New at Little Bit


from Path to Nirvana https://ift.tt/37V0uhL
විරාගයෙන් නිරෝධයට මඟ සාදන මහ අනගි
අට්ඨික සංඥාව..

අනුරාධපුර යුගයේ අට්ඨික සඥාව (අස්ථි පිළිබඳ ඥානය) ප්‍රගුණ කළ භික්ෂූන්…

අනුරාධපුර යුගයේ අට්ඨික සඥාව (අස්ථි පිළිබඳ ඥානය) ප්‍රගුණ කළ භික්ෂූන් වහන්සේ නමක් සිය භාවනා අරමුණින් යුතුව ම මහමඟ වඩිමින් සිටියහ. ඒ අතර තුර එක්තරා කාන්තාවක ද එම පාරේ ම ඉදිරියට එමින් සිටියා ය. දෙපැත්තට යන දෙදෙනා මුහුණට මුහුණ හමුවන මොහොතේ හිමි නම කාන්තාව දෙස බැලූහ. ඇය ද හිමියන් සමඟ සිනාසී ඉදිරියට ගමන් කළාය. කාන්තාව පසුපසින් ඈ සොයා පැමිණි ඇගේ සැමියාට පාරේ වඩින භික්ෂූන් වහන්සේ හමුවිය. සිය බිරිය පිළිබඳ තොරතුරු ඇසීමට මුන්වහන්සේ සුදුසුයැයි කල්පනා කළ ඔහු මේ පාරෙන් කාන්තාවක යනු දුටුවාදැයි භික්ෂූන් වහන්සේගෙන් විමසී ය. කාන්තාවක යනු දුටුවේ නැහැ. ඇට කැබලි ගොඩක් නම් එහාට මෙහාට වෙනවා වගේ දුටුවා යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. අට්ඨික සංඥාව වඩමින් එම අරමුණෙහි ම රැඳී සිටීම නිසා එම භික්ෂූන් වහන්සේ කාන්තාව පෑ හසරැල් හා මනසින් බද්ධ වූයේ නැත. තමන් වහන්සේ මනසින් වැඩූ දෙය උන්වහන්සේ ඈ තුළින් දුටුවහ. එනම්, ඇගේ කටෙහි තිබුණ දත් ය.

ධඤ්ඤම්දං මුසලේන පහිඤ්ඤං – කාය මිදං මරණේන පහිඤ්ඤං

මොහොල් පහරින් මේ ධාන්‍ය පොතු ගැලවේ – මරණින් පසු මගේ කයත් මාහට නැති වේ යනාදී වශයෙන් වූ අනිත්‍යතාවය හෙළිවන කවි ගායනා කරමින් කාන්තාවෝ වී කෙටූහ. ඔවුන්ගේ කවි හඬ අනිත්‍යතාවය පිළිබඳ සිහි කරමින් බවුන් වඩන භික්ෂූන් වහන්සේලාට ඇසේ. කවිවල අදහස මෙනෙහි කළ භික්ෂූන් වහන්සේලා රහත් වූහ.

බුදුරජාණන් වහන්සේ සමීපයට තාලපුට නමැති නර්තනවේදියෙක් පැමිණියේ ය. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම නර්තන ශිල්පියාට පැහැදිලි කරනු ලැබුවේ යමෙක් කරන රඟපෑම් නිසා මිනිස් සිතෙහි රාග ද්වේශ මෝහ යනාදී අකුසල සිතිවිලි හටගනු ලබන්නේ ද එසේ නම් නර්තනවේදියාට එය බරපතළ අකුසලයක් බවයි. ඒ අකුසලය නිසා සෘජු වශයෙන් ම නර්තනවේදියා මරණින් පසු (පරම්මරණා) අපායගාමී වන බවයි.

චක්බුනා රූපානි දිස්වාන නිමිත්තග්ගාහි හෝති.
(නෙත්වලින් විවිධ රූප නරඹන දකින නමුත් එම රූප අදහස් වශයෙන් නිමිති ගැනීමෙන් වළකින්න) දුක ඇති වන්නේ රූප බැලීමම නිසා නොව ඒවා පිළිබඳව සුබවාදී අරමුණු ඇතිකර ගැනීම නිසා ය. බුදුදහමට අනුව අල්ලා ගැනීම අත්වලින් පමණක් නොව මනසින් ද කළ හැකි වන්නේ ය. දෑත්වලින් අල්ලා ගැනීමට වඩා බරපතළ බලපෑමක් ඇති කරගනු ලබන්නේ මනසින් අල්ලා ගැනීම නිසා ය. මනස තුළ පවතින උපාදාන ස්වභාවය ජීව අජීව බොහෝ දේ පිළිබඳ ව පවතී. එය සීමාවක් මායිමක් නැත. පුද්ගල මනසෙහි උපාදානය වැඩි වන තරමට පුද්ගල තෘෂ්ණාව ද අධික වේ. එසේ තෘෂ්ණාව වැඩිවන තරමට උපාදානය ද අධික වේ. පුද්ගල මනසින් අල්ලාගනු ලබන වස්තූන් හී ස්වභාවය යයි. ඉතිරී යාමක් නැත. සාගරයට ජලය පිරවූවා සේ ය. අල්ලා ඇති දේ අත්හරින තරමට මනසට ලැබෙන්නේ සැහැල්ලුවකි. එම සැහැල්ලුව කොපමණ ද කිවහොත් එබඳු තත්ත්වයක් ඇතිකර ගත්විට අහසේ යාමට තරම් පුද්ගල ශරීරය ද සැහැල්ලු බවට පත්වේ.

පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දුටුවාම ඒ රූපය ගැන සුභව සිතීම නැති රාගය උපදවන්නත්, ඇති රාගය වැඩි කරන්නත් හේතු වෙනවා. අසුභව සිතීම නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් හේතු වෙනවා. ඒ නිසා නැති රාගය නූපදවන්නත්, ඇති රාගය ප්‍රහීණ කරන්නත් බුදු දහමේ මනා පිළිවෙතින් හික්මෙන අයටත් අට්ඨික සංඥාව වැඩීම ප්‍රයෝජනවත්. අන් ස්ත්‍රීන් ගැන පමණක් නොව තමන් ගැනත් එසේම සිතන්න යොමු වෙනවා නම් තමාගේ කය කෙරෙහි ඇති ආශාවත් අඩු වෙනවා. එයත් ප්‍රයෝජනවත්.

රාගික දෑ කෙරෙහි ඇලුණු පුද්ගලයින්ට ඉන් බැහැර වීම සුදුසු යැයි සිතූ පමණින් රාගික දෑ වලින් මිදීම අපහසු ක්‍රියාවක්. මෙලොව බොහෝ අය එආකාරයි. ඒ නිසා බුදු දහමේ හික්මෙන පුද්ගලයින් යම් කරුණක් කෙරෙහි තමන්ට ඇති රාගය එකවර ප්‍රහීණ වන්නේ නැති නම් එය ක්‍රමක්‍රමයෙන් සිදුකරනවා. පුද්ගල රූප කෙරෙහි ඇලුණු අයෙකුට එකවර තම රාගය ප්‍රහීණ කර ගන්න අපහසු නම් අට්ඨික සංඥාව වැඩීමෙන් එය කර ගත හැකියි.

අට්ඨික සංඥාව උපකාරයෙන් කාම සංකල්පනා යටපත් කොට නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගැනීම ගැන මනා අවබෝධයක් ලබාගත හැකිය.
මේ ගැන තථාගත තිලෝගුරු වදනේ.

1. අට්ඨික සඤ්ඤා සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.
යනුවෙන් ආදී ලෙස විස්තර වේ…

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.

බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

මේ අට්ඨික සංඥාව ගැන ගැඹුරින්ම විස්තර වන්නේ විශුද්ධි මාර්‍ගයේය.
එහි ඇති පරිදිද එය නිවැරදිව වඩනා විට ..
සිරුරේ සියලු ඇට ගනනත්.එවායෙහි හැඩයත්.
එකිනෙකට සම්බන්ධවන ආකාරයත ආදී දේ සැලකා මනසිකාරය දියිනු කල යුතුය.
මෙහි පහතින් දක්වනුයේ එහි සරල දල අදහසකි..

💀 – අට්ඨික සඤ්ඤා භාවනාව –

සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

විරාගය පිණිසම වේවා