New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OUZbH5
පසළොස් චරණ ධර්ම

බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අනන්ත අප්‍රමාණ ගුණ සමුදාය පිළිබඳව දැනුමක් සෑම බෞද්ධයෙකුට ම තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැක්කේ බුදුගුණ දැනගත් තරමටය. බුදුගුණ දන්නා අයට අචල ප්‍රසාදය හෙවත් ශ්‍රද්ධාව ඇතිවේ. එය සෝවාන් වීමට අවශ්‍ය අංගයකි. එපමණක් ම නොව ශ්‍රද්ධාව ඇති පුද්ගලයා දහම් මග අනුගමනය කරමින් දිනෙන් දින නිවන් මාවතේ ඉදිරියට ගමන් කරන්නෙක් බවට ද පත්වනු ඇත.

කවුරුත් දන්නා ප්‍රකට බුදු ගුණ නවයකි. ඒ අතුරින් පසලොස් ආකාරයකින් සමන්විත චරණ ධර්ම සමූහය ශ්‍රාවක සාධාරණ වූවකි.

එනම් ගිහි පැවිදි බුද්ධ ශ්‍ර‍්‍රාවකයන්ට ද තම ජීවිතය තුළින් ක්‍රියාත්මක කළ හැකි, කළ යුතු ගුණ සමූහයකි. එබැවින් ඒ පිළිබඳව දැන ගැනීම ද ඉතා වැදගත්ය.

චරණ නාමයෙන් යුක්ත වූ ධර්ම පසළොස බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි ආනන්ද හිමි විසින් දේශනා කරන ලද්දේ කපිලවස්තු පුරයේ ශාක්‍යයන්ටය.

එබැවින් එය ගිහි ජනතාවටත් වැදගත් වූවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. සේඛ ප්‍රතිපදාව වශයෙන් මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි සඳහන්ව ඇත්තේ ද මෙම චරණ ධර්මයන්මය.

ඉන් පළමු වැන්න සීලසම්පන්න වීමයි. එනම් කය, වචන දෙක හික්මවා ගැනීමයි. ගිහි පක්‍ෂය සඳහා පන්සිල් ආජීව අට්ඨමක සිල් පෝය අට සිල් නවාංග උපෝසථ සිල් හා දසසිල් යනුවෙන් හික්මීම ඇති කර ගැනීමට ඉවහල් වන ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දී ඇත. මෙම සිල් පද රැකගන්නා අතරම වත් පිළිවෙත් ද සපුරාලීම කළ යුතුය.

සීලය සම්පූර්ණ වන්නේ එවිටය. කය වචන දෙකෙන් කුඩා හෝ වරදක් නොකර දිනෙන් දින සංවරය වැඩිදියුණු කර ගන්නට වෑයම් කරන්නාට සිය චරණ ගුණය වර්ධනය කර ගත හැකිවේ.

ඉන්ද්‍රිය සංවරය නමැති දෙවන චරණයෙන් බලාපොරොත්තු වන්නේ ඇස කන නාසය දිව කය හා මනස යන ඉන්ද්‍රියයන් පාලනය කරගැනීමය.

පමණ දැන ආහාර ගැනීම ද චරණ ධර්මයකි. ආහාරය නිසා බොහෝ දෙනා බොහෝ පාපයන් කරති. ආහාරය මුල් කරගෙන රාගය ආශාව ආදී කෙලෙස් වැඩි දියුණු වෙති. පමණට වඩා ආහාර ගැනීම නිසා විවිධ ප්‍රශ්න පැන නගී. පමණ දැනගෙන ආහාර ගැනීම නිවන් මගේ ගමන් කරන්නාට පහසුවකි. තෘෂ්ණාදී කෙලෙස් පාලනයට සහායකි. එබැවින් එය දියුණු කළ යුතු ගුණයකි.

නින්දෙන් වැළකී සිත දියුණු කිරීම ජාගරියානුයෝගයයි. එනම් සිත කිලිටි කරන නීවරණයන්ගෙන් සිත මුදවාගෙන සමථ හෝ විදර්ශනා අරමුණක යෙදී භාවනාවෙහි යෙදීමයි’ නිතර භාවිතා කළ යුතු කමටහන් සතරක් ආරක්‍ෂක භාවනා වශයෙන් හඳුන්වා දී ඇත. හැකි සෑම අවස්ථාවකම එවන් භාවනාවක යෙදීම කළ යුතුය. කාල වේලාව නැතැයි මැසිවිලි නගන අයට නින්ද සඳහා ගත කරන කාලය ඉතිරි කරගෙන භාවනාවක යෙදිය හැකිනම් මේ චරණ ගුණය දියුණු කර ගැනීම අපහසු වූවක් නොවේ.

ශ්‍රද්ධාව මීලඟ චරණයයි. තෙරුවන් ගුණ හඳුනාගෙන ඇතිකරගත් ප්‍රසාදය හා විශ්වාසය ඇති කුසල කර්මවල ඵල විපාක පිළිගන්නා අයට ශ්‍රද්ධාව තිබේ. නිවන් මගේ ඉදිරියට ගමන් කරන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතුමය. එය අචල බවට පත්වන්නේ සෝවාන් වීමෙන්ය. එබැවින් ගිහි පින්වතුන් ද ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගන්නට වෑයම් කළ යුතුය.

දුසිරිතෙහි යෙදෙන්නවුන්ට ලැබෙන නරක විපාක පිළිබඳව දැනගෙන එහි යෙදීමට ලැජ්ජාවීම සහ පාපය පිළිකුල් කරන බව හරියයි.

බුදුන් සරණ ගිය මා වැන්නෙක් කුඩා වූ වරදෙක වුවද යෙදීම සුදුසු නැතැයි සිතා දිනෙන් දින පාපයෙන් ඈතිවිය යුතුයි. හරිය නමින් හැඳින්වෙන්නේ එයයි.

බහුශ්‍රැත බව මීලඟ චරණයයි. බුදු දහම නැවත නැවත අසමින් කියමින් ප්‍රගුණ කර සිතෙහි දරා ගැනීම නිවැරදිව තේරුම් ගැනීම හා අමතක නොවන සේ නිතර භාවිතා කිරීම මෙයින් බලාපොරොත්තුවේ.

පරාක්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ වීර්යයයි. අකුසල සිතුවිලි ප්‍රහාණය කිරීමටත් කුසල සිතුවිලි වර්ධනය කර ගැනීමටත් උනන්දුව උත්සාහය ඇතිකර ගැනීමයි. සීල සමාධි ප්‍රඥා දියුණු කර ගන්නට දිනෙන් දින උත්සාහ කිරීමයි.

සතිය යනු මීළඟ චරණයයි. සතර සතිපට්ඨානාදී භාවනාවෙන් දියුණු කළ සිහිය සතියයි. සතිය ඇති වන්නට නම් තමන් පුරුදු කරගත් භාවනාව නිතර නිතර වඩා සතර ඉරියව්වම ඤාණ සම්පයුක්තව පවත්වන්නට හුරු කරගත යුතුයි. මතිය හෙවත් ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ ද චරණ ධර්මයකි. නාම රූප සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම වටහාගන්නා නුවණ ප්‍රඥාවයි. එය ඇති කර ගන්නට විපස්සනා භාවනා වඩන්නට සිදුවේ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කරමින් භාවනා කරගෙන යද්දි ආර්ය වූ විදර්ශනා ප්‍රඥාව හා සෝවාන් ආදී මාර්ග ඵල ප්‍රඥාව ද ලබාගත හැකිය. ඒ සඳහා ගිහි පැවිදි භේදයක් නැත.

රූපාවචර ධ්‍යාන සතරද චරණ ධර්මවලට ඇතුළත්ය. සමථ භාවනා වඩා සිත දියුණු කරගත් අයෙකුට විතර්ක විචාර පී‍්‍රති සුඛ ඒකග්ගතා යන ධ්‍යාන අංග සපුරාගැනීමෙන් ප්‍රථම ධ්‍යානයට පත්විය හැකිය.

විතර්ක විචාර අතහැරීමෙන් ද්විතීය ධ්‍යානයට ද විතර්ක විචාර පීති අතහැරීමෙන් තෘතීය ධ්‍යානයට ද පත්වන අතර උපෙක්ඛා ඒකග්ගතා අංග සහිතව චතුර්ථ ධ්‍යානයට ද පත්විය හැකිය. බලවත් උත්සාහයෙන් සමථ භාවනා වඩන ගිහියාට ද මෙම ධ්‍යාන සතර ලබාගෙන රූපාවචර සමාපත්තිවලට එළඹිය හැකිය.

බුද්ධ ශ්‍රාවකයන් විසින් සපිරිය යුතු මෙම චරණ ධර්මයන් තම තමන්ගේ ශක්ති පමණින් සපුරාගෙන බුදු දහමෙන් මෙලොවදීම ප්‍රතිඵල ලබන්නට අපිද නිරතුරුව වෑයම් කරමු.

රත්නපුර දුම්බර ධර්මගවේෂී ආශ්‍රමාධිපති

තලගල ධම්මගවේසි හිමි