New at Little Bit


from Path to Nirvana https://ift.tt/2YgpYSd
දිනක් කොසොල් රජතුමා බුදුරදුන් බැහැ දැකීමට පැමිණ අතිශය භක්ති ආදරයෙන් උන් වහන්සේගේ පාසඟළ සිඹිමින් දෙඅතින් පිරිමදිමින් ස්වාමීනි, මම පසේනදි කොසොල් රජ වෙමි, මම පසේනදී කොසොල් රජ වෙමියි, යනුවෙන් පවසමින් තමන් විසින්ම තමා හඳුන්වා දුන්නේය. එවිට බුදුරදුන් ඔබ කුමන කරුණක් දකිමින් මේ ශරීරය කෙරෙහි මෙලෙස ගෞරව උපහාර දක්වන්නේ දැයි විමසීය. ඒ අවස්ථාවේදී රජතුමා සුවිශේෂතා කරුණු හතක් ඉදිරිපත් කරමින්, බුදු රදුන් කෙරෙහි සිය ප්‍රසාදය පළ කෙළේය.

භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ධර්මය මැනවින් දේශනා කොට ඇත. තථාගත ශ්‍රාවකයෝ මනා පිළිවෙත් ඇත්තෝය. ස්වාමීනි, දසවස්, විසිවස්, තිස්වස්, හතළිස් ආදි ලෙස බ්‍රහ්මචාරි පැවිදි ජීවිත ගත කරන සමහර අය අන්‍ය සසුන්වල දකිමි. පසු කලක ඔවුන් එම ශ්‍රමණ ජීවිත අතහැර පස්කම් සුව විඳින ආකාරය දකින්නට ලැබේ. නමුත් මේ බුද්ධ ශාසනයේ යාවජීව පරිපූර්ණ බ්‍රහ්මචාරි ශ්‍රාවකයන් දකිමි. මෙබඳු ශ්‍රාවකයන් අප තථාගත සසුනෙන් පිට මම වෙනත් තැනක නොදකින බැවින් මේ ගැන මගේ බලවත් ප්‍රසාදයක් ඇතැයි පවසමින් බුදුරදුන් කෙරෙහි තම සුවිශේෂ පළමු ප්‍රසාද කරුණ හෙළි කළේය.

තවද ස්වාමීනි, රජදරුවන් රජදරුවන් හා විවාද කරති. ක්‍ෂත්‍රිය කුල ඇත්තෝ ක්‍ෂත්‍රිය කුල ඇති අය සමඟද, බමුණෝ බමුණන් සමඟද, ගෘහපතියෝ ගෘහපතියන් සමඟද පුතා පියා සමඟද සොහොයුරා සොහොයුරා සමඟද, ආදි ලෙස ඔවුනොවුහු වාද කරති. නමුත් තථාගත සසුනේ මේ භික්‍ෂූ ශ්‍රාවකයෝ සමඟිව සතුටුව කිරි දිය සේ එකතුව ඔවුනොවුන් පි‍්‍රය ඇසින් දකිමින් වාසය කරති. මෙම බුද්ධ ශාසනයෙන් බැහැරව අනික් සමාජයක මේ වගේ පිරිසක මම නොදකිමි. මේ නිසා බුදුරදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, බුදු සව්වන් කෙරෙහි, මගේ ප්‍රසාදයට හේතු වන දෙවන කරුණ වේ.

තථාගතයන් වහන්ස, මා ආරාමයෙන් ආරාමයට, උයනින් උයනට, සැරිසරණ විට, රළුවූ, දුර්වර්ණවූ, නහර ඉළිප්පී ගිය, ඇතැම් මහණ බමුණන් මම දකිමි, ඔවුන්වෙත ගොස් මා විමසු විට, පරපුරින් පැමිණි රෝගයක් නිසා හෝ පහසුව හේතු කොට ගෙන පැවිදි වූ බව කියති. වහන්ස, එවිට මට මෙබඳු සිතක් පහළ වේ. බුදු සව්වෝ උදාරවූ, ඔද වැඩී ගිය ප්‍රියමනාප දර්ශන ප්‍රසාද ඇතිව, භයින් තොරව, අනුන් දුන්දෙයින් යැපෙමින්, නිරාශා සිතින් වසති. මේ ශ්‍රාවක විශේෂතා ගුණය නිසා, අපගේ බුදුරදුන් කෙරෙහි මගේ ප්‍රසාදයට හේතු වන තෙවන කරුණ වන බව පැවසීය.

බුදුරජාණන් වහන්ස, මම මේ රාජ්‍යයෙහි අභිෂේක වූ මහරජ වෙමි, මට නැසිය යුත්තන් නැසීමට, රටින් නෙරපිය යුත්තන් නෙරපීමට, නිර්ධන කළ යුත්තන් නිර්ධන කිරීමට, යන අසීමිත බලයක් තිබේ. එබඳු වූ මා අධිකරණ විනිශ්චයෙහි යෙදී සිටින විට, එහි සිටින අය අතරතුර කථා කරමින් ශබ්ද කරති. බාධා කරති. නමුත් තථාගතයන් වහන්සේ දහම් දෙසන කල්හි, කිවිසුම් ශබ්දයක් හෝ උකැසි (කසින) හඬක් හෝ නැත. එබඳු සවි පිරිසක් මේ බුදු සසුනේ දකිමි.

ස්වාමීනි, පෙරවූ දෙයක් කියමි. බුදුරදුන් විවිධ පිරිස් මැද දහම් දෙසන අවස්ථාවේ දී එක්තරා ශ්‍රාවකයෙක් උකැසි කෙළේය. එවිට බ්‍රහ්මචාරි (එකට බඹසර වසනා භික්‍ෂුවක් තම දණින් ගටා ආයුස්මතුන් වහන්ස, නිශ්ශබ්ද වන්න! අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසයි. ශබ්ද නොකරණ ලෙස හඟවයි. එවිට මට මෙබඳු සිතක් ඇති විය. පුදුමයි, දඬුවමින් තොරව, මේ සව්වෝ මෙසේ මැනැවින් හික්මුණු විනීත වූ පිරිසක්ම වෙති. මේ බුදු සසුනෙන් බැහැර මේ ආකාරයේ හික්මුණු පිිරිසක් නොදකිමි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද, ධර්ම රත්නය, හා ශ්‍රාවක සංඝයා කෙරෙහිද, මගේ මෙසේ පැහැදීමක් වේයැයි තම සිව්වන ප්‍රසාද කරුණද දැක්විය.

බුදුරජාණන් වහන්ස, අනුන් හා වාද කොට ඔවුන්ගේ දෘෂ්ටින් බිඳ හෙළිය හැකි, මහා බුද්ධිමත් ක්‍ෂත්‍රිය පඩිවරු වෙති. ඔවුහු බුදුරදුන් අසවල් ගම් නියගම් සීමාවට වැඩිය බව අසා, ප්‍රශ්න කල් ඇතිව සකස් කරගෙන, මේ මේ ප්‍රශ්න උන්වහන්සේ ඉදිරිපත් කරමුයි, මෙසේ වාද කරමුයි, සූදානම් වී සිටිති. ඒ අය භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹෙත්. උන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වන සේක. මොනවට පහද වන සේක. සතුටු කරණ ලද ඔවුහු තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න නොකරන්නාහ. කවර හෙයින් නම් වාදාරොප කෙරෙත්ද, ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝම වෙති. මේ කරුණෙහි ලා මගේ ප්‍රසාදයක් ඇතැයි පස්වන හේතු කරුණද ප්‍රකාශ කෙළේය.

එමෙන්ම මෙලොව දක්‍ෂ අනුන් හා වාද කළ හැකි ප්‍රඥාවන්ත බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, පඬිවරුද ප්‍රශ්න සකසා ගෙන බුදුරදුන් තමන්ගේ ප්‍රදේශයට වැඩිය කල්හි, උන්වහන්සේ ඉදිරියට ගොස් දහම් අසා පැහැදී කලින් හදා ගෙන සිටිය ප්‍රශ්න නොවිමසා, උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට වෙති. ගිහිගෙයින් නික්ම සසුන් ගතවීමට ඇයද සිටින ඔවුන් පැවිදී වීර්යය වඩා ශ්‍රමණ චරියා ධර්ම සම්පූර්ණ කර ගෙන විශිෂ්ට ඥානයෙන් සත්‍ය අවබෝධ කරගෙන (රහත් වී) පෙර අපි ශ්‍රමණයෝ නොවී ශ්‍රමණයෝ වෙමු, බ්‍රාහමණයෝ නොවී බ්‍රාහ්මණයෝ වෙමු. රහත් නොවී රහත් වූවෙමුයි, ප්‍රකාශ කෙළෙමු. දැන්වූ කල්හි සත්‍යාවබෝධයෙන් සැබෑ ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ, රහත්හු වම්හ. යන ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධයෙන් දැන ගතිමු, යන සත්‍යවු තත්වයට පත්වෙති. මේ සුවිශේෂ ලක්‍ෂණ නිසා බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි මගේ විශේෂ පැහැදීමක් ඇතැයි සය වන ප්‍රසාද කරුණ හෙළි කෙළේය.

බුදුරජාණන් වහන්ස, ඉසිදත්ත, පුරාණ, යන නම් ඇති වඩුවන් දෙදෙනෙකු මා සතුව සිටිනවා. ඔවුන් ජීවත් වන්නේ මගේ උපකාරයෙනි, එසේ වුවද භාග්‍යවතුන් වහන්සේට මෙන් මා කෙරෙහි ගෞරවාකාර නොකරති. වහන්ස, පෙර සිදුවූ දෙයක් කියමි. එක්කලක මා සේනාව රැගෙන යුද්ධයකට ගොස් සිටිය අවස්ථාවක දුෂ්කර රැයක් ගත කරණ වෙලාවක මේ වඩුවන් දෙදෙනා රැය බොහෝ වේලාවක් දැහැමි කථාවෙන් කල්ගෙවා, භාග්‍යවතුන් වහන්සේගේ දිසාවට හිස යොමු කොට, මා සිටින පැත්තට දෙපා දමා, නිදා ගන්නා දුටුවා, එවිට මට මෙබඳු සිතක් පහළ වුණා. බුද්ධ මහිමය පුදුමයි. අසිරිමත්ය. මොවුන් දෙදෙනා මගේ පිහිටාධාරයෙන් ජීවත් වුණත්, බුදුරදුන් කෙරෙහි දක්වන ගරුසැලකිලි මා වෙත නොකරති. මේ දෙදෙනා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උදාරවූ විශිෂ්ටත්වයකට පත්ව, එහි විශේෂත්වයක් දකිත්මය, යන මෙබඳු සිතක් ඇතිවිය. ස්වාමීනි, භගවත්හු සම්මා සම්බුද්ධ වෙති. භගවත්හු විසින් ධර්මය මොනවට දෙසන ලදහ. ශ්‍රාවක සංඝයා මනා ප්‍රතිපත්තිවලින් යුක්තය, යන මේ විශේෂ පැහැදීමක් ඇතැයි යනුවෙන් තම සත් වන ප්‍රසාද හේතුව දක්වා සිටියේය.

අනතුරුව රජතුමා භාග්‍යවතුන් වහන්සේද ක්‍ෂත්‍රියහ. මමද ක්‍ෂත්‍රිය වම්හ. භාග්‍යවතුන් වහන්සේද අසූවයස් වෙති. මමද අසූවයස් ඇතියෙමි. යන මෙම කරුණු වලින්ද ඔබවහන්සේ මගේ පරම ගෞරවෝපහාර දක්වන්නටත් සුදුසු වන බව ප්‍රකාශ කරමින් තම අතිශය භක්ත්‍යාදරයත්, තමන් හා බුදුරදුන් අතර ඇති සමීප බවත්, ප්‍රකාශ කෙළේය. ඉක්බිතිව පසේනදී කොසොල් රජතුමා,ලෞකික කටයුතුවල නිරතව, ගිහි ජීවිත ගත කරණ තමන්ට, බොහෝ වැඩ රාජකාර්යයන් කිරීමට තිබෙන බව කියමින්, බුදුරදුන්ට වැද නමස්කාර කොට පිටව ගියේය.

ඉන් පසු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා අමතා, පින්වත් භික්‍ෂූන් වහන්ස, මේ පසේනදී කොසොල් රජතුමා, ධර්ම චෛත්‍යයන් (ත්‍රිවිධ රත්නයේ වටිනාකම ) කියා නික්ම ගියා, පින්වත් භික්‍ෂූන් වහන්ස, ධර්ම චෛත්‍යයන් ඉගෙන ගන්න, මේවා පුහුණු කර ගන්න, සිතෙහි ධරා (මතක තබා ) ගන්න, ධර්ම චෛත්‍යයන් අර්ථ සහිතය. උතුම් බඹසර සඳහා ප්‍රයෝජනවත් යයි වදාළ සේක.

මෙම ධම්ම ‍ෙචිතිය සූත්‍රය ගිහි පැවිදි සැමටම එකසේ වැඩදායකය. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ගුණයන් කීපයක් මෙයින් මොනවට පැහැදිලි වන බැවින්, මෙහි සඳහන් වන එම කරුණු අප සැම හදාරා ප්‍රගුණ කරගෙන, ඒ අනුව දෙලොව වැඩ සදා ගැනීමට උත්සාහ කරමු,

ඉතාලියේ බ්‍රෙෂියා ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික ධර්මායතනාධිපති
එළුවාපොළ පඤ්ඤාරතන හිමි