New at Little Bit


from Path to Nirvana https://ift.tt/3izeSSh
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)237 💙💚💜

🌼 ෂට් අසාධාරණ ඤාණ 16
🌼 අසිරිමත් බුදුගුණ වරුණ 31

අනාවරණ ඤාණය 01

තෙසැත්තෑ ඤාණ එකක් එකක් ගානේ ඉතාමත් පැහැදිලිව විස්තරාත්මකව පටිසම්භිදාමග්ග පාළියට ඇතුළත්ව තිබෙනවා. එයින් සර්වඥතාඥාණය සහ අනාවරණ ඥාණය යන ඤාණ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව, පහත සඳහන් පරිදී ඉදිරිපත් කර තිබෙනවා. අපි සළකා බලමු මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම ගැන.

කතමං තථාගතස්ස සබ්බඤඤුඤාණං
සබ්බං සංඛතමසංඛතං අනවසේසං
ජානාතීති සබ්බඤ්ඤුතඤාණං
තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං

තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය නම් කවරේද? සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නම් වෙනවා. එහිලා ආවරණයක් නැතිබැවින්, අනාවරණ ඥාණය නම් වේ යනු මෙහි කෙටිම තේරුමයි.

සබ්බං සංඛත අසංඛත අනවසේසං,
ජානාතීති තත්‍ථ, ආවරණං නත්ථි ති
අනාවරණ ඥාණං

එයින් පැහැදිලි වෙනව, සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව. ඒ කියන්නේ සර්වඥතා ඤාණයෙන් අරමුණු කරනවා. ඊට බාධාවක් නැති බව නිසා, එයට ම අනාවරණ ඤාණය කියනව.

ඊළගට අපි සලකා බලමු සංඛත අසංඛත කියන්නේ කුමක්ද? කියලා. මේවා අපි තේරුම් ගතොත් සර්වඥතාඥාණය පැහැදිලි කරගන්න හැකිවෙනවා.

සංබත
සංබත කියන්නේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද්දේ යන තේරුමයි. ලෝක ධාතුවෙහි සියල්ල හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් දේවල් බව අපි තේරුම් ගන්නට ඕනැ. නිර්වාණ ධාතුව හැර, අනිකුත් සියල්ලම සකස් වෙලා තිබෙන්නේ හේතුන්ගෙන්, මහ පොළොව සංඛතයක්, මහ සයුර සංඛතයක්, ඉර, හඳ, තාරකා සංඛත, සතර අපාය සංඛත, මනුලොව සංඛත, දෙලොව හය සංඛත, බඹලොව දහසය සංඛත, අරුප ලෝක හතර සංඛත, මේ සක්වල සංඛත, පිටසක්වල සංඛත, අපේ ශරීර සංඛත, අපි පරිහරණය කරන ඇදුම් පැලඳුම් සංඛත, යාන වාහන සංඛත, ඇඳපුටු ආදී පරිහරණය කරන භාණ්ඩ සංඛත, හැම දෙයක් ම සංඛත, හැම දෙයක් ම සකස්වෙලා තිබෙන්නේ යම් යම් හේත්තු සම්භාර, කාරණා රාශියක් නිසයි.

අසංඛත
අසංඛත කියන්නේ නිර්වාණ ධාතුවටයි. නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගන්න දෙයක් නොවෙයි. නිර්වාණ ධාතුවේ නාම, රූප කිසිවක් නැහැ. ස්කන්ධ නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නැහැ. චිත්ත චෛතසික ධර්ම නැහැ. කොටින්ම ඇතිව නැතිව යන කිසිවක් නිර්වාණ ධාතුවේ නැහැ. නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවූ බැවින්මයි කාලයකට යටත් නැතිවෙන්නේ. අතීත නිර්වාණය කියලා හෝ අනාගත නිර්වාණය කියල හෝ වර්තමාන නිර්මාණය කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්තේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටනොගන්නා නිසයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් එතන අනිත්‍ය, තිබෙනවා. දුක්ඛය තිබෙනවා. අනාත්මය තිබෙනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයත්, දුක්ඛ ලක්‍ෂණයත් අනාත්ම ලක්‍ෂණයත් නැහැ. එනිසා, නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන් ගෙන් හට නොගත්ත නිසා අසංඛතයි.

සබ්බං සංඛතං අනවසේසං ජානාතීති සබ්බඤඤුඤාණං

ලෝක ධාතුවට අයිති හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, සිත ඇති සිත නැති සෑම ස්වභාවයක් ම, සෑම ධර්මතාවක් ම, සෑම නාම රූපයක් ම, සෑම ස්කන්ධයක්ම, සෑම ආයතනයක්ම, සෑම ධාතු ස්වභාවයක් ම ඉතිරිවක් නැතිව දන්නේ සර්වඥතාඥාණයෙන්, ඒ දැන ගැනීමේදී කිසිදු බාධාවක් නැති ස්වභාවය අනාවරණ ඤාණය නම් වෙනවා.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර -, ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය . අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත “සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවේණික ෂට් අසාධාරණ ඤාණ” ග්‍රන්ථය .

තුසිත රාජපක්ෂ ප්‍රංශය