New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BEai25
ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව

රුවන්වැලිසෑය නොහොත් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ වනාහි ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙහි අග්‍රතම වූද ශ්‍රේෂ්ටතම වූද චෛත්‍යරාජයාණන් වහන්සේය. දුටුගැමුණු මහරජතුමා විසින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් වසර 302ක් ගිය තැන, ලක්දිව එක්සේසත් කොට, සම්බුදු සසුන නගා සිටුවා අනතුරුව කහවණු කෝටි දහසක් වැයකොට තනවන ලද මේ චෛත්‍යරාජයාණන් වහන්සේ සාමාන්‍යයෙන් “මහා සෑය” නමින්ද හඳුන්වනු ලැබේ. මුදලින් හෝ අන්‍ය ආකාරයකින් හෝ වටිනාකම මැනිය නොහැකි අතිමහත් විසිතුරුවූද ආශ්චර්යමත් වූද නිධන් වස්තූන් පිරිවරා අප තිලෝගුරු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ද්‍රෝණයක් (විශාල පාත්‍රයක් පමණ) මේ මහා චෛත්‍යයෙහි වැඩ සිටිති. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක් ස්ථානයක නිධන් කොට ඇති පූජනීය ස්ථානය අපගේ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේය. රුවන්වැලිසෑය ථෙරවාද බුදු සසුනෙහි අග්‍රතම වූද ශ්‍රේෂ්ටතම වූද පූජනීය ස්ථානය වෙයි. එය ථෙරවාද බුදුසසුනෙහි මූලස්ථානය වන මහා විහාර භූම්යෙහි පිහිටා ඇත. නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි අද වනවිට උස අඩි 300ක් පමණද විෂ්කම්භය අඩි 950ක් පමණද වෙයි. රුවන්වැලිසෑය පිහිටි භූමිය මේ සක්වලෙහි, මේ ලෝක ධාතුවෙහි සුවිශේෂී ස්ථානයක පිහිටා ඇත.
මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ චෛත්‍යරාජයාණන් වහන්සේ කාලයේ අවෑමෙන් ගරාවැටීමට ලක්වී නැවත ප්‍රතිසංස්කරණය කරන ලදුව එහි චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ පැළඳවීමට අදාළ විස්තර වර්ණනාවයි.
ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව
ඒ අඳුරු යුගයකි. කලෙක ලක්ෂ කෝටි ගණනින් මහරහතුන් වැඩසිටි භූමිය, මහා බලවත් සිංහල නරශ්‍රේෂ්ටයන් විසින් රක්ෂාකොට ජය තෙද නැගූ භූමිය, වසර දහස් ගණනින් පසුව ලෝක ධර්මය පරිදි අභාවයට ගියේය. මුළු පළාතම වල් බිහි වී වනසතුන්ගේ වාසස්ථානයක් විය. දිගින් දිගටම එල්ල වූ පරසතුරු ආක්‍රමණයන්ගෙන්ද අනේකවිද ස්වභාවික අභියෝගයෙන්ද සිංහලයන්ගේ කුශල බලය හීන වීමෙන්ද ශ්‍රීමත් අනුරාධපුර ශිෂ්ටාචාරය වල් බිහිව ගියේය.
මනුෂ්‍යයන් නොපැමිණීමෙන් වල් බිහිව චෛත්‍යරාජයාණන් වහන්සේ මත ගස් වැල් වැවී ගියේය. ක්‍රමයෙන් බිඳ වැටුණු චෛත්‍යරාජයාණෝ දකින දකින දෙව් මිනිසුන් කම්පා කරවමින් වන මැද පිහිටි පර්වතයක අයුරු ගත්හ. මේ ක්‍රිස්තු වර්ෂයෙන් එක්දහස් අටසිය අසූව දශකයයි. චෛත්‍ය වන්දනාව පිණිස මෙහි එන සැදැහවතුන් අතර ඇවරිවත්තේ වෙදමහතා සහ ඔහුගේ සහායකයකු විය. නැවත නැවත චෛත්‍ය වන්දනාවේ එන මේ වෙද මහතාත් ඔහුගේ සහයකයාත් චෛත්‍යරාජයාණන් වහන්සේ දැකීමෙන් මහත් සංවේගයට පත් විය. වෙදමහතාගේ සහයක උපාසක මහතා චෛත්‍ය නැවත ගොඩනැගීමට අදිටන් කරගත්තේය. හේ මහනුවරට ගොස් නාරන්විට සුමනසාර නමින් පැවිදි විය. වසර දෙකක් පමණ බණ දහම් උගෙන තම පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම පිණිස උදලු, කැති ආදී ආයුධ ආම්පන්න ගෙන තනිවම අනුරාධපුර චෛත්‍ය ස්ථානයට වැඩම කළහ. නාරන්විට සුමනසාර තෙරුන් වහන්සේ මහත් වීරිය කොට ගස් වැල් කපා කැලය එලි කොට සීමාවෙන් පිටත ගොඩ ගසා චෛත්‍ය මතුපිට එළිකොට ගලින් ගල සිටුවා චෛත්‍ය නැවත බඳින්නට පටන් ගත්හ. අප්‍රතිහත ධෛර්යයෙන් ගලින් ගල බඳිමින් උන්වහන්සේ විසින් වසර ගණනාවක් පුරා කරන ලද චෛත්‍ය බැම්ම 1912 වන විට බිඳ වැටිණ. එය දෙදරා ගියේය.
ඉක්බිති එම වර්ෂයේදී සුමනසාර හිමිගේ අනුශාසකත්වය පරිදි ඇවරිවත්තේ (කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා) වෙදමහතා ප්‍රධානකොටගෙන “රුවන්වැලි චෛත්‍යවර්ධන සමිතිය” පිහිටුවා දක්ෂ ඉංජිනේරු මහතුන්ගේද සහයෝගය සහිතව නැවත චෛත්‍ය බඳින්නට පටන් ගන්නා ලදී. වසර ගණනාවක් ගතවිය. වර්ෂ එක්දහස් නවසිය තිස් ගණන් වනවිට චෛත්‍ය බැඳීමේ කටයුතු සැලකියයුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි විය.
මෙසේ මහත් වීර්යයෙන් චෛත්‍ය බඳින්නට කටයුතු කොට ඒ අවසන් වන කල්හි චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා කොතක් කරවීමේ කටයුතූද ආරම්භ කරන ලදී. අඩි 24ක් උස ටොන් 6ක් බර කොතක් කරවන ලදී. නමුත් චෛත්‍යරාජයාණන් වහන්සේට පැළඳවීම පිණිස චූඩාමාණික්‍යයක් සොයා ගැනීම අවශ්‍ය විය. ලංකාව පුරා සොයා බැලූ නමුත් අවශ්‍ය ප්‍රමාණයේ චූඩාමාණික්‍යයක් සොයා ගැනීමට නොහැකි විය. වර්ෂ ගණනක් විවිධ ක්‍රම වලින් උත්සාහකොට පුවත් පත් දැන්වීම් ආදියෙන් මහජනයා දැනුවත් කරමින් සොයන ලද මුත් සුදුසු චූඩාමාණික්‍යයක් සොයා ගැනීමට නොහැකි වූ තැන, අවසානයේ සැදැහවතුන් වසන ථෙරවාදී රාජ්‍යයක් වන බුරුමය (වර්තමාන මියන්මාරය) වෙත අවධානය යොමු විය. මේ වනවිට අභිනවයෙන් ඉදිකෙරෙන දළඳා මාලිගයේ කටයුතු වල නිරත කොළඹ දෙමටගොඩ මකුටාරාමාධිපතිව වැඩ විසූ පුජනීය යූ. විනයාලංකාර මහනාහිමියන් මුණගැසුණු චෛත්‍යවර්ධන සමිතියේ පිරිස් උන්වහන්සේට මෙම අවශ්‍යතාව සැල කළහ. පුජනීය යූ. විනයාලංකාර හිමිපාණන් වහන්සේ වනාහි බුරුමයෙන් ශාසනික කටයුතු පිණිස එකල ලක්දිවට වැඩම කල මහා වීරධීර ගුණයෙන් යුතු බුරුම ජාතික මහතෙර නමකි. අතිශය ගෞරවනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේත් උන්වහන්සේ කුඩා කල පැවිදිකොට බුරුමයට ගෙනගොස් ධර්මය ඉගැන්වීමටත් උපසම්පදාව පිණිසත් කටයුතු සම්පාදනය කරන ලද්දේත් උන්වහන්සේමය.
චූඩාමාණික්‍යයක් සපයා ගැනීමේ දුෂ්කරතාව ගැන මෙසේ චෛත්‍ය වර්ධන සමිතියේ පිරිසගේකරුණු දැක්වීමෙන් අනතුරුව ඒ වන විට චෛත්‍ය කර්මාන්තය හා සමාන වූම අතිශය භාරදූර කාර්යයක් වූ අභිනව දළඳා මාලිගයේ කටයුතු තම හිස මත තිබියදී අතිශය දුෂ්කරතා මධ්‍යයෙහි සිදුකරගෙන ආ මේ මහා චෛත්‍ය කර්මාන්තය මුහුණපා ඇති දුෂ්කරතාව සැලකූ උන්වහන්සේ දළඳා මාලිගයේ කටයුතු තවත් බුරුම හිමි නමකට භාර කොට 1933 මැයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චූඩාමාණික්‍යයක් සෙවීම පිණිස බුරුමයේ රැන්ගුන් නුවරට වැඩිය සේක. රැන්ගුන් නුවර ස්වාමීන් වහන්සේලා සහ ගිහි පින්වතුන්ගෙන් විමසූ නමුත් සුදුසු පලිඟුවක් ගැන දැනගැනීමට නොහැකිවිය. ඉන්පසුව “අමරපුරය” හෙවත් උඩබුරුමයෙහි මැණික් කර්මාතය පිලිබඳ ප්‍රචලිත “මෝගොක්” නගරයට වැඩමකළහ. බොහෝ මැණික් ආකාර හිමියන් මැණික් වෙළෙන්දන් වාසය කරන මේ ප්‍රදේශයෙහි පිරිස් වෙත නාහිමියන් විසින් සැළ කරන ලදුව අවශ්‍ය කරන පලිඟුවේ ප්‍රමාණ විස්තර ආදිය ගෙන එතෙක් හමු වී තිබුණු පලිඟු විශේෂයෙන් පරික්ෂා කරන ලදී. එහිදී “යූ ටො, දෝනන්ටේ, ෂන්ටිදස්, යූ මට් යන සතර දෙනෙකුට අයත් සුදුසු ප්‍රමාණයේ විශාල පලිඟුවක් හමු වී එය ඔවුන් විසින් විනයාලංකාර හිමියන් වෙත පූජා කරන ලදී. එවකට රුපියල් හයදහසක් පමණ වටිනා මෙම අතිශය ආලෝකමත් පලිඟුව අතිශය අලංකාර, අධික වටිනාකමින් යුක්ත වූවක් විය. නාහිමියෝ එම පලිඟුව රැගෙන 1938 අගෝස්තු මාසයේදී ලංකාවට වැඩම කොට චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන්ට භාර කළහ.
පතල් ආකරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආ මේ දුර්ලභ අලංකාර පලිඟුව දුටු ලක්දිව බෞද්ධයෝ ඉන් අතිශය ප්‍රීතියට පත්ව නාහිමියන්ට ප්‍රශංසා කළහ. ඉන්පසුව නිසි පරිදි මේ පලිඟුව කපා සැකසීම පිණිස ශිල්පීන් සොයන ලදුව කුඩා මැණික් මිසක විශාල මැණික් කැපීම සඳහා සුදුසු යන්ත්‍ර උපකරණ ආදිය එවකට ලක්දිව නොවූයෙන් නැවත දුෂ්කරතාවකට පත්වන්නට සිදුවිය. මේ අභියෝගය ජය ගැනීමටද විනයලංකාර නාහිමියන්ගේ පිහිටම පැතූ චෛත්‍ය වර්ධන සමිතිය බුරුම බෞද්ධයන් ලවාම පලිඟුව කපා පූජා කරවීම පිණිස ඇයද සිටින ලදී.
විනයාලංකාර හිමියෝ ඒ ඇරයුම සතුටින් පිළිගෙන චූඩාමාණික්‍යය සැපයීමේ සම්පූර්ණ කාර්ය භාරගෙන නිවැරදි සැලසුම් ප්‍රමාණ ආදිය සමග චූඩා මාණික්‍යද ගෙන මහසයුර තරණය කොට නැවත මෝගොක් නුවරට ගොස් ශිල්පීන්ට එය ලබා දුන්හ.
චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා වන සැලසුම පරිදි චූඩාමාණික්‍ය කැපීම කල නමුත් ඒ අතරදී එහි එක් පසෙකින් අඩුවක් පිහිටිබැවින් ඒ පලිඟුව භාවිතයට ගත නොහැකි විය. මාස ගණනාවක් පුරා සමුදුරු තරණය කරමින් වෙහෙසවී කරනලද සියලු ව්‍යායාමය නිෂ්ඵල විය.
නමුත්, මහා පුරුෂයෝ අභියෝග හමුවේ නොපරදිති. අරඹන ලද කාර්ය අවසන් නොකර අත්නොහරින ධීර වීර ගුණයෙන් යුත් බුද්ධ පුත්‍ර නමක වූ විනයාලංකාර හිමිපාණෝ නැවත පලිඟුවක් සොයන්නට පටන් ගත්හ.
ස්වර්ණමාලිචෛත්‍යරාජයාණන් වහන්සේගේ ආනුභාවය නිසාදෝ පෙර පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම එම මැණික් ආකරයන්ගෙන්ම පළමු පලිඟුවටද මහත් වූ විශාල පලිඟුවක් හමුවිය. ඒ පින්වත් පිරිස අතිශය සතුටින් එම පලිඟුවද විනයාලංකාර හිමියන්ට පූජා කළහ. ඒ පලිඟුව එවකට රුපියල් අටදහසක් වටිනාකම විය. එය මෝගොක් නුවර මැණික් පතලකින් හෝ ආකරයකින් එතෙක් ලද විශාලතම පලිඟුව විය. අවශ්‍ය අවස්ථාවේදීම මෙබඳු මහා පලිඟුවක් මතුවීම ආශ්චර්යජනක සිදුවීමක්ම විය. නිසි සැලසුම් පරිදි නැවත කටයුතු ආරම්භ කෙරින. දක්ෂ ශිල්පීන් විසින් මැනවින් පලිඟුව කපන ලදී. කපන ලද චූඩා මාණික්‍ය උසින් අඟල් 18කි. වටප්‍රමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.
පලිඟුව කැපීම අවසන් වූ පසුව එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක්ද පිහිටුවා අවශේෂ මැණික් වලින් තවදුරටත් සැරසීමේ අවශ්‍යතාව විනයාලංකාර හිමියන් විසින් බුරුම බෞද්ධයන්ට දන්වන ලදී. බොහෝ බුරුම බෞද්ධයෝ මේ සඳහා රන් සහ මැණික් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. නාහිමියෝ මේ කටයුත්ත මෝගොක් නුවර ධනවත් බෞද්ධ මහතෙකුට පැවරීය. කිසිවකුගෙන් උපකාර නොලැබුනත් සිය ධනයෙන්ම හෝ මේ කටයුත්ත උපරිමයෙන්ම කරන බවට ප්‍රතිඥා දී ඔහු එය භාර ගත්තේය. ඇස් ඉදිරිපිටම පිරිසිඳුවම එය කිරීමට සිතූ ඔහු අවශ්‍ය සියලුම උපකරණ අලුතින්ම මිලටගෙන ඒවා සිය නිවසේ ස්ථාපිත කර රන්කරුවන් ආදීන් ගෙන්වා ආරක්ෂා සහිතව කර්මාන්තය කරන්නට පටන් ගත්තේය. මාණික්‍යය සැරසීමේ කටයුතු ආරම්භ වනු සමගම බුරුම බෞද්ධයන් වෙතින් රන් රිදී මැණික් පූජා ගලා එන්නට විය. රිදීයෙන් විශාල ආධාරකය කොට සියල්ල රනින් වසා මැණික් අල්ලන ලද අඩියෙහි චූඩා මාණික්‍ය සවිකර එහි මුදුනෙහි ස්වර්ණමය ධාතු කරඬුවක් සවිකර මැණික් වලින් සරසන ලද ස්වර්ණමය කොපුවකින් මුදුන වසන ලදී. තවද, සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලන ලදී. මාස නවයකින් මේ මනරම් අති දුර්ලභ චූඩාමාණික්‍ය කර්මාන්තය නිමවන ලදී.
මාණික්‍ය පිහිටවූ අඩියේ උස අඟල් 13කි. එහි බර රිදී රාත්තල් 144කි. එය වසා පෙරවීමට ගත් රන් බර රාත්තල් 12කි. ඒ අනුව මැණික පිහිටවූ අඩියේ මුළු බර රාත්තල් 156ක් වෙයි.
මේ සඳහා ලැබුණු මැණික් ගල් ගණන 7684කි. ඒවා අතර එවකට රුපියල් 4000ක් පමණ වටිනා ලෝහිතඞක (රතු) මාණික්‍යයක්ද විය. ඉහල වටිනාකම් වලින් යුත් බොහෝ මැණික් ගණනාවක්ද ඒ අතර විය. එවකට අවම වශයෙන් රුපියල් පහක් (අද වන විට රුපියල් දස දහස් ගණනක් විය යුතුය) වත් නොවටිනා එක මැණිකක් වත් මේ මැණික් 7684 අතර නොවීය. මේ සියලු මැණික් චූඩාමාණික්‍යට එක් කල නොහැකි බැවින් වැඩි වටිනාකමින් යුත් මැණික් 4350ක් තෝරාගෙන චූඩාමාණික්‍ය සරසන ලදී. ගන්නා ලද ඉතාම අඩු වටිනාකමින් යුතු ගල පවා එවකට රුපියල් 25ක් වටිනා බව සඳහන්ය.
මේ මැණික් වලින් එවකට රුපියල් පහළොස්දහසක් අගනා පෙර කියන ලද ලෝහිත මාණික්‍ය සහ තවත් ගල් 1144කින් මාණික්‍යයේ මුදුන සරසා ඇත. මැණික් 3206කින් එහි යට කොටස සරසා තිබෙයි. අඩිය සහිතව සම්පූර්ණ මාණික්‍යයේ උස අඟල් 31කි. බෞද්ධ සදැහවතුන් විසින් තම තමාගේ වශයෙන් පුජා කරන ලද මෙහි වටිනාකම මිල කල නොහැකිය.
චූඩාමාණික්‍ය මුදුනෙහි ස්වර්ණමය කරඬුවෙහි තැන්පත් කිරීම පිණිස විනයාලංකාර නාහිමියන් විසින් ඒ ඒ ස්ථානයන්ගෙන් ලබා ගත් ධාතූන් වහන්සේලා නව නමෙක් වීදුරු කුප්පියක ආරක්ෂා සහිතව තැන්පත් කරගෙන තිබුණු අතර මාණික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට නියමිත දින එය සවිකරන ස්ථානයට වැඩමවාගෙන යන ලදී. නමුත් කරඬුව සවි කිරීමේ කටයුතු එදින අවසන් කරන්නට නොහැකි විය. එනිසා ධාතූන් වහන්සේලා වැඩ සිටින වීදුරු කුප්පිය එහිම සුදුසු ස්ථානයක තැන්පත් කොට උන්වහන්සේ පෙරලා වැඩියහ.
පසුදින උන්වහන්සේ එහි වැඩම කර, කරඬුවෙහි තැන්පත් කිරීම පිණිස ධාතූන් වහන්සේලා ගන්නට ගිය කල කුප්පිය පුරා ධාතූන් වහන්සේලා වැඩ සිටින මහත් ආශ්චර්ය දකින්නට වූහ. සියල්ලෝ මහත් ප්‍රීතියෙන් පිනා ගියහ. අනතුරුව කුප්පියෙන් ධාතූන් වහන්සේලා පිටතට ගෙන බලන කල එහි ධාතූන් වහන්සේලා 98 නමක් විය. සියල්ලෝ මහත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී සාධුකාර දෙමින් ධාතුන් වහන්සේලා 98 නම මාණික්‍ය මුදුනෙහි සවිකරන ලද ධාතු කරඬුවෙහි තැන්පත් කරන ලදී.
බුරුම බෞද්ධයෝ මහත් ශ්‍රද්ධාවන්ත සම්මා දෘෂ්ටිකයෝය. ඔවුන් ලක්දිවට චූඩාමාණික්‍ය වැඩමවනු පිණිස පළමුව විශේෂ දුම්රියකින් පූජෝපහාර සහිතව මහා උත්සවශ්‍රීයෙන් බුරුමයේ වත්මන් අගනුවර වන රැන්ගුන් නුවරට වැඩම කරවන ලදී. වැඩමවාගෙන යන අතරමග චූඩාමාණික්‍ය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණනින් ජනයා රැස්ව සිටියහ. රැන්ගුන් නුවරදී එය භාරගත්තේ ලෝක ප්‍රකට උතුම් වූ “ශ්වේදගොන්” චෛත්‍යරාජයාණන් වහන්සේගේ භාරකාර මණ්ඩලයේ මහතුන් විසිනි. මෙම භාරගැනීමේ උත්සවයට බුරුමයේ ප්‍රධාන සංඝයා වහන්සේලා, මැති ඇමතීන් ප්‍රභූන් ඇතුළු ලක්ෂයකට අධික ජනකායක් රැස්ව සිටියහ.
චූඩාමාණික්‍ය දුම්රියපළේ සිට පුද පූජා සහිතව විශේෂයෙන් අලංකාරව ගෞරව බහුමානයෙන් යුතුව පිළියෙළ කරන ලද රථයක තැන්පත් කොට ලක්ෂයක් පමණ මහජනයා සහිත පෙරහරකින් රැන්ගුන් නුවර ලෝක ප්‍රකට ශ්වේදගොන් චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයට වැඩමවා එහිදීද මහජනයාට ප්‍රදර්ශනය කරන ලදී.
මේ අතිශය උතුම් වස්තුව ලක්දිවට පැමිණවිය යුතු කාලය එළඹෙන තෙක් ශ්වේදගොන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ භාරකාර මණ්ඩලය විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක ආරක්ෂා සහිතව තැන්පත්කර තබන ලදී.
නියමිත දිනය පැමිණි කල්හි බුරුම ආණ්ඩුකාරයාට භාරකොට ඔහු මාර්ගයෙන් රාජකීය භාණ්ඩයක් ලෙස ආරක්ෂක විධිවිධාන යොදා ලංකා ආණ්ඩුකාරවරයා වෙත එවා, ඔහු මගින් එවකට ලංකාවේ මහාමාත්‍ය තුමා මාර්ගයෙන් මහෝත්තම වූ ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේට පැළඳවීම පිණිස රුවන්වැලි චෛත්‍යවර්ධන සමිතියට භාරදෙන ලදී. මේ සමග දක්වා ඇති ඡායාරූපයේ දක්වා ඇත්තේ අදත් විරාජමානව වැඩසිටින ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේට එසේ පළඳවන ලද එම චූඩාමාණික්‍ය සහ එහි අධාරකයයි.
ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වනාහි අපට ජීවමාන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ සමාන මහා ලාභයකි. මහානර්ඝ වස්තුවකි. උන්වහන්සේ දිවි දෙවැනිකොට ආරක්ෂා කර ගැනීම, පුද පූජා දැක්වීම, පර සතුරු ආක්‍රමණයන්ගෙන් අනතුරට පත්වන්නට නොදී රැක ගැනීම, උන්වහන්සේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ලෙස හැසිරීම අප සැමගේ අතිශය බලවත් වගකීම වන්නේය. රුවන්වැලිසෑය, මහා සෑය, ස්වර්ණමාලි චෛත්‍යරාජයාණෝ ආදී කවර නමකින් උන්වහන්සේ ගැන ඇසුනද, උන්වහන්සේගේ මහානුභාව සම්පන්න රුව අප නෙත හමුවීද, උන්වහන්සේ අපේ සිහියට නැගිනිද ඒ සෑම විටකම ජීවමාන සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිහිවීමෙන් වන මහා ශ්‍රද්ධා ප්‍රසාදයෙන් අප සිත් සතන් පහන් වී නිවී සැනහී යයි.
සිංහලයා සතු අති උදාර මහාර්ඝ සම්පතද, සිංහල බෞද්ධ සංස්කෘතියේ අග්‍රස්ථානය සහ කේන්ද්‍ර ස්ථානයද , සිංහල බෞද්ධ රාජ්‍යයෙහි සංකේතයද, ථෙරවාද බුදු සසුනෙහි කේන්ද්‍රස්ථානයද උන්වහන්සේය. උන්වහන්සේ රකිමු. ධර්මයට අනුව පිළිවෙත් පුරමු. බුදු සසුන ආරක්ෂාකර ගනිමු. නූපන් මතු පරපුරට බුදු සසුන දායාද කරනු වස් දහම් ගරුකව තිසරණයෙහි පිහිටා කටයුතු කරමු. සිංහල බෞද්ධයින් ලෙසද, ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ලෙසද, අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙසද සමගි සම්පන්නව පින් දහම් කරමින් නිවෙන සැනසෙන මග යමු!
සියලු සම්‍යග්දෘෂ්ටික දෙවියෝද, ශාසනාරක්ෂකයෝද මේ පින් අනුමෝදන් වේවා! බුදු සසුනත් අපත් ආරක්ෂා කරත්වා!
තෙරුවන් සරණයි!
මෙත් සිතිනි,
සසිත් රාජසූරිය

මේ ලිපිය සඳහා අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත ස්වර්ණමාලි චූඩාමාණික්‍ය වර්ණනාව නම් ලිපිය සහ මහා වංශයේ මූලාශ්‍ර උපකාර කර ගන්නා ලද බව පින්දෙමින් සඳහන් කරමු.

උපුටා ගැනීම @sasith rajasooriya