New at Little Bit


from Path to Nirvana https://ift.tt/33SBMNm
මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද යම්සේද, දික්කළ අත හකුලන්නේ යම්සේද, එමෙන් ඇසිල්ලකින් පූර්වාරාමනම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙන් අතුරුදන්වූයේ තව්තිසා දෙව්ලොවෙහි පහළවූහ. එහි වෛජයන්ත ප්‍රාසාදය දැක මහ මුගලන් තෙරුන්වහන්සේට මේ අදහස විය;
“මේ දෙවියා ඉතා දැඩිසේ ප්‍රමාදව වෙසෙයි. මම යම්හෙයකින් මේ දෙවියා සංවේගයට පමුණුවන්නෙම් නම් ඉතා යෙහෙක”

ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ වෛජයන්ත ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් ගැසීමෙන් කම්පාවේද, අතිශයින් කම්පාවේද, වෙවුලායාද, එබඳු ඍද්ධියක් කළහ. ඉක්බිති සක්දෙව් රජුද, වෙසෙවුණු රජුද, තව්තිසා වැසි දෙවියෝද ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තෝ වූහ. “යමෙක් මේ දිව්‍ය භවනය පය මාපටැඟිල්ලෙන් කම්පා කෙළේද, විශෙෂයෙන් කම්පා කළේද, සෙලවූයේද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ ශ්‍රමණයාට මහත් ඍද්ධි ඇත. මහත් අනුභාව ඇත. ආශ්චර්‍ය්‍යයි!”

ඉක්බිති මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ, සංවේගයට පැමිණි, ලොමු ඩැහැගත් සක්දෙව් රජුට මෙසේ කීහ. “කෝසියයෙනි, භාග්‍යවතුන් වහන්සේ නුඹට සංක්ෂිප්තව තෘෂ්ණා උදුරා දැමීමවූ විමුක්තිය (තණ්හාසඞ්ඛයවිමුත්තිං) වදාළේ කෙසේද?”

“නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හිඳ මෙසේ කීවෙමි. ‘ස්වාමීනි, කොපමණකින් මහණ තණ්හාවෙන් මිදුනු සිත් ඇත්තේ, ඒකාන්ත අවසානයක් ඇත්තේ, ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, ඒකාන්ත බ්‍රහ්මචරියා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ’යි කියාය. නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ කී කල භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළෝය.”

“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේය, යි භික්ෂුව විසින් අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් (අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්) පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සියලු ධර්මයන් විශේෂයෙන් දැනගනී (සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති).”

“සැප වූ හෝ දුක් වූ හෝ දුක්ද, නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි.”

“හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ, විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරොධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ඔහුට ලෝකයේ කිසිම දෙයක් උපාදානය නොවෙයි. උපාදාන නොවන්නේ තැති නොගනියි. තැති නොගන්නේ මේ ආත්මයේදීම පිරිනිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්තකරන ලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.”

“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්ම චරියාව ඇති ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන්නේය’යි වදාළේය.”

“නිදුක් මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් තෘෂ්ණාව උදුරා දැමීමෙන් ලැබෙන විමුක්තිය වදාළෝය.”

එවිට මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ශක්‍රදෙවෙන්ද්‍රයාගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් නැමූ අතක් දිග හරින්නේද, දිග හැරිය අතක් නමන්නේද, එපරිද්දෙන්ම තව්තිසා දිව්‍ය ලොකයෙහි අතුරුදන්වූයේ පූර්වාරාම නම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි පහළවූහ. ඉක්බිති සක්දෙවිඳුගේ පරිචාරිකා ස්ත්‍රීහු මහ මුගලන් තෙරුන් වහන්සේ බැහැර ගිය නොබෝ වේලාවකින් සක්දෙවිඳුට මෙසේ කීවාහ;

“නිදුකාණෙනි, ඔබගේ ශාස්තෘවූ ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේද?”

“මෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ නොවෙයි. මාගේ සබ්‍රම්සරුවූ මහ මුගලන් තෙරණුවෝය”යි සක්දෙවිඳු කීය.

“නිදුකාණෙනි, ඔබට මහත් ලාභයකි. ඔබගේ සබ්‍රහ්මචාරිතෙමට මෙසේ මහත් ඍද්ධි ඇත්තේ නම්, මහත් අනුභාව ඇත්තේ නම්, ඔබගේ ශාස්තෘවූ යම් ඒ භාග්‍යවත් කෙනෙක් වේද, උන්වහන්සේගේ ඍද්ධ්‍යනුභාවය එකාන්තයෙන් මහත් විය යුතුමයි.”

චූල තණ්හා සංඛය සූත්‍රය
☘️☘️🌼☘️☘️☘️🌼☘️☘️☘️🌼☘️☘️