New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Y3Xcc3
ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි – ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි (කෝසල බිම්බ වර්ණනාව අනුසාරයෙන් උපුටා ගැනීමකි)

ලෝකයේ මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක.

ග්‍රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ බුදු රුවේ සිවුර පෙරවලා තිබෙන ආකාරය නිරීක්ෂණය කරද්දී.

ඒ කොහොම වුණත් සාහිත්‍ය මූලාශ්‍ර පිරික්සද්දී ඊටත් වඩා පැරණි ඉතිහාසයක් බුද්ධ ප්‍රතිමාවට හිමිවෙන බව පේනවා. මේ නිගමනයට එන්න පාදක වෙන සාහිත්‍ය මූලාශ්‍ර දෙකක් වෙන්නේ සංචාරක භික්ෂූන් ලෙසට ප්‍රකට පාහියන් සහ හියුං සියෑංගේ සංචාරක වාර්තාවන්.

ඒ වාර්තා දෙකේම දක්වන විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස් කාලයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්ම පිටකය දේශනා කරන්නට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා වස් තුන් මාසයම දිව්‍ය ලෝකයේ ගත කරද්දී බුදුන් වහන්සේ නොදැක සංවේගයට පත්වෙන රජතුමෙක් බුදු පිළිමයක් නිර්මාණය කරනවා.

පාහියන්ගේ වාර්තාවට අනුව ඒ රජතුමා කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා. හියුං සියෑංගේ වාර්තාවට අනුව ඒ රජතුමා වත්ස්‍ය ජනපදයේ අධිපතියා වුණු උදයන රජතුමා.

මේ කතා පුවත් දෙකෙන් පසේනදී කෝසල රජතුමා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවපු ආකාරය පිළිබඳව තවත් සාහිත්‍ය මූලාශ්‍ර දෙකකම සඳහන් වෙන නිසා ඒ පැත්තට වැඩි බරක් ලැබෙනවා. හැබැයි ඒ සාහිත්‍ය මූලාශ්‍ර දෙකේ කතාව පාහියන්ගේ කතාවට වඩා වෙනස්.

මේ සාහිත්‍ය මූලාශ්‍ර දෙක තමා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිතව තිඛෙන පඤ්ඤාස ජාතක නමින් හැඳින්වෙන පන්සිය පනස් ජාතකවලට අමතරව තිබෙන ජාතක කතා පනහෙන් 37 වැනි ජාතක කතාව වෙන වට්ටාංගුලි රාජ ජාතකය සහ තවමත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා නේත්‍රා පිහිටවන්න කලින් ගායනා කරන කෝසල බිම්බ වර්ණනාව.

ඒ කතා දෙකේ සම්මිශ්‍රණය කියන්න තමා මේ සූදානම.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.

ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා.

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව “සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ” කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා “ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති” කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා.

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

මේ ආකාරයේ ආමිෂ පූජාවන්ගෙන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසිලා අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

🌼 කෝසල බිම්බ වර්ණනාව සිංහලෙන් කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
https://ift.tt/2OhmBKY

🌼 පාලියෙන් කෝසල බිම්බ වර්ණනාව කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
https://ift.tt/2XZgz66

උපුටා ගත්තේ මහාචාර්ය යූ.ඩී. ජයසේකර අභිනන්දන සමරු කලාපයට මහාචාර්ය තිස්ස කාරියවසම් ලියපු කෝසල බිම්බ වණ්ණනා සහ කෝසල බිම්බ වර්ණනාව හෙවත් කොසොල් බුදු පිළිමයේ කතාව ලිපියෙන්

https://ift.tt/2Oj7u3x