New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KKURdK
නිකායාන්තරික බුදු සමය

“පෙර ලක්දිව අශ්‍රැතවත් භික්ෂුන් නිසා ප්‍රතිපත්ති කෙලෙසීමෙන් උපසම්පදාව නැති වූ කළ වැලිවිට සරණකංර මහා නා හිමි සියමෙන් පිරිසිදු උපසම්දාව ගෙන්වූවේ ය. එයින් නැවත ප‍්‍රභව වූ ලක්දිව බුද්ධ ශාසණය ඒ වන විට මෙසේ සම්ප‍්‍රදායන් ගේ බිඳීමක් දක්නට තිබ්බේ නැත. නමුත් කල් යන විට ශාසණය තුළ පහල වූ අශ‍්‍රැතවත් භික්ෂූහු නැවතත් ශාසණයේ ප‍්‍රතිපත්ති කෙලෙසන්නට පටන් ගත්හ. ඔවහු ක‍්‍රමයෙන් පාත‍්‍රය අත් හැරියේ ය. උභයාංශ පාරුපනය (දෙවුර වැසීම) අත් හැරියේ ය. මේ ලෙස ක්‍රමයෙන් පැවිදි පිළිවෙත් අත්හරිමින් ගොස් අවසානයේ උපසම්පදා කරන සීමාව ද සංකර තත්වයකට ගෙනාවේ ය.

එයින් ලැබෙන උපසම්පදාව අපිරිසිදු බව දැන ගත් පසුකාලීන ධර්මධර, විනයධර ශාසණ ලැදි භික්ෂූහු එම උපසම්පදාවන් වලට සාධුකාර නොදී නිහඬව නො සිට එය ප‍්‍රතික්ෂේප කොට නැවත බුරුම රටට වැඩම කර පිරිසිදු උපසම්පදාවක් ගෙන ආවේ ය. ඒ අමරපුර පෙදෙසිනි. එය අමරපුර සම්ප‍්‍රදායෙන් සිදු වූවක් නිසා එය සියමෙන් (එකළ සිදුවූ සංකර අපිරිසිදු උපසම්පදාවෙන්) බෙදා වෙන්කර පෙන්වන්නට අමරපුර භික්ෂූහු යැයි ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ය. පසු කාලීනව අමරපුර නිකායටත් පෙර කී සියම් උපසම්පදාවට උරුම වූ අභාග්‍යය බලපෑවේ ය. එයින් කළකිරුණු තවත් එක් භික්ෂුවක් රාමඤ්ඤ දේශයට ගොස් ගෙනා උපසම්පදාවේ උපසම්පදාව රාමඤ්ඤ උපසම්පදාව විය. මෙසේ මෙය කාලයේ අවෑමෙන් සම්ප‍්‍රදාය තුනක් බවට පත් විය. අදටත් රාමඤ්ඤ නිකාය කොටස් වලට බෙදී නැත. එයින් ගම්‍ය වන්නේ තවමත් ඒ නිකාය තුළ මත භේදයක් නැති බව ය. නමුත් අනික් නිකායන් ඒ ඒ තුළ ඇති වූ මත භේදයන් මැඩ ගැනීමට නොහැකිව විවිධ පාර්ශව වලට කාලානුරූපීව බෙදී ගිය හ.

මෙහිලා මට කියන්නට දෙයක් ඇත. මා නම් මේ සම්ප‍්‍රදායන්ගේ වෙන් වීමට කැමැති ය. ඒ පිරිසිදු උපසම්පදාව ලැබීමට තාමත් එයින් අවකාශ තියෙන බැවිනි. රාමඤ්ඤ නිකායේ උපසම්පදාව ගැන පමණක් මා දනිමි. එහි පරිස සම්පත්තිය හෙවත් විනය කර්මයේ ගණ පූරණය කරවන්නේ කලින් පාරාජිකාදී චෝදනා නැති භික්ෂූහු පමණි. කර්ම වාක්‍ය කීමට පෙර කර්ම වාක්‍ය වලට වෙනම පුහුණුවක් මොන තරම් ශ‍්‍රැතධර වූ භික්ෂූවක් උදෙසා වූවත් තාමත් නිකායෙන් ලබා දෙති. එවිට දන්තජ මූර්ධජ වරදවා නොකියා කර්ම වාක්‍ය අකෝප්‍ය නොකර නිවැරදිව සජඣායනා කරති. දැන් දැන් මෙසේ මුහු කිරීමෙන් ඒ සම්ප‍්‍රදායන් වලට හානි වේවිදැ යි මා හට සැකයක් ඇති වේ. සමහර සීමා සංකර ය. සමහර සම්ප්‍රදායන්හි සීමා වල අත්පසයක් නැත. ඡන්දය නැත. රාමඤ්ඤ නිකාය උදකුක්ඛේප සීමාවෙහි පමණක් උපසම්පදාවන් දැනටත් සිදු කරති. එය නිකායෙහි කතිකාවතේ ඇති ප්‍රතිපත්තියකි. දැනට මා එහි අඩුවක් දැක නැත. ප‍්‍රවේසමෙන් විනය කර්මය සිදු කරති. පාරුපනය, පාත‍්‍රය, තල් අත්ත පවා තවමත් පරිහරණය කරති. එනිසා මේ සම්ප්‍රදායන්ගේ මුහු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ යාලූ මිත‍්‍රකම් නිසා, උරණ විය නොහැකි නිසා, විරුද්ධ විය නොහැකි නිසා සමහරෙක් සංකර බද්ධ සීමා වලද උපසම්පදාව සිදු කිරීමට නොවෙද ? මේ ගැන නැවත සිතිය යුත්තක් ඇත. මා බොහෝම පොඩි අයෙකි. ශාසණයේ ළදැරුවෙකි. නමුත් මේ මට වැටහෙන අනාගත ව්‍යසනයකි. මා පුද්ගලිකව මේ සම්ප‍්‍රදායන්ගේ බෙදී යෑමට කැමැති ය. ඉදින් රාමඤ්ඤ නිකායත් සංකර වූවොත් අනාගතයේ තවත් සම්ප‍්‍රදායක් පිරිසිදුව බිහි විය යුතු ය. සංකර සීමා වල, පිරිස් වල ලැබෙන උපසම්පදාවක් නැති බැවිනි. නුවණින් තේරුම් ගනිත්වා.. ඒ ඒ සම්ප්‍රදායන් තනිව ඒවා කිරීමම වටින බව මා සිතන්නෙ එබැවිනි.. මා අනිත් නිකායන් ගැන දන්නැති නිසා ඒවාගේ ඇතුල කියන්නට මා පොහොසත් නැත.. දන්න එක ගැන පමණක් ලීවේ එබැවිනි.. තෙරුවන් සරණයි”

මේ ඉහත ඇත්තේ මා විසින් මේ ලිපියේ අවසානයේ ලියා ඇති ඡේදයයි.. මේ ඡේදය මෙසේ ලියන්නට හේතු වූ කාරණා ක්‍රමයෙන් මෙලෙස දිගහරිමි..

නිකායන්ගේ බෙදී යෑම යනු වර්ථමානයේ ලංකාව තුළ බොහෝ කථා බහට ලක්වන මාතෘකාවකි. නමුත් මේ පිළිබඳව කථා කරන බොහෝ දෙනෙක් මෙහි ඇතුලාන්තය නො දැක “අනේ සංඝයා බෙදී ඉන්න හොඳ නැතැ ය. එකතු වනවා නම් කොතරම් හොඳදැ” යි සිතමින් මේවාට සාධුකාර දෙති. සංඝයා එකට එකතු වනවානම් අප ද ඉතා කැමැති ය. නමුත් මෙහි ඔබ නොදකින භයානක පැත්තක් ඇත. ඒ නොදකින පැතිකඩ පිළිබඳව මෙහි අප ලියා තැබීමට කල්පනා කළෙමු. එවිට මේ ගැටලූව පිළිබඳව ඔබට ඔබේ පැත්තෙන්ම සත්‍යයට අනුව තීරණයකට ආ හැකි ය. මේ ලිපිය අපේ කැමැත්තක් හෝ අකමැත්තක් පෙන්වන්නට ලියන ලිපියක් නොවන බව සිහි තබා ගත යුතු අතර හුදු ශාසණ ඉතිහාසය පිරික්සා බලා කළ කරුණු ගොනු කිරීමක් පමණක් වන බවත් මෙත් සිතින් සිහිපත් කරමින්ම ලිපිය ලිවීමට අරඹමි. ඒ අනුව තීරණයකට ඒම ඔබ සතුව ඇති කාරණයකි. අප හුදු කාරණාව පමණක් ලියමි. මෙය තරමක් දීර්ඝ ලිපියකි. නමුත් කියවා ගතහොත් දැනුම් සම්භාරයක් ගත හැකි බව කියන්නේ මේ එක පොතකින් දෙකකින් උකහා ගත් කරුණු නොවන බැවිනි. මේ සකවාදී මෙන් ම පරවාදීන්ගේ ද පොත් පත් රාශියකගේ අධ්‍යනයෙන් බැස ගත් නිගමන ය. මේවා සියලූ බෞද්ධයෝ දත යුතුයැ යි කරුණාවෙන් මිස පණ්ඩිතකමක් පෙන්වන්නට නොලියන බවත් සිහිපත් කිරීමට කැමැති ය.

ඒ අනුව අපේ මාතෘකාව වන්නේ නිකායන්තරික බුදු සමයයි. නැතිනම් නිකායන්ගේ බෙදී යෑම සහ එහි ඇතුලත ගැබ් වූ පැතිකඩ පිළිබඳව සාකච්ඡා කිරීමයි.

නිකායාන්තරික බුදු සමය නැතිනම් විවිධ නිකායන්ට බෙදුණු බුද්ධ දර්ශණයේ ඇතුළත පැතිකඩ පිළිබදව කථා කරන විට යමෙකුට මෙය, භික්‍ෂු සංස්ථාව ආබද්ධ කොට ඇති යම් යම් කොට්ඨාස තුළ ඇති ඔවුන්ගේ සංස්කෘතික හෝ ආගමික විශ්වාසයන් හෝ හැඩතලයන් පිළිබඳව කරන සටහනක් බව සිතෙන්නට හැක.

නමුත් නිකායාන්තර බුදු සමය පිළිබඳව හදාරන විට එය, විවිධ ආගමික හා සමාජීය සන්දර්භයන් තුල ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල අධිකාර්ථ ඉස්මතු කරන්නක් බව, මුල් බුදු සමයම සුරැකීමට පහළ වූවක් බව සියුම්ව බුදු සමයේ ඉතිහාසය හදාරන විට දැක ගත හැකිය. ඊට පෙන්විය හැකි විශිෂ්ඨම නිදසුන කථාවත්ථූපකරණය යි. භාග්‍යවතුන් වහන්සේ තැබු නය මත පිහිටා පසු කලෙක මොග්ගල්ලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් මෙම ප‍්‍රකරණය සම්පූර්ණ කළේ ප‍්‍රතිවාද මත දුරු කර මුල් බුදු සමයට ආලෝකය දීමටයි. කථාවත්ථූපකරණයෙන් සිදු වූයේ තරහකාරයන් බිහි කරගැනීමක් නොව, තථාගත වචනයම සුරක්ෂිත කිරීමයි.

තවත් අත්ථසාලිනි නම් වු අභිධර්ම අටුවාව, සමන්තපාසාදිකා නම් වු විනය අටුවාව මෙන්ම අනිකුත් අර්ථකථාවන්ද කියවා බලන විට එහි සඳහන් සමහර විනිශ්චයන් සෘජුවම සටහන් විමට එකල බල පෑ මතභේද පදනම් වී ඇති ආකාරය මැනවින් දක්නට හැකිය. ඊට නිදසුනක් වශයෙන් අදත්තාදාන පාරාජිකාව පිළිබද වු ස්ථාන විනිශ්චය දැක්විමට හැක. එහි උපචාර පිළිබද වු මත භේද දෙකක් හේතු කොට නිවැරදි විනිශ්චයම ඉස්මතුව ආ සැටි පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව ප‍්‍රකාශයක් කළ කල්කටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බි.එම් බරුවා මහතා ‘මෙසේ නොයෙක් මතභේද සහ නිකාය පහළවීම පිරිහිමේ නොව දියුණුවේ ලක්ෂණයකි. බුද්ධාගම එකම මනස් ස්වභාවයක පල් නොවි මරණයට කැප නොවී, නව ජිවයකින් හා දියුණු තියුණු ධෛර්යයෙන් යුතුව නිවැරදි වෙමින් පැතිර යාමේ ලකුණක් බව පෙනේ’ යැයි කීවේ ද ඉහත කී පදනම මත පිහිටා විය යුතුය. ඉදිරි යුග වලදි (මුල් බුදු සමයෙන් පසු) ඇති වු අතිශය සංකීර්ණ ආගමික වෙනස් විම් ඉදිරියේ මුල් බුදු සමය වෙනස් නොවී සුරැකිව ආ සැටි බලන විට ඒ සඳහා ඕනැවටත් වඩා නිදසුන් ඉතිහාසය විසින් ම සපයා ඇති බව දක්නට ඇත.

එසේ බලන කල නිකායාන්තරික බුදු සමය, පසු කාලීනව පන්සල තුල තිබු සංස්කෘතික ආරාමික අධ්‍යාපනය තුලින් භික්‍ෂූන් වහන්සේ ඇද දමා මුලික බුදු දහම පිළිබඳව නැවත සිතීමට මෙන් ම ඒ පිළිබඳව අර්ථකතන කිරිමට අවශ්‍ය දැනුමින් භික්ෂුව පෝෂණය කර ඇති බව දක්නට ඇත. පරවාදි මත බිඳ සකවාදය ඉස්මතු කිරිමටත්, සමස්ථයක් ලෙස ගත් විට මිථ්‍යා දෘෂ්ඨික ඉන්දියානු සමාජය තුළ මුලික බුදු දහම කෙරෙහි පැවති මතවාද, අර්ථවිග‍්‍රහ හේතු කොට ගෙන ඊට ප‍්‍රතිචාර දීමට ආරාමය විශ්වවිද්‍යාලයක් බවට පත් වි ඇති ආකාරයත් ඒ තුලින් පරිපුර්ණ දැනුමින් පෝෂණය වු ථෙරවාදි භික්‍ෂුන් වහන්සේලා බිහි වූ සැටිත් දක්නට ලැබේ. එවැනි මහ තෙරුන් වහන්සේලා විසින් අවස්ථානූකූලව අටුවා, ටීකා, ගැටපද, සන්න, පරිවාර ග‍්‍රන්ථ ආදිය ලියා තබමින් ථෙරවාදය තර කල සැටි අපට අදටත් දක්නට ලැබේ. ඒ මේ නිකායන් බෙදී යාම නිසා, විවිධ මත ඉදිරිපත් වූ නිසා ඇති වූ ප‍්‍රතිඵලයකි. සියුම්ව ශාසන ඉතිහාසය සොයා බලන විට මේ බව දක්නට ලැබේ. නාලන්දා විශ්ව විද්‍යාලයන්ගේ තොරතුරු සොයා බලන විට මේ සඳහා ප‍්‍රමාණ කළ නොහැකි තරම් නිදර්ශන දක්නට ලැබේ.

මේ සියල්ලම පිඬු කළ විට නිකායාන්තර බුදු සමය යනු පරවාදයන්ගෙන් වෙන් ව මුල් බුදු සමය ඉස්මතු කරන, ථෙරවාදය පිරිසිදු කරන මාතෘකාවක් බවට සාධක සපයා ගත හැකි ය.

තවත් එක් කරුණකි. මේ මාතෘකාව පිළිබඳව කතා කරන විට කෙනෙකුට මෙසේ නිකායන්ගේ බෙදී යෑම ථේරවාදය සංකර කිරිම පිණිස නො පවතින්නේ දැයි සිතිය හැක. පසු කාලීනව බෙදී ගිය අනික් සියලූ ගුරු කුල පිළිබදව කථා කරන විට එහි මව වූ පියා වූ ථෙරවාදය හෙවත් මුල් බුදු සමයම හෙලි පෙහෙලි වන සැටි, එයටම ආලෝකයක් වැටෙන සැටි ඉහත කී සුළු උදාහරණ වලින් වුව ද කෙනෙකුට අවබෝධ කර ගත හැක.

මෙකල සැටියට ථේරවාදියෙකුට තමන් සතු පිරිසිදු දහම පිළිබඳ තීක්‍ෂණ අවබෝධයකට පත් වීමට සමයාන්තර බුදු දහම ගැන අවබෝධයක් තිබීම අතිශයින්ම වැදගත් ය. අද වන විට ති‍්‍රපිටකයේ යම් යම් කොටස් අබුද්ධ දේශිත යැයි ප‍්‍රතික්‍ෂේප කරන්නේ ද මේ විෂය පිළිබඳව ඇති අවබෝධයේ මදිකම නිසා ය. ඔවුන්ගේ ආකල්ප පසු කාලීන ගුරු කුල විසින් වෙනස් කර ඇති බවවත් ඔවුන් නො දන්නේ මේ නො දැනුවත් භාවය නිසාය. එනිසා සමයාන්තර බුදු සමයේ ඇති වූ ආකල්පමය වෙනස් වීම් සහා ඒවා බෙදී යෑමට හේතු සියලූ ධර්ම රුචියෝ දැනගැනීම ඉතා වටින බව මා පුද්ගලිකව සිතමි. භාග්‍යවතුන් වහන්සේ වූවත් බ‍්‍රහ්මජාලය දේශණා කොට වදාළේ අන් ආගම් වලට නිග‍්‍රහ කිරීමට නොව, ඒ දෘෂ්ඨි වල නොපැටලී නිවැරදි බුදු සමයම ස්පර්ශ වීම පිණිස ය. එලෙස විවධ සිරිත් විරිත් වලින් සංකර වූ දර්ශණය නිසා සැක උපදවන්නෝ මූලාශ‍්‍ර අධ්‍යනයෙන් නිවැරදිම තැන ස්පර්ශ කරන බව අපට දැනී ඇත. මේ සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් පෙර සිහිපත් කළ පාරුපනනය යන ධර්ම ග‍්‍රන්ථය පෙන්විය හැක. චීවරය ඒකාංශ කළ යුතු ද නැති ද යන සංකර මතය ගෙන සකාරණිකව පැහැදිලි ථේරවාදී මතය උලූප්පා ඇති බව ඒ ග‍්‍රන්ථයෙහි මනාව දක්නට ඇත.

මූලිකව මුල් බුදු සමය ඇසුරු කර ගෙන එ්කීය වශයෙන් තිබු භික්‍ෂු සංස්ථාව පළමුකොට නිකාය වශයෙන් 02 ක් බවට බෙදි යන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බව පෙනී යයි. දෙවන ධර්ම සංගායනාවෙන් පටන් ගත් මේ බිඳී යෑම තුන්වන ධර්ම සංගායනාව වන විට නිකාය ගණනාවකට බෙදී ගොස් ඇති බව දක්නට ලැබේ. පහත සංක්‍ෂිප්තව කාල වකවානු සමග ඒ බෙදී ගිය නිකායන් පිළිබඳව සටහන් කරමි.

x පුග්ගලවාද
x ධමිමුත්තරීය
x භද්‍රයානික
x සම්මීතිය
x ඡුණ්ණාගාරික
x සර්වස්තිවාද
x මහිංසාසක
x ධමිමගුත්තික
x කාශ්‍යපීය
x සෞත‍්‍රාත්තික
x ගෝකුලික
x බහුස්සුතීය
x චෙතියවාද
x පඤ්ඤත්තිවාද
x ඒකබිබෝහාරික
x ලෝකෝත්තරවාද

(සර්වස්තිවාදින් ටික කලක් ගත වන විට කාශ්මීර, ගාන්ධාර වශයෙන් බෙදී ගොස් තිබුනත් කාශ්මීර රජුගේ සංගීතයෙන් පසු මූල සර්වස්තිවාදී නමින් නැවත එකතු වූ බව කියයි)

බුදු සමයේ නිකාය බෙදි යෑම පිළිබඳව කතා කරන විට ඒ පිළිබඳව මුලින්ම දක්නට ලැබෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව සිදු වූ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බෙදි ගිය මහා සාංඝික යන නිකාය පිළිබඳව ය. මේ වන විට විශාලාවේ පාලකයාව සිට ඇත්තෙ කාලාශෝක රජු ය. මොහු කි‍්‍ර.පූ 393 දී රජ වූ බව කියයි. මොහුගේ දසවර්ෂාභිශේකය වන විට බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 100ක් වී ඇතැයි යැයි බෞද්ධ ඉතිහාසය තුළ පෙනෙයි. ඊට අනුරූපව මොහු රජ බවට පත් විය යුත්තේ කි‍්‍ර.පූ 453 දි පමණ විය යුතුය. නැත්තම් වසර 60 ක පමණ වෙනසක් එහි දක්නට ලැබේ.

මෙහි කිව යුතු තවත් විශේෂ කරුණකි. මේ නිකාය බෙදී යෑමේ හේතුව සලකා බලන කළ දෙවන සංගායනාවෙන් ප‍්‍රතික්ෂේප වී පිටමන් වූ වජ්ජිපුත්තික භික්‍ෂු තමන්ගේ 10000ක් පමන වූ සෙනගද රැගෙන ගොස් ප‍්‍රාදේශිය පාලකයෙකුගේ උපකාර මත තමන්ට අවනත 1000ක් වූ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත මහා සම්මේලනයක් පවත්වා තමන්ගේ අභ‍්‍රිපායානුකූලව වෙනම ම අර්ථකතා උපදවා ‘මහා සාංඝික’ යන ආචාර්යවාදය ඇරඹූ බව පෙනේ. ථෙරවාදයේ (මහාකස්සපාදී ථෙරානං වාදො ථෙරවාදෝ) 700 ක් භික්ෂු සංගායනාව පවත්වන විට මොවුන්ගේ සඟ පිරිස 1000ක් විය. එහෙයින් මහා සාංඝික නම් විය. ඔවුන් ධර්මය පිළිබද වු තීරණ සම්මත කිරීමේ දී ධර්මානුකූල බව පසෙකලා වැඩි ඡන්ද ක‍්‍රමය අනුව තීරණ ගෙන ඇති බව කියා තිබේ. ඔවුනතර පරියප්තිය පුරුදු කළ එකදු භික්ෂුවක් වත් නො සිටි බැවින් ධර්ම සංගායනා කරන විට පරිවාර, පටිසමිභිදා, නිද්දෙසාදී බොහෝ ධර්මයන් ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. එනිසාම ඔවුන්ට ස්ථීර ධර්ම-විනය පදනමක් නො තිබූ අතර විවිධ මතදාරින්ගෙන් ඔවුන් සමන්විත වන්නට ඇත. මේ හේතු නිසාම ඔවුන්ගේ ආකල්ප ඉතා නම්‍යශීලි භාවයෙන් යුක්ත වු අතර ස්ථීර සම්ප‍්‍රදායක් තුල එල්බගෙන සිටීමේ වුවමණාවක් ඔවුනට නොවු බැවින් ඔවුන් වෙත විශාල ජනකායක් එකතු වූ බව ද දක්නට ඇත. එකල විශාල පිරිසක් මොවුන් සමීපයේ පැවිදි වන්නට ඇත. මෙලෙස ශාසනයේ ප‍්‍රථම නිකාය භේදය සිදු වූයේ දෙවන ධර්ම සංගායාවෙන් පිටමං වු වජ්ජිපුත්තක භික්ෂුන් නිසා බව දක්නට ඇත.

නමුත් මෙහිදි සිහි තබා ගත යුතු තවත් කරුණක් තිබේ. මෙම නව සංගායනාව ඇති වූයේ මහා සාංඝිකයන්ගේ ප‍්‍රභවය ඇති කරමින් බව පිළිගත් පොදු මතය වී තිබේ. නමුත් මහා සාංඝික නිකායේ විනය ග‍්‍රන්ථයෙහි එලෙස දැක්වෙන අදහසක් නැත. දසවස්තුවේ විනය විරෝධි බව පිළිගනිමින් ඔවුහු ද වජ්ජිපුත්තක භික්‍ෂුන්ට ගර්හා කරති.

එහි තේරුම මහා සාංඝිකයන් ථෙරවාදී සංගායනාව අකුරටම අනුමත කළ බවයි. ඒ අනුව මේ නිකාය බෙදී යෑම සංගායනාව නිසා ඇති නොවුණා විය යුතු ය. නමුත් නිසැකවම සංගායනාවෙන් පසු ධර්මාශෝක සමයට පෙර නිකාය භින්න භාවයට පත් වී තිබේ. ඒ පිළිබඳව නිවරදි දිනයක් කීමට අපහසු ය. නමුත් භාව්‍ය හෙවත් භාවවිවෙක වාර්ථා කර ඇති සම්මිතිය නිකායික ඉතිහාසයේ හා ටිබෙටි ඉතිහාස වාර්ථා වලට අනුව එය කි‍්‍ර.පූ 349 දී විසු නන්ද හා මහා පද්ම යන රජ වරුන්ගේ රාජ්‍ය කාලයේ සිදු වී ඇති බවට උපකල්පනය කළ හැකි ය.
මෙය පද්මනන්ද රජු ගේ නම වරදවා නො ගැනීමක් නම් මේ ඉහත කී රජ වරුන්ගේ ආරක්ෂාවරණ යටතේ නාම මාත‍්‍රිකව රජ කළ කාලාශෝකගේ පුත‍්‍රයෙකු විය යුතු ය. මේ යුගයෙදී රහතන් වහන්සේගේ තත්වය පිළිබද අදහස් 05 ක් ඉදිරිපත් කළ භික්ෂුවක් ගැන කිය වේ. මොහුගේ නම ‘භද්‍ර’ බව සම්මිතීය වාර්ථා කියන අතර අනිත් මූලාශ‍්‍ර ඔහු හදුන්වන්නේ ‘මහා දේව’ යනුවෙනි. මොහු රහතන් වහන්සේට කාමය, අවිද්‍යාව, විචිකිිචිචාව සහ යම් යම් දේ අනුන්ගෙන් ඉගෙන ගැනිමට හැකි බව මෙන්ම ‘අහෝ සැපයි’ කියමින් අවබෝධයට පත් විය හැකි බව යන කරුණු 05 ඉදිරිපත් කළේ ය.

පාටලීපුත‍්‍රයෙහි රජුගේ ආධාර ඇතිව පැවති මෙම සමුලූවේදී ඊට ඡුන්දය දුන් පිරිස මහා සාංඝික නම් වූ බවත් සුලූ පිරිස (අකමැති) වු ථේරවාදි වූ බවත් පැවසේ. නමුත් ථේරවාදී වාර්ථා වලට අනුව බලන විට මෙම පඤ්ච වස්තුව ඉදිරිපත් වී ඇත්තේ සංගායනාව නිමාවට පත් කළ සැණින් ය. මෙය විශ්වාස සහගත ය. ඊට හේතුව දස වස්තුව නිසා ප‍්‍රතික්ශේප වූ භික්‍ෂූහු මහා තෙරවරුන් කෙරෙහි (රහතුන් කෙරෙහි* තිබු කේන්තිය නිසා රහතන් වහන්සෙගේ අධිකාරිය බිඳ හෙලීමට දැරු මතයක් විය හැකි බව සිතා ගත හැක. අන් අතට මහා සාංඝිකයන් ගේ පසු කාලීන සාමාජිකායකු දසවස්තුව පිළිබදව සටහනෙන් තමන්ට සිදු වූ (එම නිකායට) අවාසිය නැති කර දැමීම පිණිස වෙනස් කළා විය හැක. එය ද සැක සහිතය. මන්ද යත් ඔවුන්ට ස්ථිර ධර්ම-විනය පදනමක් නොතිබු හෙයින් එය වෙනස් කිරීම ඒ කාලය වන විට ඔවුන්ට සුළු දෙයක් වූ බැවිනි. මේ සියලූ කරුණු සලකා බලා මේ ප‍්‍රථම නිකාය භේදය දෙවන ධර්ම සංගායනාව හේතුවෙන් සිදු වූ බව පිළිගත් මතය බවට පත් වී තිබේ.

මෙසේ සඟ සසුනේ පළමු බෙදී යාම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100 කට පසු සිදු වූවත් බුදුරදුන් ධරමාන කාලයේ සිටම මේ බෙදී යෑම් වලට තුඩු දුන්, පදනම් වූ සිද්ධීන් පාලි ති‍්‍රපිටකය ඇසුරින් හෙළි පෙහෙලි කර ගත හැකිය. එවැනි පසුබිම් එළි පෙහෙලි කර ගනිමින් භික්‍ෂු සංස්ථාව තුල පසු කාලීන භේදයක් සිදු වීමට එම සිදුවීමි හේතු වුන ආකාරය පිළිබදව දැනීමක් තිබීමත් වටනේ ය. ඒ සඳහා උදාහරණ කිහිපයක් මාතෘකා වශයෙන් පමණක් පහත සඳහන් කරමි.
මුල් වකවානුව තුළ අගාරික ජීවිතය පිළිබදව කලකිරී සසුන්ගත වූවෝ ස්වකීය විමුක්ති සාධනයෙහි ම පමණක් තත්පර වු නමුත් පසු කාලීනව භික්‍ෂු සංස්ථාව තුල විවිධ මතභේද, අර්බුධ පහල වී ඇති බව දක්නට ලැබේ. එවැනි අවස්ථා කීපයක් වශයෙන් වශයෙන් මෙසේය.

 ඡබිබග්ගිය භික්‍ෂූන්ගේ කි‍්‍රයාකලාපය – පබිබජ්ජනීයාදී කර්ම

 කෝසම්භ සූත‍්‍රය, ධර්මදර-විනධදර භේදය (ශාස්තෘ අනුශාසනයද නොසලකා හැරිය බව පෙනේ (උපක්කිලේස සූත‍්‍රය ද මීට සමානය)

 දෙව්දත්ගේ සංඝයා පාලනයට කල ඉල්ලීම, පංච වරය මෙන්ම සංඝ භේදය (මේ පංච වරය පිළිබද වස්තුවේදී) රාක්ෂ ප‍්‍රතිපදාව පි‍්‍රය කල භික්‍ෂූන් සිටින්නට හැකි බව පෙනේ. එම ලැදියාව ඔවූන්ට හින්දු ආගමික සන්දර්භ හරහා ලැබුණා විය හැක. ජෛන සම්ප‍්‍රදායන් සතුව තිබු මේ රාක්ෂ පිළිවෙත් මෙන් ම අසීමාන්විත අවිහිංසා ප‍්‍රතිපත්ති එකල භාරතීය ආගමික චින්තනයේ කා වැදී තිබණු තැන් ය. ඔවුන්ට මේ අන්තද්වය හැර පියා මධ්‍යම ප‍්‍රතිපදාව දෙසූ බුදුන් වහන්සේ ගේ ශාසනය පිළිබද අර්බුධ තිබුණා විය හැකිය.

 අග‍්‍රශාවක හිමි නම දෙනමට එම තොරතුරු දුන් වෙලාවේ ඇති වූ සිදුවීම.

 අස්සජී-පුනබ්බසුක ආරාම අවුල ඇතිකර ගත් විට ‘පාපිච්ඡුා සාරිපුත්ත මොග්ගල්ලාන’ යැයි ප‍්‍රසිද්දියේම කියා ඇත.

 ආනන්ද හිමිට සිහි කල්පනාව මදි බව කීම. (සංගායනාවෙන් පසු)

 පළමු සංගායනාවෙන් පසු ග‍්‍රාමවාසී අරණ්‍ය වාසී පිළිබඳ වෙනස.

 ආචාර්ය ක‍්‍රමය – බුද්ධ කාලයේම එක් එක් භික්‍ෂුන් ගුරු කොට ඒ ඒ ධර්මානුකූල ප‍්‍රතිපත්ති වලට අනුරූපව, අනුගතව ශිෂ්‍ය පිරිස් වාසය කර ඇත. එ් බව බුදුන් වහන්සේද පවසා ඇති අයුරු දක්නට ලැබේ. හයුංසියාං යන දේශාටක (චීන) වාර්ථාෙවිද පූජනීය දින වල අභිධර්මය උගත් අය සැරියුත් තෙරුන්, සෘද්ධිමත් අය මුගලන් තෙරුන්, විනය – උපාලි තෙරුන්, සාමණේර – රාහුල හිමි, භික්‍ෂුණීහු – ආනන්ද තෙරුන් වැනි තමන් ගරු කරන හිමි වරුන්ට ගරු කල යුතු බව දක්වා තිබේ. එයින්ද මේ නිකාය බෙදී යාමට මේ ආචාර්ය ක‍්‍රමය බෙහෙවින් බලපා ඇති බව සිතාගත හැක. පසුකාලීන නිකාය වල ද තමන්ගේ ප‍්‍රධානීන් වශයෙන් රහතන් වහන්සේලා යොදාගෙන තිබීමෙන් මෙය තවත් තහවුරු වේ.

නිදසුන්

x මහාවංශික – මහා කාශ්‍යප හිමි
x සර්වස්තිවාද – සාරිපුත්ත හිමි
x සම්මිතීය – මහා කච්චායන හිමි

 දේවත්ත ගල පෙරලීම – ඔහුට කරදරයක් නැතිව සිටීමට හැකි වීම (සමාජය තුළ)

 සුභද්‍රගේ අභද්‍ර වචනය – මේ පිටුපස විශාල පිරිසක් සිටින්නට නැත.

 ඛුද්දානු ඛුද්දක ශික්ෂා පිළිබදව සන්ගීතයේදී ගනු ලැබූ සංරක්ෂණවාදී පනත මෙහිලා සැලකිය යුතු විශේෂ කරුණකි.

 සාති භික්ෂුවගේ මතය – තණ්හාසංඛය සූත‍්‍රය.
 සුනක්ඛන්ත භික්ෂුවගේ ක‍්‍රියා කලාපය

ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු වර්ෂ 100 ක් පමණ ගත වන තාක් බුදු දහම පිළිබඳව එතරම් විශේෂ සටහනක් දක්නට නො ලැබේ. ඉන් පසුව කෙලින්ම දක්නට ලැබෙන්නේ දස වස්තුව පිළිබදව ය. මෙහි ද කිවයුතු කරුණක් තිබේ. මේ දස වස්තුව දෙස බැලීමේ දී එයින් 05ක් ම ආහාර සම්බන්ධව බවත් 01ක් මුදල් සම්බන්ධව බවත් 01ක් සිවුරු පිළිබඳව වූ බවත් 02ක් සංඝයා පිළිබඳව වූ බවත් 01ක් තමන්ගේ පහසුව පිණිස වී ඇති බවත් දක්නට ලැබේ. ඉන් 07ක් ම ආහාර, වස්ත‍්‍ර, මුදල් පිළිබඳව ය. එසේ නම් ගෙවී ගිය වසර 100 තුළ රාජ්‍යත්වයට පත් වූ අජාසත්ත, උදායිභද්‍ර, අනුරුද්ධ, මහා මුණ්ඩ, නාගදාස යන පීතෘ ඝාතක පරම්පරාව ලෙසින් මොවුන් රාජ්‍යත්වයට පත් වීම තුළ (වර්ෂ පිළිවෙල අජාසත් රජුගේ පටන් කි‍්‍ර.පූ 491, 459, 443, 435) ධනකාමී, කුහක රාජ්‍ය පාලනයක් ගෙන ගියා මිස රට ආර්ථික වශයෙන්, ආගමික වශයෙන් දියුණු තත්වයකට පත් නොකළා විය යුතු ය. බුද්ධාගම පිළිබඳ කිසිදු සටහනක් ඒ කාලය තුළ නැත්තේ ද ඒ නිසා විය යුතුය. වජ්ජිපුත‍්‍රකයන්ට මෙවන් අවශ්‍යතා පැන නැගුණේ ද ඒ නිසා විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ඛුද්දක ශික්‍ෂා අනුමැතිය සිහිකොට මේවා පණවා ගත්තා විය හැකි ය. නමුත් ථේරවාදය ගරු කල භිකෂූහු මෙයට විරුද්ධ වන්නට ඇත. ඔවුන් ‘ආවාසකප්පය’ ඉල්ලීමෙන් පෙනෙන්නේ එකල යම් යම් හේතු නිසා සංඝ සමාජය නම් වශයෙන් බෙදී නොගියත් මත වශයෙන් වෙන්ව ඉන්නට ඇති බව ය. එකල වන විට සංඝයා නියෝජනය කරන පිරිස විෂයෙහි එතරම් සුහදතාවයක් තිබි නැති බව ද ‘අනුමතිප්පය’ දෙස බැලීමෙදී පෙනී යයි. ‘ආචින්න කප්පය’ ද ආචාර්ය ක‍්‍රමවේදයේ ප‍්‍රතිපලයක් ලෙසත්, තමන් ඇසුරු කල ගුරුවරුන්ගේ ඉගැන්වීම් සක‍්‍රීය කර ගැනිමටත් යොදා ගත් බවත් පෙනේ. තවද මේ සියල්ල යට සංරක්ෂණවාදී පනත ද ඇති බව සිහි තබා ගත යුතුය. කාලයට, දේශයට අනුව සකසා ගත යුතුව තිබු සික පද වෙනස් කර ගැනීමට අවකාශය නො ලැබීම මේ නිකාය භේදයට තුඩු ඇති බව සිතන බව ඉහතින් ලීවෙමි. එය මෙතනින් යම් තරමකට ඔප්පු වේ. මහා කාශ්‍යපාදී මහා තෙරවරුන්ගේ උණුසුම මත මුල් වසර 100 නාමික වශයෙන් ශාසනය නො බෙදුණද පිරිස වශයෙන් නොයෙක් මතවාද වල එකල සිටම සංඝයා නියෝජනය කරන පිරිස පුද්ගලිකව බැසගෙන සිටින්නට ඇති බව මින් සිතාගත හැක. මේ සියලූ සිදුවීම් පදනම් කර ගනිමින් දෙවන ධර්ම සංගායනාවත් සමගම ‘මහා සාංඝික’ යන නව ආචාර්ය මාර්ගය මුල්ම ගුරු කුලය ලෙස බෙදී යන්නට ඇත. ඒ පිළිබඳ කිවයුතු සියල්ල පෙර සටහන් කරන ලදී.

මහා සාංඝිකයන් සතු භික්‍ෂුන් වහන්සේලා ක‍්‍රමාණුකුුලව වර්ධනය වෙමින් ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශය වන තෙක් ම පැතිර ගොස් ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහා සාංඝික නිකායෙන් ගෝකුලික හා ඒකබ්බෝහාරික නිකායන් බිඳිනි. අනතුරුව නැවතත් ගෝකුලික නිකාය, බහුස්සුතිය, පක්‍ද්ක්‍දත්තිවාද යනුවෙන් ද එහි බහුස්සුතිය නැවත චෙතියක නමින් ද බිඳී ගිය හ. මෙයට සමගාමීවම මෙන් ථෙරවාදය ද පුග්ගලවාද, සර්වස්ථිවාද, මහීසාංසක යනුවෙන්ද නැවත පුග්ගලවාදය – ධමිමගුත්තික, කාශ්‍යපීය, සෞත‍්‍රාන්තික වශයෙන් ද බෙදී ගියහ. මෙලෙස අශෝක රජ සමය වන විට ථෙරවාදය නිකාය 11කට ත්, මහා සාංඝික 07කට ත් වශයෙන් නිකාය 18ක් ව පැවතුණි.

මේ බෙදී යෑම් එක් එක් තැන්වල එක් එක් විදියට වාර්ථා වී ඇත. මහා වංශය මීට තරමක් වෙනස්ව මේ බෙදී යෑම දක්වා ඇත. ඔවුන් විවිධ වාර්ථා පදනම් කරගෙන එම බෙදී යෑම දක්වයි. එම නිසා මෙහි කාල වකවානු පිළිබඳව නිශ්චිතවම නම් කිව නො හැක. මේ පිළිබඳව එක් දෘෂ්ඨියකින් වටහා ගෙන තිබීම ප‍්‍රමාණවත් ය. බොහෝ වාර්ථා එකතුකර බැලූ විට අශෝක රජ සමයවන විට ඉහත කී ලෙස නිකායන් බෙදී ගොස් ඇති බවට නිගමනය කළ හැක. ථේරවාදයේ බෙදී යෑම පසු කාලයේ මහා සාංඝිකාදීන්ගේ ආකල්ප වලට නතු වීමකින් ධර්මාවබෝධය නොමැති භික්‍ෂූහු විසින් කරන්නට ඇතයි සිතිය හැක. පුරාණ තෙරුන්ගේ සිදුවීමද වරදවා ගත් පෘථග්ස්තයෝ පසු කලය ථෙරවාදයෙන් වෙන් වූ බව මහීංසාසකාදී නිකාය ග‍්‍රන්ථි විමසීමක් කර බැලූවිට අවබෝධ කර ගත හැක.
මෙසේ ක‍්‍රමයෙන් බෙදී ගිය නිකායන් තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ද හේමවතික, රාජගිරික, සිදිධත්ථික, පුබ්බෙසෙල, අපරෙසෙල, වාජිරිය යනුවෙන් කොටස් 06ක ට බෙදී ගිය බව පඤ්චපකරණ අටුවාවේ දැක්වේ. තවත් අන්ධක යන නාමයෙන් ද යමක් තිබූ බවත් එය පූර්වෙසෙල, අපරෙසෙල, රාජගිිරික, සිද්ධත්ථික යන නිකාය 04 හැඳින්වීමට යොදා ගත් බව ද කථාවස්තු අටුවාව කියා ඇත. මෙසේ ථේරවාදය හැර අන් නිකායන් 26ක් පමණ එකල තිබී ඇති බැව් වාර්ථා වේ.
නමුත් බුදුගොස් හිමියන්ගේ කාලය වන විට මේ ගුරු කුල බොහෝමයක් අභාවයට ගොස් හෝ සම්මිශ‍්‍ර වී තිබු බව දක්නට පුලූවන. ඉතිරිව සිටියෝ මෙසේ ය.

x පුර්වෙසෙල, අපරෙසෙල, මහා සාංඝික, ගෝකුලික, උත්තරාපථක, කස්සපීය, භද්‍රයානික, මහීංසාසක, වේතුල්ලක, සබ්බත්ථවාද, සම්මිතීය, සිද්ධත්ථක, හේතුවාද, රාජගිරික, වජ්ජිපුත්තක (නිකාය 15)

මේ සියල්ල මෙලෙස ලිවීමට කාරණයක් ඇත. දැන් ඔබට නිසැකවම නිකාය භේදය යනු කුමක්දැයි වැටහෙනවා ඇත. ඒ අනුව මේ ගැන ඔබ මෙලෙස නිගමනයකට ආ යුතු ය. නිකායන්ගේ බෙදී යෑම යනු මුල් බුදු සමයේ විග‍්‍රහයන් වෙනස් කර ගැනීමට එන මතවාදයන්ගේ නිශ්චිත නිගමනයක් නැති කළ තමන් විසින්ම පිරිස් පිරිස් සංවිධානය වී වෙන වෙන ම කණ්ඩායම් වීම යි. දැන් ඔබෙන් මා ප‍්‍රශ්ණයක් අසමි. ලංකාවේ තවමත් මෙවැනි නිකාය භේදයක් දක්නට ඇත් ද ? නැත. තවමත් එවැනි අභාග්‍යයක් අපට උදාවී නැත. කිහිප දෙනෙක් එලෙස කරන්නට වෙර දැරුවද අපි සියල්ලෝ එකතු වී ඒවා වළක්වා ගත්තෙමු. ඉදිරියේදී ද එලෙසම සිදුවෙතැයි සිතමි. එතකොට මේ වර්ථමානයේ ලංකාවේ ඇති නිකාය භේදය කුමක් ද ? මෙය නිකාය භේදයක් නොව, සම්ප‍්‍රදාය කීපයකි. සියම් සම්ප‍්‍රදාය, අමරපුර හා රාමඤ්ඤ සම්ප‍්‍රදාය යනුවෙන් සම්ප‍්‍රදාය තුනකි. මේවා මෙලෙස සම්ප‍්‍රදායන් ලෙස බෙදී ගියේ ඒ ඒ සම්ප‍්‍රදායන් වලට ආවේණික සිරිත් විරිත් කීපයකින් පමණි. දර්ශණය පිළිබඳව මේ සම්ප‍්‍රදායන් තුනටම කිසිදු ගැටලූවක් නැත. ථේරවාදී ත‍්‍රිපිටකය ඉස් මුදුණින්ම පිළිගනිති. එසේ නම් ලංකාවේ කිසිදු නිකාය භේදයක් නොමැති බව දත යුතු ය. ඇත්තේ සම්ප‍්‍රදායන් තුනක් පමණි. මේ සම්ප‍්‍රදායන් ඇති වීමට හේතුව කුමක් ද ? ලිපිය කෙතරම් දීර්ඝ වූවත් එයත් මෙහිම නොලීවොත් එය අඩුපාඩුවක් ය. එනිසාම ලියමි.

පෙර ලක්දිව අශ්‍රැතවත් භික්ෂුන් නිසා ප්‍රතිපත්ති කෙලෙසීමෙන් උපසම්පදාව නැති වූ කල වැලිවිට සරණකංර මහා නා හිමි සියමෙන් පිරිසිදු උපසම්දාව ගෙන්වූවේ ය. එයින් නැවත ප‍්‍රභව වූ ලක්දිව බුද්ධ ශාසණය ඒ වන විට මෙසේ සම්ප‍්‍රදායන් ගේ බිඳීමක් තිබ්බේ නැත. නමුත් කල් යන විට ශාසණය තුළ පහල වූ අශ‍්‍රැතවත් භික්ෂූහු නැවතත් ශාසණයේ ප‍්‍රතිපත්ති කෙලෙසන්නට පටන් ගත්හ. ඔවහු ක‍්‍රමයෙන් පාත‍්‍රය අත් හැරියේ ය. උභයාංශ පාරුපනය (දෙවුර වැසීම) අත් හැරියේ ය. මේ ලෙස ක්‍රමයෙන් පැවිදි පිළිවෙත් අත්හරිමින් ගොස් අවසානයේ උපසම්පදා කරන සීමාව ද සංකර තත්වයකට ගෙනාවේ ය. එයින් ලැබෙන උපසම්පදාව අපිරිසිදු බව දැන ගත් පසු කාලීන ධර්මධර, විනයධර ශාසණ ලැදි භික්ෂූහු එම උපසම්පදාවන් වලට සාධුකාර නොදී නිහඬව නො සිට එය ප‍්‍රතික්ෂේප කොට නැවත බුරුම රටට වැඩම කර පිරිසිදු උපසම්පදාවක් ගෙන ආවේ ය. ඒ අමරපුර පෙදෙසිනි. එය අමරපුර සම්ප‍්‍රදායෙන් සිදු වූවක් නිසා එය සියමෙන් (එකළ සිදුවූ සංකර අපිරිසිදු උපසම්පදාවෙන්) බෙදා වෙන්කර පෙන්වන්නට අමරපුර භික්ෂූහු යැයි ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ය. පසු කාලීනව අමරපුර නිකායටත් පෙර කී සියම් උපසම්පදාවට උරුම වූ අභාග්‍යය බලපෑවේ ය. පසුව තවත් එක් භික්ෂුවක් රාමඤ්ඤ දේශයට ගොස් ගෙනා උපසම්පදාවේ උපසම්පදාව රාමඤ්ඤ උපසම්පදාව විය. මෙසේ මෙය කාලයේ අවෑමෙන් සම්ප‍්‍රදාය තුනක් බවට පත් විය. අදටත් රාමඤ්ඤ නිකාය කොටස් වලට බෙදී නැත. එයින් ගම්‍ය වන්නේ තවමත් ඒ නිකාය තුළ මත භේදයක් නැති බව ය. නමුත් අනික් නිකායන් ඒ ඒ තුළ ඇති වූ මත භේදයන් මැඩ ගැනීමට නොහැකිව විවිධ පාර්ශව වලට කාලානුරූපීව බෙදී ගිය හ. මෙහිලා මට කියන්නට දෙයක් ඇත. මා නම් මේ සම්ප‍්‍රදායන්ගේ වෙන් වීමට කැමැති ය. ඒ පිරිසිදු උපසම්පදාව ලැබීමට තාමත් එයින් අවකාශ තියෙන බැවිනි. රාමඤ්ඤ නිකායේ උපසම්පදාව ගැන පමණක් මා දනිමි. එහි පරිස සම්පත්තිය හෙවත් විනය කර්මයේ ගණ පූරණය කරවන්නේ කලින් පාරාජිකාදී චෝදනා නැති භික්ෂූහු පමණි. කර්ම වාක්‍ය කීමට පෙර කර්ම වාක්‍ය වලට වෙනම පුහුණුවක් මොන තරම් ශ‍්‍රැතධර වූ භික්ෂූවක් උදෙසා වූවත් තාමත් නිකායෙන් ලබා දෙති. එවිට දන්තජ මූර්ධජ වරදවා නොකියා කර්ම වාක්‍ය නිවැරදිව සජඣායනා කරති. දැන් දැන් මෙසේ මුහු කිරීමෙන් ඒ සම්ප‍්‍රදායන් වලට හානි වේවිදැ යි මා හට සැකයක් ඇති වේ. සමහර සීමා සංකර ය. සමහර සම්ප්‍රදායන්හි සීමා වල අත්පසයක් නැත. ඡන්දය නැත. රාමඤ්ඤ නිකාය උදකුක්ඛේප සීමාවෙහි පමණක් උපසම්පදාවන් දැනටත් සිදු කරති. එය නිකායෙහි කතිකාවතේ ඇති ප්‍රතිපත්තියකි. දැනට මා එහි අඩුවක් දැක නැත. ප‍්‍රවේසමෙන් විනය කර්මය සිදු කරති. පාරුපනය, පාත‍්‍රය, තල් අත්ත පවා තවමත් පරිහරණය කරති. එනිසා මේ සම්ප්‍රදායන්ගේ මුහු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ යාලූ මිත‍්‍රකම් නිසා, උරණ විය නොහැකි නිසා, විරුද්ධ විය නොහැකි නිසා සමහරෙක් සංකර බද්ධ සීමා වලද උපසම්පදාව සිදු කිරීමට නොවෙද ? මේ ගැන නැවත සිතිය යුත්තක් ඇත. මා බොහෝම පොඩි අයෙකි. ශාසණයේ ළදැරුවෙකි. නමුත් මේ මට වැටහෙන අනාගත ව්‍යසනයකි. මා පුද්ගලිකව මේ සම්ප‍්‍රදායන්ගේ බෙදී යෑමට කැමැති ය. ඉදින් රාමඤ්ඤ නිකායත් සංකර වූවොත් අනාගතයේ තවත් සම්ප‍්‍රදායක් පිරිසිදුව බිහි විය යුතු ය. සංකර සීමා වල පිරිස් වල ලැබෙන උපසම්පදාවක් නැති බැවිනි. නුවණින් තේරුම් ගනිත්වා.. ඒ ඒ සම්ප්‍රදායන් තනිව ඒවා කිරීමම වටින බව මා සිතන්නෙ එබැවිනි.. මා අනිත් නිකායන් ගැන දන්නැති නිසා ඒවාගේ ඇතුල කියන්නට මා පොහොසත් නැත.. ඉතිහාසය ගැන විමසා දන්න එක ගැන පමණක් ලීවේ එබැවිනි..

සැලකිය යුතු අනිත් විශේෂ කරුණ නම් මේ එකළ තත්වය බවත් වර්ථමානය වන විට තත්වය මා නොදන්නා බවත් සටහන් කළ යුතුම බව ය.. මේ නිකායන්ගේ සංකර ආදී සිදුවීම් පොත් පත් වල තිබුණු ඒවා ය. (වර්ථමානයේ ද සංකර සීමා නැතිව නොව) එවැනි සංකර භාවයන් නිසා ම මේ සම්ප්‍රදායන්ගේ ප්‍රභවය සිදු වී ඇති බව සඳහන්ව තිබේ..

තෙරුවන් සරණයි..

මෙයට,
සසුන් ලැදි,
කිරුළපන ධම්මවිජය හිමි.