New at Little Bit


from Path to Nirvana https://ift.tt/2FbAcMs
අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතංගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතෝ සදා

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සමයෙහි ‘මහාලී’ නම් ‘ලිච්ඡවී’ රජ කුමරුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

ලිච්ඡවී රජවරු මහත් ඉසුරෙන් වැජඹෙන අතර, සක්දෙව් රජ පිළිබඳව ඇති අසහාය සම්පත් ගැන අප බුදුරදුන් විසින් දේශනා කළ විස්තර අසා දැන ගන්නට ඉතා ආශාවෙන් සිටිති. මෙම මහාලී කුමරු ද සක්දෙවිඳු පිළිබඳ, උපත හා සැප සම්පත් පිළිබඳව බුදුරදුන්ගෙන් විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ උපත හා එවන් අසහාය සම්පතක් ලබා ගැනීමේ අතීත මහා කුසල බලමහිමය ද විස්තර කර දුන් සේක.

පෙර කලෙක මගධ රට ‘මචලගම’ මඝ නම් තරුණයෙක් යහපත් ගුණයෙන් හා නුවණින් සම්පූර්ණ ව තවත් තරුණයන් තෙතිසක් සමඟ ස්වේච්ඡාවෙන් ම ශ්‍රමදාන කටයුතු අරඹා ගම රට දියුණු කරන්නට පටන් ගත් හ. ක්‍රීඩා භූමි ශුද්ධ පවිත්‍ර කිරීම, ළිං, පොකුණු සෑදීම, මං මාවත් ශුද්ධ පවිත්‍ර කොට ගමනාගමන පහසුකම් සැලසීමා දී පරාර්ථකාමී ව සේවය කරති. මෙවන් උතුම් සත්ක්‍රියාවන් පිළිබඳ ව නුරුස්නා සිතින් ක්‍රියා කළ ගම්මුදලිතැන රජතුමා ට ගතු කියා මඝමානවක ප්‍රධාන පිරිස රාජ උදහසට ලක්කොට රාජ දඬුවම ට යටත් කරවී ය.

එහෙත් මෙම පිරිසේ අවංක චේතනාවත්, සත්වතපද ගුණදම් ක්‍රියා කිරීම නිසාත් මුදලිගේ චෝදනා හිස් ප්‍රලාප බවට පත්ව එයින් රාජ උදහස ඔහුට ම අවුත් රාජ දඬුවම විඳින්නට සිදු විය.

මඝ මානවක යහගුණයෙන් සම්පූර්ණ ව අනුගාමික තෙතිසක් පිරිස සමඟ කතිකා කොට සත්වතපද දිවි හිමියෙන් ආරක්ෂා කිරීමේ කුසල බලයෙන් ජනතාවගේ ආදර ගෞරවයට මෙන්ම, රාජ සම්මානයට ද පාත්‍ර විය.

දිවි හිමියෙන් මව්පියන්ට සැලකීම, කුල දෙටුවන් පිදීම, මෘදු වචන කතා කිරීම, කේළාම් නොකීම, පරිත්‍යාගය, සත්‍ය වචන කතා කිරීම, නොකිපීම එදවස මඝමානවක ප්‍රධාන පිරිස පිළිපදින ලද මෙම සත්වතපද මෙන් ම සත්වයන්ට කරන ලද සේවාවන් දිවි හිමියෙන් පවත්වාගෙන ගොස් එහි ප්‍රතිවිපාක වශයෙන් මිනිස් ලොවින් චුත ව, තව්තිසා දෙව්ලොව දෙදෙව්ලොවට අධිපති සක් රජව උපන් හ. සෙස්සෝ ද ඒ සක්දෙව් රජුට පිරිවර ව උපන්හ.

මිනිස් ලොවදී ඔහුගේ භාර්යා වශයෙන් සිටි නන්දා, චිත්තා, සුධම්මා යන තිදෙනා ද, සක්දෙව්රජුගේ දෙවඟනන් වශයෙන් ඉපිද, සුරසැප විඳීමට වාසනා මහිමය ලැබුව ද, මනුලොව දී කිසිම පිනක් නොකළ අනුන් කළ පිනින් ම සැප ලැබීමට. සිතා ගෙන පිනට ප්‍රමාද වූ සුජාතා ව මරණින් මතු කඳු රැළියක කෙකිණියක් ව උපන්නා ය.

අප්‍රමාදව කුසල් කළ එම මඝ මානවක සක්විති රාජ්‍ය පදවිය ලබා සුරසැප විඳින ආකාරයත්, සෙසු භාර්යාවන් ද තව්තිසා දෙව්ලොව සක්දෙව්රජුගේ දෙවඟනන් ලෙස ඉසුරු සම්පත් විඳින බවත් අප බුදුරජාණන් වහන්සේ මහාලී ලිච්ඡවී කුමරුට විස්තර වශයෙන් දේශනා කොට වදාළ සේක.

මෙම ධර්ම දේශනාවෙන් ප්‍රධාන කාරණා කීපයක් ප්‍රකට ව පවතින්නේ ය.

අප්‍රමාදය නිසා සක්දෙව්රජ දිව්‍ය සම්පත් ලැබීම සත්‍ය ජය ගැනීම.

ප්‍රමාදයේ හා අප්‍රමාදයේ වෙනස මෙන්ම ප්‍රතිවිපාක ප්‍රමාදය හෙවත් සිහිමුලා බව අකුසල් කිරීමට හේතුවන අතර අප්‍රමාදය හෙවත් සිහියෙන් කුසල් කිරීමෙන් දෙලොව ම ජය ගන්නේ ය.

කෙනෙකුගේ ගුණයක් රඳා පැවතීමට සීලයක් අවශ්‍ය වන්නේ ය. එකී සීලය කලක් පැවතීමට හෙවත් දිවිතෙක් ආරක්ෂාවීමට නම් අප්‍රමාදය හෙවත් සිහි කල්පනාව චිත්තසන්තානයේ තිරසරව තිබිය යුතු වන්නේ ය.

මඝ මානවක එදවස කළ සත්ක්‍රියාව වසර ලක්ෂ ගණන් ඉකුත්ව වර්තමාන සමාජයට පවා අත්‍යවශ්‍ය ගුණ ධර්මයක් බව සෑම සමාජ ධර්මයකට වඩා ප්‍රධාන ව පවතින්නේ ම ය. උසස් ශිෂ්ටාචාරයක සංලක්ෂණයක් වශයෙන් ද, මහා කුසල ධර්මයක් වශයෙන් ද, ශාන්ත සුන්දර නිර්වාණ අවබෝධයට පූර්ව ප්‍රතිපදාවක් ලෙස ද පවතින්නේ ම ය.

ඔබ සැමදෙනා ම අප්‍රමාදව ක්‍රියා කිරීමෙන් දෙලොව ශාන්තිය ලබාගන්න.

අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ උපාධ්‍යාය
අමුණුපුර පියරතන නා හිමි