New at Little Bit


from Path to Nirvana https://ift.tt/2GxNlk2
වැඩ කටයුතු බහුල කරගන්න එක කරදරයි. හිස් කථාවෙන් කල්ගෙවන මිනිසුන්ගෙන් වෙන් වෙන එකයි හොඳ. සිවුපසය පිණිස උත්සහ කළ යුතු නෑ. රසට ගිජුවෙලා සිවුපසයට උත්සහ කළොත් ඒ භික්ෂුවට නම් ලෝකෝත්තර සැප ලබන්ට පුළුවන් වන්නේ නෑ.

ඇත්තෙන්ම බුද්ධිමතුන් සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් දැක්කේ මඩ වගුරක් වගේ. මේ ලාභ සත්කාරයට ඇලීම කියන්නෙ උදුරා දමන්ට දුෂ්කර සියුම් උලක්. හැබැයි අසත්පුරුෂයා නම් අතහරින්නෙ නැත්තෙත් ලාභ සත්කාර ම යි.

“පව්” කියන ජාතිය අනුන් ලවා වත් කළ යුතු නෑ. තමන් කළ යුතුත් නෑ. මං එහෙම කියන්නෙ මේ සත්වයන් ඥාතියා කරගෙන ඉන්නෙ කර්මය නිසා.

තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් වන්නේ නෑ. ඒ වගේම තවත් කෙනෙකුගේ වචනයකින් තවත් කෙනෙක් මුනිවරයෙක් වන්නේ නෑ. තමන් ගැන තමන් දන්න පරිද්දෙන්ම දෙවියොත් එයා ගැන දන්නවා.

අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මෝඩයා හිතන්නේ නෑ. තමනුත් මැරෙන බව හිතනවා නම් මේ කල කෝලහල ඔක්කොම සන්සිඳෙනවා.

බුද්ධිමත් කෙනා දේපල වස්තුවෙන්. පිරිහිලා ගියත් එයා ඇත්තෙන්ම ජීවත් වෙනවා. එහෙත් දේපල වස්තුව කොච්චර තිබුනත් බුද්ධිය ලබාගෙන නැත්නම් එයා ගත කරන්නේ ජීවිතයක් නෙමෙයි.

හැම දෙයක්ම කණින් ඇහුවත්, හැම දෙයක්ම ඇහෙන් දැක්කත්, දකින අසන ඔක්කොම දේවල් අතහරින්න හෝ ගන්නට බුද්ධිමත් කෙනා ලෑස්ති නෑ.

ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරියේ එයාට ඇස් තිබුනත් අන්ධයෙක් වගෙයි. නොඇසිය යුතු දේ ඉදිරියේ එයාට කණ් තිබුනත් බිහිරෙක් වගෙයි. නොදැනගත යුතු දේ ඉදිරියේ එයාට නුවණ තිබුනත් මෝඩයෙක් වගෙයි. නොකළ යුතු දේ ඉදිරියේ එයා බලවතෙක් වුණත් මෝඩයෙක් වගෙයි. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඉන්නේ ඇඳක දාපු මළ කඳක් වගෙයි.

මේ වනාහී ආයුෂ්මත් මහාකච්චායන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්.