New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QfH53k
==නන්‍ද තෙරණිය==

සවැන්නෙහි ක්‍ධායීනං යදිදං නන්‍ද යන්නෙන් ධ්‍යානයෙහි ඇලුම්කළ භික්‍ෂුණීන් අතුරින් නන්‍ද තෙරණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මය අසන්නී එක් භික්‍ෂුණියක ධ්‍යානයෙහි ඇළුම්කරන භික්‍ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඉක්බිති ඕතොමෝ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ ශාස්තෘන්වහන්සේ පහළවීම්ට පෙරාතුවම මහාප්‍රජාපතී ගෞතමියගේ කුස පිළිසිඳ ගත්තාය. ඇයට නන්‍ද’යි නම් කළාහුය. රූපනන්‍දයිද කියනුලැබේ. ඕතොමෝ පසු කලක උතුම් රූපස්වභායෙන් ජනපදකල්‍යාණි නම් වූවාය. ඕතොමෝ අපගේ ශාස්තෘන්වහන්සේ සර්‍වඥතා ඥානයට පත්ව ක්‍රමයෙන් කිඹුල්වතට අවුත් නන්‍ද රාහුලද පැවිදි කරවා ආපසු වැඩිකල්හි සුදොවුන් මහරජු පිරිනිවන්පෑ කල්හි මහාප්‍රජාපති ගොතමියද රහල්මවද නික්ම ශාස්තෘන්වන්සේ හමුවෙහි පැවිදිවූහයි දැන මොවුන් පැවිදිවූ කල පටන් මෙහි මට කුමන වැඩක්දැයි මහාප්‍රජාපතිය සමීපයට ගොස් පැවිදි වූවාය. පැවිදිවූ දිනයෙහි සිට ශාස්තෘන්වහන්සේ රූපයට ගරහන සේකැයි ශාස්තෘන්වහන්සේගේ උපස්ථානයට නොයයි. අවවාදවාරය එළඹි කල්හි අනිකක යවා අවවාද ගෙන්වා ගනියි. ශාස්තෘන්වහන්සේ ඇය රූපමදයෙන් මත්වූබව දැන තමන්ගේ අවවාදය තමන් අවුත් ගනිත්වා! භික්‍ෂුණීන් විසින් අනිකක නොයැවිය යුත්තීයයි වදාළසේක. ඉක්බිති රූපනන්‍දා තොමෝ අන් මගක් නොදක්නී නොකැමැත්තෙන් අවවාදයට ගියාය. ශාස්තෘන්වහන්සේ‍ ඇයගේ චරිත වශයෙන් සෘද්ධියෙන් එක් ස්ත්‍රීරූපයක් මවා තල්වටක් ගෙන පවන් සලන්නියක මෙන් කළසේක. රූපනන්‍දා ඇය දැක ‘මම නිකරුණෙහිම පමාවී නොඑමි. මෙබඳුවූ ස්ත්‍රීහුත් ශාස්තෘත් සමීපයෙහි නිසැකව හැසිරෙති. මගේ රූපය මොවුන්ගේ රූපයෙන් සොළොස් කලාවෙන් එකකුදු නොවටී. නොදැනම මෙපමණ කලක් නොආවෙමැයි ඒ ස්ත්‍රියම නිමිති කොට ගෙන බලමින් සිටියාය. ශාස්තෘන්වහන්සේ පෙරහේතුසම්පත් ඇති ඇයට අට්ඨිනං නගරං කතං යන ධර්‍මපදයෙහි ගාථාව වදාරා චරං වා යදිවා තිට්ඨිං නිසින්නො උදවා සයං යන සුත්‍රය දෙසූසේක. ඒ තොමෝ ඒ රූපයෙහිම ගෙවීම හා වියැකීම පිහිටුවා රහත්බවට පැමිණියාය. මෙතැන්හි මේ කථාවස්තුව යට ඛේමා තෙරණියගේ කථාවස්තුව හා සමානවේයයි විස්තර නොකරන ලදී. එතැන්පටන් රූපනන්‍දාතෙ‍රණිය ධ්‍යානයෙහි ඇලුම් කරන භික්‍ෂුණීන් අතරෙහි ප්‍රධානත්වයට පැමිණියාය. ශාස්තෘන්වහන්සේ පසුකලෙක ජේතවනයෙහි වැඩවසනසේක් පිළිවෙළින් භික්‍ෂුණීන් තනතරුවල තබමින් නන්‍දතෙරෙණිය ධ්‍යානයෙහි ඇළුම්කරන භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.