New at Little Bit


from Path to Nirvana https://ift.tt/35tgs1P
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 98 🧡💛

අහසින් අබිනික්මන් කළ කස්සප බුදුහාමුදුරුවෝ 02

🌺 ප්‍රථම අභිසමය

ඒ මොහොතේ ලෝක සත්වයන් මේ සසර දුකින් එතෙර කරනා තවත් වෙසක් පුර පොහොය දිනයක ට හිරු උදා වෙන්න ට ආසන්න වෙලයි තිබුණේ. ඒ සඳහා ඇප උපස්ථාන කිරිමට පෙරුම් පුරමින් පැමිණි උත්තමාවිය සුනන්දා නම් බැමිණියක් නමින් මෙලොව උපත ලබා තිබුණා. කස්සප බෝසතාණන් වහන්සේ ඇය සදා ගෙන පැමිණි මී කිරි බත් වළඳා කිහිරිවෙනෙහි විවේකයෙන් ගත කළා. එදින ම හවස් යාමේ සොම නම් ගව පාලක දුන් අටතණමිට ගෙන නුග බෝධිය වෙතට පැමිණයේ බුද්ධත්වය අපේක්ෂාවෙන්. බෝධිය වෙත පැමිණි උන්වහන්සේ පසළොස් රියන් තණ ඇතිරි අසුරා එහි වැඩහිඳ
සියලු කෙලෙස් නසා මාර පරාජය කොට අභිසම්බෝධිය වෙතට පැමිණ උදම් අනමින් ප්‍රීති වාක්‍යය දේශණා කලේ මහා සිංහනාදයක් දස දහසක් සක්වළ පුරා පතුරවමින්. සත් සතිය විවේක සුවයෙන් ගෙවීමෙන් අනතුරුව මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා හේතු සම්පත් ඇති අයකවුරුදැයි විමසන්නට වුණා. එවිට තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්ෂූන්ගේ හේතු සම්පත් දැක ඒ මොහොතේ ම අහසින් වැඩම කොට බරණැස ඉසිපතන මිගදායෙහි ඔවුන් වෙනුවෙන් දම්සක් පවත්වනු ලැබුවා. එදා විසි කෙල දහසක් දෙනාට ධර්මාවබෝධ වුණා . ඒ ප්‍රථම අභිසමයද වුනා.

🌺 දෙවන ධර්මාවබෝධය
ඉන් පසුව හාර මාසයක් පුරා ධර්ම චාරිකාවේ හැසිරෙන කල්හි දස කෙල දහසකට දෙවන ධර්මාවබෝධය වුණා .

🌺 තෙවන ධර්මාවබෝධය
තවත් දිනක සුන්දරනුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්ය කර ධර්ම දේශනා කරන කල්හි පස් කෙල දහසකට තෙවන ධර්මාවබෝධය වුණා.

අසුරයන්ටවත් නොමැඩිය හැකි තව්තිසා භවනෙහි සුධම්මා නම් දේව සභාවක් තියෙනවා . එහි වැඩහිඳ දෙවියන්ට අනුග්‍රහ පිණිස සප්ත ප්‍රකරණ ඇති විජම් පිටකය දේශනා කරන කල්හි තෙකල දහසක් දෙවියන්ට දහම් අමා පොවන්නට සමත් වුණා .

🌺 නරදේව යක්ෂ දමනය

මීට ඉහත සඳහන් කළ පරිදි මහත් ආනුභාව සම්පන්න ඇති මහා සෘද්ධි බල ඇති බලවත් නරදේව නම් යක්ෂයෙක් ඒ කාලෙ දඹදිව වාසය කළා. ඔහු එක එක වෙස් මවා ගැනීමට තරම් දක්ෂයි ආනුභාව සම්පන්නයි. ඔහු ප්‍රථමයෙන් ම කළේ රජු හා සමානව රජුගේ රූපය මවා රජු ව මරා ගෙන කෑම යි. ඉන්පස්සෙ රජ්ජුරුවන්ගේ වේශයෙන් රාජ්‍ය පාලනයට පැමිණි ඔහු අප්‍රමාණ මස් බුදින්නෙක් බවට පත්වුණා. තමන් මිනිසුන් පමණක් නොව ස්ත්‍රීන් පවා මරාගෙන කන්නට පටන්ගත්තා. එක දිනක් ඉතා දක්ෂ පින්වන්ත කුළ ස්ත්‍රීන් විසින් මේ රජු නෙමෙයි යක්ෂයෙක් යයි හඳුනා ගත් විට ඉතාමත් ලජ්ජාවට පැමිණ ඔවුන් සියල්ලන්ම කා දමා නගරයෙන් නගරයට පනින්නට පටන් ගත්තා. මේ විදිහට ඒ නරදේවයක්ෂයා මිනිසුන් කමින් සුනන්ද නගරයට ද පැනගත්තා. ඒ වන විටත් මේ ආරංචිය ඒ නුවර වැසියන් වෙත පැමිණ තිබුණා . ඔහුව දැක බිය පත් වූ මිනිසුන් හිස් ලූ ලූ අත දිව යන්නට වුනා. එවිට ඒ පළා යන මිනිසුන් දැක මහත් කරුණාවෙන් කස්සප බුදුපියාණන් වහන්සේ ඒ යක්ෂයා ඉදිරියේ පෙනී හිටියා . ඔහු මහත් බියකරු ගෝරනාඩු හඩ නංවමින් කස්සප බුදුපියාණන් වහන්සේ වෙත කඩා පැන්නේ මුළු පොළෝ තලයම කම්පා කරමින් . එහෙත් එයින් භාග්‍යවතුන් වහන්සේට බිය ඉපදවීමට බැරි බව දැනගත් ඔහු ඒ ප්‍රශ්න අසමින් පැරදවීමට උත්සාහ කළා. ඒ සියල්ල අසාර්ථක වූ කල්හි ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවේ දමනය වුණා . ඒ මොහොතේ දේශනා කල ධර්ම දේශනය ඇසීමට පැමිණි දෙවි මිනිසුන් ගණන ගණනය කළ නොහැකිය කියලයි අට්ඨකථා ආචාරින් වහන්සේලා කියන්නේ.

🌺 ශ්‍රාවක සන්නිපාතය

උන්වහන්සේට එකම එක ශ්‍රාවක සන්නිපාතයක් වුණා . බරණැස්නුවර තිස්ස නම් පුරෝහිත පුත්‍රයකු හිටියා . ඔහු දේහ ලක්ෂණ විද්‍යාවේ පරතෙරට ගොස් තිබුණේ. කස්සප බෝසතාණන් වහන්සේගේ කුමාර අවදියේ ශරීරයේ තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක නිසැක වශයෙන්ම වශයෙන්ම මොහු බුදු වන බව දැන ගත්ත. ඔහු කළේ තම පියාගෙන් අවසර ගැන හිමවතට ගොස් තපස් පැවිද්දෙන් පැවිදි වීමයි. ඒ කස්සප බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලද දිනක සසර දුකින් එතරවීමටයි. උන් වහන්සේටත් පිරිවර විසි දහසක් හිටියා . උන්වහන්සේ පසු ව කස්සප කුමරා අභිසම්බෝධි පැමිණි බව අසා දැනගෙන තම පිරිවර සමගින් පැමිණ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි ව රහත් බවට පත් වුණා. කස්සප බුදුපියාණන් වහන්සේ නවම් පුන් පොහෝ දින ඒ සමාගමයෙහි පාමොක් දේශනා කරනු ලැබූවා. ඒ උන්වහන්සේ ගේ ප්‍රථම සහ අවසාන ශ්‍රාවක සන්නිපාතයයි.

❤💚💛🧡 විශේෂ පුණ්‍යානු මෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
24-11-2019