New at Little Bit


from Path to Nirvana https://ift.tt/316FmmX
තෙරුවන් සරණයි…!

මේ ගැන කතා කරන්න හිතුනේ මේ දවස්වල මේ කොරෝනා වෛරසය හා බුදුරජාණන්වහන්සේ විසින් උපසපන් භික්ෂූ/භික්ෂුණීන් වහන්සේලාට නොවැලදිය යුතු යැයි විනය සිකපද පැනවූ මස් වර්ග 10 ගැන බොහෝ සාකච්ඡා ඇති වී තිබෙන නිසයි.

මෙහි බොහෝ දෙනා බුදුරජාණන්වහන්සේ මේ වගේ ලෙඩ නිසයි එවැනි විනය සිකපද පැනවුයේ ලෙස කියා මේ ධර්මය හා බුදුරජාණන්වහන්සේ කොතරම් වටිනවාද යන්න කීමට උත්සහ කර ඇත.

බුදුරජාණන්වහන්සේ,ධර්මය හා සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය වෙන කිසිම දේකට වඩා වටින බව අමුතුවෙන් කීමට අවශ්‍ය නෑ. ඒ ගැන රතන සූත්‍රය ආදී බොහෝ සූත්‍ර වල පැහැදිලිව සදහන් වෙලා තියෙනවා.

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං,
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේසරණං වරං,
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

කියා තිසරණය එකම සරණ කරගත් බෞද්ධයෙක්‍ට එහි වටිනාකම කීමට වෙනත් කිසිත් අවශ්‍ය නොවේ.

ඒත් මේ වගේ දේකින් බුදුරජාණන්වහන්සේ හා බුදු දහම අනවශ්‍ය ලෙස ඉලිප්පීමට යෑමෙන් එහි වටිනාකමට හානියක් විය හැකි බවයි මගේ අදහස. ඒක වෙන්නේ කොහොමද කියලා මෙතන ඉදන් සරලව කියන්නම් කියවලා බලන්න.

මුලින්ම මෙයට අදාල බුදුරජාණන්වහන්සේ භික්ෂූ විනයට අනුව භික්ෂු/භික්ෂුණීන් වහන්සේලාට වැලදීමට අකැප යැයි විනය සිකපද පැනවූ මස් වර්ග 10 බලමු.

1) මිනී මස් (මනුස්ස මංසං)

2) ඇත් මස් (හත්ථි මංසං)

3) අශ්ව මස් (අස්ස මංසං)

4) බලු මස් (සුනඛ මංසං)

5) සර්ප මස් (අහි මංසං)

6) සිංහ මස් (සීහ මංසං)

7) කොටි මස් (ව්‍යාග්ඝ මංසං)

8) දිවි මස් (දීපි මංසං)

9) වලස් මස් (අච්ඡ මංසං)

10) කරබානා වලස් මස් (තරච්ඡ මංසං)

සමහර මේ ගැන කතා කරපු ලිපිවලත් මේ මස් වර්ග10 ගැන වැරදියට දක්වලා තිබ්බා. මං මේක නිවරදිවම පිලිවෙලටම ලිව්වේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ විනය පිටකයේ මහා වග්ග පාලියේ භේසජ්ජක්ඛන්‌ධකයෙන්
ඒ ත්‍රිපිටක යොමුව පහතින් දක්වන්නම් කියවා බලන්න.
👇👇👇
https://ift.tt/2U5QYFi

බුද්ධ ජයන්ති ත්‍රිපිටක pdf ගොනුව
👇👇👇
https://ift.tt/38Qqzjc

දැන් මේ මස් වර්ග 10 ගැන අපි දන්නවා. දැන් බලමු මේ මස් වර්ග 10 නොවැළදිය යුතු බවට බුදුරජාණන්වහන්සේ විනය සික පද පනවන්න හේතු උන කරුණු.

ඊටත් කලින් විනය සිකපද පැනවීම ගැන පොඩ්ඩක් බලමු. එතකොට මේක තේරුම් ගන්න පහසුයි.

විනය නීති පැනවීම සිදුවූයේ බුදුරජාණන්වහන්සේගේ පහළවීමෙන් හා භික්ෂු සමාජය පිහිටුවීමෙන් ද විසි වසරක් ඇවෑමෙන් යැයි අටුවාවේ සඳහන් වේ.

“ විනයෝ නාම සාසනස්ස ආයු”
(ශාසනයේ ආයුෂ විනයයි) “
විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති”
(විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ විනය කොතරම් මේ ශාසනයේ පැවැත්මට වැදගත්ද කියන එකයි.

විනය පිටකය ප්‍රධාන ලෙස කොටස් 5කට බෙදා දක්වා ඇත. එනම්,

01.පරාජිකා පාළි,

02.පාචිත්ති පාළි,

03.මහා වග්ග පාළී,

04.චුල්ලවග්ග පාළී,

05.පරිවාර පාළි.

උපසපන් භික්ෂූන් වහන්සේලාට විනයෙහි පරාජිකා හතර හැර අන් කුමන අවැත සිදු වුවද භික්ෂූත්වය අහිමි වෙන්නේ නැත. පරාජිකා වූ භික්ෂුව හිස කදින් වෙන් වූ කෙනෙක් ලෙසද හදුන්වනවා. ඒ කියන්නේ නැවත කෙසේවත් භික්ෂුත්වය ලැබිය නොහැකියි.

ඒත් අනිකුත් ඇවැත් ආදිය භුක්ෂූන් වහන්සේලා අතින් උවද නැවත එය සකසා ගන්නා ක්‍රම ඇවැත් දෙසා පිරිසිදු වීම් ආදිය විනයෙහිම දක්වා ඇත. ඒවා එක් එක් ඇවැත අනුව වෙනම වෙනම ඇවැත් දෙසා පිරිසිදු විය හැකි ලෙස බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත.

භික්ෂු විනය ගැන වැඩි විස්තර දැනගැනීමට පහත යොමුවෙන් ගොස් අතිපූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ උපසම්පදා ශීලය පොත කියවා බලන්න.
👇👇👇
https://ift.tt/38QqzQe

බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවීම සිදුකරන්නේ බුද්ධ ශාසනය පිහිටුවීමෙන් අවුරුදු 20කට පසුවයි. එයට හේතුව බුදුරජාණන්වහන්සේ විනය සිකපද දේශනා කරන්නේ යම් ස්ථිර හේතුවක් ඇතුවම වීමයි. විනය පිටකයේ සිකපද සියල්ලම කිසියම් නිශ්චිත කාරණයක් ඉලක්ක කොට ගෙනම පනවා ඇත.

සාමාන්‍යයෙන් එසේ භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් අතින් මුලින්ම යම් වරදක් සිදුවූ විට ඒ භික්ෂූව හෝ භික්ෂුණිය ඒ වරදෙන් නිදහස් වේ. ඉන් පසුව බුදුරජාණන්වහන්සේ විනය නීතිය පැනවූවාට පසු ඒ වරද කරන භික්ෂූන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට තමයි ඒ සිකපදය අදාල වෙන්නේ. ඒ ආකාරයට තමයි බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවුයේ. තවත් අවස්ථාවල ස්වාමීන්වහන්සේලා යම් යම් ප්‍රශ්න ලෙස මේ දේ කල හැකිද, නොහැකිද කියා බුදුරජාණන්වහන්සේගෙන් විමසූ අවස්ථාවල එයට අදාලවද එය නොකල යුතු බවට හෝ කල යුතු බවට විනය සිකපද පැනවූ අවස්ථා විනය පිටකයේ දක්නට ලැබේ.

මේ අයුරින් මූලිකව මෙහි මා කීමට උත්සහ කරේ බුදුරජාණන්වහන්සේ විනය සිකපද පැනවීම කර ඇත්තේ නිශ්චිත වූ හේතුවක් නිසාමය. ඒ අනුව අපි බලමු. බුදුරජාණන්වහන්සේ උපසපන් භික්ෂූන් වහන්සේලාට හා උපසපන් භික්ෂුණීන් වහන්සේලාට මේ නොවැළදිය යුතු මස් වර්ග 10 ගැන සිකපද පැනවූ හේතූ.

මේ මස් වර්ග 10ම අකැප බව කීමට බුදුරජාණන්වහන්සේ විසින් දේශිත කරුණු 10ක් වෙන වෙනම විනය පිටකයේ මහා වග්ග පාලියේ භේසජ්ජක්ඛන්‌ධකයෙ දක්වා තිබෙනවා. ඒ යොමුව පහතින් දක්වන්නම් කියවා බලන්න.
https://ift.tt/2U5QYFi

මේ ගැන පිටකයේ ටිකක් දිග විස්තරයක් සදහන් ඒ සම්පූර්ණ කතාවම මෙහි නොදා එහි වැදගත් කොටස් මම සරලව කියන්නම්. මූලික අවබෝධයට ඔබ ඒක තේරුම් අරන් වෙලාවක ඉහත ත්‍රිපිටක යොමුවෙන් ගොස් ඒ කතාව අනිවාර්යයෙන් කියවන්න.

මිනී මස් වැළදීමට අකැප බවට බුදුරජාණන්වහන්සේ දේශනා කල හේතුව

බරණැස් නුවර සුප්පියඋපාසක හා සුප්පියා උපාසිකා කියලා යුවලක් හිටියා. මේ දෙන්නා ධර්මයට බොහෝ ලැදි දෙදෙනෙක්. ඒ නිසාම දාන ආදියට නිතරම ස්වාමීන්වහන්සේලාට ආරධනා කරනවා. ඒ වගේ දවසක් මේ සුප්පියා උපාසිකාව එක් පන්සලකට ගොස් ස්වාමීන්වහන්සේලාගෙන් මොනාද අවශ්‍ය යැයි විමසූ විට, එක් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ රෝගයකට සත්ව මාංශයක් අවශ්‍ය වී තිබෙනවා. එම නිසා මේ ගැන විමසූ නිසා එම අවශ්‍යතාව කියා තිබෙනවා.

පසුව ඒ උපාසිකාව එය භාරගෙන සේවකයෙක් කඩේට යවනවා මස් ගේන්න ඒත් ඒ වන විට කඩේ හෝ ඒ නගරයේ කිසිම තැනක මස් සොයාගන්න ඒ සේවකයට හැකි වෙන්නේ නෑ.අන්තිමට සුප්පියා උපාසිකාවට මේක කියනවා.

මේක ඇහුවම සුප්පියා උපාසිකාව දුක් වෙනවා තමා මස් ගේන්න පොරොන්දු වූ නිසා,එය ඉටු නොකරොත් එය වරදක් ලෙස හිතා ඒ නිසාම කල්පනා කරලා අවසානයේ තමන්ගේම කකුලේ කලවයෙන් කොටසක් කපලා දානය ලෙස සකසන්න සේවකයන්ට දිලා, ඒ ටික පිලියෙල කර පන්සලට යවන්න කියනවා. පසුව ඒක පන්සලට යැව්වම ඒ අදාල භික්ෂූන් වහන්සේත් ඒක වලදනවා.මොකද ඒ වන විට මස් මාංශ වැලදීම ගැන කිසිම සිකපදයක් බුදුරජාණන්වහන්සේ පනවා නොතිබූ නිසා.

පස්සේ හවස සුප්පිය උපාසක තුමා ගෙදර ඇවිත් උපාසිකාව හොයනකොට මේ වගේ තුවාලයක් හැදිලා කියලා දැනගෙන ඒ ඇයි කියලා අහලා පසුව මේ විස්තරය දැනගෙන බොහෝ සතුටු වෙනවා සුප්පිය උපාසිකාවගේ ශ්‍රද්ධාව ගැන, ඒ සතුටින්ම බුදුරජාණන්වහන්සේ හමුවට ගිහින් හෙට දානයට බුදුරජාණන්වහන්සේට ආරධනා කරනවා බුදුරජාණන්වහන්සේත් නිෂ්ශබ්දව ඒක පිලිගන්නවා.

ඉන් පසු ඊලග දිනයේ බුදුරජාණන්වහන්සේ අනිකුත් භික්ෂූන් වහන්සේලාද සමග ඒ නිවසට දානයට වැඩම කරනවා. ඉන්පසු බුදුරජාණන්වහන්සේ සුප්පිය උපාසිකාව නොමැති නිසා උපාසකතුමාගෙන් ඒ ගැන විමසනවා. උපාසක තුමා කියනවා ඇය ලෙඩ වෙලා එන්න බැරි බව, එහෙත් කෙසේ හෝ එක්කර එන්න කියලා බුදුරජාණන්වහන්සේ කියනවා. පසුව සුප්පියා උපාසිකාව ඔසවාගෙන එනකොට බුදුරජාණන්වහන්සේව දුටු සැනින් උපාසිකාවගේ ඒ තුවාලේ හොද වූ බව ධර්මයේ සදහන්.අවසන බුදුරජාණන්වහන්සේ දානය වලදා දැහැමි කතා කොට ඒ දෙපල සනසා බුදුරජාණන්වහන්සේ නැවත ආරාමයට වඩිනවා.

ඉන්පසු බුදුරජාණන්වහන්සේ ආරාමයට වැඩලා මේ කරුණ ගැන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා. කව්ද මේ වගේ දෙයක් ඉල්ලුව භික්ෂුව කියලා, පසුව ඒ ස්වාමීන්වහන්සේ ඒ උන්වහන්සේ බව කී විට, මෝඝ පුරුෂය, හිස් පුරුෂය කියලා බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූවට ගරහලා ඒ ඔබ වළදා ඇත්තේ මනුස්ස මසක් බවත් පහදා දී, ඔබවහන්සේ වලදන්න කලින් විමසුවේ නැද්ද මේ මස මොනාද කියලා අහනවා. එවිට ඒ භික්ෂූව එසේ නෑ කිව් විට,

මෙය ‍නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණස හෝ නො වේ” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

ලෙස බුදුරජාණන්වහන්සේ විසින් මේ විනය සිකපද පනවන ලද්දේය.

මේකයි මේ මනුස්ස මාංශ අකැප බවට පනවන්න හේතු වූ නිදාන කතාව.
ඒ වගේම එක්තරා ලිපියක මම දැක්කා මේ ගැන නොදැන බුදුරජාණන්වහන්සේට මිනී මස් පිලිගැන්වුයේ එකල ගෝත්‍රික සමාජයක් තිබුන නිසා බව කියා තිබුනා.එය මේ විනය සිකපද ගැන නොදන්නා කමට ලියන ලද කතාවක්.

දැන් පලමු මස් වර්ගය ඇකැප වෙන්න හේතුව මේකයි. දැන් අනික් මස් වර්ග ටිකත් අකැප වන හේතු බලමු.

ඇත් මස් (හත්ථි මංසං) හා අශ්ව මස් (අස්ස මංසං) යන මස් වර්ග දෙකම වැලදීම අකැප යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කරේ දුර්භික්ෂ වගේ කාල වල මේ සත්තු මැරුනම මිනිස්සු ඒ මස් කන්න ගත්තා පසුව ඒ මස් භික්ෂූන් වහන්සේලාටද පුජා කරා. භික්ෂූන්වහන්සේලාද මුල් කාලේ ඒවා වැළදුවා අකැප බවක් නැති නිසා,
පසුව බුදුරජාණන්වහන්සේ මේ මස් වර්ග දෙකම අකැප බව දේශනා කරා.

මොකද මේ සතුන් දෙදෙනාම එකල රජුගේ සේනාවේ හිටිය සතුන් දෙදෙනෙක් නිසා රජතුමා මේ ගැන දැන ගත්තොත් නොසතුටු වෙලා අවමන් කරලා,දොස් නගන්න පුලුවන් ඒකෙන් ශාසනයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ආදිය නොලැබෙන්න පුලුවන්, ඒ නිසයි මේ මාංස අකැප බව දේශනා කරේ.

ඊලඟට බලු මස් (සුනඛ මංසං) මේ ගැන සදහන් ත්‍රිපිටක යොමුවෙන් උපුටාගෙන දක්වන්නම් පහතින්.

එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

ඒ අයුරින් තමයි බලුමස් අකැප යයි දේශනා උනේ.

ඉන්පසු සර්ප මස් (අහි මංසං) මේකත් පෙර වගේම දුර්භික්ෂ කාලවලදී මිනිස්සු කරපු වැඩක් ඒ වගේම මේක සුඵස්ස කියන නාරජු බුදුරජාණන්වහන්සේගෙන් කල ඉල්ලීමක්. එයට අනුව මෙලෙස ඒ කතාව දක්වන්නම්.

සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

මෙයට පසු සදහන් අනිකුත් සිංහ මස් (සීහ මංසං),කොටි මස් (ව්‍යාග්ඝ මංසං), දිවි මස් (දීපි මංසං),වලස් මස් (අච්ඡ මංසං),කරබානා වලස් මස් (තරච්ඡ මංසං) ආදී ඒ මස් වර්ග 05 බුදුරජාණන්වහන්සේ විසින් නොවැලදිය යුතු බව දේශනා කරේ මේ මස් වළඳා වනයට වඩින භුක්ෂුවට සිංහයන්,කොටි‍යන්,දිවියන්,වළසුන් ආදී ඒ ඒ සතුන්ගෙන් අනතුරක් විය හැකි නිසයි. ඒකට අදාල එක ත්‍රිපිටක උපුටාගැනීමක් පහතින් දක්වන්නම්. අනික් කොටස් ටිකත් මේ හා සමානයි ත්‍රිපිටක යොමුවෙන් ගොස් කියවා බලන්න.

එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.

සම්පූර්ණ ත්‍රිපිටක යොමුව සදහා
👇👇👇
https://ift.tt/2U5QYFi

මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ මේ මස් වර්ග 10 උපසපන් භික්ෂූ/භික්ෂුණීන් වහන්සේලාට අකැප බව දේශනා කල හේතූ පැහැදිලි කරගත හැකියි.

දැන් අපේ ප්‍රශ්නයේ කොරෝනා වෛරසය හා සම්බන්ඳ කොටසට එමු.

මේ කොරෝනා වෛරසය හා බුදුරජාණන්වහන්සේ දේශනා කල විනය කරුණු එකට යොදාගන්න බොහෝ අය යොදාගත් කරුණ නම් මේ වෛරසය සර්ප මස් කෑම මගින් මිනිස්සුන්ට බෝ උනා කියන මතය, මේක නිවරදිවම තහවුරු නොවුනත් බොහෝ අය ඒ මතේ ඉදගෙනයි මේක සම්බන්ඳ කරේ.

ඒත් මේ පිලිබද විවිධ මත පල උනත් කොරෝනා වෛරසය බෝවන්නේ ක්ෂීරපායි සතුන් ගෙන් බව එක් වෛද්‍යවරයෙක් තබා තිබූ සටහනක මා දුටුවා. ඒ කොටස පහතින් දක්වන්නම්.

කොරෝනා වෛරසය කියන්නේ මොකද්ද? ඒක අලුත් දෙයක්ද?

කොරෝනා වෛරසය කියන්නේ ක්ෂීරපායී සතුන්ගේ දකින්නට ලැබෙන වෛරස පවුලක්. මේ අතරින් වර්ග 6ක් මේ වන විට මිනිස්සුගෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වෛරස 2ක් මීට වසර ගණනාවකට කලින් වසංගත තත්වයෙන් ලෝ‍කයේ පැතිර ගොස් තිබෙනවා.

1. Middle East Respiratory Syndrome (MERS) : 2012 දී ඔටුවන් හරහා
2. Severe Acute Respiratory Syndrome (SARS) : 2002 දී මුගටියන් වර්ගයක් (Civet Cat) හරහා

අලුත්‍ කොරෝනා‍ වෛරසය මොකද්ද?

අලුත් කොරෝනා වෛරසයෙන් ආසාදනයවූ මුල්ම මනුෂ්‍යයා සොයා ගැනුනේ 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නුවරින්. ඒ වෛරස වර්ගය මීට පෙර මිනිසුන්ගෙන් වාර්තා වෙලා ති‍බුනේ නෑ. එබැවින් එය 2019 Novel Coronavirus (2019-nCoV) ලෙස නම් කළා.

ඒක කොහෙන්ද ආවේ?

මේ ගැන විවිධාකාර මත ගොඩනැගුනා. සාමාන්‍යයෙන් චීන ජනයා විවිධාකාර සතුන් ආහාරයට ගන්නා නිසා ඒ හරහා පැමිණි බව‍ට සැක කෙරුණා. නමුත් මේ වන විට අදාළ වෛරසයේ මුලු ජීනෝමය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
(https://ift.tt/2TQ4X1X)
ඒ අනුව මෙම වෛරසය වවුලන්ගෙන් පැමිණි කොරෝනා වෛරසයකට වැඩි නෑකමක් කියන බව ඔප්පු වී තිබෙනවා.

නවතම තොරතුරු සඳහා : https://www.who.int/…/novel-coronavirus-2…/situation-reports
https://www.cdc.gov/…/2019-n…/locations-confirmed-cases.html

මූලාශ්‍ර:
https://ift.tt/2Ry0Oye
https://ift.tt/2QR5Vt7
https://www.thelancet.com/…/PIIS0140-6736(20)30183…/fulltext

වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS) | 26-01-2020

මේ ලිපියේ තව බොහෝ විස්තර තියෙනවා. මම දැම්මේ අවශ්‍ය ටික විතරයි. සම්පුර්ණ ලිපිය කියවා බලන්න පහත යොමුවෙන්.
👇👇👇
https://ift.tt/37MzzW4

මේ අනුව දැන් ප්‍රශ්නයක් එනවා, බුදුරජාණන්වහන්සේ වවුල් මස් හෝ ඒ ආශ්‍රිත දෙයක් ගැන කියලා නෑ කියලා. මෙන්න මේකයි මං කිව්වේ මේ වගේ දෙයක් බුදුරජාණන්වහන්සේ දේශනා කල කරුණු සමඟ ගලපන්න යෑමෙන් උතුම් බුදුරජාණන්වහන්සේට හා ඒ උතුම් ධර්මයට හානියක් විය හැකි බව.

දැන් කෙනෙක් තර්ක කරොත් කෝ බුදුරජාණන්වහන්සේ වවුල් මස් ගැන දේශනා කරලා නෑනේ. උන්වහන්සේ ඒක දැක්කේ නැද්ද කියලා?? මේ කරුණු එකට සම්බන්ද කරන්න උත්සහ ගත්ත අයටමයි ඒවාට පිලිතුරු දෙන්න වෙන්නේ.

අනික් කරුණ මේ අකැප බව දේශනා කල මස් වර්ග 10 අදාල වෙන්නේ උපසපන් භික්ෂූන් වහන්සේලාට හා භික්ෂුණීන් වහන්සේලාට විතරයි. ගිහි අය ගැන කිසිම සදහනක් මෙහි නෑ. ඒ අනුවත් කෙනෙක් තර්ක කරොත් ඇයි බුදුරජාණන්වහන්සේ පැවිදි අයට විතරක් මේක දේශනා කරේ ලෙඩ හැදෙනවා නම් ගිහි අයවත් මේකෙන් වලක්වන්න තිබ්බානේ කියලා,
ඒකටත් පිලිතුරු දෙන්න වෙන්නේ මේවා එකට සම්බන්ද කරන්න උත්සහ කරන අයටම තමයි.

ඒ නිසා හරියට මේ ධර්මය නොදැන මේ විනය පැනවීමට හේතු නොදැන මේ කාරණා හරහා මේ දහම උලුප්පන්න යන අය කරන්නේ ධර්මයට මහා අපහාසයක්. මොකද බුදුරජාණන්වහන්සේ මේ විනය කරුණු හා එයට හේතු වෙනම දේශනා කරලා තියෙනවා. ඊට පරිභාහිරව වෙන වෙන දේවල් අපි හිතාගෙන මේ කරුණු වැරදියට උඩට ගන්න එක නම් අනුමත කල නොහැකියි.

බුදුරජාණන්වහන්සේ නමක් දේශනා කරන්නේ මේ සංසාරෙන් එතර වෙන උතුම් දහමක්. උන්වහන්සේගේ දේශනාවට අනුව මේ ශරීරය කියන්නේ රෝග වල නවාතැනක්, උන්වහන්සේ කිව්වේ ඒක දැනගෙන මේ සංසාරෙන් මිදෙන්න උත්සහ වෙන්න කියන එකයි.

ඒ වගේම බුදුරජාණන්වහන්සේ රෝග සූත්‍රයේදී දේශනා කරනවා රෝග වර්ග දෙකක් ගැන එනම් කායික රෝග හා මානසික රෝග ඒකෙන් බුදුරජාණන්වහන්සේ අගය කරේ මොන රෝගෙන් මිදෙන්න උත්සහ කරන අයද දන්නවද??
සූත්‍රයෙන්ම උපුටා දක්වන්නම්
👇👇👇

මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.

’’කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන,
වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ,
සත්ත්‍වයන් දකිත්.

’’යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන්(රහතන්වහන්සේලා) හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.

රෝග සූත්‍රයේ ත්‍රිපිටකය යොමු
👇👇👇
බුද්ධ ජයන්ති ත්‍රිපිටක යොමුව
https://ift.tt/318kMTh

සරල සිංහල සොයිසා පරිවර්තන ත්‍රිපිටක යොමුව
https://ift.tt/3aSXh4Y

මේකෙන් කියන් නෑ බුදුරජාණන්වහන්සේ කායික රෝග ගැන හිතන්න එපා කිව්වා කියලා මොකද

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බානං පරමං සුඛං

ලෙස ධම්ම පදයේ දේශනා කලේද අප සරණ ගිය බුදුරජාණන්වහන්සේමය එම නිසා ආරොග්‍යය කියන දේ බුදුරජාණන්වහන්සේගේ දේශනාවට අනුව කායික හා මානසික ලෙස දෙපසින්ම තිබිය යුතුය. සතුට යන පරම ධනය ලැබීමට නම් අනිවාර්යයෙන් මානසිකව නිරෝගී විය යුතුය.

ඒ නිසා බුදුරජාණන්වහන්සේ මේ කායික හා මානසික ලෙඩ රෝග හැදෙන ආකාරය හා එයින් මිදෙන ආකාරය වෙන වෙනම දේශනා කර තිබේ. ඒත් අපේ අය ඒ කරුණු නොදක්වා මේ උඩට අරං තියෙන්නේ වැරදි කරුණක් බවයි මාගේ අදහස.

මොකද මේ විනය සිකපද පැනවීම බුදුරජාණන්වහන්සේ කර ඇත්තේ හේතු සහිතවමය. උතුම් වූ සර්වඥතා ඥාණයෙන් මේ කරුණුද උන්වහන්සේ දැන සිටින්නට ඇත. එය නිසකය. නමුත් මේ කරුණේදී බුදුරජාණන්වහන්සේ මෙයට පැහැදිලිව හේතු දක්වා තිබෙන නිසා අප ඒවාට මුල් තැන දී ඒවා පිලිගත යුතුය කියායි මගේ අදහස.

කෙනෙක්ට අවශ්‍ය නම් බුදුරජාණන්වහන්සේ රෝගී නොවීමට කලයුතු දේ හා රෝගී උනාම කලයුතු දේත් වෙන වෙනම සූත්‍ර දේශනා වල දක්වා ඇති අතර එවැනි දේශනාවක් මෙයට ගලපාගත හැකි නම් එය නිවරදිය.

එයට උදාහරණයක් ලෙස අවශ්‍ය නම් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ එන සූත්‍ර දේශනා යොදාගත හැකිය. තව ආහාරයේ පමණ දැන වැලදීම, සප්පාය ආහාර හා අසප්පාය ආහාර ගැනද බුද්ධ දේශනාවේ වෙන වෙනම දක්වා ඇති අතර මේ කරුණ අරභයා කෙනෙක්ට අවශ්‍ය නම් ඒ දේශනා ඇසුරෙන් යමක් කිව හැකිය.

එසේ නොකර මේ විනය සිකපද මෙයට ගැලපීමට යෑම මට දැනෙන හැටියට නම් නොගැලපෙන දෙයකි.

අවසාන වශයෙන් මෙය ධර්මානූකූලව මගේ දහම් දැනුම් මට්ටමේ හැටියට කරන ලද විග්‍රහයකි. අවවාද,උපදෙස්,දොෂාරෝපණ,ප්‍රශංසා සියල්ල සමසිතින් දරාගන්නට උත්සහ කරන නිසා ඔබට කැමති දෙයක් කිව හැකිය.

තෙරුවන් සරණයි…!

© Yohan sewwandika ~ Path To Nirvana දම්සභා මණ්ඩපයෙහි සම්පත් දායක