New at Little Bit


from Path to Nirvana https://ift.tt/2O49fjJ
ලකුණ්ඨක භද්දිය තෙරණුවෝ
සත්වැන්නෙහි ‘මඤ්ජුස්සරානං’ යනු මිහිරි හඬ ඇත්තවුන් අතුරෙන් යනුයි. ලකුණ්ටක බද්දියො යනු උසින් මිටිය. නමින් භද්දිය නම් වෙයි. උන්වහන්සේගේද ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේද පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන් දැක, ආශ්චර්‍ය්‍යයකි, ඒකානත්යෙන්ම මමද අනාගතයෙහි මේ භික්‍ෂූන් මෙන් එක් බුදුකෙනෙකු‍න්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රවන්නෙම් නම් යෙහෙකැයි සිත් උපදවා ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට සත් දිනක් බුදු පාමොක් බික්සඟනට මහදන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් අනෙක් සැපතක් නොතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍ර වෙම්’වායි ප්‍රත්‍ථ‍ර්‍‍නා කොට පාමුල වැදහොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය සමෘද්ධ වන්නේය. මෙයින් කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඔබ උන් වහන්සේගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන්ට අග්‍ර වන්නෙහිය’යි විවරණදී විහාරයට වැඩිසේක. හෙතෙමේත් ඒ විවරණය ලබා දිවි ඇති තෙක් යහපත් කටයුතු කොට එහි කළුරිය කළේ දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චිත්තපත්තකොකිල නම්වී නිර්‍භයවූ මිගදායෙහි වසන්නේ එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් ගෙන එන්නේ බික්සඟන පිරිවර කොට ඇති ශාස්තෘන්වහන්සේ දැක, ‘මම අන් දිනයන්හි හිස්ව තථාගතයන්වහන්සේ දකිමි. අද වනාහි මවිසින් මේ අඹගෙඩිය පුතුන් සඳහා ගෙන එන ලදී. ඔවුන්ට වෙනෙකක් ගෙනවුත් දෙමි. මෙය වනාහි දශබලයන් වහන්සේට දීමට වටනේය’යි සිතුවේය. එසේ සිතා බැස අහසෙහි ඔබිමොබ සැරිසරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ සිත දැන අශෝක තෙරුන් නම් වූ උපස්ථායකයා දෙස බැලූ සේක. (උන්වහන්සේ) පාත්‍රය ගෙනවුත් ශාස්තෘන්වහන්සේගේ අතෙහි තැබූහ. කොවුළා දශබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹගෙඩිය පිහිටවීය. ශාස්තෘන්වහන්සේ එහිම හිඳ අඹගෙඩිය වැළඳූසේක. කොවුළා පහන් සිත් ඇත්තේ නැවත නැවත් දශබලයන් වහන්සේගේ ගුණයන් සිහි කරන්නේ දශබලයන් වහන්සේ වැඳ සත්දිනක් සතුටු සුවයෙන් කල් හැරීයේය. ඒ ආත්මභාවයෙහි යහපත් කර්‍මය එපමණෙකි. මේ පින්කමින් ස්වරය මිහිරි විය. කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චෛතය කර්‍මාන්තය පටන්ගත් කල්හි කවර පමණකින් කරමුද? සත්යොදුන් ප්‍රමාණය ඉතා මහත්ය. මෙය ‍සයොදුනක් කොට තනමු. මෙයද ඉතා මහත්ය. පස් යොදනක් කරමු. සිවුයොදනක්. තුනයොදුනක්, දෙයොදුනක්යයි කීකල්හි, මෙතෙම එදවස්හි දෙටුවඩුවාවී ‘පින්වත්නි, එවු, අනාගතයෙහි පහසුවෙන් පිළිදැගුම් කිරීමට වටීයයි කියා රැහැනක් ගෙන වට කරන්නේ ගව්වක් මත්තෙහි සිට එක් එක් දොරටුවක් ගව්වක් ගව්වක් වේවා! චෛත්‍යය යොදනක් වට ඇත්තේද යොදනක් උස ඇත්තේකද ‍වන්නේයයි කීවේය. ඔවුහු ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණවූ බුදුන්ගේ ප්‍රමාණය කළේයයි ඒ කර්‍මයෙන් උපනුපන් තන්හි අන්‍යයන්ගෙන් හීන ප්‍රමාණ වූයේය. හෙතෙම අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි මහධනවත් කුලයක උපන්නේය. භද්දියයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩවසන කල්හි වෙහෙරට ගොස් දම් දෙසුම අසා ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇත්තේ පැවිදිව ශාස්තෘන් සමීපයෙහි කමටහන් ගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි ආර්ය සංඝ සමූහයා මැද වැඩහුන්සේක් මෙම තෙරුන්වහන්සේ මිහිරි හඬ ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.