New at Little Bit


from Path to Nirvana https://ift.tt/2RdrunU
පරම්භවනය හෙවත් අනුන් හෙලා දැකීමේ කර්මය

මේ වර්ගයේ කර්මයක් නිසා ඇති වූ බව කියන ලද දරුණු ශාරීරික පීඩා පිලිබද නිදසුන් සතෙක් කේසී ලිපි ගොනුවල ඇත. මේවායින් සයෙක් ම රෝමයේ දී ක්‍රිස්තියානින්ට වධ දුන් කාලයට අයත් යයි කියා තිබීම විස්මය ජනකය. මෙහිදී ද අපට ඉතිහාසයේ එක් යුගයෙක ආත්ම සමූහයක් තවත් ඉතිහාස යුගයක දී සමකාලීනයන් ලෙසින් මෙලොවට එනබව පෙනේ.

මෙයින් තුනෙක් බාලකපක්ෂාඝාත නිදසුන් ය. පලමුවැන්න වයස සතලිස් පසෙක ස්ත්‍රියක් පිළිබඳවය. ශිල්පියෙකු ගේ භාර්‍යාව වූ මේ තැනැත්තියට දරුවෝ තිදෙනෙකි අවුරුදු තිස් හයේ දී මැයට බාලපක්ෂාඝාතය වැලදිනි එතැන් සිට මැයට ඇවිදින්නට නොහැකි විය. ඈ අද ජීවිතය ගෙවන්නේ රෝදපුටුවකය. ඇයට ගෙයින් පිටව යත හැක්කේ අන්‍යයන්ගේ උදව්වෙනි. මෙහි කර්ම හේතුව වශයෙන් කියා ඇත්තේ මේ තැනැත්තියගේ පැරණි රෝමයේ චරිතයයි. ඒ කාලයේ දී රජපවුලට අයත් වූ ඕ නීරෝගේ ක්‍රිස්තියානි සංහාරයේ දී ඔහු ලගින් ඇසුරුකල කෙනෙකි. මේ ආත්මය එකල වධක භූමියේ දී කොරකරන ලද්දනට සිනාසුනා. අනේ බලන්න එයම ඔබටත් වෙනවා.

දෙවැන්න සමහරවිට කේසි ලිපිගොනුවල ඇති ඉතාමත් අනුකම්පා කටයුතු නිදසුන වයස තිස් හතරෙක ස්ත්‍රිය පිළිබදවය මැයට බාලක පක්ෂාඝාතය සෑදුනේ මාස හයේ දී ය. මේ නිසා ඕ කොන්ද කුදු වී කොර ගසන්නට වූවා ය. ගොවියෙකු වූ ඇගේ පියා මීට උපේක්ෂක විය. ඔහු වෙහෙසුනේ තමාට ම මුදල් උපදවා ගැනීමටය. ඈට ඉතා මහන්සියෙන් කුකුලන් ඇතිකර ජීවත් වීමට සිදුවිය. අභාග්‍යසම්පන්න වූ ප්‍රේම සම්භන්ධතා දෙකකදී ද නැවත දෛවය ඇයට හරස් විය. ඇගේ පලමු පෙම්වතා පලමුවැනි ලෝක මහා යුද්ධයේ දී මියගියේ ය. පසුව ඕ අනිකෙකුට බහ දුන්නා ය. හේ දරුණු ලොස රෝගාතුර විය. සුවපත් වූ හෙතෙම තමාට සාත්තුකල හෙදිය විවාහ කරගත්තේ ය. මේ කායික හා මානසික විපත් මදිවාට දබර කරගන්නා මාපියන් නිසා ද ගොවිපලේ හුදකලා ජීවිතය නිසා ද ඈ වින්දේ තද දුක් ය. සිමෙන්ති පඩිපෙලකින් වැටුනු මේ තරුණියගේ කොදු ඇටයේ තුවාලයක් නිසා ඕ ඇදටම සීමා වූවා ය. මේ නම් සීමාන්තික දුක්ඛ චිත්‍රයකි.

මෙහි දී ද අඩු ගණනේ කායික තත්වයට වගකිය යුතු කර්ම හේතුව, ජීවිත දෙකකට පෙර රෝමයේ දී සිදු වූවෙකි. කියැවීම මෙසේ ය, මේ ආත්මය එකල පලාතියුස් ගේ ගෘහයේ සාමාජිකයෙකි. බොහෝ විට මේ ආත්මය මිනිස් පොරත් මිනිස් තිරිසන් පොරත් නැරඹුවේ ය. දැන් මේ කායික විපත් වලින් වැඩිහරියක් ඇතිවී තිබෙන්නේ මේ ආත්මය ඒ කාලයේ දී අර්ථයක් ඇති ව සටන් කළ අයගේ දුර්වල කම ගැන අවක්ඥා සහගතව හිනැහුණු නිසයි.

තුන් වැන්න චිත්‍රපට නිෂ්පාදකයෙකු පිළිබඳවය. ඔහුට බාල පක්ෂාඝාතය වැළඳුනේ වයස දාහතේ දී ය. තවමත් ටිකක් කොර ගසන නමුත් ඔහුට අසුන් පිට යෑමට ත් ඇතැම් ක්‍රියාශීලී ක්‍රීඩාවල යෙදීමට ත් පුළුවන. මේ නිදසුනෙහිදී ද පාපය කර ඇති ස්ථානය ක්‍රිස්තු යුගයේ මුල් කාලයේ රෝමය යි. හමුදාවේ සිටි මේ ආත්මය බියට පත් අයට ත් විරුද්ධත්වයක් නැතිව යටත් වූ අයට ත් අපහාස කළේ ය. මෙයින් මේ ආත්මයට සිදු වූ යේ පාඩුවෙකි. එය ප්‍රතිපත්තියක එල්ලී සිටි අයට සිනාසීම නිසා ඇතිවූවක් මිස යුතුකම් ඉටුකිරීමෙන් ඇතිවූවක් නොවේ. මේ වතාවේ සිරුර බිඳීම අභ්‍යන්තර ආත්මයේ ප්‍රබෝධය සඳහාත් ආධ්‍යාත්මික ශක්තීන් ගේ දියුණුව සඳහාත් අවශ්‍ය වූ අත්දැකීමෙකි.

බාලපක්ෂාඝාතය නොවූ සිත්ගන්නා සුලු නිදසුන් සතරෙක ද කර්ම හේතුව වශයෙන් දක්වා ඇත්තේ පරවම්භනය යි. පරවම්භනය නම් අනුන් පහත් කොට තැකීම ය. එකෙක් තුනටියේ කාෂ රෝගය නිසා කොරවූ කෙල්ලක පිළිබද නිදසුනෙකි. මීට ප්‍රථම ජීවිතයේ දී ඕ මුල් ඇමරිකානු පදිංචිකාරියක් වූවාය. එහෙත් කර්ම හේතුව ඇතිවූයේ දෙවන පූර්ව ජීවිතයේ දී ය. මෙහිදී මේ ආත්මය නීරෝගේ මාලිගයේ රඳල ස්ත්‍රියක් වූවාය. එහි දී ඕ වධක භූමියෙහි ක්‍රිස්තියානිනට වධදෙනු දැක ප්‍රීති වූවාය. විශේෂයෙන් ම සිංහයෙකු ගේ නිය පහරින් පළන ලද අංශ ඇති දැරියකට සිනාසුනාය.

දහ අට හැවිරිදි තරුණියක පිළිබද තවත් නිදසුනක් ඇත. ඇගේ බර වැඩි ශරීරය නොතිබෙන්නට ඈ ලස්සන වන්නට තිබිණි. වෛද්‍යවරු මේ තත්ත්වය පිටියුටරි ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය නිසා ඇතිවූවෙකැයි හැදිනගත්හ. කේසිගේ කායික කියැවීමෙන් ද එය ග්‍රන්ථි සම්භන්ධ තත්ත්වයක් බව කියන ලදී. එහෙත් කියැවීම් වල අන්තැනෙක දී මේ ග්‍රන්ථි ආත්ම දායාදයේ හෙවත් කර්මයේ ප්‍රකාශන මධ්‍යස්ථානය වන බව දැක්වෙයි. මේ නිසා මේ තැනැත්තිය ගේ ග්‍රන්ථි තත්ත්වයන් එහි ප්‍රතිඵල වශයෙන් වූ අධික මහතත් කර්මය නිසා ඇතිවී යයි අපට සිතිය හැකිය. ජීවිත කියැවීමෙන් මේ සිතිවිල්ලට රුකුල් ලැබේ.

ජීවිත කාල දෙකකට පෙර ඕ රෝමයේ ක්‍රීඩිකාවක් වූවාය. සෞන්දර්යයෙන් ද ක්‍රීඩාශක්තියෙන් ද ඕ ඉතා උසස් වූවාය. එහෙත් ඕ තොමෝ එතරම් කඩිසර නැති බර අයට උපහාස කළාය.

මේ වර්ගයට අයත් තුන්වන නිදසුන වයස විසි එකෙක තරුණයෙකු පිළිබදවය. හේ කතෝලිකයෙකි. ඔහුගේ මාපියනට අවශ්‍යව තිබුණේ ඔහු පූජකයෙකු කිරීමටය. එහෙත් ඒ වෘත්තියට අකමැති වූ ඔහු මාපියන්ගේ කැමැත්තට එකඟ වූයේ නැත. ඔහුගේ ජීවිතයේ තුබූ ප්‍රධාන ගැටළුව නම් සමලිංගික සේවන ආශාවයි. මොහුගේ ඕනෑකමින් ම ලබාගන්නා ලද ජීවිත කියැවීමෙන් ඔහු පූර්ව ආත්මයක දී ප්‍රංශ රාජමාලිගයේ ඕපදූපයට ඇලුණු උපහාස කාරයෙකු වී සිටි බවත් තම කාටූන් ඇඳීමේ ශක්තියෙන් මාලිගයේ සිදු වූ සමලිංගික සේවන සිද්ධි හෙළිකොට ප්‍රීති වූ බවත් කියන ලදී. කියැවීමේ නිගමනය මෙසේ ය. ඔබට දොස් නොලබන්නට නම් අනුනට දොස් කියන්න එපා. ඔබ අනුනට බෙදන හැන්දෙන් ම ඔබටත් බෙදෙනවා. ඔබ අනෙක් කෙනෙකුගේ හෙළාදකින දෙය ඔබ කෙරෙහි ඇතිවනවා.

සතරවන නිදසුනේ එන තරුණයාගේ සොළොස් වන අවුරුද්දේ දී රිය අනතුරකට හසු වී කොන්ද කැඩුණේ ය. විශේෂඥයෝ ඔහුගේ ජීවිතය ගැන පවා සැක කළහ. එහෙත් හේ ජීවත් විය. පස්වැනි ඉලඇටයෙන් පහළ සම්පූර්ණයෙන් පණනැතිවිනි. එතැන්සිට ඔහුගේ ජීවිතය රෝදපුටුවකට සීමා විය. රිය අනතුරින් අවුරුදු හතකට පසුව ඔහුට අවුරුදු විසිතුනේ දී ඔහුගේ මව ඔහු සඳහා කියැවීමක් ලබා ගත්තාය. මේ ජීවිත කියැවීමෙන් ඔහුගේ ජන්ම දෙකක් හෙළි කොට ඇත. එකෙක් ඇමරිකානු විප්ලව කාලයේ දීය. එකල හෙතෙම තද අධිෂ්ඨානයක් හා ධෛර්‍යයක් ඇති යුද්ධ නිලධාරියෙක් විය. ඒ ජීවිතයෙන් ඔහු මේ ජීවිතයට ගෙන ආ දායාදය නම් ක්‍රමානුකූලතාව, ප්‍රීතිමත් ගතිය, ඕනෑම නරක අවස්ථාවක් හොඳට හරවා ගතහැකි බව හා ලැබී ඇති දේ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවයි.

ඔහුගේ ආබාධය සම්භන්දයෙන් නම්, තීරණාත්මක ජීවිතය නම් ඊට පෙර එක ය. ක්‍රිස්තියානි යුගයේ මුල් කාලයේ ඔහු රෝම සොල්දාදුවෙක් විය. හේ කාමසුඛල්ලිකානු යෝගයට කැපවී සිටියේ ය. නසරේනුන් වහන්සේගේ ප්‍රතිපත්ති වලට ඇලීසිටියවුන් දූක් විදිනවා දැක ඔහු ආඩම්බර විය. හේ රණබිමෙහිදී තමා සමග සටන් කළ වුන් පසුව මෘගයන් හා සටන් කරනු දුටුවේය. බොහෝ දුක් විදිනු දුටු හෙතෙම ඒවා සැහැල්ලුකොට සිතුවේය. ඒ නිසා මේ ආත්මය දැන් තමා කෙරෙහි දකින දුක් ද සැහැල්ලු කරගත යුතුව ඇත. එහෙත් ඒ වෙනත් අර්ථයක් සදහාය. ඔහු අර්ථවත් ව ඇති වූ යම් කරුණක් නිසා ඔවුනට සිනාසුණානම් ඔහු කළ ඒ කර්මයට විපාක දීම සදහා, දැන් ඒ කරුණ ඔහු කෙරෙහි ඇතිවිය යුතුය.

මේ ආභාධ සතෙහි එනම් බාලපක්ෂාඝාත රෝග තුන තුනටියේ කාශය, බර වැඩිකම, සමලිංගික සේවනය හා කැඩීමෙන් කොදුඇට පේශි පණනැති වීම යන මේවායේ එක් පුද්ගලයෙකු වත් ඒ ආබාධයෙන් යුතුව ඉපැදී නැත. මේ හැම ආපදාවක් ම සිදුවී ඇත්තේ උප්පත්තියෙන් මාස හයේ සිට අවුරුදු තිස් හය තෙක් අතරතුර කිසියන් කාලයකදී ය. එකෙක් සිදුවූයේ රිය අනතුරකිනි කෙසේ හෝ පැහැදිලි හේතුවේ තීරයට ඔබ්බෙන් තවත් ගැඹුරු හේතුවක් ඇතිබව පෙනේ. එකෙකු මැරීයන, ඉතිරිවන, එකකු සීරීමක් වත් නැතුව බේරීයන, අනෙකෙකු කෲර ලෙස විරූපවන අනතුරු පිළිබද පුදුම දෛවය මිනිසුන්ට පෙනෙන්නේ අහඹු සිද්ධි ලෙස ය. එහෙත් මේ දැන් සදහන් කළ නිදසුන් වැනි සිද්ධි වලින් එබඳු හදිසි අනතුරු වලදී පවා ඇසට නොපෙනෙන කිසියම් නියාම කොටසක් ක්‍රියාත්මක වන බව පෙනේ. එහි දී කර්ම ණය සුදුසු පරිදි ගෙවනු ලැබේ. බාලපක්ෂාරෝග බීජයට යටත්වීම පවා කර්මයෙන් සිදුවන බව පෙනේ.

බැලූ බැල්මට සිනහව වැනි සුළු දෙයකට ලැබී ඇති දඬුවම පමණට වැඩියයි පෙනෙනු ඇත. එහෙත් ගැඹුරින් සලකා බැලීමේදී යුක්තිය පැහැදිලි වෙයි. අනෙකකුගේ ආබාධයක් ගැන සිනාසෙන තැනැත්තා සිනාසෙන්නේ කුමක් සඳහා ඇතිවූයේ දැයි තමා නොදන්නා දෙයක් ගැනය. පහත් ම මෝඩකමෙකින් පවා පාඩමක් ඉගෙන දියුණු වීමට හැම මිනිසෙකුටම අයිතියෙක් ඇත. ඔහු සිනාසෙන්නේ ඒ අයිතියටය. හෙතෙම හැම ආත්මයකටම ඇති උසස්කම, වටිනාකම, දිව්‍යත්වය හෙළාදකී. පුද්ගලයෙකු කොතරම් නීච වූ විකෘත තත්ත්වයකට පත්ව සිටියත් එය හිනාවට කරුණක් නොවේ. තවද උපහාස කරන්න්නා තම සිනහවට ලක්වන පුද්ගලයනට වඩා තමා උසස් කොට සිතයි. හේ පරවම්භනයත් අත්තුක්කන්සනයත් යන දෙකම කරයි. පරවම්භනය වචනයේ පහත් ම අර්ථයෙන් වූ අත්තුක්කන්සනයත් ද වේ. අත්තුක්කන්සනය නම් තමා උසස් කොට සැලකීමයි. පරවම්භනය නම් අනුන් හෙළා දැකීමයි.

පණ්ඩිත කන්තිමහර සුමංගල හිමියන් ගේ සංසාර මන්දිර පොතෙන් උපුටා ගැනුණි.

Path to Nirvana පේජය වෙනුවෙන් සැකසූ මෙම කර්මය හා කර්ම ඵල පිළිබද ලිපිය මිතුරන් අතරේ ශෙයා කර ධර්ම දානයට ඔබත් දායක වන්න.

තෙරුවණ් සරණයි!