New at Little Bit


from Path to Nirvana http://bit.ly/2ABAvOM
සිවුවන තථාගත බලය – අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’.

අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම නැති වන බැවින් ද මඳින් මද කොටස් වශයෙන් දිරී බිඳී පලුදු වන බැවින් ද ස්කන්ධධාත්වායතනයෝ ලෝක නම් වෙති. තමතමන්ගේ ස්වභාවයෙන් ඇත්තා වු සියල්ල ධාතු නම් වේති. රූපය පෙනෙන ස්භාවයෙන් ඇති බැවින් රූප ධාතු නම් වේ. ශබ්දය ඇසෙන ස්භාවයෙන් ඇති බැවින් ශබ්දධාතු නම් වේ. ගන්ධය නාසයට දැනෙන ස්භාවයෙන් ඇති බැවින් ඝ්‍රාණධාතු නම් වේ. මෙසේ ඒ ඒ ස්වභාවයෙන් ඇති සියල්ල ධාතු නම් වේ.

ලෝකයෙහි චක්ඛුධාතු සෝතධාතු යනාදි වශයෙන් ද කාමධාතු ව්‍යාපාදධාතු යනාදි වශයෙන්ද බොහෝ ධාතු ඇත්තේය. ලක්ෂණවලින් එක් ධාතුවක් අනික් ධාතුවකට වෙනස් බැවින් ධාතුහු අනේකප්‍රකාර වන්නාහ. බොහෝ ධාතු ඇති බැවින් ද ලක්ෂන වශයෙන් අනේප්‍රකාර ධාතු ඇති බැවින් ද ලෝකය අනේකධාතු නානාධාතු ලෝක නම් වේ. අනේකධාතු නානාධාතු ලෝකය දන්නා නුවණ විස්තර කිරීමේදී පඤ්චස්කන්ධය, ආයතන දොළස, ධාතු අටලොස යන මේ ධර්ම විස්තර කළ යුතුය.
මේ ඥානය ඇත්තා වු තථාගතයන් වහන්සේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය නිවැරදි ලෙස ද සර්වසම්පූර්ණ ලෙස ද දන්නාහ. එක් එක් ස්කන්ධයක අනේකප්‍රකාර විශේෂවිභාග ද නිවැරදි ලෙස සම්පුර්ණයෙන් දන්නා සේක. ආයතන දොළොස දන්නා සේක. දශායතනයක් කාමාවචර ය, ආයතන දෙකක් චාතුර්භූමක ය යනාදීන් ඒවායේ නානත්ව ද දන්නා සේක. මේ චක්ඛුධාතුවය මේ රූප ධාතුවය යනාදීන් වෙන් වෙන් වශයෙන් ධාතු අටළොස දන්නා සේක. එහි ධාතු සොළොසක් කාමාවචර ය, ධාතු දෙකක් චාතුර්භූමකය යනාදීන් ඒවායේ විශේෂ විභාග ද දන්නා සේක. තථාගතයන් වහන්සේ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානාත්වය ද දන්නා සේක.

පසේබුදුවරුන් හා අග්‍රශ්‍රාවකයෝ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය එක්තරා ප්‍රමාණයකින් දනිති. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නො දනිති. ලොවුතුරා බුදුවරු වනාහි මේ මේ ධාතුන්ගේ උත්සන්නත්වය නිසා, මේ මේ ධාතුන්ගේ හීනත්වය නිසා මේ ගසෙහි කඳ සුදු ය, මේ ගසෙහි කඳ කළුය, මේ ගසෙහි කඳ මට්ටම්ය, මේ ගසෙහි කඳ රළුය, මේ ගසෙහි පොතු තුනී ය. මේ ගසෙහි පොතු ඝනය. මේ ගසෙහි මැද හරය ඇත. මේ ගසෙහි හරය ඇත්තේ පිටත ය, මේ ගසෙහි කොළ වටය. මේ ගසෙහි කොළ දිගය. මේ ගසෙහි කොළ මහත්ය. මේ ගසෙහි කොළ කුඩා ය, මේ ගසේ මල් සුදු ය, මේ ගසේ මල් රතුය, මේ ගසේ ගෙඩි මිහිරිය, මේ ගසේ ගෙඩි තිත්ත ය, මේ ගසේ ගෙඩි ඇඹුල්ය, මේ ගසේ ගෙඩි කසටය, මේ ගසෙහි කටු ඇත, මේ ගසෙහි කටු නැත යනාදීන් අනුපාදින්නක සංස්කාර ලෝකයේ තතු සර්වාකාරයෙන් දන්නාහ. මෙය ශ්‍රාවකයනට අසාධාරණ ඥානයකි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව : https://goo.gl/3Z3uWk