New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ySE5TV
==ධම්මදිනාන් තෙරණිය==

පස්වෙනි සූත්‍රයෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්‍මකථික භික්‍ෂුණීන්වහන්සේලා අතුරින් ධම්මදිනාන් තෙරණිය අග්‍රයයි දැක්වෙයි. ඒ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි අනුන්ට අයත් තැනක ඉපිද පියුමුතුරා බුදුන්වහන්සේගේ අගසව් සුජාත තෙරුන්වහන්සේට අධිකසත්කාර කොට ඒ තනතුර පැතුවාය. ඕ දිවිඇති තෙක් කුසල්කොට දෙව්ලොව උපන්නාය. සියල්ල යට ඛෙමා තෙරණියගේ පැතුම් වශයෙන්ම දතයුතුය.

ඵුස්ස බුදුන්වහන්සේගේ කාලයෙහි මෝතොමෝ ශාස්තෘන්වහන්සේගේ වේමාතික සොහො‍යුරන් තිදෙනාගේ දානාධිකාරයෙහි තැබූ කාර්මිකයාගේ ගෙහි වසන්නී එකක් දෙව’යි කියන ලද්දී දෙකක් දුන්නාය. මෙසේ සියල්ල, නොපිරිහෙළමින් දී කල්ප අනූ දෙකක් ඉක්මවා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි කිකී රජුගේ ගෙහි පිළිසඳ ගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් බඹසර වැස බික්සඟනට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නී මේ බුද්ධෝත්පාදයෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසු කලක විශාඛ සිටුගේ ගෙට ගියාය. විශාඛ සිටුවරයා වූකලී බිම්සර රජුගේ යහළු රජෙකු සමඟ බුදුරජාණන් වහන්සේගේ පළමු දැක්ම ගොස් දහම් අසා සෝවාන් පෙළෙහි පිහිටියේ මෑත කාලයක් අනාගාමීඵලය පසක් කළේය. හෙතෙම එදවස ගෙදර ගොස් හිණිපෙත මත්තෙහි සිටි ධම්මදින්නා විසින් අත් දිගුකළකල්හි අතෙහි නොඑල්ලීම පහයට නැඟුනේය. අනුභව කරන්නේද මෙය දෙව මෙය ගෙනෙවයි නොකීය. ධම්මදින්නා තොමෝ සැන්ද ගෙන අහරමෙහෙයෙහි යෙදෙන්නී මෙතෙම මා එල්බීමට අත දෙන කල්හිද අතෙහි නොඑල්ලුනේය. වළඳමින්ද කිසිවක් නොකියයි. ‘කිමෙක්ද මගේ වරදක්දැ’යි සිතුවාය. ඉක්බිති අහර අනුභව කළ ඔහුගෙන් ‘ආර්‍ය්‍යයෙනි, කිමෙක්ද මගේ වරදක්දැ’යි ඇසුවාය. ‘ධම්මදින්නාවනි, ඔබගේ දොසක් නැත. මම වනාහි අද පටන් එක්ව විසීම් වශයෙන් නුඹ සමීපයෙහි හිඳීමට හෝ සිටීමට හෝ ගෙන්ව ගෙන්වාගෙන කෑමට හෝ බිදීමට හෝ නොසුදුස්සෙකි. නුඹ ඉදින් කැමැත්තෙහි නම් මේ ගෙසර වසන්න. ‘නොකැමැත්තෙහි නම් යම්තාක් ධනයකින් ඔබට වැඩක් වේද ඒතාක් ගෙ කුලගෙයට යන්නැ’යි (සිටුතෙමේ) කීවේය. ‘ආර්‍ය්‍ය පුත්‍රය, මෙසේ ඇතිකල්හි මම ඔබවහන්සේ විසින් ඉවතලූ කෙළ, දැමූ වමනය හිසෙන් ඔසවාගෙන නොහැසිරෙහි. මගේ පැවිද්ද අනුදන්වනු මැනවැ’යි ඕතොමෝ කීවාය. විශාඛ තෙමේ ‘මැනවි, ධම්මදින්නාවනි’යි අනුදැන රජුට සැළකොට ධම්මදින්නාව රන්සිවිගෙයකින් භික්‍ෂුණී මෙහෙණවරට පැවිද්ද සඳහා යැවීය. ඕතොමෝ පැවිදිව (මෙසේ) සිතුවාය: ‍’මේ සිටුතුමා වනාහි ගෙහි සිටියේම දුක් කෙළවර කළේය. පැවිදිබව ලැබූකල පටන් මාවිසින්ද දුක් කෙළවර කිරීමට වටනේය’යි ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් සමීපයට ගොස් අර්‍ය්‍යාවරුනි, (සමූහයාගෙන්) ගැවසුණු තන්හි මගේ සිත නොඇලෙයි. කුඩාගමක විසීමට යමැයි කීවාය. තෙරණීහු උසස් කුලයකින් නික්ම පැවිදිවූ බැවින් ඇයගේ සිත කෝප කරවීමට නොහැකි වන්නාහු ඇය රැගෙන කුඩා ගමක වාසයට ගියාහුය. ඕතොමෝ අතීතයෙහි මඬිනලද සංස්කාර ඇති බැවින් නොබෝ කලකින්ම පිළිසිඹියා සමඟ රහත් බවට පැමිණියාය. ඉක්බිති ඇයට, ‘මගේ කිස මුදුන් පැමිණියේය. මෙහි වැස කුමක් කරන්නෙම්ද? රජගහනුවරටම යමි. එහි මා නිසා බොහෝ ඥාතිසමූහයා පින් කරන්නේ’යි අදහස්විය. තෙරණියෝ ඇය රැගෙන නගරයටම ගියාහුය. විශාඛ තෙමේ ඇය පැමිණෙනබව අසා, ‘යුහුව පැමිණියා උකටළීවූවා වන්නීදැ’යි සවස් කාලයෙහි ඇය සමීපයට ගොස් වැද එකත්පසෙක සිටියේ උකටළීබව ඇසීම නොසුදුසුයයි පඤ්චස්කන්‍ධාදී වශයෙන් ප්‍රශ්න ඇසීය. ධම්මදිනානා තෙරණිය කඩුවකින් උපුල්දඬු සිඳින්නියක මෙන් ඇසූ ඇසූ දෙය විසඳුවාය. උපාසක තෙමේ ධම්මදින්නා තෙරණියගේ ඤාණයෙහි ශුරභාවය දැන තමන් අවබෝධකළ තන්හි පිළිවෙළින් තෙමෙඟහි සියලු ආකාරයෙන් ප්‍රශ්න අසා පුරුදු කිරීම් වශයෙන් රහත් ම‍ඟෙහිද විමසීය. ධම්මදින්නා තෙරණියද අනාගාමිඵලය දක්වා පමණක්ම උපාසක තැනගේ විෂයභාවයදැන ‘දැන් තම විෂය ඉක්මවා දුව්නේය’යි ඔහු වළක්වන්නී, ‘ඇවැත්නි විශාඛ, ප්‍රශ්න ඉක්මවා නොයන්න. ප්‍රශ්නයන්ගේ කෙළවරට යාමට නොහැක්කේය. ඇවැත්නි විශාඛා, බඹසරවිසීම නිවන ඇතුළත්කොට ඇත්තේය. නිවන පිහිටකොට ඇත්තේය. නිවන කෙළවරකොට ඇත්තේය. ඇවැත්නි විශාඛ ඔබ (තවදුරටත්) කැමති වන්නෙහි නම් භාග්‍යවතුන් වෙත එළඹ මෙකරුණ විචාරන්නෙහිය. භාග්‍යවතුන්වහන්සේ යම්සේ ඒ ප්‍රශ්න විවරණය කරනසේක්ද? එසේ දරන්නෙහි’යයි කීවාය. විශාඛතෙමේ ශාස්තෘන්වහන්සේ වෙත ගොස් ප්‍රශ්නවිසඳීමේ නය සියල්ල පැවසීය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා මගේ දියණියට අතීත අනාගත හා වර්‍තමාන ස්කන්‍ධයන්හි තෘෂ්ණාවක් නැතැයි පවසා ධර්‍මපදයෙහි මේ ගාථාව වදාළසේක.

‘යමෙකුට පෙරද පසුවද මැදද කෙලෙසුන් කිසිවක් නැත්ද? කෙලෙසුන් නැති තෘෂ්ණාවෙන් අල්වා ගැනීමක් නැති ඔහු බමුණෙකැයි මම කියිම.’
ඉක්බිති ධම්මදින්නාට සාධුකාරදී විශාඛ උපාසක තැනට, විශාඛ ධම්මදින්නා භික්‍ෂුණිය පණ්ඩිතය: ධම්මදින්නා භික්‍ෂුණිය මහ නුවණැත්තීය. විශාඛ, මේ කරුණ නුඹ මගෙන් විමසන්නෙහිද? මමද එය එපරිද්දෙන්ම විසඳන්නෙමි. ධම්මදින්නා භික්‍ෂුණිය විසින් එය යම්සේ විසඳන ලද්දේද එයම එහි අත්‍ථ‍ර්‍‍යයි. එසේම එය දරව’යි වදාළසේක. මේ කථා වස්තුව එසේනිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි දෙව්රම වැඩවසනසේක් පිළිවෙළින් භික්‍ෂුණීන් තනතුරුවල තබමින් මේ චුල්ලවේදල්ල සූත්‍රයම අත්‍ථෙ‍ර්‍ාත්පත්තිකොට තෙරණිය මේ සසුනෙහි ධර්‍මකථික භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.