New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Wf9YPv
දැඩි වීර්ය උඩඟුබව ඇති කරයි. ඉතා මද වීර්ය කම්මැලි බව ඇති කරයි. එම නිසා, වීර්ය සමබරව පැවැත්විය යුතුය. – චම්මක්ඛන්‍ධකය

https://ift.tt/2TSvkFJ

17. උපසපන් වීමෙන් නොබෝ කල් ඇති ආයුෂ්මත් සොණ තෙමේ සීතවනයෙහි වෙසෙ යි. බලවත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ ඒ සොණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් තැවරුණේ ය.

18. ඉක්බිති රහොගත වූ විවෙකයට පැමිණ හුන්නා වූ ආයුෂ්මත් සොණ තෙරුන්ට “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ සිත උපාදාන රහිත ව (තෘෂ්ණදාෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ) කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදේ. මාගේ ගෙයි භොගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැකි ය. මම ගිහි බවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මෙසේ අදහසක් උපන්නේ ය.

19. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ තෙරුන්ගේ සිතේ අදහස තම සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිළුෑ අතක් යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් යම්සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ගිජුකුළුපව්වෙහි අතුරුදහන් ව සේක් සීතවනයෙහි පහළ වූ සේක.

20. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග සෙනාසන චාරිකාවෙහි වඩනා සේක් ආයුෂ්මත් සොණ තෙරුන්ගේ සක්මන වෙතට එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ තෙරුන්ගේ ලෙයින් වැකුනු සක්මන දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතු සේක: “මහණෙනි, ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකී ඇති මේ සක්මන කවරකුගේ ද? “ස්වාමීනි, දැඩි සේ පටන් ගත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ සොණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. උන් වහන්සේගේ මේ සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකුනේ ය.”

21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ තෙරුන්ගේ වෙහෙරට වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් සොණ ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සොණ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සොණ, රහොගත වූ විවෙකයට පැමිණ හුන් තට ‘භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අල්ලා නො ගෙණ කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ ගෙයි භොගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැක්කේ ය. මම ගිහිබවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත පහළ වූයේ නො වේ ද?“. “ස්වාමීනි, එසේ ය.”

22. “සොණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? තෝ පෙර ගිහි වූයේ වීණා වාදනයෙහි දක්‍ෂ වූයෙහි ද? “ස්වාමීනි, එසේ ය”. “සොණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් තදින් අදනා ලද්දේ ඉතා තද වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යොග්‍ය වූවා හෝ වේ ද?“ “ස්වාමීනි, මේ නො වේ ම ය“ “සොණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා ලිහිල් වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යොග්‍ය වූවා හෝ වේ ද?“ “ස්වාමීනි, මේ නො වේ ම ය.“ “සොණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා තද නො වූයේ ඉතා ලිහිල් නො වූයේ සමගුණයෙහි පිහිටියේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යොග්‍ය වූවා හෝ වේ ද?“ “ස්වාමීනි, එසේ වන්නී ය.”

23. “සොණ, එපරිද්දෙන් ම දැඩි ව ගත් වීර්‍ය්‍යය උඩඟුබව පිණිස පවතී. ඉතා සැඟවුනු (හැකුළුනු) වීර්‍ය්‍යය කුසීතබව පිණිස පවතී. සොණ, එහෙයින් තෝ වීර්‍ය්‍යයාගේ සමබව ඉටා ගණුව, ඉඳුරන්ගේ සමබව දැන ගණුව. එහි නිමිති ද ගණුව.” “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සොණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය.

24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සොණ තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද දී බලවත් පුරුෂයෙක් හැකිළුෑ අතක් යම් සේ දිගු කරන්නේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ ද, එපරිද්දෙන් සීත වනයෙහි ආයුෂ්මත් සොණ තෙරුන්ගේ ඉදිරියෙහි අතුරුදහන් වූ සේක් ගිජු කුළුපව්වෙහි පහළ වු සේක.

25. ඉක්බිති ආයුෂ්මත් සොණ ස්ථවිර තෙමේ පසු කාලයෙහි වීර්‍ය්‍යයාගේ සමබව ඉටී ය. ඉඳුරන්ගේ සමබව දත්තේ ය. එහි නිමිති ද ගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් සොණ ස්ථවිර තෙමේ එකලා වූයේ වෙන් වූයේ නිරතුරු සිහි ඇත්තේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරණුයේ යමක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්බව නොබෝ දිනකින් ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ විසී ය. “ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කළ යුතු කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ” යි දත්තේ ය. ආයුෂ්මත් සොණ ස්ථවිර තෙමේ රහතුන් අතුරෙහි එක්තරා නමක් වී ය.