New at Little Bit


from Path to Nirvana https://ift.tt/2A9yRTs
==විසාඛා මිගාරමාතා==

දෙවැන්නෙහි දායිකානං යන්නෙන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් විශාඛා මිගාරමාතාව අග්‍රයයි දැක්වෙයි. ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුල ගෙයක ඉපිද පසුකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නී එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි කිකී කාශි රජුගේ නිවසෙහි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනට කනිටුව උපන්නීය. එකල්හි :-
සමණී, සමණගුත්තා, භික්‍ඛුනී, භික්‍ඛුදායිකා, ධම්මා, සුධම්මා සහ සත්වැනිවූ සංඝදාසී යන
මේ‍ සත් සොහොයුරියෝ වූවාහුය. ඔවුහු මෙකල්හි ඛෙමා, උපපලවණ්ණා, පටාචාරා, (ප්‍රජාපතී) ගොතමි, ධම්මදින්නා, මහාමහා සහ සත්වැනි වූ විසාඛා ද යන
මෙබඳු නම් ඇත්තියෝම උපන්නාහුය. එහි මේ සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේ කුසෙහි උපන්නාය. විශාඛා‍යයි ඇයට නම් කළාහුය. ඇයට සත්අවුරුදු කල්හි භාග්‍යවතුන් වහන්සේ සෙල බමුණාගේද අනෙක් අවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදසේක් චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණිසේක. එසමයෙහි මෙණ්ඩක ගෘහපති තෙමේ ‍ඒ නුවරෙහි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුර කරයි. පස් පිනැත්තෝ නම් මෙණ්ඩක සිටු, චන්‍දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය, ඔහුගේම පුත් ධනඤ්ජය ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි. හුදෙක් මෙණ්ඩක සිටුපමණක් නොව බිම්සර රජුගේ අණ පවතින තන්හි අමිතභොගී නම්වූ පස්දෙනෙක් වූහ. ජොතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකවලිය යනුවෙනි. ඔවුනතුරින් මේ මෙණ්ඩක සිටුතෙමේ තම නුවරට භාග්‍යවතුන්වහන්සේ සැපත්බව අසා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා, දුව, නුඹටද මඟුලකි, අපටද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සියය සමඟින් රිය පන්සියයක නැඟී දැස්සන් පන්සියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙරගමන් කරව’යි කීවේය. ඕතොමෝ සීයාගේ වචනය අසා එසේ කළාය. කාරණාකාරණයන්හි දක්‍ෂතාව ඇති බැවින් යානයෙන් යායුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තීව භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයට චරිත වශයෙන් දහම්දෙසූසේක. ඒ දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහි‍ටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීතවූ කෑයුතු හා බිදියයුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන්ම අඩමසක් මහදන් දුන්නාය.
ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැස වැඩිසේක. මෙයින් මතු අනෙක් කථාමාර්‍ග අතහැර විහාඛාවගේ උත්පත්ති කථාවම කිවයුතුය. සැවතෙහි කොසොල් රජතෙමේ, ‘මගේ අණ පවතින තන්හි අමිතභොග වින්‍දන (අපමණ සම්පත්විදින) කුලයක් නම් නැත. අපට එක් අමිතභොගවින්‍දන කුලයක් එවනු මැනවැ’යි බිම්සර රජු වෙතට හසුන් යැවීය. රජතෙමේ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළේය. ඇමතියෝ මහාකුලයක් යැවීමට නොහැකිය. එක් සිටු පුතෙකු යවන්නෙමුයි (කතිකා කොට) මෙණ්ඩක සිටුගේ පුත් ධනඤ්ජය සිටාණන්ට සැළකළාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනය අසා ඒ සිටුවරයා යැවීය. ඉක්බිති කොසොල් රජතෙමේ ඔහුට සැවතින් සත්යොදුන් පමණවූ සාකෙත නගරයෙහි සිටු තනතුරදී වාසය කරවූයේය. සැවතෙහිද මිගාරසිටුගේ පුත් පූර්‍ණවර්‍ධන නම් කුමරුවා වියපත් වූයේ වෙයි. ඉක්බිති ඔහුගේ පියා ‘මගේ පුතා වියපත්ය. ඔහුට ගෘහවාසයෙන් බැ‍ඳෙන කාලය’යි දැන ‘අපට සමානජාතිකවූ කුලයෙක්හි දැරියක සොයවුය’යි කාරණාකාරණයෙහි දක්‍ෂවූ පුරුෂයන් යැවීය. ඔවුහු සැවතෙහි තමන් කැමති දැරියක නොදැක සාකේතයට ගියාහුය. ඒ දිනයෙහි විශාඛාද තමන්ගේ සමවියෙහි සිටි කුමරියන් පන්සියයක් විසින් පිරිවරන ලද්දී නැකත් කෙළි සඳහා එක් මහ වැවකට ගියාය. ඒ පුරුෂයෝද ඇතළු නගරයෙහි හැසිර තමන් කැමති දැරියක නොදැක පිටත නගර දොරටුවෙහි සිටියාහුය. එසමයෙහි වැස්සක් වැසිමට පටන්ගත්තේය. ඉක්බිති විශාඛාව සමඟ නික්මෙන ඒ දැරියෝ තෙමෙන බියෙන් වහවහා ශාලාවකට පිවිසුණාහ. ඒ පුරුෂයෝ ඔවුන් අතරිනුදු කැමති පරිදි දැරියක් නොදුටුවාහුය. ඔවුන් සියල්ලන්ට පිටුපසින් විශාඛා තොමෝ වැස්සද නොතකමින් නොයික්මන් ගමන් කෙමෙමින්ම ශාලාවට පිවිසියාය. ඒ පුරුෂයෝ ඇයදැක ‘අන්රුවැත්තිය නමුදු මැය පරමකොට වන්නීය. මේ රූපය ඒකාන්තයෙන්ම ඉදුණු දෙළුමක් මෙන්වෙයි. කථාවට නංවාගෙන ඇය (සමඟ) කථාකරන අපි මිහිරිවදන් ඇත්තියක්ද නැද්දැයි දැනගන්නෙමු’යි සිතුවාහුය. ‘දියණියනි, බෙහෙවින් මුහුකුරාගිය වයස් ඇති ස්ත්‍රීවරර්‍ණ ඇත්තියක් මෙන් වෙහියි ඔවුහු ඇයට කීවාහුය. පියවරු, කුමක්දැක කියන්නහුදැයි ‍ඕ ඇසුවාය. ඔබ සමඟ සෙල්ලම් කරන අන් කුමරියෝ තෙමෙන බියෙන් වේගයෙන් අවුත් ශාලාවට පිවිසුණාහුය. ඔබ වනාහි මැහැල්ලක මෙන් පියවර ඉක්මවා නොයහි. සළුව තෙමෙන බවවත් ගණන් නොගත්තෙහිය. ඉදින් ඇතෙක් හෝ අසෙක් එබ ළුහුබඳින්නේ නම් කිම මෙසේම කරන්නෙහිදැයි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, සළුනම් දුලබ නොවෙයි. මගේ ගෙහි සළු සුලබය. වියපත් මාගමෝ විකිණිබඩු සමානයහ. අතක් හෝ පයක් හෝ කැඩුණු විට අංගවිකල වූ මාගමක පිළිකුල් කරමින් කෙළගසා යත්. එබැවින් සෙමින් ආවෙමියි කීවාය. මෑසමාන කතක් නම් මේ දඹදිව නැත. රුවින් යම්බඳුද පියවදනිනුද එසේමය. කරුණුනොකරුණු දැන කථා කරයි ඔවුහු සිතුවාහුය. ඉක්තිබි විශාඛා සිතුවාය: ‘පෙර මම (අනෙකකුගේ) අයිතියට පත් නොවූවා වෙමි. දැන් වනාහි (එසේ) අයිතියට පත්වූවා වෙමි’ එසේ සිතා විනීත අයුරින් බිම හිඳ ගත්තාය. ඉක්බිති ඇයව එහිම තිරයකින් වටකළාහුය. ඒතොමෝ වැසුණු බව දැන දැස්සන් සමූහයා විසින් පිරිවරණලද්දී නවසට ගියාය. ඒ මිගාර සිටුගේ මිනිස්සුද ඇය සමඟම ධනඤජය සිටාණන් වෙතට ගියාහුය. දරුවනි, නුඹලා කවරගමක වැසියෝදැයි විමසනලද්දාහු සැවැත්නුවර මිගාරසිටුගේ පුරුෂයෝ වෙමුයි කියා අපි අපගේ සිටුතුමා විසින් නුඹවන්සේගේ නිවසෙහි වියපත් දැරියක් ඇතැයි අසා, එවන ලද්දෝ වෙමුයි කීවාහුය. ‘දරුවනි මැනවි, නුඹලාගේ සිටුතුමා සැපසම්පත්තියෙන් අපහා අසමානය. ජාතියෙන් වනාහි සමානය. සියලු ආකාරයෙන් යුක්ත වූවෙක් නම් දුලබය. යව්, නුඹලාගේ සිටුතුමාට අප විසින් පිළිගත් බව සැළකරවු’යි පැවසීය. ඔවුහු සිටුවරයාගේ වචනය අසා සැවතට ගොස් මිගාර සිටාණන්ට සතුටද ලාභයද දන්වා ‘ස්වාමීනි, ඔබවහන්සේට සාකේතයෙහි ධනඤ්ජය සිටුතුමාගේ නිවසෙහි දැරියන් ලබන ලදැයි කීවාහුය. මිගාරසිටණෝ එය අසා අපට කුලගෙයකින් දැරියක් ලබන ලදැයි සතුටු සිතැත්තේවී එකෙණෙහිම ධනඤ්ජය සිටාණන්ට, දැන්ම දැරිය ගෙනෙන්නෙමු. කළයුතු කිසක් කරත්වායි හසුනක් යැවීය. හෙතෙමේත්, මෙය අපට බරක් නොවේ. සිටුතුමා වනාහි තමන් කළයුතුවැඩ කරනුමැනවැ’යි පිළිහසුනක් යැව්වේය. හෙතෙම කොසොල් රජුවෙතට ගොස්, ‘දේවයන් වහන්ස, මට එක් මංගල කටයුත්තක් ඇත. ඔබගේ දාසයන් පූර්‍ණවර්‍ධනයන්ට ධනඤ්ජය සිටාණන්ගේ දියණි විශාඛා නම් දැරිය ගෙනෙන්නෙමි. මගේ සාකේතගමන අනුදත් මැනවැ’යි සැළකළේය. ‘මහසිටාණ, මැනවි. කිමෙක්ද අපද ආයුතුදැයි (රජතෙමේ පැවසීය) ‘දේවයන්වහන්ස, නුඹවහන්සේ වැන්නවුන්ගේ ගමනක් කෙසේ ලබමුදැ’යි (සිටුතෙමේ කීවේය.) රජතෙමේ මහකුල පුතුට සංග්‍රහයක් කරනු කැමැත්තේ ‘වේවා! සිටාණ, පැමිණෙන්නෙමි’යි පිළිගෙන මිගාරසිටු සමඟ සාකෙත නුවරට ගියේය. ධනඤ්ජය සිටු තෙමේ මිගාරසිටු කොසොල් රජුද ගෙන පැමිණියේයයි අසා පෙරගමන් කොට රජු කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ කැඳවාගෙන තම නිවසට ගියේය. එකෙණෙහිම පසේනදී කොසොල්රජුටද රජ පිරිසටද මිගාර සිටාණන්ටද වසන තැන් මෙන්ම මල්සුවද වස්ත්‍රාදියද පිළියෙළ ක‍ළේය. මෙය මොහුට ලැබීමට වටීය. මෙය මොහුටයයි සියල්ල තෙමේම දනියි. ඒ ඒ අය සිටුතෙමේ අපටම සත්කාර කරති’යි සිතූහ. ඉක්බිති එක්දිනක් රජතෙමේ ධනඤ්ජය සිටාණන්ට, බොහෝකලක් සිටාණන්ට අප වැඩීම, පෝෂණය කිරීම නොහැකිය. දැරිය යන දිනය දනීවා’යි හසුනක් යැවීය. හෙතෙමේද රජුට, ‘දැන් වැසිකල පැමිණියේය. සිවුමසක් (ඔබිමොබ) හැසිරීමට නොහැකිය. නුඹවහන්සේගේ බලකායට යමක් යමක් ලැබීමට වටීද? ඒ සියල්ල මට භාරය. හුදෙක් දේවයන්හන්සේ මාවිසින් (දැරිය) එවනලද කල්හි යනසේක්වා’යි හසුනක් යැවීය.
එතැන්පටන් සාකේත නුවර නිති නැකත් (කෙළි ඇති) ගමක් මෙන්විය. මෙසේ තෙමසක් ඉක්මියේය. ධනඤජය සිටාණන්ගේ දියනියගේ මහාලතා පසාධනය එතෙක් නිමා නොවෙයි. ඉක්බිති ඔහුගේ කර්‍මාන්ත විධායකයෝ අවුත්, ‘නොමැති අන්දෙයක් නම් නැත. බලකායට බත්පිසින දර නොපොහොනේ’යි පැවසූහ. ‘යවු දරුවනි, ඇත්හල්, අස්හල්, ගවහල් කඩා බත් පිසවුයයි කීවේය. මෙසේ පිසන්නවුනට ද අඩමසක් ඉක්මුණේය. ඉක්බිති යළි ස්වාමීනි, දැව නොපොහොනේයයි සැළකළාහුය. ‘දරුවනි, මෙකල්හි දර ලැබීමට නොහැකිය. රෙදි කොටු ගෙය විවර කොට රළු රළු සළු ගෙන වැටි තනා තෙල් සැළියෙහි තෙමා බත් පිසවුයි’ කීවේය. මේ අයුරින් පිසන්නවුන්ට සිවුමස සපිරිණි ඉක්බිති ධනඤජය සිටුතුමා මහාලතා පසාධනය (සාදා) නිමිබව දැන හෙට දුවණිය යවන්නෙමැයි දියණිය සමීපයෙහි හිඳුවා ‘දරුව, සැමි කුලයෙහි වසන්නියන් විසින් මේ මේ හැසිරීම් ඉගෙනීමට වටීයයි අවවාද දුන්නේය. මේ මිගාර සිටු තෙමේත් අනතුරු (ඊළඟ) ගැබෙහි වැද හොත්තේ ධනඤජය සිටානන්ගේ අවවාදය ඇසුවේය. ඒ සිටුතෙමේ දියනියට මෙසේ අවවාද දුන්නේය. ‘දරුව’ මයිලණුවන්ගේ ගෙහි වෙසෙන්නිය විසින් ඇතුළත ගිනි පිටත නොගෙනගිය යුතුය, පිටත ගිනි ඇතුළට නොපිවිසවිය යුතුය. දෙන්නාටම දිය යුතුය, නොදන්නාට නොදිය යුතුය, දෙන්නාටද නොදෙන්නාටද දියයුතුය. සුවසේ හිඳිය යුතුය, සුවසේ වැළඳිය යුතුය, සුවසේ හෙවිය යුතුය. ගිනි පිදිය යුතුය. ඇතුළත දෙවියන් නමැදිය යුතුයයි මේ දසආකාර අවවාද දී දෙවන දිනයෙහි සියලු සෙනඟ රැස්කරවා රජ සෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු භාරකරුවන් (වශයෙන් තෝරා) ගෙන ‘ඉදින් ම‍ගේ දුව ගියතැන දොසක් හටගනීද නුඹලා විසින් පිරිසුදු කළ (නිවැරදි කළ) යුතුයයි කියා නව කෙළක් අගනා මහා ලතා පසාධනයෙන් දියණිය සරසවා නහනසුණු මිලවූ ගැල් සාරදහස් පන්සියයක ධනය දී දියණිය සමඟ නිබඳව සමඟ හැසිරෙන පන්සියයක් දාසියන්ද ආජන්‍යරථ පන්සියයක්ද සියය සියය බැගින්වූ සියලු සත්කාරද දී කොසොල් රජු හා මිගාර සිටාණන් පිටත්කොට යවා දුවණිය යන වේලාවෙහි ගවගාස් අධිකාරී පුරුෂයන් කැඳවා ‘දරුවනි, මගේ දියණියට ගියතන්හි කිරිබීම සඳහා දෙනුන්ගෙන්ද යාන‍යන්හි යෙදීම සඳහා ගොනුන්ගෙන්ද වැඩ ඇත. එහෙයින් මගේ දුවගේ ගමන් මගෙහි ගැල් දොරටු හැර පළලින් අට ඉස්බක් ගවසමූහයාගෙන් පුරවා තුනගව්වකින් මත්තෙහි අසුවල් නම් (ගිරි) කඳුරක් ඇත. කෙළවර ගොන්බාන එතැනට පත් කල්හි බෙරහඬින් ගාල්දොර වසන්නහුයයි පැවසීය. ඔවුහු මැනවැයි සිටාණන්ගේ වචනය පිළිගෙන එසේ කළාහුය. ගැල්දොර ඇරී කල්හි මහත් මහත් ග‍වයෝම නික්මුණාහුය වැසූ කල්හි වනාහි විශාඛාවගේ පිනින් බලවත් ගවයෝද හීලෑගවයෝද වැටින් පැන පැන මගට පිළිපන්නාහුය. ඉක්බිති විශාඛා නුවර දොරටුවට සැපත් කල්හි මෙසේ සිතුවාය. “පිළිසන්වු යානයෙහි හිඳ නුවරට පිවිසෙම්ද නැතහොත් යානයෙහි සිටගෙන පිවිසෙම්ද’? ඉක්බිති ඇයට මෙබඳු අදහසක්විය. පිළිසන්වූ යානයෙන් පිවිසෙන ම‍ගේ මහාලතාපසාධනයේ විශේෂයක් නොපැනෙයි යනුවෙනි. ඕතොමෝ සියලු නුවරට තමන් දක්වන්නී ‍රියෙහි සිටගෙන නුවරට පිවිසියාය.
සැවැත් නුවර වැසියෝ විශාඛාවගේ සැපත් දැක මෝ වනාහි විහාඛා නමු. මෙම රුවත් මෙම සැපතත් මැයටම හොබීයයි පැවසුවාහුය. මෙසේ ඕතොමෝ මහත් සැපතින් මිගාර සිටාණන්ගේ නිවසට පිවිසියාය. ගියදිනයෙහිම ඇයට සියලු නුවරවැසියෝ ‘ධනඤ්ජය සිටුතුමු තම නුවරට පැමිණි අපට මහත් සත්කාර කළේය’යි හැකි පරිද්දෙන් පඬුරු යැව්වාහුය.
විශාඛාතොමෝ එවූ එවූ පඬුරු ඒ නුවරෙහිම ඒ ඒ කුල‍යන්හි සියල්ලන්ට ප්‍රයෝජනවත් ලෙස දෙවූවාය. ඉක්බිති රාත්‍රියාමයෙහි ඇයගේ එක් ආජානෙය්‍ය අස් වෙළඹකට දරු උපතක් සිදුවිය. ඕතොමෝ දාසීන් ලවා දඬුපහන් ගන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නහවා තෙල් ගල්වා තමන් වසන තැනටම ගියාය. මිගාර සිටුතුමාද සත්දිනක් පුතාගේ ආවාහසත්කාරය කරන්නෙ අසළ වෙහෙරෙහි වසන්නාවූද තථාගතයන්වහන්සේ නොමෙනෙහි කොට සත්වැනි දිනයෙහි සියලු නිවෙස පුරවමින් නග්න ශ්‍රමණයින් වඩාහිඳුවා එන්න මගේ දුව රහතුන් වඳීවායි හසුනක් යැවීය. ඕතොමෝ සෝවාන්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාවක්වූවා රහත්යයි වචනය අසා තුටුපහටුවූවා ඔවුන් හුන් තැනට ගොස් ඔවුන් බලා මෙබන්දෝ නම් රහත්හු වෙත්දැයි විළිබිය නැත්තවුන්ගේ සමීපයට කුමක් හෙයින් මයිළණුවෝ මා කැඳවත්දැයි චී චී යයි නින්දාකොට තමන් වසන තැනටම ගියාය. නග්න ශ්‍රමණයෝ ඇය දැක එක පහරින්ම සියල්ලෝ සිටාණන්ට ‘කිමෙක්ද ගාහපතිය, ඔබ අනිකක නොලැබුවෙහිද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාමිකාවකවූ මහා කාලකණ්ණියක මේ ගෙදරට පිවිසුවෙහිද? වහා ඇය මේ ගෙදරින් බැහැර කරව’යි ගැරහූහ. ඉක්බිති සිටුතෙමේ මොවුන්ගේ වචනයෙන් මවිසින් මැය මේ නිවසින් බැහැර කිරීමට නොහැකිය. මෝ මහාකුලයක දුවනියකැයි සිතා, ආචාර්‍ය්‍යවරුනි, කුඩා දරුවෝ දැන හෝ නොදැන (වරද) කරති. නුඹවහන්සේලා නිශ්ශබ්දවුව මැනවැයි නගනයින් පිටත්කොට යවා මහ පළඟක හිදගෙන රන් හැන්දක් ගෙන විශාඛාව විසින් බලා සිටිනු ලබන්නේ රන් තලියක දියනුමුසු මී පායාසය වැළඳීය. එසමයෙහි එක් පිඬු හැසිරෙන තෙර කෙනෙක් පිඬුපිණිස හැසිරෙන්නාහු සිටුවරයාගේ ගෙදොරට වැඩියහ. ඒ ලාමක තැනැත්තේ තෙරුන් දැක ද නොදක්නේ මෙන්වී මුව යටට යොමුකොටගෙන පායාසයම වළඳයි. විශාඛතොමෝ මගේ මාමා තෙරුන් දැකද හැඟීමක් නොකරතියි දැන තෙරුන් වෙත එළඹ ‘වෙනතක වඩිනු මැනවි ස්වාමීනි, මගේ මාමා පැරන්නක් කති’යි කීවාය. හෙතෙම නිගණ්ඨයන් කීකල්හි ඉවසීය. පැරන්නක් කතියි කීකෙණෙහිම අත ඉවතට ගෙන මේ පායාසය මෙතැනින් ගෙනයවු. මැයද මේ ගෙදරින් පිට කරවු. මෝ වනාහි මෙබඳුවූ මඟුල් ගෙදරක මා අශූචි කන්නකු කරන්නීයයි කීවේය. ඒ නිවසෙහි සියලු දස්කම්කරුවෝ විශාඛාවට අයත් වූවෝයි. කවරෙක් නම් ඇය අතින් හෝ පයින් ගන්නේද? මුවින් කතා කිරීමට පවා සමතෙක් නැත. ඉක්බිති විශාකාතොමෝ මයිලණුවන්ගේ කථාව අසා, ‘පියාණෙනි, මෙපමණ වචනයකින්ම අපි නොයමු. මම නුඹවහන්සේ විසින් දිය තොටින් කුමභදාසියක මෙන් නොගෙනෙන ලද්දෙමි. ජීවත්වන මවුපියන්ගේ දූවරුනම් මෙපමණකින් නොනික්මෙත්. මේ කරුණ නිසාම මට පියා මෙහි එන දිනයෙහි කෙළෙඹියන් අට දෙනකු කැඳවා ඉදින් මගේ දුව නිසා දොසක් උපදියිද එය නිවැරදි කරවුයයි පවසා ඔවුන්ගේ අතෙහි තැබීය. ඔවුන් කැඳවා මගේ දොස් නිදොස් බව පිරිසිදු කරවුවව මැනවැයි කීවාය. ඉක්බිති සිටුතුමා මෝ යහපතක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, ‘මේ දැරිය සත්වැනි දිනයෙහි නොපිරිපුන්වූම මඟුල් ගෙයෙහි හුන්නාවූ මා අශූචි කන්නෙකැයි කියයි කීවේ. ‘දියණියනි, එසේ වේදැ’යි ඔවුහු ඇසූහ. ‘පියවරුනි, මගේ මාමා අශූචි කෑමට කැමැත්තේ වන්නේය. මම වනාහි එසේ (අදහස්) කොට නොකියමි. එක් පිඬුසිඟන තෙර කෙනෙකු ගෙදොර සිටි කල්හි මෙතෙමේ දිය නුමුසු පායාසය බුදිමින් ඔහු මෙනෙහි නොකරයි. මම මේ හේතුවෙන් වෙනතක යන්න ස්වාමීනි, මගේ මාමා මේ අත්බැව්හි පින් නොකරයි. පැරණි පින කයි යන්න පමණක් කීවෙමි’යි පැවසුවාය. ‘ආර්‍ය්‍යයනි, මෙහි දොසක් නැත. අපගේ දියණිය (සුදුසු) කරුණක් කියයි. ඔබතුමා කුමක් නිසා කිපෙහුදැ?’යි ඔවුහු කීය. ‘ආර්‍ය්‍යවරුනි, එය දොසක් නොවේවා! (එතකුදු) මේ දැරිය පැමිණි දිනයෙහිම මගේ පුතුකෙරෙහි හැඟීමක් නොකොට තමන් කැමති තැනට ගියාය’යි (සිටුතෙමේ කීවේය). ‘එසේද දරුව?’ ‘පියවරුනි, මම මා කැමති තැනකට නොයමි. මේ නිවසෙහි ආජානීය වෙළඹ වැදූ කල්හි හැඟීමකුදු නොකොට හිඳීම නම් අයුත්තකියි දඬුපහන් ගෙන්වාගෙන දැස්සන් විසින් පිරිවරන ලදුව එහිගොස් වෙළඹට ප්‍රසව පරිහාර කරවීමි’යි විශාඛා කීවාය. ‘ආර්‍ය්‍යයෙනි, අපගේ දියණිය නුඹගේ නිවසෙහි දාසීන් විසිනුදු නොකළයුතු වැඩක් කළාය. නුඹ එහි කුමන දෙසක් දක්නෙහිද?’ ‘ආර්‍ය්‍යවරුනි, එය ගුණයක් වේවා! මැයගේ පියා මෙහි එන දිනයෙහි අවවාද දෙමින් ඇතුළත ගිනි පිටත නොගෙනිය යුතුයයි කීවේය. කිමෙක්ද අපවිසින් දෙපසින් අසල්වැසි ගෙවලට ගිනි නොදී සිටිය හැකිද?’ ‘එසේද දුවණිය? ‘පියවරුනි, මගේ පියා මේ ගිනි අරභයා කථා නොකළේය. ගෙතුළෙහි නැදි ආදී මාගමුන්ගේ යම් රහස් කථාවක් හටගනීද? එය, එහි දැසිදස්සන්ට නොකිව යුතුය. මෙබඳුවූ කථා වැඩෙමින් කලහය පිණිස පවතියි. පියවරුනි, මෙය සඳහා මගේ පියා කීවේය.” ආර්‍ය්‍යවරුනි, එයද එසේ වේවා! මැයගේ පියා පිටතින් ගිනි ඇතුළතට නොපිවිසය යුතුයයි කීවේය. ඇතුළත ගිනි නිවුනු කල පිටතින් ගිනි නොගෙනීමට අපට හැකිද?’ ‘එසේද, දියණිය?’ ‘පියවරුනි, මගේ පියා එම ගිනි සඳහා නොකීවේය. යම් දෙසක් දැසිකම්කරුවන් විසින් කියන ලද්දේ වෙයිද? එය ඇතුළත මිනිසුන් නොකිව යුතුය. පෙ- යමෙක් දෙත්ද ඔවුනටම දියයුතුයයි යන්නෙන් යමක් කියන ලදද එය ඉල්වාගත් උපකරණ ගෙන යමෙක් ආපසු දෙත්ද ඔවුනටම දියයුතුය යන්න සඳහා කියනලදී. ‘යමෙක් නොදෙත්දැ’යි මෙයද ඉල්ලාගත් දෙය ගෙන ආපසු නොදෙත්ද ඔවුනට නොදිය යුතුය. යන්න සඳහා කියන ලදී. දෙන්නහුටද නොදෙන්නහුටද දියයුතුය යන මෙය දිළිඳු නෑමිතුරන් පැමිණි කල්හි නැවත දීමට හැකි වෙත්වා හෝ නොවෙත්වා දීමටම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හිඳිහ යුතුය යන මෙයද නැදිමයිලන් දැක නැඟිටිය යුතු තන්හි හිඳීමට නොවටීය යන්න සඳහා කියනලදී. සුවසේ වැළදිය යුතුය යන මෙය නැදිමයිල් සැමියන්ට පෙරාතුවම නොවළඳා ඔවුන් වළඳවා සියල්ලන් විසින් ලද නොලද දේ දැන පසුව තෙමේ වැළදීමම වටීය යන්න සඳහා කියනලදී. සුවසේ හොවියයුතුය. යන මෙයද නැදිමයිල් සැමියන්ට පෙරාතුවම සයනයට නැඟ නොනිදිය යුතුය. ඔවුන්ට කළයුතු වත් පිළිවෙත්කොට පසුව තෙමේ නිදීමට යුතුය. යන මෙය සඳහා කියනලදී. ගිනිපිදිය යුතුය. යන මෙය නැන්දනියද මයිලනුවන්ද සැමියාද ගිනි කඳක් මෙන්ද නාරජුන් මෙන්ද කොට දැකීමට වටීය යන්න සඳහා කියනලදී’ ඒවා එපමණ ගුණයෝ වෙත්වා? මැයගේ පියා ඇතුළත දෙවියන් නමඳවයි කීවේය. මෙහි කවර අත්‍ථ‍ර්‍‍යක්දැයි (සිටුතුමා ඇසීය.) දියණිය එසේදැයි ඔවුහු අසූහ. ‘එසේය, පියවරුනි, එය ද මගේ පියා විසින් ‘දරුව ආවේණික ගෙහි වසන කාලයෙහි පටන් අපගේ ගෙදොරට පැමුණුණු පැවිද්දකු දැක ගෙහි යම් කෑයුත්තක් බිදිය යුත්තක් ඇත්ද? එයින් පැවිද්දන්ට දී කෑමටම වටීය යන මෙකරුණ සඳහා කියන ලදියි විශාඛා කීවාය. ඉක්බිති ඔවුහු සිටාණන්ට ‘මහසිටාණ, නුඹ වනාහි පැවිද්දන් දැක නොදීමට කැමත්තේ වනැයි හැඟෙයියයි කීහ. හෙතෙම අන් පිළිවදනක් නොදක්නේ අධොමුඛව හුන්නේය. ඉක්බිති කෙළෙඹියෝ ඔහුට ‘කිමෙක්ද සිටාණෙනි, අපගේ දියණියගේ අන් දොසකුත් ඇත්දැයි ඇසුවාහුය. ‘ආර්‍ය්‍යයනි නැතැ’යි කීවේය. ‘කුමක් හෙයින් නිදොස් මැය නිකරුණේ පිටමං කළෙහිදැ’යි ඔවුහු ඇසූහ. එකෙණෙහි විශාඛා තොමෝ ‘පළමුව මගේ මයිලණුවන්ගේ වචනයෙන් මගේ යාම නොසුදුසුය. මා එන දිනයෙහි මගේ දොස්නිදොස් පිරිසිදු කිරීම සඳහා මගේ පියා නුඹලාගේ අතෙහි තබා දුන්නේය. දැන් මගේ යාම මැනවැයි පවසා දැසිදසුන් යානාදිය පිළියෙළ කරවුයයි අණ කළාය. ඉක්බිති සිටුතෙමේ ඒ කෙළෙඹියන් අත ගෙන ඇයට, ‘දියණිය, මා විසින් නොදැන කියන ලද්දට මට ක්‍ෂාමා කරන්නැ’යි කීවේය. ‘පියාණෙනි ක්‍ෂමා කරමි. ඔබගේ ක්‍ෂමා කළයුත්තට ක්‍ෂමා කරමි. මම වනාහි බුදුසසුනෙහි නොසැලෙන පැහැදීම් ඇති කුලයක දියණියක්මි. අපි බික්සඟනගෙන් තොරව නොපවතිමු. ඉදින් මගේ කැමැත්තෙන් බික්සඟන පිළිදැඟුම් කිරීමට ලබන්නෙම් නම් වසමියි විශාඛා කීවාය. ‘දරුව, නුඹ කැමති පරිද්දෙන් නුඹේ මහණුන් පිළිදැඟුම් කරව’යි (සිටුතෙමේ කීවේය). ඉක්බිති විශාඛාතොමෝ භාග්‍යවතුන්වහන්සේ නිමුන්ත්‍රණය කරවා දෙවැනි දිනයෙහි නිවෙස පුරවමින් බුදුපාමොක් බික්සඟන වඩා හි‍ඳෙව්වාය. නග්න පිරිසද ශාස්තෘන්වහන්සේ මිගාර සිටුගේ ගෙට වැඩිබව දැන එහි ගොස් ගෙය පිරිවරා හුන්නාහුය. විශාඛා තොමෝ දක්‍ෂිණොදකය දී සියලු සත්කාර පිළියෙළ කරන ලද්දේ මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේ වළඳවත්වායි හසුනක් යැව්වාය. හෙතෙම නිගණ්ඨයින්ගේ වචනය අසා ‘මගේ දියණිය, සම්බුදුන්වහන්සේ වළඳවාවා’යි පැවසීය. විශාඛා තොමෝ නොයෙක් අගරසයෙන් භාග්‍යවතුන්වහන්සේ වළඳවා බත්කිස නිමවූ කල්හි මගේ මයිලණුවෝ පැමිණ භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මකථාව අසත්වා’යි යළි හසුනක් යැව්වාය. ඉක්බිති දැන් නොයාම නම් බලවත් අයුක්තකැයි ධර්‍මකථාව ඇසීමේ කැමැත්තෙන් යන ඔහුට නග්ගනශ්‍රමණයෝ, ‘ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ධර්‍මය අසන්නේ තිරයෙන් පිට හිඳ අසව’යි කීහ. කලින්ම ගොස් තිරයකින් වට කළාහුය. මිගාරසිටුතෙමේ ගොස් තිරයෙන්පිටතම හුන්නේය. තථාගතයන්වහන්සේ, ‘නුඹ තිරයෙන් පිටත හෝ හිඳුව බිත්තියෙන් පිටත හෝ පර්‍වතයෙන් පිටත හෝ සක්වළින් පිටත හෝ හිඳුව. මම සමුබුදු නමි. මගේ හඬ නුඹට අස්වන්නට හැක්කෙමි’යි රන්වන්පල ඇති අඹගසක් කඳින් ගෙන සොලවන්නාක් මෙන් ධර්‍ම දේශනා කළ සේක. දෙසුම අවසන්හි සිටුතෙමේ සෝවාන් පෙළෙහි පිහිටා තිරය ඔසවා ශාස්තෘන්වහන්සේගේ පාදයෙහි පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේ සමීපයෙහිම ‘දරුව නුඹ අද පටන් මගේ මවය’යි විශාඛාව තමන්ගේ මවු තනතුරෙහි තැබුවේය. එතැන්පටන් විශාඛා මිගාරමාතා නම්වූවාය.
ඕතොමෝ එක්දිනක් නුවරෙහි නැකැත් කාලය පවත්නා විට ඇතුළ් නුවරෙහි ගුණ‍යක් (වටිනාදෙයක්) නැතැයි දැස්සන් විසින් පිරිවරන ලදුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව ඇසීමට යන්නී ‘බුදුවරුන්ගේ සමීපයට උඩඟු වෙසින් යාම නුසුදුසුය’යි මහාලතා පසාධනය මුදා දැස්සක අතෙහි දී ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ දහම් දෙසූ සේක. ඕතොමෝ දම්දෙසුම අවසන්හි භාගයවතුන්වහන්සේ වැඳ නුවරට අභිමුඛව පිටත්ව ගියාය. ඒ දාසියද තමන්ගත් පසාධනය තැබූ තැන නොසලකා යන්නී, පසාධනය ගැනීම සඳහා ආපසු හැරුනාය. ඉක්බිති විශාඛාව ඇයට ‘නුඹවිසින් එය කොහි තබන ලද්දැ’යි ඇසුවාය. ‘ආය්‍යවනි, ගඳකිළි පිරිවෙණෙහි’යි ඕ කීවාය. ‘වේවා! දැස්ස, ගොස් ගෙනෙව. ගඳකිළි පිරිවෙණෙහි තැබූ කල පටන් ගෙන්වීම නම් අපට නොසුදුසුය. එහෙයින් එය විකුණා දඬුවමක් කරන්නෙමු. එහි තැබූ කල්හි ආර්‍ය්‍යවරුන්ට හිරිහැරයක් වේයයි දෙවැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් විශාඛාවගේ ගෙදොරට වැඩිසේක. නිවෙසෙහිද නිබඳ පනවනලද අසුන් වෙයි. විශාඛා තොමෝ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය ගෙන ගෙට වැඩමවා පනවනලද අසුන්හිම හිඳුවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමිකල්හි ඒ පසාධනය ගෙනව්ා ශාස්තෘන් පාමුල තබා ස්වාමීනි මෙය ඔබවහන්සේට දෙමියි කීවාය. ශාස්තෘන්වහන්සේ අලංකාරය නම් පැවිද්දන්ට නොවටනේයයි ප්‍රතික්‍ෂේප ක‍ළසේක. ‘දනිමි. ස්වාමීනි, මම මෙය අගයකරවා ධනය ගෙන නුඹවහන්සේට විසීමට ගඳකිළියක් කරන්නෙමි’යි ඈ කීවාය. එකල්හි ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළසේක. ඕතොමෝත් එය අගය කරවා නවකෙළක් ධනය ගෙන ගැබ් සියයකින් යුක්තවූ පූර්‍වාරාම මහාවිහාරයෙහි තථාගතයන්වහන්සේට විසීමට ගඳකිළියක් කරවූවාය. විශාඛාවගේ නිවෙස පෙරවරුවෙහි කසාවතින් බබළන සෘෂීන් තුළින් හමන සුළඟින් ගැවසීගත්තක් විය. අනේපිඬුසිටුගේ නිවෙසෙහි මෙන්ම ඇයගේ නිවෙසෙහිද සියලුබත් පිළියෙළවූයේයම විය. ඕතොමෝ පෙර වරුයෙහි බික්සඟනට ආමිෂසංග්‍රහ කොට පසුබතෙහි බෙහෙත්ද අෂ්ටවිධපානයන්ද ගෙන්වා ගෙන විහාරයට ගොස් බික්සඟනට දී පසුව ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා පැමිණෙයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි උවැසියන් පිළිවෙළින් තනතුරු වල තබනසේක් විශාඛා මිගාරමාතාව දායිකාවන් අතුරෙන් අගතැන්හි තැබූසේක.