශස්තෘන්වහන්සේ මගේ සිත දැන අවුත් අටවැනි මහා පුරුෂ වතර්‍කය සම්පූර්‍ණ කරවා දුන්සේක. මගේ සිත මස්තකප්‍රාප්ත වූයේය’යි බුදුන්වහන්සේගේ ධර්‍ම දේශනාවද තමන් අවබෝධ කළ ධර්‍මයද අරභයා මේ උදාන ගාථාව පැවසූහ.
‘ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෘන්වහන්සේ මගේ අදහස දැන සෘද්ධියෙන් මනෝමය කයින් එළඹිසේක.
නිෂ්ප්‍රපංචයෙහි ඇළුණු බුදුරජාණන්වහන්සේ මගේ අදහස යම්සේ වීද ඊට වැඩියෙන් දෙසූ සේක. නිෂ්ප්‍රපංචය දේශනා කළ සේක.
මම උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇල්ම ඇතිව විසීමි. ත්‍රිවිධ විද්‍යාව ලබනලදී. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කරනලදී.
ඉක්බිති මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවන මහවෙහෙරෙහි වසනසේක ‘මගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙන් අනුරුද්ධ තෙරණුවෝ අග්‍රයහ’යි උන්වහන්සේ අග්‍රස්ථානයෙහි තැබූසේක.