New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WgXmY7
යශ භාග්‍යය

යශසය යනු පිරිවරය, කීර්තියය යන අර්ථ දෙක ම කියැවෙන වචනයෙකි. මහාපරිවාර ජන සමූහයක් ඇති බැවින් ද ලෝකත්‍රයෙහි පතළ මහත් කීර්තීයක් ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. තථාගතයන් වහන්සේට පමණ මහත් වු උසස් වූ ද පිරිවරක් ලෝකයෙහි කිසිවකුට නො වූහ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් පසුව ම නො ව මවුකුස පිළිසිඳ ගත් තැන් සිටම පරිවාර සම්පත්තියෙන් යුක්ත වූහ. මහාපුරුෂයාණන් මවුකුස පිළිසිඳ ගත් කල්හි දේව පුත්‍රයෝ සතර දෙනෙකු පැමිණ සතර දිග අරක් ගත්හ. මහාසත්ත්වයන් මව්කුසින් බිහිවන වෙලාවෙහි ද බොහෝ දේව බ්‍රහ්මණයෝ ද එහි පැමිණිය හ. මවු කුසින් බිහිවන්නා වූ බෝසත් කුමරුන් මිනිසුන් අතට පත්වන්නට කලින්ම බ්‍රහ්මරාජයෝ සතර දෙනෙක් ඔවුන් රන් දැලින් පිළිගත් හ. ඔවුන් අතින් බෝසත් කුමරුන් වරම් දෙව්රදුන් සතරදෙනා මංගලසම්මත අඳුන් දිවිසමින් පිළිගත් හ. බෝසත් කුමරුන් මිනිසුන් පිළිගත්තේ ඔවුන් අතිනි. මිනිසුන් අතින් පොළොවට බට බෝසතාණෝ පොළොවෙහි සිට නැගෙනහිර ලෝකධාතුව බැලුහ. දසදහසක් සක්වල එක මිදුලක් මෙන් වී පෙනිණ. එදිග විසු මනුෂ්‍යදේවබ්‍රාහ්මණයෝ සුවඳමල් ආදියෙන් පුදමින් “මහාපුරුෂයාණෙනි, ඔබ හා සම කෙනෙක් මෙහි නැතය’යි බෝසතානන්ට සැළ කලහ. ඉතිරි දිග් බැලූ කල්හි එහි වුවෝ ද එසේ ම සැල කළහ. එයින් එකෙනෙහි ම දසදහසක් සක්වළ බොහෝ මනුෂ්‍යදේවබ්‍රාහ්මනයන් උන් වහන්සේගේ පිරිවර වූ බව කිය යුතු ය. බෝසතුන් උපන් පස්වන දින නම් තැබිමේ උත්සවයේ දි ශාස්ත්‍රවේදී බමුණෝ “මේ කුමාරයෝ සක්විති රජ හෝ වන්නාහ. පැවිදිව ලොව්තුරා බුදු හෝ වන්නා ය’යි පැවසූහ. එකල්හි එක් රැස් වූ අසුදහසක් ක්ෂත්‍රියයෝ “මේ කුමරා බුදු වෙතොත් බුදු වේවා, රජ වෙතොත් රජ වේවා, කුමක් වුවත් මොහුට පිරිවර පිණිස අපි එක් පුත්‍රයකු බැගින් දෙන්නෙමු’යි පැවසූහ. සිද්ධාර්ථකුමාරයන් වැඩිවියට පත්ව ශිල්ප දැක්වීමෙන් පැහැදුණා වූ ශාක්‍යයෝ ඔවුන්ගේ තරුණ දූන් සතළිස් දහසක් එතුමන්ට පිරිවර පිණිස යැවූහ. ඉන්පසු රාජ්‍යයෙහි අභිෂේක කරන ලදුව ඉමහත් යස ඉසුරෙන් වැජඹුණු බෝසතාණන් එකුත්තිස් වියේ දි මහබිනික්මන් කොට ලොවුතුරා බුදුබවට පැමිණියේ මහපිරිවරිනි. මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන දින බෝධිමුලයේ වැඩ සිටින අවස්ථාවෙහි බුද්ධමංගලය සඳහා බොහෝ දේවබ්‍රාහ්මණයෝ පැමිණ බෝසතුන් පිරිවරා ගත්හ. සක්දෙව්රජු එහි පැමිණ විජයුත්තර නම් සක පිම්බේ ය. පඤ්චසිඛ නම් ගාන්ධර්ව දේවපුත්‍රයා පැමිණ වීණාවාදනය කරමින් තුති ගී ගායනය කෙළේ ය. සුයාම දෙව්රජ බෝසතාණන් වහන්සේට පවන් සැලි ය. සහම්පති බ්‍රාහ්මනරජතෙමේ බෝසතාණන්ට සේසත් දැරී ය. මහාකාල නම් නාරජ අසු දහසක් නාටකයන් හා පැමිණ ස්තුති ගී ගයමින් බෝසතාණන්ට ගෞරව කෙළේ ය. දසදහසක් සක්වළින් පැමිණි බොහෝ දෙව්බඹහු සුවඳ මල් ආදියෙන් පුදමින් සාධුනාද පැවැත්වුහ. එසේ දෙව් බඹුන් උත්සව පවත්වද්දී මහබෝසතාණෝ ලොව්තුරා බුදුබවට පැමිණ වදාළහ.

තථාගතය්න වහන්සේ පිරිවර වන මිනිස් පිරිස භික්ෂු භික්ෂුණි උපාසකෝපාසිකා වශයෙන් සිවු කොටසකි. භික්ෂුහු ද ඒහි භික්ෂුභාවයෙන් උපසම්පදාව ලද්දෝ ය. අන් ක්‍රමවලින් උපසම්පදාව ලද්දෝ ය යි දෙකොටසක් වෙති. අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පඤ්චවග්ගිය තෙරුන් වහන්සේලාය, වංගීස තෙරුන් වහන්සේ ය, යස තෙරුන් වහන්සේය, උන් වහන්සේගේ යහළුවන් වූ විමල – සුබාහු – ගවම්පති – පුණ්ණජී යන තෙරුන් වහන්සේ, උන් වහන්සේගේ ම යහළුවන් වන පනස් නමක් තෙරුන් වහන්සේය, භද්දවග්ගිය තෙරවරුන් තිස්නමය, උරුවේලකාශ්‍යපයන් ප්‍රධාන දහසක් පුරාණ ජටිප තෙරවරුය. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනමය, උන් වහන්සේලාගේ පිරිවර වන එක්දහස් දෙසිය පනස් නමක් වන පරිව්‍රාජක ස්ථවීරවරුය, සේලබ්‍රාහ්මණයා හා ඔහුගේ අතවැසි බ්‍රාහ්මණයන් තුන්සියයදෙනය, මහාකප්පිත රජුය, ඔහුගේ පිරිවර වු දහස් දෙනාය, සුදොවුන් රජතුමා විසින් බුදුරදුන් වෙත යැවු පුරුෂයන් දස දහසය, බාවාරි තවුසාගේ අතවැසියන් වන සොළොස් දහසක් තවුසෝ ය යනාදිහු ඒහිභික්ෂුභාවයෙන් තථාගතයන් වහන්සේගෙන් ම පැවිද්ද හා උපසම්පදාව ලත් ශ්‍රාවකයන් වහන්සේලා ය. සෙස්සෝ සරණගමනය, ප්‍රශ්න විසඳිම, අවවාද පිළිගැනීම, සංඝයා විසින් කර්මාවාක්‍යයෙන් සම්මත කිරීමය යන ක්‍රමවලින් උපසම්පදාව ලත් ශ්‍රාවකයෝ ය. අසුනමයක් රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මහාශ්‍රවකයෝ ය. උන් වහන්සේලාගේ නම් මෙසේ ය:-

1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ
2. වප්ප
3. භද්දිය
4. මහානාම
5. අස්සජි
6. නාළක
7. යස
8. විමල
9. සුබාහු
10. පුණ්ණජි
11. ගවම්පති
12. උරුවේලකස්සප
13. නදීකස්සප
14. ගයාකස්සප
15. සාරිපුත්ත
16. මොග්ගල්ලාන
17. මහාකස්සප
18. මහාකච්චායන
19. මහාකොට්ඨීත
20. මහා කප්පින
21. මහාචුන්ද
22. අනුරුද්ධ
23. කංඛාරෙවත
24. ආනන්ද
25. නන්දක
26. භගු
27. නන්ද
28. කිම්බල
29. භද්දිය
30. රාහුල
31. සීවලී
32. උපාලී
33. දබ්බ
34. උපසේන
35. ඛදිරවනිය රේවත
36. මන්තානිපුත්ත පුණ්ණ
37. සුනාපරත්ත පුණ්ණ
38. සෝණ කුටිකන්න
39. සෝණ කෝලිවිස
40. රාධ
41. සුභූති
42. අංගුලිමාල
43. වක්කලි
44. කාළුදායි
45. මහාඋදායි
46. පිලින්දිවච්ඡ
47. සෝභිත
48. කුමාරකස්සප
49. රට්ඨපාල
50. වංගීස
51. සභිය
52. සේල
53. උපවාණ
54. මේඝිය
55. සාගත
56. නාගිත
57. ලකුණ්ඨක භද්දිය
58. පිණ්ඩෝලභාරද්වාජ
59. මහාපන්ථක
60. චූලපන්ථක
61. බක්කුල
62. කොණ්ඩධාන
63. දාරචීරිය
64. යසෝජ
65. අජිත
66. තිස්ස මෙත්තෙය්‍ය
67. පුණ්ණක
68. මෙත්තගු
69. ධෝතක
70. උපසීව
71. නන්ද
72. හේමක
73. තෝදෙය්‍ය
74. කප්ප
75. චතුකණ්ණි
76. භද්‍රාවුධ
77. උදය
78. පෝසාල
79. මෝඝරාජ
80. පිංගිය.
අග්‍රශ්‍රාවකයෝය, මහාශ්‍රාවකයෝය, ප්‍රකෘතිශ්‍රාවකයෝය යී ශ්‍රාවකයන් තුන් කොටසකි. ශාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙනම අග්‍රශ්‍රාවකයෝ ය. උන්වහන්සේලා ද සමඟ ඉහත කී අසූනම මහාශ්‍රාවකයෝ ය. සෙස්සෝ ප්‍රකෘති ශ්‍රාවකයෝ ය. මේ ශ්‍රාවක භේදය වන්නේ ඒ ඒ අයගේ අතීත පාරමිතාව අනුව ය.

බුදුරදුන් ජීවමාන වු පන්සාළිස් වසර තුළ බුදු සස්නෙහි පැවිදි වුවෝ බොහෝ ය. ඔවුන්ගේ සංඛ්‍යා නියමයක් සඳහන් වී නැත. බුදුරදුන්ගේ පරිණිර්වාණයට ගණන් ගත නො හෙන තරමේ විශාල භික්ෂු පිරිසක් පැමිණි බව කියා තිබේ. අශෝකරජුගේ කාලයෙහි සැටලක්ෂයක් භික්ෂුන් විසූ බව කියා තිබේ. මිළිඳු රජුගේ කාලයේ හිමාල වනයෙහි රක්ඛිත තලයට කෝටි සියයක් රහතුන් රැස්වු බව මිළින්සපඤ්හයෙහි සඳහන් වේ. ස්වර්ණමාලී චෛත්‍යරාජයාගේ ධාතු නිධානෝත්සවයට:-

“අරහන්තො ඡන්නවුති – කොටියො ථුපමුත්තමං,
සමන්තා පරිවාරෙත්වා – අට්ඨංසූ කතපඤ්ජලී.”

යනුවෙන් සයානුකෝටියක් රහතුන් රැස් වූ බව මහාවංසයෙහි කියා තිබේ. මේ ගණන අනුව සලකන විට තථාගතයන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවක පිරිස ඉතා මහත් බව කිය යුතු ය. බුදුරදුන් ජිවමාන කාලයේ පටන් අද දක්වා බුදුසස්නෙහි පැවිදි වූ පිරිස ඉතා විශාල ය, ගණනින් ප්‍රමාණ නො කළ හැකි ය. අනාගතයෙහි ද විශාල පිරිසක් පැවිදිවන්නා හ. ඒ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ පිරිවරය. දැනට භික්ෂුණීන් නැත ද අතීතයෙහි ද විශාල භික්ෂුණී පිරිසක් ද වුහ. ඔවුහුද තථාගතයන් වහන්සේගේ පිරිවරය. බුදුරදුන්ගේ කාලයේ පටන් අද දක්වා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා පිරිස ද අනාගතයෙහි තෙරුවන් සරණ යන උපාසක උපාසිකා පිරිස ද ගණනින් ප්‍රමාණ කළ නොහැකි ය. ඒ පිරිස තථාගතයන් වහන්සේගේ ගිහි පිරිවර ය. තථාගතයන් වහන්සේගේ දේව බ්‍රහ්ම පිරිවර දසදහසක් සක්වළ ම පැතිර ඇත්තාහ. ඒ පිරිස ඉතා විශාල ය. සම්බුද්ධ පරිනිවාණය සිදු වුයේ ද එදා උන් වහන්සේ පිරිවරා සිටි ප්‍රමාණ කළ නො හෙන මනුෂ්‍ය දේව බ්‍රහ්ම මහාජන සමුහයක් මධ්‍යයේ ය. තථාගත පරිනිර්වානය කලින් ප්‍රසිද්ධියට පැමිණ තුබු බැවින් උන්වහන්සේගේ ශ්‍රාවක වූ අපමණ භික්ෂුහූ ද කුසිනාරාවට පැමිණ සිටියේ ය. බොහෝ කුසිනාරා නුවර වැස්සෝ ද එදා රාත්‍රියේ තථාගතයන් වහන්සේ අනිතිම වරට දක්නට පැමිණ සිටියෝය. අප්‍රමාණ දේවබ්‍රහ්මයෝ දස දහසක් සක්වළින් ම පැමිණියෝ ය. එදා පැමිණ තථාගතයන් වහන්සේට පුජා පැවැත් වූ දේවබ්‍රහ්ම පිරිස බලා උන් වහන්සේ,
“යෙභූය්‍යෙන ආනන්ද, දසසු ලෝකධාතුසු දෙවතා සන්නිපාතිතා තථාගතං දස්සනාය, යාවතා ආනන්ද, කුසිනාරා උපවත්තනං මල්ලානං සාළවනං සමන්තා ද්වාදසා යොජනානි, නත්ථි සො පදෙසො වළග්ගකොටි නිතුදන මත්තාපි මහෙක්ඛාහි දෙවතාහි අප්ඵුටො”

යනුවෙන් “ආනන්ද මේ සල්වනය අවට දොළොස් යොදුනක් පමණ තැන මහේශාක්‍ය දෙවියන් නො සිටින ඉදිකටුතුඩක් පමණ තැනකුදු නැතය’යි වදාළහ.

දෙව් මිනිසුන් විසින් පිරිවරන ලදුව පිරිනිවන් පා වදාල වු තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට දස දහසක් සක්වළින් පැමිණ දෙව් බඹුන් හා මනුෂ්‍යයෝ සතියන් මුළුල්ලෙහි සුවඳ සුණු සුවඳ මල් කොඩි සේසත් ගී නැටුම් ආදීයෙන් පුජා පැවැත්වූහ. ආදහන කිරිමෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේට අද දක්වා ම දෙවි මිනිස්සු පූජා පවත්වති. ලෝකයෙහි ඒ සර්වඥ ධාතූන් වහන්සේ වැඩවෙසෙන තුරු එසේම මහජනයා පුජා පවත්වන්නාහ. ඒ පුජා පවත්වන සෑම දෙනාම තථාගතයන් වහන්සේගේ පිරිසය. තථාගතයන් වහන්සේගේ පිරිවරය. තථාගතයන් වහන්සේට පමණ මහත් පිරිවරක් ලෝකයෙහි අන් කිසිවකුට නැත්තේ ය.

යම් කිසිවකු පිළිබඳව කටින් කට පැතිර යන තැන තැන කියැවෙන ගුණකථාව කීර්තී නම් වේ. කිර්තීමත් පුද්ගලයන් අතුරෙනුත් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන්නාහ. මනුෂ්‍යයන් පමණක් නොව දේව බ්‍රහ්මණයෝ ද තථාගතයන් වහන්සේගේ ගුණ උන් වහන්සේ බුදු වීමට පෙර සිට අද දක්වා ම කියන්නාහ. ලෝකයෙහි බුදුගුණ නො කියැවෙන දිනක් නැත. සාමාන්‍ය දිනවලදී ලක්ෂසංඛ්‍යාත ජතකායක් ද, විශේෂ දිනවලදී කොටි සංඛ්‍යාත ජනකායක් ද, අදත් බුදුරදුන්ගේ ගුණ කියති. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ”යන පාඨයෙන් ද “ඉතිපි සෝ භගවා ” යනාදි පාඨයෙන් ද කියැවෙන්නේ බුදුගුණ ය. දිනකට ලක්ෂ ගණනක් මුවවලින් අදත් ඒවා කියැවෙන්නේ ය. මතුවට ද කියැවෙන්නේ ය. දේශකයෝ අනේකාකාරයෙන් තැන තැන බුදුගුණ දේශනය කරති. ගත්කරුවෝ ග්‍රන්ථමාර්ගයෙන් බුදුගුණ පතළ කෙරෙති. කවීහු කාව්‍ය කරණයෙන් බුදුගුණ පතළ කරති. ගායකයෝ ගැයුමෙන් බුදුගුණ පතුරවති. වාදකයෝ වැයුමෙන් බුදුගුණ පතළ කරති. සෙස්සෝද තමන්ට හැකි ආකාර වලින් තමන්ගේ වියත්කම් අනුව බුදුගුණ පතළ කෙරෙති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://ift.tt/2TUZY1l