New at Little Bit


from Path to Nirvana https://ift.tt/2O2t5aV
==විකාලයෙහි කැප පාන වර්ග==

අෂ්ඨපාන සහ නවවැනි උක් යුෂ පානය

1. අඹ පානය (අම්බපානං)
2. ජම්බු පානය (ජම්බුපානං)
3. ඇට සහිත කෙසෙල් පානය (චොචපානං)
4. ඇට රහිත කෙසෙල් පානය (මොචපානං)
5. මී පැණි පානය (මධුපානං) (පැන් මිශ්‍ර කළ යුතු ය.)
6. මිදි පානය (මුද්දික පානං)
7. ඕලු/නෙළුම්/මානෙල් පානය (සාලුකපානං)
8. මසන් පානය (ඵාරුසකපානං)
9. උක් යුෂ

අනෙකුත් කැප පාන (කිහිපයක්)
දිවුල් පානය , අලිගැට පේර පානය , පේර පානය , සියඹලා පානය, දොඩම්/නාරං/දෙහි පානය , නෙල්ලි පානය , වෙරළු පානය , දෙලුම් පානය , පැපොල් පානය* , අන්නාසි පානය , බෙලි පානය , ස්ටෝබෙරි පානය , ඇපල් පානය , ඇඹරැල්ලා පානය , ලොවි පානය , උගුරැස්ස පානය , මොර පානය , රඹුටන් පානය , මැංගුස් පානය , සියලු පුෂ්ප රස (මී පුෂ්ප හැර ) , සියලු පත්‍ර රස (එළවලුපත්‍ර හැර ) , සියලු ඵල රස (ධාන්‍ය/මහඵල හැර )

උක් හකුරු දියකර සාදන පානය
විකාලයෙහි කැප වන්නේ උක් හකුරු පමණය. තල් හකුරු, පොල් හකුරු, ආදී අනෙකුත් හකුරු වර්ග කැප නැත. ගිලනාට පමණක් උක් හකුරු දත්වලින් සපා කෑමට කැපය. නොගිලනයාට කැප වන්නේ උක් හකුරු දියකර සාදාගත් පානයයි.

මෙම පාන වර්ග සෑදීමේ දී පළතුරු වර්ග ගෙන අතින් මැඬ හෝ බ්ලෙන්ඩ් කර ඇල් පැන් / සීතල පැන් මිශ්‍ර කර, සීනි / උක් හකුරු / ලුණු ආදිය සුදුසු පරිදි යොදා (කුඩා කැබලි වත් නොසිටින සේ) හොඳින් පෙරා පූජා කිරීම කැපය. අව්වෙන් කකාරා පූජා කිරීම ද කැපය. ගින්නෙන් රත් කර පූජාකිරීම අකැපය. ගින්නෙන් රත් කර පූජාකිරීමට සුදුසු වන්නේ ගිලන්පස පමණි. බෙහෙත් පිණිස ගිලනන්ට සුදුසු දේ විකාලයෙහි දී කැපය.

*පැපොල් ( ගස්ලබු ) අකැප යැයි ඇතැමෙක් සඳහන් කළ ද එය ‘පොල්’ හෝ ‘ලබු’ වර්ගයක් නො වන බැවින් අකැප වන ක්‍රමයක් නො පෙනේ. විමසන්න. තමන්ට අකැප යැයි සිතෙන මොන යම් හෝ පානයක් නො ගැනීමෙන් තමන් ගේ සීලයට වන හානියක් නැත.

පංච මධුර – ගිතෙල්, වෙඬරු (බටර්), තලතෙල්, උක්පැණි, මී පැණි
චතු මධුර – ගිතෙල්, වෙඬරු (බටර්), උක්පැණි, මී පැණි
සියලු දෑ සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. ගින්නෙන් රත් නොකරන්න. මෙම වර්ග පහම විකාලයෙහි කැප ය.

උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන බව සිතින් අරමුණු කර මහත් වූ ශ්‍රද්ධාවෙන් මහත් වූ ගෞරවයෙන් උසස් ම ආකාරයෙන් තම තමාට හැකි උපරිම මට්ටමින් රාජාධිරාජයෙකුට දක්වන ගෞරවයට වඩා වැඩි ගෞරවයක් දක්වා කර්මඵල අදහා පූජා කර දෙලෝ වැඩ පිණිස ද නිවන අවබෝධවීම පිණිස ද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කල යුතු.

ඵල යුෂ පිදීමේ ආනිසංස – සෝවාන් , සකදාගාමී, අනාගාමී, අර්හත් ඵල රසයෙන් විපාක වශයෙන් ලැබීම.

විකාලයෙහි අකැප පාන වර්ග

තල් / පොල් / වරකා / දෙල් / ලබු /කොමඩු / පුහුල් / පිපිඤ්ඤා / කැකිරි වැනි පාන වර්ග සම මෙම නව මහඵලයන්ට අනුරූප ඵලරසයන්, දූරියන් පානය / එළවලු යුෂ වලින් සාදාගත් පාන වර්ග සහ සුප් වර්ග අකැපය.

සව්, බාර්ලි, ආදි ධාන්‍ය රස , මයිලෝ, නෙස්ටමෝල්ට් වැනි මෝල්ට් වර්ග, කිරි සහිත / පිටි සහිත පාන වර්ග, දිවුල්, වෙරළු වැනි යුෂ වර්ග – බත්, කිරි, මුදවපු කිරි, (උක් හකුරු හැර ) අනෙකුත් හකුරු වර්ග වැනි අකැප දෙයක් සමග මිශ්‍ර නම් අකැපය.

ගිලන් නොවී හෝ ගිලන් වීමට පෙර ගිලන්පස (ගිලාන ප්‍රත්‍ය ) කැප නැත. රෝගයක් ඇති කල්හි ම ගිලන්පස කැප ය. ගින්නෙන් රත් කරන සියලු පාන ( තේ, කෝපි , ඉරමුසු , බෙලි ආදී ) ගිලනාට පමණක් කැප ය.

(උපෝසථෝපදේශය පොතෙනි…)